අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සතළිස් කර්මස්ථාන

සමථ භාවනා පිණිස කර්මස්ථානයෝ සඞ්ඛ්‍යා වශයෙන් සතළිසකි. එනම්:-

  1. දස කසිණ - පඨවි කසිණය, ආපො කසිණය, තේජො කසිණය, වායො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලෝහිත කසිණය, ඕදාත කසිණය, ආලෝක කසිණය, ආකාශ කසිණය.
  2. දස අසුභ - උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික.
  3. දස අනුස්සති - බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති, උපසමානුස්සති.
  4. සතර බ්‍රහ්මවිහාර - මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා.
  5. සතර ආරූප්‍යයෝ - ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය,
  6. එකසංඥා - ආහාර පටික්කුල සංඥාව.
  7. එක වවත්ථාන - චතුධාතු වවත්ථානය.

මේ සතළිස් කමටහන් අතුරෙන් උපචාරධ්‍යානය පමණක් ගෙන දෙන කමටහන් දශයෙකි. එනම්:-

  1. බුද්ධානුස්සති,
  2. ධම්මානුස්සති,
  3. සඞ්ඝානුස්සති,
  4. සීලානුස්සති,
  5. චාගානුස්සති,
  6. දෙවතානුස්සති,
  7. මරණානුස්සති,
  8. උපසමානුස්සති,
  9. එකසංඥා,
  10. එක වවත්ථාන.

සෙසු කර්මස්ථාන තිස (30) වැඩීමෙන් අර්පණාව ද ලබාගත හැකි වේ. මෙසේ මේ සතළිස් කර්මස්ථානයෝ උපචාර වන කර්මස්ථානයෝය, අර්පණා වන කර්මස්ථාන- යෝයයි දෙවැදෑරුම් වේ.

තිස්වැදෑරුම් අර්පණා වන කර්මස්ථානයන් අතුරෙන්-

  1. චතුෂ්කධ්‍යානික හෙවත් සතර රූපාවචරධ්‍යාන ගෙන දෙන කර්මස්ථානයෝ එකොළොසකි. එනම්:-

ආනාපානසතිය හා දසකසිණයෝ ය.

  1. ප්‍රථමධ්‍යානික හෙවත් ප්‍රථමධ්‍යානය පමණක් ම ගෙන දෙන කර්‍මස්ථානයෝ ද එකොළෙසකි. එනම්:කායගතාසතිය හා දස අසුභයෝ ය.
  2. ත්‍රිකධ්‍යානික හෙවත් ප්‍රථම, දුතිය, තතිය ධ්‍යාන පමණක් ගෙන දෙන කර්‍මස්ථානයෝ තිදෙනෙකි. එනම්:මෙත්තා, කරුණා, මුදිතා යන ප්‍රථම බ්‍රහ්මවිහාර තුනය.
  3. චතුර්ථධ්‍යානික හෙවත් චතුර්‍ත්‍ථධ්‍යානය පමණක් ගෙන දෙන කර්‍මස්ථානයෝ පසෙකි. එනම්:උපේක්ඛා බ්‍රහ්මවිහාරය හා සතර අරුප්ප්‍යයෝ ය.

මේ සතළිස් කර්‍මස්ථාන ධ්‍යාන ප්‍රභේද වශයෙන් සතර කොටසකට බෙදා දත යුතු.

යට දක්වන ලද චතුර්විධ ප්‍රභේදයන් අතුරෙන් චතුෂ්කධ්‍යානික හා ත්‍රිකධ්‍යානික කර්‍මස්ථානයන්හි ඇත්තේ අඞ්ග සමතික්‍රමය යි. එනම්- විතර්කාදී ධ්‍යානාඞ්ගයන් ඉක්මවා ඒ අරමුණු කොට ම ද්විතියධ්‍යානාදිය ඉපදවීම ය. චතුර්ථධ්‍යානිකයෙහි වූ උපේක්ඛා බ්‍රහ්මවිහාරයෙහි ද ඇත්තේ අඞ්ගසමතික්‍රමයයි. එහිදී මෙත්තාදිය පිළිබඳ අරමුණෙහි සොමනස්සය ඉක්මවා ලැබිය යුතු හෙයිනි. සතර ආරුප්ප්‍යයන්හි ඇත්තේ ආරම්මණ සමතික්‍රමයයි. එහිදී ආකාශ කසිණය හැර සෙසු පඨවි ආදි නව කසිණයන් අතුරෙන් යම් කිසිවක් ඉක්මවා ආකාසානඤ්චායතනය ලැබිය යුතු. ආකාශාදිය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනාදිය ලැබිය යුතු. සෙසු කර්‍මස්ථානයන්හි එවැනි සමතික්‍රමයක් හෙවත් අඞ්ග හෝ ආරම්මණ ඉක්මවීමක් නැත. මෙසේ සමතික්‍රම වශයෙන් කර්‍මස්ථාන දත යුතු.

මේ සතළිස් කමටහන් අතුරෙන් පැතිරවීම් වශයෙන් වැඩිය යුතු වන්නේ දස කසිණ පමණකි. ඒ කසිණ යම්තාක් තැන් පතුරුවා ද එතෙක් තැන් දිව්‍යශ්‍රෝතාභිඥාවෙන් ශබ්ද අසන්නට ද, දිව්‍ය චක්‍ෂුරභිඥායෙන් රූප දකින්නට ද, චේතෝපරියඤාණයෙන් පරසිත් දැනගන්නට ද උපකාරවේ. අන්‍ය වූ තිස් කර්මස්ථාන වැඩීමෙන් හෙවත් පැතිරවීමෙන් ප්‍රයෝජනයක් නැත. මෙසේ වර්ධනාවර්ධන වශයෙන් කර්මස්ථාන දත යුතු.

ආරම්මණ වශයෙන් වනාහි, දස කසිණ, දස අසුභ, ආනාපානසති, කායගතාසති යන දෙවිසි කර්මස්ථානයෝ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට පවතී. සතර බ්‍රහ්ම විහාරයෝ ද, ආකාසානඤ්චායතනය සහ ආකිඤ්චඤ්ඤායතනය යන කර්මස්ථාන සය ප්‍රඥප්ති අරමුණු කොට පවතී. විපුබ්බකය, ලොහිතකය, පුලවකය, ආනාපාන සතිය, ආපො කසිණය, තෙජො කසිණය, වායො කසිණය හා සූර්‍ය්‍යාලොකාදියෙන් ගන්නා ආලොක කසිණය යන මේ කර්මස්ථාන අට චලිතාරම්මණ අරමුණු කොට ප්‍රතිභාග නිමිති ඉපදීමට පූර්වභාගයෙහි පවතී. ප්‍රතිභාග නිමිති උපන් කල්හි එය අචලිත ම වේ. සෙසු කර්මස්ථානයෝ අචලිත අරමුණු ඇත්තාහු වෙති. ආනාපාන සතිය හා කායගතා සතිය හැර සෙසු අනුස්සති අට ද, ආහාරප්‍රතික්කුල සංඥාව, චතුධාතු වවත්‍ථානය, විඤ්ඤාණඤ්චායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන මේ කර්මස්ථානයෝ ස්වභාව ධර්‍ම අරමුණු කොට පවත්නාහ.

මේ සතළිස් කර්මස්ථානයන් අතුරෙන් දස අසුභ, කායගතාසති, ආහාර ප්‍රතික්කුලසංඥා යන කර්මස්ථාන දොළොස දෙව භූමියෙහි නොලැබේ. ඒ දොළොස හා ආනාපාන සතිය ද රූපාවචර බ්‍රහ්ම භූමියෙහි නැත: අරූප තලයන්හි සතර ආරුප්‍යයෝ පමණක් ලැබේ. මනුෂ්‍ය භූමියෙහි මේ සතළිස් කමටහන ම ලැබෙත්.

කමටහන් ගැනීම ත්‍රිවිධාකාරයෙන් සිදුවේ. එනම්:-දැකීමෙන් ද, ඇසීමෙන් ද, ස්පර්ශ කිරීමෙන් ද යන තුන් ආකාරයෙනි.

වායෝ කසිණය හැර සෙසුකසිණ නවය ද, දස අසුභ ද යන එකුන් විසි (19) කර්මස්ථානයෝ පූර්‍වභාගයෙහි දී ඇසින් දුටු වස්තු කරණ කොට ගෙන ම උග්ගහ නිමිත්ත ඉපිද විය යුතු. කායගතාසතියෙහි තචපඤ්චකය දැකීමෙන් ම අරමුණ ගතයුතුවේ සෙස්ය ඇසීමෙන් ගතයුතු. එබැවින් එය දිට්ඨ, සුත වශයෙන් ගතයුතු. ආනාපාන සතිය වනාහි ස්පර්ශයෙන් ද, වායෝ කසිණය දැකීමෙන් හා ස්පර්ශ කිරීමෙන් ද ගත යුතු. සෙසු අටලොස් කර්මස්ථානයෝ ඇසීමෙන් ද ගත යුතු. සතර බ්‍රහ්මවිහාරයන් අතුරෙන් උපෙක්‍ෂා බ්‍රහ්මවිහාරය රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ ඉපද වියයුතු. අරූපාවචර කර්මස්ථානයෝ ද එසේමය.

අරූපාවචරධ්‍යාන ඉපදවීමට ආකාශ කසිණය හැර ඉතිරි කසිණ නවය ප්‍රත්‍යය වෙති. අභිඥාවන්ට නම් දස කසිණ ම ප්‍රත්‍යයවෙති. මෙත්තා, කරුණා, මුදිතා යන ප්‍රථම බ්‍රහ්මවිහාර තුන චතුර්‍ත්‍ථ වූ උපෙක්ඛා බ්‍රහ්මවිහාරයට ප්‍රත්‍යය වෙති. යට යට ආරුප්ප්‍යයයෝ මතු මතු ආරුප්ප්‍යයන්ටද නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරෝධ සමාපත්තියටද ප්‍රත්‍යය වෙති. සියලු දිට්ඨධම්ම සුඛවිහාරයෝ විදර්ශනාවට හා සමාපත්තියට ප්‍රත්‍යය වෙත්. මෙසේ කර්මස්ථානයන්ට ප්‍රත්‍යය වීම දත යුතු.

චරිත වශයෙන් වනාහි, රාග චරිතයා හට-දස අසුභ, කායගතා සති යන එකොළොස අනුකූල වෙති. ද්වේෂ චරිතයා හට-සතර බ්‍රහ්මවිහාර හා නීලාදි වර්‍ණ කසිණ සතරය යන අට අනුකූල වෙති. මෝහ චරිතයා හට හා විතර්ක චරිතයා හට ද-ආනාපාන සතිය අනුකූල වේ. ශ්‍රද්ධා චරිතයා හට, බුද්ධානුස්සති ආදී ප්‍රථම අනුස්සති සය අනුකූල වෙති. බුද්ධි චරිතයාහට-මරණ සතිය, උපසමානුස්සති, චතුධාතුවවත්‍ථාන, ආහාරපටික්කූල සංඥා යන සතර අනුකූල වෙති. වර්‍ණ කසිණ සතර හැර සෙසු කසිණ ද සතර ආරුප්‍යය ද සියල්ලන්ටම අනුකූල වෙති.

කසිණයන් අතුරෙන් පරිත්ත කසිණය, විතර්ක චරිතයාට ද, අප්‍රමාණ කසිණය මෝහ චරිතයාට ද අනුකූල වේ.

යට දක්වන ලද කමටහන් අතුරෙන් ස්වකීය චරිතානුකූල වූ කමටහනක් ගැණීම පිණිස කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කරා පැමිණි යෝගාවචරයා විසින් පළමු කොට බුදුරජාණන් වහන්සේ වෙත හෝ ආචාර්‍ය්‍යයන් වහන්සේ වෙත හෝ තම ආත්මභාවය පාවාදී පූර්‍ණධ්‍යාශයයෙන් හා පූර්‍ණාධිමුක්තියෙන් යුක්තව කමටහන් ඉල්ලිය යුතු. බුදුරජාණන් වහන්සේට තම ආත්ම භාවය පාවාදීමෙන් ආරණ්‍ය සේනාසනාදීන්හි බිහිසුණු අරමුණු එළඹැ සිටියත් බිය නොවී සොම්නස් වීමට එය ම උපකාර වන්නේය. ආචාර්‍ය්‍යයන්ට පාවාදීමෙන් ආචාර්‍ය්‍යයන් අයත් පැවතුම් ඇත්තෙක්ව ඔහුගෙන් ආමිසයෙන් හා ධර්‍මයෙන් ද සංග්‍රහ ලබාගෙන, ගැඹුරු ග්‍රන්ථ ඉගෙන, ආරක්‍ෂා සහිතව භාවනා කර්‍මයෙහි යෙදිය හැකිවේ. යෝගාවචර තෙමේ පූර්‍ණධ්‍යාශයයෙන් යුක්තවූයේ නම් තුන් බෝධින් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණ සසරින් එතර වන්නේය.

බෝධිඥානය මුහුකුරීම හෙවත් පූර්‍ණධ්‍යාශය සම්පන්න වීම සයාකාරයකින් සිදුවේ.

එනම්:-

  1. ලොභයෙහි දොස් දක්නා බෝසත්වරු අලෝභා- ධ්‍යාශය ඇත්තෝ වෙති. සෑම අවස්ථාවන්හි දීමෙහි කෙසේ නිර්ලොභවමෝදැයි සිතා අලොභ අදහස් ඇත්තෝ වෙති.
  2. ද්වේෂයෙහි දොස් දක්නා බෝසත්වරු අද්වේෂා- ධ්‍යාශය ඇත්තෝ වෙති.
  3. මෝහයෙහි දොස් දක්නා බෝසත්වරු අමෝහා- ධ්‍යාශය ඇත්තෝ වෙති.
  4. ගෘහ වාසයෙහි දොස් දක්නා බෝසත්වරු නෙක්ඛම්මධ්‍යාශය හෙවත් පැවිදි වීමෙහි අදහස් ඇත්තෝ වෙති.
  5. ගණසඞ්ගණිකායෙහි දොස් දක්නා බෝසත්වරු ප්‍රවිවේකාධ්‍යාශය හෙවත් විවේක ගැනීමේ අදහස් ඇත්තෝ වෙති.
  6. සියලු භව ගති ආදීන්හි දොස් දක්නා බෝසත්වරු නිස්සරණාධ්‍යාශය හෙවත් නිවන් සෙවීමෙහි අදහස් ඇත්තෝ වෙති.

ඉදින් ආචාර්‍ය්‍යයන් වහන්සේ පරසිත් දන්නා නුවණ ඇති කෙනෙකු වී නම්, කමටහන් ඉල්වන්නාගේ සිත් සතන් බලා චරිතයට සුදුසු කමටහන දෙන්නේය. එසේ පරසිත් දන්නා නුවණ නැති ආචාර්‍ය්‍යය කෙනකු වී නම් ඔහු කෙරෙහි කවර ධර්‍ම බහුලව පවතී ද අසුභාදීන් අතුරෙන් කවරක් මෙනෙහි කරණ විට පහසු දැනේදැයි කෙබඳු කමටහනකට සිත නැමේ දැයි විචාරා දැන කමටහන දෙන්නේය.

මෙසේ කමටහන ලබාගත් පුද්ගල තෙමේ සමාධි භාවනාවට නුසුදුසු විහාර අත්හැර, සුදුසු විහාරයක වසමින්, කුඩා පළිබෝධ ද දුරු කොට, සියලු භාවනා විධි නොපිරි හෙළමින් භාවනාවෙහි යෙදිය යුතු වේ. ආචාර්‍ය්‍යයන් වහන්සේ හා සමඟ එක විහාරයෙහි විසීම පහසු වන්නේ නම් එසේ විසිය යුතු. එසේ නො හැකි නම් ගව්වක් හෝ අඩ යොදුනක් හෝ යොදුනක් හෝ දුරින් පිහිටි සප්පාය විහාරයෙක්හි විසිය යුතු. එසේ විසීමෙන් කැමති අවස්ථාවක ආචාර්‍ය්‍යයන් හමු වී කමටහන ශුද්ධ කොට ගෙන යා හැකිවේ. එබඳු වූ සප්පාය විහාරයක්වත් නො ලබන්නේ නම් කර්‍මස්ථානය පිළිබඳ දතයුතු සියලුම දෙය මනා කොට ඉගෙන, දුරකට හෝ ගොස් සමාධි භාවනාවට සුදුසු විහාරයක වාසය කරමින් භාවනා ආරම්භ කළ යුතු.