අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමාධි භාවනාවෙහි ආනිශංස පසෙක් වේ එනම්:-

  1. දිට්ඨධම්ම සුඛවිහාරානිසංසය:- ගෙවන ලද ආශ්‍රව ඇත්තා වූ රහතන් වහන්සේ, අර්පණා සමාධියට සමවැද, එකඟ කරණ ලද සිත් ඇතිව, දවස මුළුල්ලෙහි වාසය කරම්හයි සිතා සමාධිය වඩත් ද, රහතන්වහන්සේගේ ඒ අර්පණා සමාධි භාවනා තොමෝ දිට්ඨධම්මසුඛවිහාරානිසංස පිණිස හෙවත් ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි සැපවිහරණය අනුසස් කොට ඇත්තීය. එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “චුන්‍දය, ආර්‍ය්‍ය විනයෙහි නොහොත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි චිත්තෙකග්‍රතා මාත්‍රා කාර වූ මේ බාහිරක ධ්‍යාන ධර්මයෝ වනාහි සල්ලෙඛ ප්‍රතිපදා හෙවත් කෙලෙසුන් ලියන ප්‍රතිපදාවෝ යයි කියනු නො ලැබේ. මේ ධ්‍යාන ධර්මයෝ බුදුසස්නෙහි දිට්ඨධම්ම සුඛවිහාර යයි හෙවත් ඉහාත්මයෙහි සැපවිහරණයෝ යි කියනු ලැබේ.”
  2. විපස්සනානිසංසය:- සමවතින් නැගිට, එකඟ කරණ ලද සිතින් විදර්ශනා කරම්හයි ධ්‍යාන වඩන්නා වූ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යන ආර්‍ය්‍යයන්ගේ හා පෘථග්ජනයන්ගේ ද අර්පණා සමාධි භාවනා තොමෝ ද, තෘෂ්ණා සංක්ලේශාදියෙන් කිලිටි බැවින් පරම සම්බාධ වූ, අර්‍ත්‍ථ ප්‍රතිලාභයට යෝග්‍ය වූ නවවන ක්‍ෂණයයි කියන ලද අවකාශය අති දුර්ලභ බැවින් අර්පණාධිගමය ද ආගමනය නො කරන්නා වූ සංවේග බහුල පුද්ගල තෙමේ උපචාර සමාධියෙහි ම සිට විදර්ශනා කොට වහාම සසර දුකින් එතර වම්හයි අදහස් කරන බැවින් එබඳු උදාර අදහස් ඇත්තවුන්ගේ උපචාර සමාධිය ද, විදර්ශනාවට ආධාර වන බැවින් ද ඕකාසාධිගම ක්‍රමයෙන් විදර්ශනාවට ආසන්න කාරණා වන බැවින් ද උපචාර සමාධි භාවනා තොමෝ ද විදර්ශනාව අනුසස් කොට ඇත්තීය. එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:- “මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟ කරණ ලද සිත් ඇති මහණ තෙමේ ධර්‍මයන්ගේ යථා ස්වභාවය ප්‍රකාරයෙන් දන්නේ ය.”

3. අභිඥානිසංසය - යම් යෝගාවචර කෙනෙක් අෂ්ටසමාපත්තීන් උපදවා, ඍද්ධිවිධාදී අභිඥා ඥානයන්ට පාදක වූ ධ්‍යානයට සමවැද, එම සමවතින් නැගිට “එකොපි හුත්‍වා බහුධා හොති” තෙමේ එකෙක්ව ද බොහෝ වෙයි යනාදීන් කියන ලද ක්‍රම ඇත්තා වූ අභිඥාවන් ප්‍රාර්‍ථනා කරන්නේ නම් උපදවන්නේ නම්, ඔහුට පූර්‍වහේතු යයි කියන ලද අභිඥාධිගමයට අධිකාරය ඇති කල්හි, අභිඥාව ආසන්න කාරණා කොට ඇති බැවින්, අර්‍පණා සමාධි භාවනා තොමෝ අභිඥාව අනුසස් කොට ඇත්තී වේ. භාග්‍යවතුන් වහන්සේ ද “ඒ මහණ තෙම අභිවිශිෂ්ට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු වූ ද, භාවනා කටයුතු වූ ද විභාවනා කටයුතු වූ ද, යම් යම් ධර්‍මයක්හුගේ අභිඥාවෙන් සාක්‍ෂාත්කරණය පිණිස විශේෂයෙන් සිත නමන්නේ ද, ඒ ඒ සාක්‍ෂාත් කටයුතු ධර්‍මයෙහිම ප්‍රත්‍යක්‍ෂකාරිත්‍වයට සුදුසු බවට, පූර්‍වභව සිද්ධවූ අභිඥාධිගමයට කාරණා වූ අධිකාරය ඇති කල්හි අභිඥාවට පැමිණෙන්නේ ය” යි වදාළ සේක.

4. භවවිසේසානිසංසය:- නො පිරිහුණු ධ්‍යාන ඇත්තාහු, බඹලොව උපදුම්හයි බඹලොව ඉපදීම ප්‍රාර්ථනා කරන්නාහු හෝ, ඒ ඒ භවගාමි කර්මය අරභයා භව ප්‍රාර්ථනාවක් නූපන්නාහු ද, තත් කර්මය කළ හෙයින් ම භව ප්‍රාර්ථනය සිදුවන බැවින් බඹලොව උත්පත්තිය නො පතා හෝ යම් පෘථග්ජන කෙනෙක් සමාධියෙන් නො පිරිහෙත් ද, ඒ පෘථග්ජනයන්ගේ අර්පණා සමාධි භාවනා තොමෝ විශිෂ්ට භවය එළවන බැවින් භවවිශේෂානිශංස හෙවත් විශිෂ්ට භවය එළවීම අනුසස් කොට ඇත්තී වේ. භාග්‍යවතුන් වහන්සේ ද මෙසේ වදාළ සේක. “ස්වල්ප වශයෙන් ප්‍රථම ධ්‍යානය වඩා කොතැන්හි උපදනේ ද යත්? බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ එකී භාවයට පැමිණෙති යි.” උපචාර සමාධි භාවනා තොමෝ ද කාමාවචර සුගති සඞ්ඛ්‍යාත විශිෂ්ට භවය එළවන්නීම ය.

5. නිරොධානිසංසය:- යම් ආර්‍ය්‍ය කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා නිරොධ සමාපත්තියට සමවැද, සත්දවසක් මුළුල්ලෙහි අචිත්තකව හෙවත් චිත්තමුඛයෙන් ගන්නා ලද සතර නාමස්කන්‍ධයෙන්ම වෙන්ව, ප්‍රත්‍යක්‍ෂ ආත්ම භාවයෙහි ම නාමස්කන්‍ධයන්ගේ නිරොධය යයි කියන ලද්දා වූ, උත්පාද, ඨිති, භඞ්ග සඞ්ඛ්‍යාත ත්‍රිවිධ දුක්ඛයන්ගේ නිවීමෙන් ලැබිය යුතු නිර්‍වාණ සැපයට පැමිණ සැපසේ වසම්හයි සමාධිය වඩත් ද, ඒ අනාගාමි හා රහතන්වහන්සේගේ අර්‍පණා සමාධි භාවනා තොමෝ නිරොධ සමාපත්තිය අනුසස් කොට ඇත්තීවේ. එහෙයින් කියන ලදී. “අනිච්චානු පස්සනාය, දුක්ඛානුපස්සනාය, අනත්තානුපස්සනාය, නිබ්බිදානුපස්සනාය, විරාගානුපස්සනාය, නිරොධානු පස්සනාය, පටිනිස්සග්ගානුපස්සනාය, විවට්ඨානුපස්සනාය යන අනුපස්සනාවන් අටදෙනය, ආර්‍ය්‍යමාර්‍ග, ආර්‍ය්‍යඵල අටදෙනය යන සොළොස්ඤාණ චර්‍ය්‍යාවෙන් හා රූපාවචර ධ්‍යාන පසය, අරූප ධ්‍යාන සතරය යන නව සමාධි චර්‍ය්‍යා වන්ගේ වශයෙන් ද වශී භාවයෙන් හටගන්නා වූ ප්‍රඥා තොමෝ නිරොධසමාපත්තියෙහි නුවණ යයි කියනු ලැබේ.

මෙසේ සමාධි භාවනාවෙහි දිට්ඨධම්ම සුඛවිහාරාදී පඤ්චානිසංස ඇති බව දත යුතු. එබඳු පඤ්ච ප්‍රකාර අනුසස් ඇති හෙයින්, නොයෙක් අනුසස් ඇත්තා වූ කෙලෙස් නමැති අපවිත්‍රයන් දෙවීමෙහි පොහොසත් වූ භාවනාවෙහි යෙදීමෙහි නුවණ ඇති යෝගාවචර තෙම ප්‍රමාද නොවන්නේ ය.