නුසුදුසු විහාර
සමාධි භාවනාවට නුසුදුසු වූ, දෝෂ සහිත වූ තැන් අටළොසකි (18). මෙයින් එක දෝෂයකින් හෝ යුක්ත විහාර නුසුදුසු විහාර ලෙස සලකනු ලැබේ. ඒ අටළොස් දෝෂ නම්:-
- මහා විහාරයෙහි දෝෂ - මහා විහාරයක බොහෝ භික්‍ෂුහු වාසය කරති. නොයෙක් අදහස් ඇති ඒ භික්‍ෂුහු බෝමලු හැමදීම, පැන් පෙරා තැබීම යනාදී වූ කළමනා නොයෙක් වත් පිළිවෙත් ආදිය නො කොට කල් යවති. යෝගාවචර භික්‍ෂු තෙමේ පිඬු පිණිස යාමට පෙර ඒ භික්‍ෂූන් විසින් නො කරණ ලද යම් වත් පිළිවෙතක් වේ නම් එය සම්පූර්‍ණ කොට පිඬු සිඟා වැඩිය යුතු. එවිට දහවල් වී පිඬු සිඟා වැඩි ඒ භික්‍ෂුවට කිසි ආහාරයක් නො ලැබීමෙන් කලාන්ත වීම ද ඇතිවිය හැකි. එපමණක් නොව එහි වසන අනිකුත් භික්‍ෂූන් ගෙන් නොයෙක් කරදර හිරිහැර ද පැමිණෙන්නට අවකාශ තිබේ. එසේ නොව නිසි වත් පිළිවෙත් කැරෙණ, අවහිරකම් රහිත වූ මහා විහාරයක් වේ නම් එය නුසුදුසු නොවන්නේ ය.
- අභිනව විහාරයෙහි දෝෂ - අභිනවයෙන් ඇති කරණ ලද විහාරයක නොයෙක් නව කම් ඇතිවිය හැකි. යෝගාවචර භික්‍ෂුවට ද එහි කළමනා කටයුතු වේ නම් එවැනි තැන් ද භාවනාවට සුදුසු නැත. දොස් සහිත වේ.
- දිරාපත් විහාරයෙහි දෝෂ - දිරාපත් වූ තැනක නොයෙක් කැඩුම් බිඳුම් පිළියම් කරන්නට ද, කටුකොහොල් ඉවත් කොට පවිත්‍ර කරන්නට ද නිතර සිදු වේ. එය ද කමටහන පිරිහීමට හේතුවක් වේ.
- මහා මාර්‍ගාසන්න විහාරයෙහි දොස් - මහා මාර්‍ගාසන්න වූ විහාරයන්හි බොහෝ සෙයින් ආගන්තුක සම්බාධයෝ ඇත්තාහ. නිතර නිතර ආගන්තුක භික්‍ෂූන් පැමිණෙන කල්හි තම අසුන් ඒ භික්‍ෂූන්ට දී තමන්ට සැප පහසු නැති සෙනසුන් සොයා යන්නට වීමෙන් භාවනාවට බාධා ඇති වේ. එවැනි අවහිරකම් නැති තැන් සුදුසු ය.
- පැන්කෙමි විහාරයෙහි දෝෂ - ගල් පොකුණු ඇති විහාරයක් වනවිට පැන් පිණිස පැමිණෙන මහාජනයා ගෙන් ද භාජන, දර, පඬු ඔරු ආදිය සොයා එන පිරිස ගෙන් ද කරදර ඇතිවිය හැකි බැවින් එබඳු තැන් ද භාවනාවට නුසුදුසු ය.
- පලාපත් විහාරයෙහි දෝෂ - පලාකොළ ආදිය ඇති තැනට දහවල් කාලයේදී පලා නෙලන වනිතාවන්ගේ පැමිණීම ද ඔවුන්ගේ විසභාග ශබ්ද ද ඇති විය හැකි බැවින් එබඳු තැන් ද භාවනාවට නුසුදුසු ය.
- මල් ඇති විහාරයෙහි දෝෂ - පලාපත් විහාරයන්හි මෙන් මල් ඇති තැන්හි ද, මල් නෙලීමට එන පිරිස ගෙන් හිරිහැර ඇති විය හැකි බැවින් සම්බාධ සහිත ය.
- ඵල ඇති විහාරයෙහි දෝෂ - නොයෙක් ඵල වර්ග ඇති තැනට ද බොහෝ දෙනා විත් ඵල ඉල්වාගෙන හෝ බලාත්කාරයෙන් හෝ පැහැර ගෙනයාම සිදුවන නිසා ඔවුන් වැළැක්වීමේදී අපහාස විඳීමට ද සිදුවන බැවින් එවැනි තැන් ද භාවනාවට නුසුදුසු ය.
- ලෝකයා විසින් සම්භාවනා කරණු ලබන විහාර - එවැනි තැන්වල වසන භික්‍ෂූන් වහන්සේලා රහත් යයි සලකා බොහෝ දෙනා උන්වහන්සේලා දැක, වැඳ පුද සත්කාර කිරීමට පැමිණෙන බැවින් යෝගාවචර භික්‍ෂුවට එය ද නුසුදුසු තැනෙකි.
- නගරාශ්‍රිත විහාරයෙහි දෝෂ - මෙහි බොහෝ දෙනා නිතර ගැවසෙන තැනක් හෙයින් භාවනාවට නුසුදුසු ය.
- දැව ඇති විහාරයෙහි දෝෂ - දර හෝ දැව උපකරණයට යෝග්‍ය ගස් ඇති තැන්වලට ද දර කැඩීම පිණිස පැමිණෙන ස්ත්‍රීන්ගෙන් ද, ගෙවල් ආදිය පිණිස ලී දඬු සොයන මිනිසුන් ගෙන් ද කරදර ඇතිවිය හැකි බැවින් භාවනාවට නුසුදුසු ය.
- ක්‍ෂේත්‍රාශ්‍රිත විහාරයෙහි දෝෂ - කුඹුරු ළඟ ඇති විහාරයන් ද භාවනාවට නුසුදුසු ය. එහි වැඩ කරණ අය විහාරස්ථානයට පැමිණ ගොයම් පෑගීම, වී වේලීම ආදී නොකටයුතු දේ කරති. එයින් යෝගාවචර භික්‍ෂූන්ට මහත් හිරිහැරයකි. එවැනි උපද්‍රව නැති තැන් සුදුසු ය.
- විසභාගයන් ඇති විහාරයෙහි දොස් - ඔවුනොවුන් කෙරෙහි නුරුස්නා ගති ඇති භික්‍ෂූන්ගේ කලහ ආදිය සිදුවන හෙයින් එවැනි තැන් ද නුසුදුසු ය.
- සමුද්‍රතීර ආශ්‍රය කළ විහාරයෙහි දෝෂ - නැව් තොටවල් අසල විහාරයන්ට නිතර මිනිසුන් පැමිණ ලැගුම් ගැනීමට අවසර ඉල්වත්. ගැල්වලින් එහි පැමිණ බඩු ගෙන යන අයගෙන් ද, කරදර පැමිණෙති. එහෙයින් එවැනි ස්ථාන ද නුසුදුසු වෙත්.
- ප්‍රත්‍යන්තයෙහි පිහිටි ස්ථාන ද, රත්නත්‍රයෙහි පැහැදුනු පුද්ගලයන් නැති හෙයින්, විසීමට නුසුදුසු ය.
- රාජ්‍ය සීමායෙහි ඇති විහාර ද නුසුදුසු ය. එහි වසන භික්‍ෂුවට රාජ්‍ය දෙක්හිම මිනිසුන් සතුටු කර ගෙන විසීම දුෂ්කර කරුණකි.
- සප්පාය නැති බව - රූපාදී විසභාග අරමුණු ලැබීම ද, අමනුෂ්‍යයන් ගේ ගැවසීම ද භාවනාවට බාධාවකි. එයින් ලැබෙන අපහසුකම් බොහෝ ය. එහෙයින් සිත එකඟ කරගෙන විසීම ඉතා දුෂ්කර වේ.
- කල්‍යාණ මිත්‍රයන් නැති බව - තමාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ හෝ උපාධ්‍යායන් වහන්සේ හෝ නොලැබීම ද දෝෂයකි.