දෙසාළිස් (42) කොට්ඨාසයන්ගේ රූප කලාප හා රූප විභාගය
| කොට්ඨාස නාම | අෂ්ටක කලාප | නවක කලාප | දසක කලාප | කලාප ගණන | රූප ගණන | |||
|---|---|---|---|---|---|---|---|---|
| ගණන | ගණන | ගණන | ||||||
| පරිපාචක තෙජො කොටස | — | — | 1 | ජීවිත නවක | — | — | 1 | 9 |
| සෙසු එකසමුට්ඨාන කොටස් 5 | 1 | උතු හෝ චිත්ත | — | — | — | — | 5 | 40 |
| ද්විසමුට්ඨාන කොටස් 4 | 2 | උතු හා චිත්ත | — | — | — | — | 8 | 64 |
| චතුසමුට්ඨාන කොටස් 32 | 32 | උතු චිත්ත ආහාර | — | — | — | — | 96 | 768 |
| උතුජ හා චිත්තජ කොටස් 2 | — | — | 1 | ශබ්ද නවක | — | — | 2 | 18 |
| පරිපාචක තෙජො ධාතුව හා ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව හැර ඉතිරි තෙජෝ වායො කොටස් 8 | — | — | 1 | ජීවිත නවක | — | — | 8 | 72 |
| උදරියං, කරීසං, පුබ්බො, මුත්තං, සෙදො, අස්සු, ඛෙළො, සිඞ්ඝාණිකා යන අට හැර ඉතිරි කොටස් 24 | — | — | — | — | 2 | කාය දසක හා භාවදසක | 48 | 480 |
| චක්ඛු, සොත, ඝාණ, ජිව්හා වත්ථු යන කොටස් 5 | — | — | — | — | 1 | චක්ඛු ආදී දසක කලාප | 5 | 50 |
| 173 | 1501 | |||||||
3. චූර්ණ හෙවත් සුණු වශයෙන්:- මධ්‍යම ප්‍රමාණ වූ ශරීරයක ලැබෙන, සුණුවිසුණු වී පරමාණු බවට පැමිණි පෘථිවි ධාතූහු ද්‍රෝණයක් පමණ වේ. පරමාණුව මෙසේ දත යුතු. අගලෙන් අටෙන් කොටස හෙවත් අටවන භාගය යවයෙක. යවයාගේ අටවන භාගය ඌකාවෙක. ඌකාවගේ අටවන භාගය ලික්ඛාය. ලික්ඛාවගේ අටවන භාගය රථරෙණුය. රථරෙණුවගේ අටවන භාගය තජ්ජාරිය. තජ්ජාරිහුගේ අටවන භාගය අණුය. අණුහුගේ අටවන භාගය පරමාණුවෙක. ඇතැම් ආචාරීහු අටවන භාගය නොව සතිස්වන භාගයක් කොට ක්‍රමයෙන් ගැණ අණුහුගේ සතිස්වන භාගය පරමාණුවෙකැයි දක්වති. මේ පරමාණුව ආකාශ කොට්ඨාසිකය, මසැසට අවිෂය ය, දිවැසට ම විෂය යයි දත යුතු. මෙසේ පරමාණු භේදයෙන් සුණු වූ සූක්ෂම රජස් වූ පෘථිවි ධාතූහු ද්‍රෝණයක් පමණ වන්නී ය. ද්‍රෝණය නම් සොළොස් නැළියක් පමණ ය. සතර මිටක් එක් පතෙක. පත සතරක් එක් නැළියෙක. නැළි සොළොසක් එක් ද්රෝණයෙක. එය මගධ නැළියෙන් දොළොස් නැළියෙක. මෙසේ මධ්‍යම ප්‍රමාණ ශරීරයක ද්‍රෝණයක් පමණ පෘථිවි ධාතූ සුණු ඇත්තේ ය. එයින් අඩක් පමණ වූ ආපො ධාතුවෙන් එය විසිර යා නොදී භාත්පසින් බැඳී පිඬුකොට ගන්නා ලද්දේ වෙයි. ඒ ආපො ධාතුවෙන් තෙත් වීමට හෝ වැගිරීමට නොයනසේ තෙජො ධාතුවෙන් රක්නා ලද්දේ වෙයි. එය ද සංඝාත වාතයෙන් පුරවන ලද්දේ වෙයි. මෙසේ සූක්ෂම වූ රජස් බවට පැමිණ ඒ පෘථිවි ධාතුව නො විහිදෙන සේ ආපො ධාතුවෙන් භාත්පසින් බැඳීමය, තෙජො ධාතුවෙන් පැසීමය, වායො ධාතුවෙන් සැළීමය යන කෘත්‍යයන්ගේ වශයෙන් උපකාර ලැබ, ස්නේහයෙන් තෙමන ලද, තේජසින් මුහුකුරුවන ලද, වාතයෙන් හම්මන ලද පිටි පිඬක් සේ පිඬුවී, ඝන වී ස්ත්‍රී පුරුෂ ලිඞ්ගාදී භාව විකල්පයට පැමිණේ. එසේම කුඩාය, මහත්ය, දිගය, කොටය, ස්ථිරය, තදය යනාදී ස්වභාවය ද පහළ කරන්නේ ය.
මේ ශරීරයෙහි ද්‍රව බවට ගියා වූ එහෙයින් ම ආබන්ධනාකාර වූ ආපො ධාතුව, පෘථිවියෙහි පිහිටන ලද්දේ, තේජසින් රක්ෂා කරණ ලද්දී, වාතයෙන් හම්මන ලද්දී, නො වැගිරී, වහනය නොවී පිණ පිණා සිටින බව දක්වයි.
ආහාර පානාදීන් පැසවන්නා වූ උෂ්මාකාරවූ, හුණු බව ලකුණු කොට ඇති කර්මජ තේජො ධාතු තොමෝ, පෘථිවි ධාතුව විසින් පිහිටන ලද්දී සහජ ධර්මයන් විසිර යා නොදී ආපො ධාතුව විසින් සංග්‍රහ කරන ලද්දී, වායුවෙන් විස්ථම්භිත වී මේ සිරුර හුණු කෙරේ. වැළඳු අහර මනාකොට පරිපාචනය කිරීමෙන්, පැසවමින් රස බවට පමුණුවමින්, ශරීරය ද පැසවමින්, තියුණු කරමින් වර්ණ සම්පත්තිය ද උපදවයි. කර්මොපනිශ්රයට හා චිත්ත ප්‍රසාදය හේතු කොට ඇති ශරීරයෙහි වර්ණ සම්පත්තියට ද තේජො ධාතුව විශේෂ ප්‍රත්‍යය වේ. උතු ආහාර සමුට්ඨාන රූපයට වනාහි යථොක්ත තේජො ධාතුව ශරීරයාගේ වර්ණ සම්පත්තිය එළවමින්, හුණු කරණ ලද මේ ශරීරය කුණුවීමට නො පමුණුවයි.
මේ ශරීරයෙහි, අඞ්ගමඞ්ගානුසාරී වූ හෙවත් ධමනි ජාලානුසාරයෙන් අඞ්ගප්රත්යඞ්ගයන්හි පැතිර පවත්නා වූ, සමුදීරණ විත්ථම්භන ලක්ෂණ වූ හෙවත් සොළවන හම්මවන ලක්ෂණ ඇති වායො ධාතුව පෘථිවියෙහි පිහිටන ලද්දී, සහජ ධර්මයන් වෙන්වී යා නොදී ආපො ධාතුයෙන් සංග්‍රහ කරණ ලද්දී, සහජ ධර්මයන් බිඳී යානොදී තේජසින් රක්නා ලද්දී මේ සිරුර හම්මවයි. ඒ විත්ථම්භන ලක්ෂණ වූ වායො ධාතුව විසින් හම්මන ලද මේ කය බිම නොහෙයි. සෘජුව සිටියි. අනික් සමුදීරණ ලක්ෂණ වූ වායො ධාතුව විසින් ඒ ඒ දිසාවන්හි උත්පත්තියට හේතුවන ආකාරයෙන් පහරණ ලද මේ ශරීරය, ගමනය, සිටීමය, හිඳීමය, හෙවීමය යන ඉරියව් කෙරෙන් විඥප්තිය දක්වයි. අත්පා හකුළුවයි, දික්කරයි, ළෙලවයි, පරිවර්තනය කෙරෙයි.
මෙසේ මේ ස්ත්‍රී පුරුෂාදි භාවයෙන් බාල ජනයා වඤ්චා කරණ මායා රූපයක් බඳු ධාතුමය වූ මේ සිරුර සූත්‍ර බලයෙන් පවත්නා යන්ත්‍ර රූපයක් මෙන්, ක්‍රියා කරවන්නා වූ ආත්මයක් නැතිව, චිත්ත බලයෙන් ධාතුමය යන්ත්‍රය පවත්නේ යයි සලකා සුඤ්ඤ වශයෙන් මෙනෙහි කටයුතු.
4. ලක්ෂණාදි වශයෙන්:- පඨවී ධාතුව, කර්කශ බව හෙවත් තද බව ලක්ෂණ කොට ඇත්තීය. සහජාත ධර්මයන්ට පිහිට බව කෘත්‍යය කොට ඇත්තීය. සහජාත ධර්මයන් පිළිගන්නා ආකාරයෙන් බුද්ධියට වැටහෙන හෙයින් පිළිගැන්ම වැටහීම් කොට ඇත්තීය.
ආපො ධාතුව, පග්ඝරණ ලක්ෂණය හෙවත් වෑහෙන බව ලක්ෂණ කොට ඇත්තීය. සහජාත ධර්මයන් වඩනා බව කෘත්‍යය කොට ඇත්තීය. සහජාත ධර්මයන් පිඬු කිරීම වැටහීම් කොට ඇත්තීය.
තෙජො ධාතුව, හුණු බව ලක්ෂණ කොට ඇත්තීය. සහජාත ධර්මයන් මිහි කිරීම කෘත්‍යය කොට ඇත්තීය. සහජාත ධර්මයන්ට මෘදු බව දීම වැටහීම් කොට ඇත්තීය.
වායො ධාතුව, විත්ථම්භන ලක්ෂණ හෙවත් හැම්මීම ලක්ෂණ කොට ඇත්තීය. සමුදීරණය හෙවත් චලනය කෘත්‍යය කොට ඇත්තීය. භූත සමූහය පිහිටි තැනින් අන් තැනෙක ඉපදීමට හේතු වන ආකාරයෙන් සැලීම වැටහෙන ආකාරය වේ. මෙසේ ලක්ෂණාදි වශයෙන් මෙනෙහි කටයුතු.
5. සමුට්ඨාන වශයෙන්:- යට දක්වන ලද පරිදි සතර ධාතූහු, දෙසාළිස් කොටස් වශයෙන් ගෙන, ඒ දෙසාළිස් කොටස් අතුරෙන්, නො පැසුණු ආහාරය, පැසුණු ආහාරය, සැරවය, මූත්‍රය යන කොටස් සතර සෘතුවෙන් ම උපදනාහු ය. කඳුලුය, ඩහදිය ය, කෙළය, සොටුය යන මේ සතර කොටස් කලෙක සෘතුවෙන් ද, කලෙක චිත්තයෙන් ද උපදිති. ආහාරාදීන් පැසවන තෙජස, කර්මයෙන්ම වන්නේ ය. ආශ්වාස ප්‍රශ්වාසයෝ චිත්තයෙන් ම වන්නාහ. සෙසු දෙතිස් කොටස්හුම චතුසමුට්ඨානයහ හෙවත් කර්ම, චිත්ත, සෘතු, ඕජා යන සතරින් ම වන්නාහයි මෙසේ සමුට්ඨාන වශයෙන් මෙනෙහි කළ යුතු.
6. නානත්ත ඒකත්ත වශයෙන්:- සියලු ධාතූන්ගේ තම තමන්ට ම නියත කක්ඛලාදී ලක්ෂණය, රසය යනාදීන්ගේ වශයෙන් වෙනස් බව හෙවත් නානත්වය වෙයි. පඨවි ධාතුහුගේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය යන මොහු අනිකෙක. ආපො ධාතු ආදීන්ගේ ද ලක්ෂණාදිය අන්‍යයෝ ය. මෙසේ ලක්‍ෂණාදී වශයෙන් ද, කම්මසමුට්ඨානාදී වශයෙන් ද, නානා ස්වභාව වූ මේ සතර මහා ධාතූන්ගේ, රූපය, මහා භූතය, ධාතුය, ධර්මය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය ය, යන මොවුන්ගේ වශයෙන් සමානත්ත්වය හෙවත් ඒකත්ත්වය වෙයි.
සියලු ධාතුහු ම රුප්පන ස්වභාවය නොඉක්මෙන හෙයින් රූපම වෙත්. රුප්පන ස්වභාවය නම් ශීතාදී විරුද්ධ ප්‍රත්‍යය ඇති කල්හි වෙනස්ව ඉපදීමට හේතු වන ස්වභාවය ඇතිවීමයි.
මහත්ව පහළවීම් ආදී කරුණෙන් මහාභූත නම් වෙත්. මේ මහත්ව පහළවීම ද සසම්භාර ධාතූන්ගේ වශයෙන් දත යුතු. මේ ධාතුහු:-
- මහත්ව පහළවූ හෙයින් ද,
- මහා භූතයන් හා සමාන බැවින් ද,
- මහත් පෙරහැර ඇති හෙයින් ද,
- මහත් විකාර ඇති හෙයින් ද,
- මහත් බැවින් ද,
- විද්‍යමාන බැවින් ද යි මෙතෙක් කරුණෙන් මහා භූතයයි කියනු ලැබෙත්.
- මේ භූතයෝ පෘථිවි, පර්වතාදී අනුපාදින්න සන්තානයෙහි ද දෙවිමිනිස් ආදී වූ උපාදින්න සන්තානයෙහි ද නොයෙක් සියදහස් රූප කලාප සමූහ වශයෙන් ද, සන්තති වශයෙන් ද, සීමා රහිත ප්‍රමාණ ඇතිව මහත්ව පහළ වෙත්. අනුපාදින්න සන්තානයන්හි මේ මහා පොළොව බොළින් දෙලක්ෂ සතළිස් දහසක් යොදුනැයි කියන ලදී. මේ ආදී වශයෙන් මහත්ව පහළ වූ බව දත යුතු. උපාදින්න සන්තානයෙහි ද මස්, කැසුබු, දෙවි, රකුස් ආදීන්ගේ තුන්ගව් ආදී පමණ ශරීර වශයෙන් මහත් බව පහළ වූහයි වදාරණ ලද ම ය. “මහණෙනි, මහා සාගරයෙහි යොදුන් සියයක් පමණ ද වූ ආත්මභාව ඇත්තාහු ඇත” යනාදී වශයෙන් බුදුන්වහන්සේ විසින් වදාරණ ලදී.
- යම්සේ මායාකාර තෙමේ මැණික් නොවූම වූ ජලය මැණික් කොට දක්වා ද, ස්වර්ණ නොවූම වූ කැට ස්වර්ණ කොට දක්වා ද, යක්ෂ නොවූයේම යක්ෂණී නොවූවාම, යක්ෂයෙකු කොට යක්ෂණියක කොට දක්වා ද, එපරිද්දෙන් ම භූතයෝ තුමූ නිල් නොවූම නිල්වූ උපාදා රූප දක්වති, රන්වන් නොවූම, රක්ත නොවූම, සුදු නොවූම රන්වන්ව, රක්තවර්ණව, සුදුව උපාදා රූපයන් දක්වත්. මායාකාර මහා භූතයා සමාන බව ඇති හෙයින් මේ සතරට මහා භූතයයි කියනු ලැබේ. යම්සේ යක්ෂාදී මහා භූතයන් විසින් අල්වාගන්නා ලද්දවුන්ගේ ශරීරයෙහි ඇතුළත හෝ පිටත හෝ ඔවුන්ගේ සිටීම නොදත හැකි වේ ද, ඔවුන් නිසා නො සිටිතැයි ද නො දතහැකි වේ ද, එපරිද්දෙන්ම මේ මහා භූතයෝ ද ඔවුනොවුන්ගේ ඇතුළත හෝ පිටත හෝ සිටිතැයි නොදත හැකිවේ. ඔවුනොවුන් නිසා නොසිටිනාහු යයි ද නොවෙතියි නොදත හැකිවේ. එහෙයින් යක්ෂාදී මහා භූතයන් සමාන වන බැවින් ද මේ සතර දෙන මහා භූත නම් වෙත්. එසේම යම්සේ යක්ෂණී සඞ්ඛ්‍යාත මහා භූතයෝ මනාපවූ කාළ ශ්යාමාදී වර්ණයෙන් ද, සංස්ථානයෙන් ද, වික්‍ෂෙපයෙන් ද තමාගේ භයානක බව මුවහ කොට සතුන් වඤ්චා කෙරෙත් ද, එපරිද්දෙන් ම මේ භූතයෝ ද ස්ත්‍රී පුරුෂ ශරීරාදියෙහි මනාපවූ අඞ්ගප්‍රත්‍යඞ්ග සටහනින් ද, මනාපවූ අත්පා ආදී ශරීරාවයවයෙන් ද, අත්පා, ඇඟිලි බැම නැටවීම් ආදියෙන් ද තමාගේ කර්කශත්ත්වාදී භේද ඇති ස්වභාව ලක්ෂණය මුවහ කොට බාල ජනයා වඤ්චා කෙරෙත්. තමාගේ ස්වභාවය දැකීමට අවකාශ නොදෙත්. එසේ වඤ්චක බැවින් යක්ෂිණී මහා භූතයන් හා සමාන වන හෙයින් මහා භූත නම් වෙත්.
- මහත් වූ ප්‍රත්‍යයෙන් පරිහරණය කටයුතු හෙයින් ද, දිනපතා බොහෝ වූ බත්පිළි ආදියෙන් පැවැත්විය යුතු හෙයින් ද, මහත් පරිවර ඇති හෙයින් ද පඨවි ආදී සතර දෙන මහා භූත නම් වෙත්.
- මේ භූතයෝ වනාහි තෘෂ්ණා දෘෂ්ටීන් යුත් කර්මයෙන් නිපන් හෙයින් උපාදින්න නම්වූවාහු ද, එසේ නොනිපන් හෙයින් අනුපාදින්න නම් වූවාහු ද, මහත් විකාර ඇති හෙයින් ද භූතයෝ නම් වෙත්. එයින් අනුපාදින්නයන්ගේ කල්ප විනාශයෙහි දී විකාර මහත්ත්වය පහළවේ. උපාදින්නයන්ගේ ධාතුක්ෂෝභ කාලයෙහි විකාරයම ප්‍රකටවේ. එහෙයින් වදාරණ ලදී.
මෙලොව ගින්නෙන් විනාශ වන කල්හි ගිනිදැල් භූමියෙන් නැග බ්‍රහ්ම ලෝකය දක්වා දුවත්.
යම් කලෙක ලෝකය කිපියාවූ දියෙන් විනාශ වෙද් ද, එකල්හි කෙළලක්ෂයක් සක්වළ නසී.
යම් කලෙක වායො ධාතුහුගේ කෝපයෙන් ලොව විනාශයට යෙද්ද, එකල්හි කෙළ ලක්ෂයක් සක්වළ විනාශයට යෙත්.
යම්සේ කාෂ්ටමුඛ නම් සර්පයා විසින් දෂ්ටවූ මේ කය දැඩිවේ ද, එමෙන් මේ කය පඨවි ධාතුහුගේ කෝපයෙන් කාෂ්ටමුඛ සර්පයාගේ මුඛයෙහි වූවක්හු මෙන් දැඩි වේ.
පූතිමුඛ නම් සර්පයා විසින් දෂ්ටවූවක්හු මෙන් මේ කය ආපො ධාතුහුගේ කෝපයෙන් කුණුවෙයි. පූතිමුඛ නම් සර්පයාගේ මුවෙහි වූවක්හු මෙන් වේ.
අග්නිමුඛ නම් වූ සර්පයා විසින් දෂ්ටවූවක්හු මෙන් තෙජො ධාතුහුගේ කෝපයෙන් මේ කය තැවෙයි. අග්නිමුඛ නම් සර්පයාගේ මුවෙහි වූවක්හු මෙන් වේ.
ශස්ත්රමුඛ නම් වූ සර්පයා විසින් දෂ්ට වූවක්හු මෙන් මේ කය වායො ධාතුහුගේ කිපීමෙන් සුණු වේ. ශස්ත්රමුඛ සර්පයාගේ මුවෙහි වූවක්හු මෙන් වේ.
මෙසේ මහත් විකාර ඇති හෙයින් ද මහා භූත නම් වෙත්.
5. මේ භූතයෝ යථා ස්වභාවයෙන් ම මහත් ව්‍යායාමයෙන් පරිග්‍රහ කටයුතු බැවින් මහත් ය. එහෙයින් ද මහා භූත නම් වෙත්.
6. මේ භූතයෝ ස්වභාව වශයෙන් විද්‍යමාන බැවින් ද, මහත් බැවිනුත් විද්‍යමාන වන හෙයින් ද මහා භූත නම් වෙත්.
මේ සියලු ධාතුහුම මහන්තපාතුභාවාදි කාරණයෙන් මහා භූත නම්හු වෙත්.
ස්වලක්ෂණ ධරණ හෙයින් ද, දුක් පමුණුවන හෙයින් ද, දුක් විධාන කරණ හෙයින් ද, හැම දෙනම ධාතු ලක්ෂණය නො ඉක්මුණු හෙයින් ද ධාතු නම් වෙත්.
ස්වලක්ෂණය දැරීමෙන් ද, රූපධර්මයන්ගේ ක්ෂණය ඉතා ස්වල්ප නොවන බැවින් තමන්ගේ ක්ෂණයට අනුරූප කොට දැරීමෙන් ද ධර්ම නම් වෙත්.
ක්ෂණ භඞ්ගුර හෙයින් හෙවත් තමා අයත් ක්ෂණයට සුදුසු සේ සතළොස් (17) චිත්තක්‍ෂණායුෂ්ක කාලයක් පැවත බිඳෙන අර්ථයෙන් අනිත්‍යයහ.
උදය, ව්‍යය දෙකින් පෙළීම් ආදියෙන් භය ඇති වන හෙවත් භයට කාරණා වන අර්ථයෙන් දුක්ඛයහ.
ආත්ම සාරයෙනුත් සූන්‍ය හෙයින් අනාත්මයහ.
මෙසේ සියලු ධාතූන්ගේ ම රූපය, මහාභූතය, ධාතුය, ධර්මය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනාදී වශයෙන් එකත්ත බව දත යුතු. මෙසේ නානාත්ව එකත්ව වශයෙන් ද සියලු ධාතූන් මෙනෙහි කටයුත්තාහ.
7. විනිර්භෝග අවිනිර්භෝග වශයෙන්:- පඨවි, ආපො, තෙජො, වායො යන මේ ධාතූහු සතර දෙන එක්ව ඉපිද, එක්ව පැවත, සමාන කාලයෙහි ලැබ, යටත් පිරිසෙයින් ශුද්ධාෂ්ටකාදී එකී එකී කලාපයෙහි වෙන් වෙන් කොට බෙදිය නො හැකිවේ. යම් තැනෙක ධාතූන් තුන්දෙනහට පිහිට වශයෙන් පඨවි ධාතුව පවතී ද, එතැන්හිම හාත්පසින් බැඳීමය, පැසවීමය, සමුදීරණය හෙවත් සැලීමය යන කෘත්‍ය සිද්ධ කරමින් ආපො ධාතුවය, තෙජො ධාතුවය, වායො ධාතුවය යන ධාතූන් ද ඇත්තාහ. මෙසේ සතර ධාතූන් වෙන් වෙන් කොට ගත නොහැකි හෙයින් අවිනිර්භෝගයහ. ලක්ෂණ වශයෙන් වනාහි වෙන් වෙන් වූ ලක්ෂණ ධරණ හෙයින් විනිර්භෝගයහ. මෙසේ විනිර්භෝග අවිනිර්භෝග වශයෙන් ද ධාතූන් මෙනෙහි කටයුතු.
8. සභාග - විසභාග වශයෙන්:- මෙසේ වෙන් ව නො පවත්නාද වූ මේ සතර ධාතූන් අතුරෙන් පළමු ධාතු දෙක හෙවත් පඨවි - ආපො යන ධාතු දෙක ගරුක බැවින් නොහොත් බර බැවින් ඔවුනොවුන්ට සභාගයහ. පශ්චිමවූ ධාතු දෙක හෙවත් තෙජො - වායො යන ධාතු දෙක ලහුක බැවින් නොහොත් සැහැල්ලු බැවින් ඔවුනොවුන් හා සභාගයෝ ය. එසේ ම පළමු වූ පඨවි - ආපො යන ධාතු දෙක, පශ්චිම වූ තෙජො - වායො යන ධාතු දෙක හා ද, පශ්චිම වූ තෙජො - වායො යන ධාතු දෙක, පළමු වූ පඨවි - ආපො යන ධාතු දෙක හා ද විසභාගයෝ ය. මෙසේ සභාග - විසභාග වශයෙන් ධාතූන් මෙනෙහි කටයුත්තාහ.
9. අධ්‍යාත්මික - බාහිර වශයෙන්:- අධ්‍යාත්මික වූ හෙවත් සත්ත්වසන්තානයට ඇතුළත් වූ පඨවි, ආපො, තෙජො, වායො යන සතර ධාතූහු චක්ෂුරාදී විඥාන වස්තූන් සදෙනාට ද, විඥප්තීන් දෙදෙනාට ද, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, ජීවිතින්ද්රිය යන්ට ද නිශ්‍රය වෙත්. බාහිර වූ හෙවත් අනින්‍ද්‍රියබද්ධ සන්තානයෙහි වූ සතර ධාතූහු විපරිත වූ ප්‍රකාර ඇත්තාහු වෙත්. විඥාන වස්තු, විඥප්ති, ඉන්ද්‍රියයන්ට නිශ්‍රය නොවෙත්. ඉරියාපථ ආදිය නූපදවත්, චතුසමුට්ඨානික නොවෙත්. මෙසේ සතර ධාතූහු අධ්‍යාත්මික - බාහිර වශයෙන් මෙනෙහි කටයුතු.
10. සංග්‍රහ වශයෙන්:- කර්මයෙන් හටගත් පෘථිවි ධාතු තොමෝ කම්මසමුට්ඨාන ආපො, තෙජො, වායො යන අන්‍ය ධාතූන් හා සමාන ජාති ඇත්තවුන්ගේ සඞ්ග්‍රහය හෙවත් සජාතීය සංග්‍රහ වශයෙන් එක සංග්‍රහ වේ. එසේ ම චිත්ත, ඍතු, ආහාර සමුට්ඨාන වූ පාථිවි ධාතුව ද චිත්ත, ඍතු, ආහාර සමුට්ඨාන වූ ආපො, තෙජො, වායෝ යන ධාතූන් හා එක සංග්‍රහ වෙත්. මෙසේ සංග්‍රහ වශයෙන් ධාතූහු මෙනෙහි කටයුත්තාහ.
11. ප්‍රත්‍යය වශයෙන්:- පඨවි ධාතුව, ආපො ධාතුව විසින් සංග්‍රහ කරණ ලදුව, තෙජො ධාතුව විසින් රක්ෂා කරණ ලදුව, වායො ධාතුව විසින් හම්මන ලදුව මෙසේ සහජාත තුන් මහා භූතයන්ට සන්ධාරණ වශයෙන් පිහිටව සහජාතාදි වශයෙන් ප්‍රත්‍යය වේ.
ආපො ධාතුව, පඨවි ධාතුවෙන් ප්‍රතිෂ්ඨා ලදුව, තෙජො ධාතුවෙන් රක්ෂා කරණ ලදුව, වායො ධාතුව විසින් හම්මන ලදුව, මෙසේ සහජාත තුන්මහා භූතයන්ට ආබන්ධන වශයෙන් උපකාර වේ.
තෙජො ධාතුව, පඨවි ධාතුවෙහි පිහිටා, ආපො ධාතුවෙන් සංග්‍රහ කරණ ලදුව, වායො ධාතුවෙන් හම්මන ලදුව, මෙසේ සහජාත තුන් මහා භූතයන්ට පැසවීම් වශයෙන් උපකාර වේ.
වායො ධාතුව, පඨවි ධාතුවෙහි පිහිටා, ආපො ධාතුවෙන් සංග්‍රහ කරණ ලදුව, තෙජො ධාතුවෙන් රක්ෂා කරණ ලදුව, මෙසේ සහජාත තුන්මහා භූතයන්ට විත්ථම්භන වශයෙන් උපකාර වේ.
මෙසේ මේ සතර ධාතූහු ඔවුනොවුනට ප්‍රත්‍යය වශයෙන් මෙනෙහි කළ යුතු.
12. අසමන්නාහාර වශයෙන්:- මේ සතර ධාතූන් අතුරෙන් පඨවි ධාතුව “මම පඨවි ධාතු වෙමි යි ද, සෙසු තුන් මහා ධාතූන්ට පිහිටව ප්‍රත්‍යය වෙමි යි ද” නොදනි. සෙසු ධාතූන් තුන්දෙන ද අපට පෘථිවි ධාතුව පිහිටව ප්‍රත්‍යය වේ යයි නො දන්නාහ. මෙසේ සතර ධාතූහු ඔවුනොවුන් මෙනෙහි නො කරණ බව සැලකීම් වශයෙන් නොහොත් අසමන්නාහාර වශයෙන් මෙනෙහි කළ යුතු.
13. ප්‍රත්‍යය විභාග වශයෙන්:- ධාතූන්ට වනාහි කම්ම, චිත්ත, සෘතු, ආහාර යන ප්‍රත්‍යයයෝ සතර දෙනෙකි. ඒ සතර දෙනා අතුරෙන් කර්ම සමුට්ඨාන ධාතූන්ට කර්මය ම ජනක ප්‍රත්‍යය වේ. චිත්ත, සෘතු, ආහාරාදීහු ජනක වශයෙන් ප්‍රත්‍යය නොවෙත්. චිත්තාදියෙන් හටගත් ධාතූන්ට චිත්තාදීහු ම ජනක වශයෙන් උපකාර වෙත්. කර්මාදී ප්‍රත්‍යයෝ ජනක වශයෙන් උපකාර නොවෙත්.
තවද කම්ම සමුට්ඨාන ධාතූන්ට කර්මය ජනක ප්‍රත්‍යය වෙයි. සෙසු ධාතූන්ට අප්‍රධාන වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් උපකාර වෙයි.
චිත්ත සමුට්ඨාන ධාතූන්ට චිත්තය ජනක ප්‍රත්‍යය වෙයි. කර්මාදී සෙසු ත්රිසමුට්ඨාන භූතයනට ඒ චිත්තය පච්ඡාජාත, අත්ථි, අවිගත යන තුන් ආකාරයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම ආහාර සමුට්ඨාන ධාතූන්ට ඒ ආහාරය ජනක ප්‍රත්‍යය වේ. සෙසු තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා ධාතූන්ට ඒ ආහාරය, ආහාර, අත්ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ. සෙසු තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා ධාතූන්ට ඒ ඍතුව අත්ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ.
කම්ම සමුට්ඨාන මහා භූතය කම්ම සමුට්ඨාන මහා භූතයන්ට ද ප්‍රත්‍යය වෙයි. චිත්ත සමුට්ඨානාදී මහා භූතයනට ද ප්‍රත්‍යය වේ. චිත්ත සමුට්ඨාන ආහාර සමුට්ඨානයෝ ද එසේ ම ය. ඍතු සමුට්ඨාන මහා භූතය ඍතු සමුට්ඨාන මහා භූතයන්ට ද ප්‍රත්‍යය වෙයි. කම්ම සමුට්ඨානාදී මහා භූතයන්ට ද ප්‍රත්‍යය වේ.
කම්ම සමුට්ඨාන පඨවි ධාතුව, කම්ම සමුට්ඨාන ආපො, තෙජො, වායො ධාතූන්ට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිශ්‍රය, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තියෙන් ද ප්‍රතිෂ්ඨා වශයෙන් හෙවත් ආධාර වශයෙන් ද උපකාර වේ. ජනක වශයෙන් ප්‍රත්‍යය නොවේ. සෙසු තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා වූ ද, සන්තති වශයෙන් පවත්නා වූ ද සතර මහා භූතයන්ට නිශ්‍රය, අත්ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රතිෂ්ඨා වශයෙන් හා ජනක වශයෙන් ද ප්‍රත්‍යය නොවේ. පෘථිවි ධාතුහුගේ ප්‍රතිෂ්ඨා භාවය, සහජාත ධර්මයන්ට ම වේ.
කම්ම සමුට්ඨාන ආපො ධාතුව, සෙසු මහා භූතයන්ට සහජාත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් හා ආබන්ධන ශක්තියෙන් හෙවත් හාත්පසින් බැඳිම් වශයෙන් ද උපකාර වේ. ජනක වශයෙන් උපකාර නොවේ. අවශේෂ තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා මහා භූතයන්ට නිශ්‍රය, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ. ආබන්ධන වශයෙන් හෝ ජනක වශයෙන් හෝ උපකාර නොවේ.
කම්ම සමුට්ඨාන තෙජො ධාතුව, සෙසු මහා භූත තුනට සහජාත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් ද පැසවීම් වශයෙන් ද උපකාර වේ. ජනක වශයෙන් උපකාර නොවේ අවශේෂ තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා මහා භූතයනට නිශ්‍රය, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ. ජනක වශයෙන් හෝ පැසවීම් වශයෙන් හෝ උපකාර නොවේ.
කම්ම සමුට්ඨාන වායො ධාතුව, සෙසු තුන් මහා භූතයන්ට සහජාත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් හා හැමීමීම් වශයෙන් ද උපකාර වේ. ජනක වශයෙන් උපකාර නොවේ. අවශේෂ තුන් ප්‍රත්‍යයයෙන් හටගන්නා මහා භූතයන්ට නිස්සය, අත්ථි, අවිගත වශයෙන් ම උපකාර වේ. ජනක වශයෙන් හෝ හැමීමීම් වශයෙන් හෝ උපකාර නොවේ.
චිත්ත සමුට්ඨාන, සෘතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන- යන්ගෙන් හටගන්නා මහා භූතයන්ගේ ප්‍රත්‍යය වීම ද මේ ක්‍රමයෙන් ම දත යුතු.
පඨවි ආදි ධාතුන් අතුරෙන් එකි එකී ධාතුන් නිසා අනික් තුන් තුන් දෙනෙක් වෙති. මෙසේ එක් ධාතුවක් නිසා ධාතුන් තුන් දෙනෙක් සතර පරිද්දෙකින් පවතිති.
එසේම පඨවි ආදි සතර ධාතුන් අතුරෙන් ධාතුන් තුන් තුන් දෙනා නිසා එක් ධාතුවක් පවති. එබැවින් ධාතු තුනක් නිසා එක් ධාතුවක් සතර පරිද්දෙකින් පවති.
- පූර්ව වූ පඨවි, ආපො දෙදෙන නිසා පශ්චිම වූ තෙජො, වායො දෙදෙන ද, පශ්චිම වූ තෙජො, වායො දෙදෙන නිසා පූර්ව වූ පඨවි, ආපො දෙදෙන ද, පඨවි, තෙජො දෙදෙන නිසා ආපො, වායො දෙදෙන ද,
- ආපො, වායො දෙදෙන නිසා පඨවි, තෙජො දෙදෙන ද, පඨවි, වායො දෙදෙන නිසා ආපො, තෙජො දෙදෙන ද, ආපො, තෙජො දෙදෙන නිසා පඨවි, වායො දෙදෙන දැ යි.
මෙසේ ධාතූන් දෙදෙනෙක් නිසා ධාතූන් දෙදෙනෙක් සය ආකාරයෙකින් පවත්නාහ. මේ ප්‍රත්‍යය භාවය ද සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ථි, අවිගත ප්‍රත්‍යය වශයෙන් වේ.
තවද, මේ සතර ධාතූන් අතුරෙන් පඨවි ධාතුව, අභික්කම, පටික්කමාදි කාලයෙහි හෙවත් ඉදිරියට යාම, ආපසු ඊම යනාදී කායික ක්‍රියා පවත්නා කාලයෙහි, ගැටීම පෘථිවි ධාතුවෙන් ම වන හෙයින්, ගැටීම ම උපකාරවේ. ඒ පඨවි ධාතුව ම, ආපො ධාතුව විසින් අනුව යන ලද්දී, පාදය භූමියෙහි තැබීමට උපකාර වේ. පඨවි ධාතුවට අනුගත ආපො ධාතුව පාදය යට හෙළීමට උපකාරවේ. වායො ධාතුව අනුව යන ලද තෙජො ධාතුව පාදය උඩට එසවීමට උපකාරවේ. තෙජො ධාතුවට අනුගත වූ වායො ධාතුව අතිහරණ විතිහරණයට හෙවත් පය අභිමුඛයට යැවීමට හා සරසට යැවීමටද උපකාරවේ.
මෙසේ ප්‍රත්‍යය විභාග වශයෙන් ද සතර ධාතූහු මෙනෙහි කළ යුතු.
වචනාර්ත්ථාදී වශයෙන් මෙසේ සතර ධාතූහු මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාහට, ඒ තෙළෙස් ආකාරයන් අතුරෙන් එකි එකී ආකාරයෙන් ධාතූහු ප්‍රකට ව පහළ වෙත්. එසේ නැවත නැවත ආවර්ජනා කරන, මෙනෙහි කරන යෝගාවචරයාහට පෙර කී පරිද්දෙන් උපචාර සමාධිය උපදී. මෙසේ සතර ධාතූන් ව්යවස්ථාකරන ඥානයාගේ වශයෙන් උපදනා උපචාර සමාධිය, චතුධාතු වවත්ථාන යයි සඞ්ඛ්‍යාවට යන්නේ ය.
මේ චතුධාතු වවත්ථාන කර්මස්ථාන භාවනායෙහි යෙදුණු යෝගාවචර තෙම, සත්ත්වසූන්යතා බව දැක සත්ත්වය යන සංඥාව නසා අරණ්‍ය සෙනසුන් ආදියෙහිදී ව්‍යාල මෘග, යක්ෂ, රාක්ෂස යයි විභාගයට නො පැමිණ, ධාතු මාත්‍රය වැටහීමෙන් භය භෙරවයන් ඉවසන්නේ ය. ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුසල ධර්මයන්හි අරතිය හෙවත් නො ඇලීම ද, පස්කම් ගුණයෙහි රතිය හෙවත් ඇල්ම ද මැඩපවත්නේ ය. ඉෂ්ටාරම්මණයෙහි ඉපිලීමට ද, අනිෂ්ටාරම්මණයෙහි බැගෑ බවට ද නො පැමිණෙත්. මහත් නුවණැති ද වෙයි. නිර්වාණය කෙළවර කොට ඇත්තේ හෝ සුගතිය පිහිට කොට ඇත්තේ හෝ වෙයි.