චතුධාතු ව්‍යවස්ථාන භාවනාව
මෙහි සතර ධාතූහු නම් පඨවි, ආපො, තෙජො, වායො යන මහා භූතරූප හෙවත් ධාතූ සතර ය. ඒ සතර ධාතූහු ස්වභාව ලක්ෂණ වශයෙන් සනිටුහන් කිරීම හෙවත් සතර මහා භූතයන්ගේ කර්කශාදී වූ ස්වකීය ලක්ෂණය සැළකීම් වශයෙන් සනිටුහන් කිරීම චතුධාතු වවත්ථාන නම් වේ. මේ ධාතු මනසිකාරයෙහිදී පරිකර්ම අවස්ථාවෙහි හෙවත් පූර්වභාගයෙහි මේ සතර ධාතූහු වෙන් වෙන්ව ගෙන මෙනෙහි කරන්නේ වී නමුත් අර්‍ත්‍ථසිද්ධිය වන කල්හි නොහොත් උපචාර අවස්ථාවෙහිදී එකම ධාතුවෙක මනසිකාරය පවත්නා හෙයින් මේ කර්මස්ථානයට එක වවත්ථාන යයි ද කියනු ලැබේ ධාතුමනසිකාරය, ධාතුකර්මස්ථානය, චතු ධාතුව්යවස්ථානය යන මොහු අර්ත්ථ වශයෙන් එකක්ම යයි දත යුතු. භාග්‍යවතුන් වහන්සේ මේ ධාතුමනසිකාරය සංක්ෂෙප වශයෙන් මහාසතිපට්ඨාන සූත්‍රයෙහි ද විස්තර වශයෙන් මහා හත්ථිපදොපම, මහාරාහුලොවාද, ධාතුවිභඞ්ගසූත්රයන්හි හා අභිධර්මයෙහි ධාතුවිභඞ්ගයෙහි ද දේශනා කර වදාරණ ලදී මේ සතර ධාතූන් පිළිබඳ විස්තරයක් යට ධාතුකථායෙහි දක්වන ලද හෙයින් චතුධාතු ව්යවස්ථානයට උවමනා කරුණු පමණක් මෙහි දක්වනු ලැබේ.
තීක්ෂණවූ ප්‍රඥා ඇති ධාතු කර්මස්ථානය වඩන යෝගාවචරයා හට භාග්‍යවතුන් වහන්සේ මහාසතිපට්ඨාන සූත්‍ර දේශනායෙහිදී චතුධාතුව්යවස්ථානය මෙසේ වදාළ සේක.
“සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසි වා ගාවිං වධිත්වා චාතුම්මහා පථෙ බිලසො පටිවිහජිත්වා නිසින්නො අස්ස, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථා ඨිතං යථා පණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පඨවිධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු’ති.” මහණෙනි, යම්සේ දක්ෂවූ ගොඝාතකයෙක් හෝ ගොඝාතකයාගේ අතවැසියෙක් හෝ ගවදෙන මරා විකිණීම පිණිස සතර මංසන්ධියෙහි කොටස් කොටස් කොට බෙදා හුන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණෙනි, මහණ තෙම සිටිසේ සිටියාවූ ද, පිහිටිසේ පිහිටියාවූ ද මේ කය ධාතු වශයෙන් ප්රත්යවෙක්ෂා කෙරේ. මේ කයෙහි පඨවිධාතු ඇත, ආපො ධාතු ඇත, තෙජො ධාතු ඇත, වායො ධාතු ඇත කියායි. දක්ෂවූ ගොඝාතකයාට හෝ ඔහුගේ බත්වැටුපින් ජීවත් වන අතවැස්සාට හෝ ආහාරාදිය දී ගවදෙන පෝෂණය කරන කල්හි ද, මරණ තැනට ගෙන යන කල්හි ද, එහි ගෙන ගොස් බැඳ තබන කල්හි ද, ගවදෙන මරණ කල්හි ද, මැරූ ගවදෙන බලන කල්හි ද, ගවදෙන කපා කොටස් කොටස් කොට නො බෙදූ කල්හි ද ගවදෙන යන සංඥාව අතුරුදහන් නොවේ. යම්සේ ගවදෙන කපා කොටස් කොට බෙදා හුන්නහුට වනාහි ගවදෙන යන සංඥාව අතුරුදහන් වී මාංස යන සංඥාව පවති. ගවදෙන විකුණම් කියා හෝ මොහු ගවදෙන ගෙන යන්නේ යයි කියා හෝ අදහසක් පහළ නොවේ. මම මස් විකුණම්, මොහු මස් ගෙන යන්නේ යයි කියාම ඔහුට අදහස්වේ.
එපරිද්දෙන් ම මේ භික්ෂූහටද, පූර්වයෙහි, බාල පෘථග්ජන කාලයෙහි, ගිහිව සිට පැවිදිවූවහුට සත්ත්වයා ය, පුද්ගලයා ය, පුරුෂයා ය යන සංඥාව දුරු නොවන්නේ ය. යම් තාක් කල් සිටි පරිද්දෙන් සිටියාවූ ද, පිහිටි පරිද්දෙන් පිහිටියාවූ ද මේ කය ඝන විනිර්‍භොගය කොට හෙවත් රූප සන්තති සමූහ කෘත්‍යය ඝනයන්ගේ වෙන් කිරීම කොට ධාතු වශයෙන් ප්රත්යවේක්ෂා නො කෙරේ ද ඒතාක්කල් සත්ත්ව සංඥාව දුරු නොවේ. යම් කලෙක්හි වනාහි ධාතු වශයෙන් ප්රත්යවේක්ෂා කරන්නේ නම් සත්ත්වයෙක, පුද්ගලයෙක, පුරුෂයෙක යන සංඥාව දුරු වන්නේ ය.
මහාහස්තිපදොපම සූත්‍රයෙහි වනාහි මෙසේ වදාරන ලදී.
අධ්‍යාත්මික පඨවි ධාතුව නම් යමක් තමා සතන්හි වූයේ ද, තමා නිසාවූයේ ද, දැඩි ද, පුරුෂ ද, මම ය මාගේ යයි ගන්නා ලද්දේ ද එනම් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඬු, හෘදයමාංස, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුණුබහන, නො පැසුණු අහර, පැසුණු අහර හිස්මොල ආදී ශරීරයට අයත්වූ ද, යම් ඒ අන්‍යවූ තමා අයත්වූ, කර්කශවූ, රළුවූ, කර්කශ බවට පත්වූ, කර්කශ ස්වභාවය ඇති අධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද එය වේ.
අධ්‍යාත්මික ආපො ධාතුව නම් යමක් තමා සතන්හි වූයේ ද, තමා නිසා වූයේ ද, ආබන්ධන ස්වභාවයක් වේ ද, ආබන්ධන ස්වභාවයට ගියේ වේ ද, ආලිඞ්ගන වශයෙන් සෙනහ නම් වේ ද, ආලිඞ්ගන බවට ගියේ වේ ද, අවිනිබ්භොග රූපයාගේ බන්ධන බවක් වේ ද අධ්‍යාත්මික ශරීරයට අයත් වූවා ද, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදිය ය, මේද තෙලය, කඳුළුය, චුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මූත්‍රය යන ප්‍රභේද ගත වූ ආබන්ධන ස්වභාවයක් වේ ද, යම් ඒ අන්‍ය වූ, අධ්‍යාත්මික වූ, තමා අයත් වූ ආබන්ධන ස්වභාවය ඇති තෙත් ගතිය ඇති, තෙත් ගතියට ගියාවූ යමක් වේ ද, එය වේ.
අධ්‍යාත්මික තේජො ධාතුව නම්:- යමක් තමා සතන්හි වූයේ ද, තමා නිසා වූයේ ද, තියුණු වූයේ ද, තියුණු බවට ගියේ වේ ද, උණුසුම් වූයේද, උණුසුම් බවට ගියේ වේ ද, දැඩි උණුසුම් බවක් වේ ද, දැඩි උණුසුම් බවට ගියේ වේ ද, අධ්‍යාත්මික වූ ශරීරයට අයත් වූ යම් තෙජො ධාතුවෙක් වේ ද, කිපීම් හේතුවෙන් මේ රූපකාය වැඩියක් තැවේ ද, ජ්වර ආදියෙන් හටගත් දැඩි තැවුල් ඇත්තේ වේ ද, යම් සන්තාපන තේජසක් වේ ද, යම් තෙජො ධාතුවක් කිපීමෙන් මේ රූපකාය පැරණි වේ ද, දිරීමට යේ ද, චක්ෂුරාදි ඉන්ද්රිය යන්ගේ අපරිපූර්ණ භාවයට හෙවත් විකල බවට යේ ද, බෙලහීන බවට ද, ඇඟ රැලි වැටීම්, කෙස් ලොම් පැසීම් ආදී භාවයට ද පැමිණේ ද, යම් දිරවන තේජසක් වේ ද යම් තෙජො ධාතුවක් කිපීමෙන් මේ රූපකාය වැඩියක් දැවේද, කිපියාවූ තෙජො ධාතුවක් විසින් මේ රූපකාය වැඩියක් දවනු ලැබේ ද, ඒ දැවෙන්නාවූ හෝ දවනු ලබන්නාවූ පුද්ගල තෙමේත් දැවෙමි, දැවෙමි, දවනු ලබමි, දවනු ලබමියි හඬමින් හෝ වැලපෙමින් සිය වරක් හුණු කොට දියෙහි බහා උපුටාගත් ඝෘතයක්, ජලය මෙන් අත්‍යන්ත ශීතලවූ රත්සඳුනක් යනාදී වූ ආලෙපන ද්‍රව්‍යයක්, තල්වැට පවනක් පතාද, යම් දවන තේජසක් වේ ද යම් තෙජො ධාතුවක් හේතු කොට අනුභව කළාවූ බත් ආදී අහර හෝ පානය කළාවූ අඹපැණි ආදීවූ අහර හෝ කන ලද්දාවූ කැවුම් ආදී අහර හෝ ඉදුනු අඹ, මිපැණි, උක්පැණි ආදී රස බලන හෙවත් ආස්වාදිත අහර හෝ මනාව පැසීම් බවට පැමිණේ ද, රස, ශ්‍රෝණිත, මෙදස්, මාංස, ස්නායු, අස්ථි, අස්ථිමිඤ්ජාදී වශයෙන් සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට හේතු වේ ද යම් අහර පැසවන තේජසක් වේ ද එය වේ.
අධ්‍යාත්මික වායො ධාතුව නම්:- යමක් තමා සතන්හි වූයේ ද, තමා නිසා වූයේ ද, වේගවත් ගති භාවයට නොහොත් වියලෙන, සැලෙන බවට පැමිණියේ වේ ද, අවිනිබ්භොග රූපයාගේ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායො ධාතුව එනම් වමන, ඉක්කා ආදියගේ පැවැත්ම කරන්නාවූ උඩට නැංගාවූ උඩඞ්ගම වාතයෝ ය, මලමූත්රාදීන් පහ කරන්නා වූ යට බලා බස්නාවූ අධොගම වාතයෝ ය, අන්ත්රපටලයන්ගේ මැද පෙදෙස ඇසුරු කළ කොට්ඨාසය වාතය ය, නහරවැල් අනුසාරයෙන් මුළු සිරුරෙහි කුදු මහත් අවයවයන්හි පැතිර පවත්නාවූ, වක්කිරීම්, දික්කිරීම් ආදිය උපදවන්නාවූ අඞ්ගමඞ්ගානුසාරී වාතයෝ ය, සන්ධීන්ගේ ඝටනයන් කතුරකින් කපන්නවුන් මෙන් පැවති සත්ථක වාතයෝ ය, කර කැත්තෙන් පලන්නාක් මෙන් ලය පලන්නාවූ ඛුරක වාතයෝ ය, හදයමාංසය ම උපුටන්නාවූ උප්පලක වාතයෝ ය, ඇතුළට වදන නාසා වාතය නම් වූ අස්සාස වාතයෝ ය, පිටට නික්මෙන නාසා වාත නම් වූ පස්සාස වාතයෝ ය යන මේ වාතයෝ ද, මෙසේ, අන්‍යවූ, අධ්‍යාත්මිකවූ, වායු ස්වභාවයට ගියාවූ, අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායුවෙක් වේ ද එය වේ.
රාහුලොවාද සූත්‍රයෙහි ද මෙසේ ම වදාරා තිබේ.
මෙසේ විසි ආකාරයෙකින් පඨවි ධාතුය, දොළොස් ආකාරයෙකින් ආපොධාතුය, සතර ආකාරයෙකින් තෙජො ධාතුය, සය ආකාරයෙකින් වායො ධාතුය යි දෙසාළිස් ආකාරයෙකින් සතර ධාතූහු විස්තර කරණ ලද්දාහු වෙති.
මේ භාවනාවෙහිදී, තියුණු නුවණ ඇත්තාහට වනාහි, කේශයෝ පඨවි ධාතුය, ලොමයෝ පඨවි ධාතුය යනාදී වශයෙන් දෙසාළිස් ආකාරයෙන් විස්තර කිරීමේදී ධාතු පරිග්‍රහය ප්රපඤ්චව හෙවත් ප්‍රමාදව වැටහෙයි. යම් හෙයකින් හෙතෙම මේ කොටස්හි යම් ස්තබ්ධ හෙවත් තද ලක්ෂණයක් වේද එය පඨවි ධාතුය, මහා භූත රූපයන් විසිර යා නොදී බැඳ තබන හෙවත් ආබන්ධන ලක්ෂණය ආපො ධාතුය, ඒ ධාතූන්ගේ පැසවන ලක්ෂණය හෙවත් පරිපාවක ලක්ෂණය තෙජො ධාතුය, ඔවුන්ගේ පිරෙන ලක්ෂණය හෙවත් විත්ථම්භන ලක්ෂණය වායො ධාතුය යනාදී වශයෙන් මෙනෙහි කරන්නේ නම් කමටහන මනාව පහළ වෙයි. මන්ද ප්‍රාඥ හෙවත් මද නුවණ ඇති පුද්ගල තෙම මෙසේ මෙනෙහි කරන්නේ නම් කමටහන එළඹ නොසිට මුවහ කරන හෙයින් අඳුරු වෙයි. ඕහට වනාහි පෙර කීසේ කේශයෝ පඨවි ධාතුය, ලෝමයෝ පඨවි ධාතුය යනාදී ක්‍රමයෙන් විස්තර වශයෙන් මෙනෙහි කරන්නේ නම් කමටහන ප්රකටව පහළ වෙයි.
එ හෙයින් මේ කමටහන වඩනු කැමති තියුණු නුවණ ඇති යෝගාවචර තෙමේ පූර්වකෘත්යය වශයෙන් සිල් පිරිසුදු කොට ගෙන විවේකීව සුදුසු සෙනසුනකට ගොස් සිත කර්මස්ථානයට යොමු කොට මේ තමාගේ රූපකය අරමුණු කොට, මේ කයෙහි යම් දැඩි බවෙක් හෝ රළු බවෙක් හෝ ඇද්ද එය පඨවි ධාතුය. යම් ආබන්ධන බවෙක් හෙවත් ධාතූන් බැඳ තබන බවෙක් හෝ ද්‍රව බවෙක් හෝ වේද එය ආපො ධාතුය. යම් පැසවන බවෙක් හෝ උණුසුම් බවෙක් හෝ වේද, එය තේජො ධාතුය. යම් සෙලවෙන ආකාරයෙක් හෝ පිපෙන ආකාරයෙක් වේද එය වායො ධාතුය යනාදී වශයෙන් සංක්ෂෙපයෙන් සතර ධාතූන් ලක්ෂණ රසාදී වශයෙන් නිස්සත්ව නිර්ජීව වශයෙන් මෙනෙහි කටයුතු. මෙසේ හෙතෙම ලක්‍ෂණාදීන් සමග ධාතූන් සිය දහස් වරක් නොහොත් බොහෝ කලක් නැවත නැවත ආවර්ජනා කටයුතු, මෙනෙහි කටයුතු, තර්ක කටයුතු, විතර්ක කටයුතු, මෙසේ මෙනෙහි කරන්නාවූ ඕහට ලක්‍ෂණාදීන් අතුරෙන් යමෙක් මනාව ප්රකටව වැටහේ ද, එය ම ගෙන, ඉතිරිය හැර, ඒ හා සමග “පඨවි ධාතු, ආපො ධාතු” යනාදී වශයෙන් මෙනෙහි කටයුතු. මෙසේ මෙනෙහි කරන්නහු විසින් අනුපූර්ව, නාතිශීඝ්ර, නාතිසනික, වික්ෂෙප පටිබාහන, පඤ්ඤත්ති සමතික්කමන, අනුපට්ඨාන මුඤ්චන යනාදී වශයෙන් පෙර කියන ලද පරිද්දෙන් දශ ආකාරයෙන් මනස්කාර කෞශල්‍යය සැපයිය යුතු. මෙසේ මනස්කාරය පවත්වන්නහුට යම් කලෙක ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ලැබ, සමථ බව ඇති කල්හි අශ්රද්ධාදීන් දුරුවීමෙන් විතර්කාදී ධ්‍යානාඞ්ගයෝ ප්රකටව පහළ වෙති. නිවරණයෝ ද ඒ හා පැවති පාප ධර්මයන් හා සමග විෂ්කම්භනය වෙති. මෙපමණකින් මොහු විසින් ධාතූන්ගේ ලක්ෂණ අරමුණු කොට උපචාර ධ්‍යානයට පැමිණියේ වේ. අර්පණාවට නො පැමිණේ.
තවද, මේ සතර මහා භූතයන්ගේ සත්ත්ව සූන්‍යය බව දක්වනු පිණිස ධම්මසේනාපති සැරියුත් මහතෙරුන් විසින්, “විළුම් ආදීවූ පිළිවෙලින් මතු මතුයෙහි සිටි තුන්සියයකට අධික වූ ඇටද නිසා, එම ඇටසැකිල්ල බැඳ සිටි නවසියයක් නහර ද නිසා, එම ඇටසැකිල්ල පිරිවරා සිටි නවසියයක් මාංස පෙසී ද නිසා, මැසි පියාපතක් පමණ බොල ඇති සිවියෙන් වසන ලද සියල් සිරුරු වසා සිටි ඝන සමද නිසා, මොහු විසින් ආකාශය පිරිවරණ ලද්දේ රූපයයි සඞ්ඛ්යාවටයේ. නොහොත්, යම්සේ භිත්තිපාදාදී වශයෙන් සිටවන ලද කණුද, ඒ කණු වැළඳ සිටි වැල් ද, එහි ලෙප කළ මැටි ද, මතුයෙහි සෙවූ තෘණ ද යන මෙ කණු ආදීන් ඇතුළතිනිදු පිටතිනුදු පිරිවරා සිටි ආකාශය අගාර යයි සඞ්ඛ්‍යාවට යේ ද, ගෘහය යන ප්රඥප්තිය ලැබේ ද, එ පරිද්දෙන් ම යට කියන ලද ඇට ආදීන් ඇතුළෙනුදු පිටතිනුදු පිරිවරා සිටි අහස එම ඇට ආදීන් නිසා රූප යයි සඞ්ඛ්‍යාවට යෙයි, ශරීරය යන ව්‍යවහාරය ලැබේ. යම් සේ කණු ආදීන් නිසා ගෘහ සඞ්ඛ්‍යාවට ගිය අගාරය, ක්ෂත්රිය ගෘහය, බ්‍රාහ්මණ ගෘහය යයි කියනු ලැබේ ද, එ පරිද්දෙන් ම මේ සිරුරුද ක්ෂත්රිය ශරීරය, බ්‍රාහ්මණ ශරීරය යයි ව්‍යවහාර කරනු ලැබෙයි. මෙහි කිසි ජීවයෙක් හෝ සත්ත්වයෙක් හෝ නැතැ” යි වදාරන ලදි. මෙසේ ඇට, නහර, මස්, සම් යන සතර කොටසුන් කෙරෙන් ඒ ඒ කොටසුන්ගේ විවරයෙන් පවත්නා වූ, නුවණ නමැති අතින් වෙන් වෙන් කොට ඇටය, නහරය, මස්ය, සම්ය යයි සතර පරිද්දෙකින් බෙදන ලද මේ කොටසුන් කෙරෙහි යම් තද බවෙක් රළු බවෙක් වේ ද, මෙය පඨවි ධාතුය යනාදී වශයෙන් පෙර කියන ලද ක්‍රමයෙන් ම ධාතූන් පරිග්‍රහ කොට නැවත නැවත පඨවි ධාතු, ආපො ධාතු යනාදී වශයෙන් ධාතු මාත්‍ර වශයෙන්, නිස්සත්ව, නිර්ජීව වශයෙන් ආවර්ජනා කටයුතු, මෙනෙහි කටයුතු, ප්රත්යවේක්ෂා කටයුතු. එසේ භාවනා කරන්නාහට නොබෝ කලෙකින් ධාතූන්ගේ වශයෙන් ප්‍රභේද ගත ඥානයෙන් පරිග්‍රහ කරන කල්හි ස්වභාව ධම්මාරම්මණ වශයෙන් සිත අර්පණාවට නො පැමිණ උපචාර මාත්‍ර වූ සමාධිය උපදී. මෙය සංක්ෂේප වශයෙන් දක්වන ලද චතුධාතු ව්‍යවස්ථානයෙහි භාවනා ක්‍රමය යි.
විස්තර වශයෙන් වනාහි:- මේ කමටහන වඩනු කැමැති නුවණ ඇති යෝගාවචර තෙම, ආචාර්‍ය්‍යයන් සමීපයෙහි දෙසාළිස් (42) ආකාරවූ මේ කමටහන විස්තර වශයෙන්, ධාතු වශයෙන් ඉගෙණ යට කියන ලද පරිදි සුදුසු සෙනසුනෙක වසන්නේ, සියළු පූර්ව කෘත්‍යයන් පුරා රහසිගත ව සිහිය එළවා සතර ආකාරයකින්, එනම්:-
- සසම්භාර සංක්ෂේප වශයෙන් ද
- සසම්භාර විභත්ති වශයෙන් ද
- සලක්ඛණ සංක්ෂේප වශයෙන් ද
- සලක්ඛණ විභත්ති වශයෙන් ද කමටහන වැඩිය යුතු.
මෙහි දෙසාළිස් (42) ආකාරයෙකැයි කියන ලද්දේ වස්තු වශයෙන් ධාතූන් සැළකීම සඳහාය.
1. සසම්භාර සංක්ෂේප වශයෙන්:- පඨවි ආදින් කරණ කොටගෙණ බුද්ධිය හෙවත් දැනීම හා ව්‍යවහාර කිරීම කරණු ලබන හෙයින් පඨවි ආදීහු සසම්භාර නම් වෙත්. කෙසාදී විසි කොටසූන් කෙරෙහි වනාහි පඨවිය යන බුද්ධිය ද, ව්‍යවහාරය ද යන දෙදෙන ස්ථබ්ධ බව නිසා පවත්නා බැවින් කෙසාදින් කෙරෙන් පෘථිවි සම්භාර නම් වේ ප්‍රකටවූ ඒ සම්භාර ඇති බැවින් කෙසාදීහු සසම්භාර නම් වෙති. ආපො, තෙජො, වායො යන කොටස්හි ද මෙම ක්‍රමය වේ. සසම්භාරයන්ගේ සංක්ෂෙපය සසම්භාර සංක්ෂෙප නම්. මෙසේ සංක්ෂෙප වශයෙන් කෙසාදී විසිකොටස්හි ද පිත්තාදී දොළොස් කොටස්හි ද, සන්තාපනාග්නි ආදී සතර කොටස්හි ද, උබඞ්ගමවාතාදී සය කොටස්හි ද පිළිවෙලින් පෘථිවි ධාතු ආදී සතර ධාතූන් පරිග්‍රහ කොට ව්‍යවස්ථා කිරීම සසම්භාර සංක්ෂෙප වශයෙන් භාවනා කිරීම නම් වේ. මෙසේ සතර මහා භූතයන් ව්‍යවස්ථානය කරන්නාවූ ඒ යෝගාවචරයාහට සතර ධාතූහු ප්රකටව වැටහෙත්. එය නැවත නැවත ආවර්ජනා කරණ කල්හි මෙනෙහි කරණ කල්හි මෙකී ක්‍රමයෙන් උපචාර ධ්‍යානය උපදී.
1. සසම්භාර විභත්ති වශයෙන්:- එසේ භාවනා කොට කමටහන සිද්ධ නොවේ නම් ඔහු විසින් සසම්භාර විභත්ති වශයෙන් කමටහන වැඩිය යුතු. ඒ යෝගාවචරයා විසින් කායගතාසති කර්මස්ථාන භාවනායෙහි කී පරිදි සත් පරිද්දෙකින් උද්ග්‍රහ කෞශල්‍යය ද, දස පරිද්දෙකින් මනස්කාර කෞශල්‍යය ද සැපයිය යුතු. පළමු කොට ධාතු මනසිකාර වශයෙන් පරිගෘහිතවූ කෙසාදී දෙතිස් කොටස්හි ඒ සියල්ල නො පිරිහෙළා තවපඤ්චකාදීන්ගේ අනුලොම ප්‍රතිලොම වශයෙන් වචසින් කරණ සජ්ඣායනාදිය කොට එහි කියන ලද සියළුම විධි සම්පූර්ණ කළ යුතු. ඒ කායගතාසති භාවනායෙහි වර්ණ, සණ්ඨාන, දිසා, ඕකාශ, පරිච්ඡෙද වශයෙන් කෙසාදීන් මෙනෙහි කොට ද, පිළිකුල් බව වශයෙන් සිත පිහිටුවා ගත යුතු එ හෙයින් වර්ණාදී වශයෙන් පස් පස් පරිද්දෙන් කෙස් ආදීන් මෙනෙහි කොට කෙසාදී විසිකොටස් පඨවි ධාතුය, පිත්තාදී කොටස් දොළොස ආපො ධාතුය යනාදී වශයෙන් ධාතු විස්තරයෙහි දක්වන ලද පරිදි කෙසාදියෙහි මනස්කාරය පවත්වා යම් තෙජො ධාතුවකින් තැවේ ද, මුහුකුරුවන කෘත්‍යය ඇත්තේ ද ඒ තෙජො ධාතු යයි තෙජො කොටස්හි ද මනසිකාරය පැවැත් විය යුතු. අනතුරුව උබඞ්ගමා වාතාදී වශයෙන් වායො කොටස්හි ද මනස්කාරය පැවැත් විය යුතු. මෙසේ භාවනා කරන යෝගාවචරයාහට ධාතු වශයෙන් කමටහන ප්‍රකට වන්නේ ය. ඒ ධාතූන් ම නැවත නැවත ආවර්ජනා කරණ කල්හි යට කියන ලද ආකාරයෙන් උපචාර සමාධිය උපදී.
3. සලක්ඛණ සංක්ෂේප වශයෙන්:- යමෙක්හට මෙසේ භාවනා කොට කමටහන සමෘද්ධ නොවූයේ නම්, ඔහු විසින් සලක්ඛණ සංක්ෂේප වශයෙන් භාවනාව වැඩිය යුතු. පළමු කොට ඔහු විසින් කෙසාදී විසි කොටස්හි ස්තබ්ධ ලක්ෂණය හෙවත් තද ගතිය පඨවි ධාතුය යි වෙන් කොට ව්‍යවස්ථා කටයුතු. එසේ ම එහි ආබන්ධන ලක්ෂණය හෙවත් බැඳෙන ගතිය ආපො ධාතුය, පරිපාචන ලක්ෂණය හෙවත් පැසවන ගතිය තෙජො ධාතුය, විත්ථම්භන ලක්ෂණය හෙවත් පිපෙන ගතිය වායො ධාතුය යි වෙන් වෙන් කොට ව්‍යවස්ථා කටයුතු.
එසේම පිත්තාදි දොළොස් (12) කොටසෙහි ආබන්ධන ලක්ෂණය හෙවත් බැඳෙන ගතිය ආපො ධාතුය, පරිපාචන ලක්ෂණය හෙවත් පැසවන ගතිය තෙජො ධාතුය, විත්ථම්භන ලක්ෂණය හෙවත් පිපෙන ගතිය වායො ධාතුය, ස්ථබ්ධ ලක්ෂණය හෙවත් තද ගතිය පඨවි ධාතුය යනාදී වශයෙන් වෙන් වෙන් කොට ව්‍යවස්ථා කළ යුතු.
එසේම සන්තාපනාදී සතර කොටසෙහි පරිපාචන ලක්ෂණය හෙවත් මුහුකුරු වන ගතිය තෙජො ධාතුය, එහිම පවත්නා විත්ථම්භන ලක්ෂණය හෙවත් පිපෙන ගතිය වායො ධාතුය, ස්ථබ්ධ ලක්ෂණය හෙවත් තද ගතිය පඨවි ධාතුය, ආබන්ධන ලක්ෂණය හෙවත් බැඳෙන ගතිය ආපො ධාතුය යනාදී වශයෙන් වෙන් වෙන් කොට ව්‍යවස්ථා කළ යුතු.
එ පරිද්දෙන් ම උඩඞ්ගමාවාතාදී සය කොටසෙහි විත්ථම්භන ලක්ෂණය හෙවත් පිපෙන ගතිය වායො ධාතුය, ස්ථබ්ධ ලක්ෂණය හෙවත් තද ගතිය පඨවී ධාතුය, ආබන්ධන ලක්ෂණය හෙවත් බැඳෙන ගතිය ආපො ධාතුය, පරිපාචන ලක්ෂණය හෙවත් පැසවන ලක්ෂණය තෙජො ධාතුය යනාදී වශයෙන් වෙන් වෙන් කොට ව්‍යවස්ථා කළ යුතු.
මෙසේ ස්වලක්ෂණ සංක්ෂේප වශයෙන් ධාතූන් ව්‍යවස්ථා කොට භාවනා කරණ යෝගාවචරයාහට ඒ සතර ධාතූහු ප්‍රකට වෙති. එය ම නැවත නැවත ආවර්ජනා කරණ කල්හි, මෙනෙහි කරන කල්හි පෙර කියන ලද පරිදි උපචාර සමාධිය උපදී.
4. ස්වලක්ෂණ විභත්ති වශයෙන්:- මෙසේ භාවනා කොට ඉදින් කමටහන සමෘද්ධ නොවේ නම්, ඔහු විසින් ස්වලක්ෂණ විභත්ති වශයෙන් හෙවත් බෙදීම් වශයෙන් කමටහන වැඩිය යුතු. ඔහු විසින් කෙසාදී වූ දෙසාළිස් කොටස් වෙන් වෙන් වශයෙන් ගෙන, කේසයෙහි පවත්නා තද ගතිය පඨවි ධාතුය, බැඳෙන ගතිය ආපො ධාතුය, පැසවන ගතිය තෙජො ධාතුය, පිපෙන ගතිය වායො ධාතුය යනාදී වශයෙන් සියලුම දෙසාළිස් කොටස්හි වෙන් වෙන් වශයෙන් එක එක කොටසෙහි සතර ධාතූන් මෙසේ වෙන් වෙන් කොට ව්‍යවස්ථා කළ යුතු. එකල්හි ඔහු විසින් (42 × 4 = 168) එක්සිය හැට අටක් ධාතු ව්‍යවස්ථා කරන ලද්දේ වේ. මෙ පරිද්දෙන් ධාතු වෙන් කොට ව්‍යවස්ථා කරන ඒ යෝගීහට සතර ධාතූහු ප්‍රකට වෙති. එය ම නැවත නැවත ආවර්ජනා කරණ කල්හි, මෙනෙහි කරන කල්හි පෙර කියන ලද පරිදි උපචාර සමාධිය උපදී.
චතුධාතු ව්‍යවස්ථාන කමටහන වඩන්නා වූ යෝගාවචරයා විසින් තෙළෙස් (13) ආකාර වශයෙන් ද කමටහන වැඩිය යුතු. ඒ මෙසේයි:-
- වචනාර්ථ වශයෙන්
- කලාප වශයෙන්
- චූර්ණ හෙවත් සුණු වශයෙන්
- ලක්ෂණාදි වශයෙන්
- සමුට්ඨාන හෙවත් හටගැනීම් වශයෙන්
- නානත්ත එකත්ත වශයෙන්
- විනිර්භෝග අවිනිර්භෝග වශයෙන්
- සභාග විසභාග වශයෙන්
- අජ්ඣත්තික බාහිර වශයෙන්
- සංග්‍රහ වශයෙන්
- ප්‍රත්‍යය වශයෙන්
- අසමන්නාහාර වශයෙන්
- ප්‍රත්‍යය විභාග වශයෙන්
යන තෙළෙස් ආකාර වශයෙන්, සතර ධාතූහු වැඩිය යුතු.
මේ භාවනා ක්රමයෙහි වනාහි ධාතූන් පිළිබඳ වූ වචනාර්ථය ගත යුතු බැවින් පළමු කොට කමටහන ඉගැන්ම වචන වශයෙන් විය යුතු හෙයින් වචනාර්ථ වශයෙන් ධාතූන් මෙනෙහි කටයුතු යයි කියන ලදී. එසේ වචනාර්ථ වශයෙන් විශේෂයෙන් ද සාමාන්‍යයෙන් ද ධාතූන් පරිග්‍රහ කොට සිටි පුද්ගලයාහට යම් හෙයකින් ඒ ධාතූහු පිඬු වශයෙන් වැටහෙද් ද, වෙන් වෙන් වශයෙන් නො වැටහෙද් ද එ හෙයින් කලාප වශයෙන් මෙනෙහි කටයුතු බව කියන ලදී. ඒ කලාපයෝ ප්‍රමාණ වශයෙන් පරමාණු ප්‍රමාණ වන හෙයින් එහි අන්තර්ගත පෘථිවි ධාතු ආදීන්ගේ එක් ශරීරයක ඇති ප්‍රමාණය දැක්වීම් පිණිස චූර්ණ වශයෙන් හෙවත් සුණු වශයෙන් මෙනෙහි කටයුතු බව කියන ලදී. මෙසේ ඒ ධාතූන් චූර්ණ වශයෙන් මෙනෙහි කොට එහි ස්වරූපය ම දැක්ක යුතු හෙයින් ලක්ෂණාදි වශයෙන් මෙනෙහි කළ යුතු බව කියන ලදී. එසේ ලක්‍ෂණාදී වශයෙන් ධාතූන් පරිග්‍රහ කරන්නහු විසින් ස්වලක්ෂණ විභක්ති වශයෙන් කම්මට්ඨානාභිනිවේශයෙහි දෙසාළිස් කොටසුන්ගේ වශයෙන් ධාතූන් පරිග්‍රහ කරණ ලබන කල්හි මෙතෙක් ධාතූහු උතුසමුට්ඨානය, මෙතෙක් දෙන චිත්ත සමුට්ඨානය, මෙතෙක් දෙන කම්ම සමුට්ඨානය, මෙතෙක් දෙන ආහාර සමුට්ඨාන යයි මෙසේ දත යුතු හෙයින් සමුට්ඨාන වශයෙන් මෙනෙහි කළ යුතු බව දක්වන ලදී. මෙසේ දැනගත් සමුට්ඨාන ඇති ඒ ධාතූන්ගේ ශබ්දානුසාරයෙන් විනා විශේෂ සාමාන්‍ය පරිග්‍රහ කටයුතු යයි දැක්වනු පිණිස නානත්ත එකත්ත වශයෙන් මෙනෙහි කළ යුතු බව කියන ලදී. ලක්ෂණ ආදීන්ගේ වශයෙන් විනිර්භෝග ස්වරූප ඇති හෙවත් වෙන් වෙන් වූ ස්වරූප ඇති ධාතූහු අවිනිර්භෝග වශයෙන් ද පරිග්‍රහ කළ යුතු හෙයින් විනිර්භෝග අවිනිර්භෝග වශයෙන් සිහි කළ යුතු බව දක්වන ලදී. අවිනිර්භෝගව පැවැත්ම ඇති කල්හි ද ඇතැම් ධාතුවක් හට ඇතැම් ධාතූහු සභාගයහ, ඇතැම් ධාතූහු විසභාගයහ යි දැන ගැනීම පිණිස විශේෂ පරිග්‍රහ කටයුතු හෙයින් සභාග විසභාග වශයෙන් මනස්කාරය පැවැත් විය යුතු යයි දක්වන ලදී. සභාගද විසභාගද වූ ධාතූහු අතුරෙන් අධ්යාත්මිකයෝ මෙබඳු කෘත්‍යය විශේෂයෙන් යුක්තයහ. බාහිරයෝ එයට වෙනස් කෘත්‍යය විශේෂයෙන් යුක්තයහයි පරිග්‍රහ කරණු පිණිස අජ්ඣත්තික බාහිර වශයෙන් මෙනෙහි කළ යුතු බව දක්වන ලදී. ඉක්බිති සංජාති සංග්‍රහාදී වූ ධාතූහු සමුට්ඨාන වශයෙන් සංග්‍රහ විශේෂය පරිග්‍රහ කටයුතු බැවින් සංග්‍රහ වශයෙන් මනස්කාරය පැවැත් විය යුතු බව දක්වන ලදී. සන්ධාරණාදී වූ තම තමන්ගේ කෘත්‍යයෙන් ඔවුනොවුන්ට උපස්ථම්භ වන බව දැන ධාතූහු පරිග්‍රහ කටයුතු බව දක්වනු පිණිස ප්‍රත්‍යය වශයෙන් මනස්කාරය දක්වන ලදී. අව්‍යාපාර නය වශයෙන් ධාතූහු පරිග්‍රහ කටයුත්තාහයි දක්වනු පිණිස අසමන්නාහාර වශයෙන් මනස්කාරය කියන ලදී. තමන්ගේ ප්‍රත්‍යය ධර්ම විශේෂයෙන් ද, ප්‍රත්‍යය භාව විශේෂයෙන් ද ධාතුහු පරිග්‍රහ කටයුත්තාහ යි දක්වන පිණිස ප්‍රත්‍යය විභාග වශයෙන් මනස්කාරය දක්වන ලදී. මෙසේ මේ තෙළෙස් ආකාරයෙන් ධාතුහු පරිග්‍රහ කිරීමට කාරණා දක්වන ලද බව දතයුතු.
- වචනාර්ථ වශයෙන්:- පඨවි ධාතු ආදී වචනයන්හි අර්ථ පළමු කොට දත යුතු. පතළාවූ අර්ථයෙන් පඨවි නම් වේ. නොහොත් ප්‍රතිෂ්ඨා භාවයෙන් වැටහෙන හෙයින් පඨවි නම් වේ. පැතිරෙන්නේ ය, පැමිණෙන්නේ ය යන අර්ථයෙන් ආප නම් වේ. මේ අර්ථ දෙක සසම්භාර ආපය වශයෙන් කියන ලදී. සසම්භාර ආප නම් වූ ජලය වැගිරෙන හෙයින් සසම්භාර පෘථිවි නම් වූ පොළොවෙහි ගලා බැසීම් වශයෙන් ඒ ඒ තැනට පැමිණෙන්නේ ය. තවද, පඨවි, තේජො, වායො යන ඉතිරි භූත ත්‍රය, ඔවුනොවුන් ආබන්ධනය කෙරෙමින් හුණුවී යා නො දෙමින්, විසිර යා නො දෙමින් පැතිරේනුයි, පැමිණේනුයි ආප නම් වේ. ඵරුෂාකාරය, පැසවන ආකාරය, විභිද්රවන ආකාරය යන ආකාර ඇති සෙසු භූතත්‍රය විසින් බොනු ලබන්නක්හු මෙන් පවතී යන අර්ථයෙන් ද ආප නම් වේ. තීක්ෂණභාවයෙන් සෙසු භූත තුන හුණු ගන්වන අර්ථයෙන් තේජො නම් වේ. කම්පා කරවන, සොළවන අර්ථයෙන් වායු නම් වේ. සෙසු භූතත්‍රය තමන් පිහිටි තැනින් අන් තැනෙක ඉපදීමට හේතු භාවයෙන් යවන හෙයින් ද වායු නම් වේ. පඨවි, ආපො, තේජො, වායො යන මේ සතර මහා භූතයෝ කර්කශ බවය, වැගිරෙන බවය, උණුසුම් බවය, සැළෙන බවය යන තම තමා අයත් ලක්ෂණ හෙවත් ස්වලක්ෂණ ධරණ හෙයින් ද අනෙක ප්‍රකාර වූ සංසාර දුක්ඛය ගෙන දෙන හෙයින් ද, ධරණ හෙයින් ද ධාතු නම් වෙත්. තවද අනල්ප වූ දුක්ඛයාගේ විධාන මාත්‍රයක් හෙයින් ද වසඟයෙහි නො පවත්නා හෙයින් ද ධාතු නම් වෙත්. එසේම නිස්සත්ත්ව නිර්ජීවාර්ථයෙන් ද ධාතු නම් වෙත්. මෙසේ වචනාර්ථ වශයෙන් ධාතූන් මෙනෙහි කටයුතු.
2. කලාප වශයෙන් :- යම් මේ කෙසා, ලොමා යනාදී වශයෙන් විසිප්රකාරයකින් පඨවි ධාතුව ද, පිත්තං සෙම්හං යනාදී වශයෙන් දොළොස් ප්‍රකාරයකින් ආපො ධාතුව ද දක්වන ලද ද, ඒ ධාතූන් කෙරෙහි, යම් හෙයකින් පඨවිය, ආපය, තේජසය, වායුවය, වර්ණය, ගන්ධය, රසය, ඕජාය යන මේ අෂ්ට ධර්මයන්ගේ සමවධානයෙක් නොහොත් එක්වීමෙක් වේද එකල්හි කේශයහ යන සංඥා මාත්‍රය වෙයි. එම ධර්මයන්ගේ විනිර්භෝගය හෙවත් වෙන්වීමෙක් වේද එකල්හි කේශය යන සම්මුතිය නොවෙයි. එහෙයින් කේශයෝ ද අෂ්ටධර්ම කලාප මාත්‍රයෙක හෙවත් අෂ්ට ධර්මයන්ගේ සමූහ මාත්‍ර ම වෙත්. ලොමාදීහු ද එසේම ය. ඒ කේශාදීන් කෙරෙහි යම් කර්මජ කොටසෙක් ඇද්ද එහි ජීවිතින්ද්රිය රූපය හා භාවරූපය සමග එක් කොට ගත් කල්හි දසධර්ම කලාපයෙක් වෙයි. ලොමාදීහු ද මෙසේ යි. තවද අසිතාදී පරිපාචක තේජො කොට්ඨාසය ජීවිතින්ද්රිය ය හා සමග නව ධර්ම කලාපයෙක් වෙයි, මෙසේ ඒ කෙසාදී කොටස්හු සුදුසු පරිද්දෙන් අට, නව, දස ධර්මයෝ සමූහ වූවාහු ද, එය පඨවි ධාතු ආපො ධාතු මාත්‍රයෙන් මෙනෙහි කරනු ලබන්නේ එහි පඨවි ධාතු ආදීන්ගේ අධික බැවිනැයි දත යුතු. මේ ධාතු මනස්කාර කර්මස්ථානය සත්ත්ව සංඥාව දුරු කිරීම පිණිස වදාරණ ලදී. මෙසේ කලාප වශයෙන් ධාතූහු මෙනෙහි කටයුතු.
සතර ධාතූන් පිළිබඳ දෙසාළිස් (42) කොටසුන් අතුරෙන් උදරියං, කරීසං, පුබ්බො, මුත්තං, යන සතර කොටස්හු උතුසමුට්ඨානයහ, අසිතාදීන් පරිපාචනය කරණ තේජො ධාතුව, කම්ම සමුට්ඨානය, ආශ්වාස වාතය, චිත්ත සමුට්ඨානය. මේ සදෙන එක සමුට්ඨානයහ.
සෙදො, අස්සු, ඛෙලො, සිඞ්ඝාණිකා යන සතර දෙන උතුසමුට්ඨාන, චිත්තසමුට්ඨාන වශයෙන් ද්විසමුට්ඨානයහ.
සෙසු දෙතිස් (32) කොටස්හු චතුසමුට්ඨානයහ.
මොවුන් කෙරෙහි අසිතාදී පරිපාචක තෙජො කොටස්හි හෙවත් ආහාරාදිය පැසවන තෙජො කොටසෙහි එකම ජීවිත නවක කලාපයෙක් වේ. (ජීවිතින්ද්රිය + ශුද්ධාෂ්ඨකය). සෙසු එක සමුට්ඨාන කලාපයන්හි උතුසමුට්ඨාන හෝ චිත්ත සමුට්ඨාන හෝ එක එක අෂ්ටකය වේ. ද්විසමුට්ඨානයන්හි සෘතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන වශයෙන් අෂ්ටක දෙක දෙක වෙති. චතු සමුට්ඨානයන්හි සෘතු, චිත්ත, ආහාර සමුට්ඨාන වූ අෂ්ටක තුන වෙති. සෘතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන වශයෙන් ශබ්ද නවකය ද වේ. පරිපාචක තෙජො ධාතුව හා ආශ්වාස ප්‍රශ්වාස වායො ධාතුව හැර සෙසු තෙජො, වායො කොටස් අටෙහි ජීවිතින්ද්රිය සහිත වූ ජීවිත නවකය ද වේ. සෙසු සූවිසි කොටස්හි කාය දසක, භාව දසක සහිත වෙති. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, වත්ථු යන කොටස් පසෙහි චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක, වත්ථු දසක සහිත වෙති. මෙසේ පරිපූර්ණායතන රූප කායයෙහි භෙදය පරාමර්ශනො කොට, එකත්ත්ව වශයෙන් ගන්නා ලද කලාපයෝ එක්සිය තෙසැත්තෑවෙක් (173) වෙති. රූප විභාග වශයෙන් වනාහි එක් දහස් පන්සිය එක් (1501) රූපයෙක් වෙයි. කොට්ඨාසයන්ගේ අවයව විභාග වශයෙන් වනාහි රූපයෝ අසඞ්ඛ්‍ය බව දත යුතු. මෙසේ ධර්ම විභාග වශයෙන් අනෙක භෙද භින්න වූ මේ දෙසාළිස් (42) කොටස්හු උස්සදග්රහණයෙන් හෙවත් වැඩි ධාතූන්ගේ වශයෙන් චතුර්ධාතු වශයෙන් ම ව්‍යවස්ථා කටයුත්තාහුය.