ආහාරයෙහි ප්‍රතිකූල සංඥා භාවනාව
මේ භාවනාවෙහි ආහාරයෙහි පිළිකුල් ආකාරය හා ඉන් උපදවන උපචාර ධ්‍යානය ද අදහස් කරන ලදී.
ආහාර ප්‍රත්‍යය සඞ්ඛ්‍යාත වූ ප්‍රත්‍යය භාවයෙන් උත්පත්තියෙහි හෝ ස්ථිතියෙහි හෝ තමාගේ ඵලය එළවානුයි, නිපදවානුයි, පවත්වානුයි ආහාර නමි. මේ ආහාරය:-
- කබලිකාරාහාරය
- ඵස්සාහාරය
- මනෝසඤ්චෙතනාහාරය
- විඥානාහාරය යයි චතුර්විධ වේ. මේ සිව්වැදෑරුම් ආහාරයන් අතුරෙන්;-
- කබලීකාරාහාරය:- අර්ථ වශයෙන්-බත්ආදී ද්‍රව්‍යය කබල කොට ගිලිනා අර්ථයෙන් කබලීකාරාහාර නමි. මේ ඕජා සඞ්ඛ්‍යාත කබලීකාරාහාරය ශරීරය පවත්වයි. කර්මජාදී වශයෙන් භෙද භින්න වූ ඕජාරූපය, ප්‍රත්‍යය ලාභය ඇති කල්හි රූපකලාප සන්තති දෙකක් හෝ තුනක් ගළපමින්, ඕජාට්ඨමක රූපය උපදවමින්, රූපකායයට රුකුල් දෙයි. අධ්‍යාත්මික ධර්ම පරම්පරාවට විශේෂ උපකාර ද වෙයි. මේ කබලීකාරාහාරය රසතෘෂ්ණා මූලයෙන් සෙවීම වන හෙයින්, නොයෙක් දුක් විඳිනා බැවින් නිකන්තිය හෙවත් තෘෂ්ණාවම භය වෙයි. තණ්හා නොකොට වළඳත් හොත් දුකට හේතු නොවෙයි. මේ අර්ථය, හෙවත් නිච්ඡන්දරාග පරිභෝගය පිණිස පුත්රමාංසොපමාව දක්වන ලදී. එනම් දුර්භික්ෂ කාන්තාරයෙන් එතර කරන පුරුෂයෙක් මළ පුතාගේ මාංසය තෘෂ්ණාවෙන් තොරව හුදෙක් කාන්තාරයෙන් එතර කිරීම පිණිසම අනුභව කරන්නා සේ, සසර නමැති කතරින් එතර කරනු පිණිසම අනුභව කරන කල රස තෘෂ්ණාව නොපවත්නා බව දත යුතු.
- ඵස්සාහාරය:- අරමුණ වැදගන්නා හෙයින් ඵස්ස නමි. අරූප ධර්ම වූ මේ ඵස්සය, අරමුණෙහි ඵුසනාකාරයෙන් වැදගන්නා හෙයින් ඵුසන ලක්ෂණ වෙයි. වෙදනාදී වශයෙන් භෙදභින්න වූ හෙවත් සුඛ වෙදනාදීන්ට ප්‍රත්‍යය වූ ඵස්සාහාරය සුදුසු පරිදි ත්‍රිවිධ වෙදනාවන් උපදවමින් තම තමා එක්ව යෙදුනු ධර්මයන්ට හා තත් සමුට්ඨාන රූපයන්ට ද රුකුල් දෙයි. වෙදනාවට විශේෂ උපකාරද වෙයි. ස්පර්ශාහාරය අරමුණු හා එක්වීම ම භය වෙයි. සුඛ වෙදනීයාදී ස්පර්ශයට හේතුව කාය සංසර්ගාදී වශයෙන් අරමුණු හා එක්වීම ය. එයින් වෙදනාවන් ඉපදීම වෙයි. ඵස්සමූලයෙන් වන දුක්ඛය අරමුණු හා එක්වීමෙන් වන බැවින් උපගමනයම (එක්වීමම) භය වේ යයි දත යුතු. සමගැසූ ගවදෙන සිටි සිටි තැනම පණුවන් කන්නාසේ ස්පර්ශය උපන් උපන් තන්හිම වෙදනාව ද උපන්නේ වෙයි. ස්පර්ශය ඇති තන්හි වන වේදනාව දුක් වශයෙන් හුල් වශයෙන් ආදීනව දක්නාහට උපගමනය භය නොවන්නේ ය.
3. මනෝසඤ්චේතනාහාරය:- සිතනුයේ චේතනා නම්. මේ චේතනාව තමා හා සම්ප්‍රයුක්ත වූ ධර්මයන් අරමුණෙහි ගළපන්නේ ය. මනස නම් වූ සිත ඇසුරු කොට ඇති චේතනාව මනෝසඤ්චේතනා නම් වේ. පුණ්‍යාභිසංස්කාර ආදී වශයෙන් භේද - භින්න වූ මේ චේතනාව, කාමභවාදී තුන් භවයෙහි සුදුසු පරිද්දෙන් සවිඥානක - අවිඥානක ප්රතිසන්ධිය එළවන හෙයින් මනෝසඤ්චේතනාහාර යයි කියනු ලැබේ. මේ මනෝසඤ්චේතනාහාරය, ඒ ඒ භවයෙහි විඥානය පිහිටීමෙන්, මේ හැම දුකටම පිහිටවන බව, සිඹවන බැවින් පිහිටවීම භය යයි කියනු ලැබේ. දුර්වල මිනිසෙකුගේ අත් දෙක ගෙණ අඟුරු වලක හෙළන බල ඇති මිනිසුන් මෙන් කුසලාකුසල කර්ම ද භව නමැති අඟුරු වළෙහි හෙළන්නේ ය. රාග, දොස, මොහ, ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන එකොළොස් වැදෑරුම් ගින්නෙන් සර්වාකාරයෙන් ඇවිළගත්තාක්මෙන් භවය දක්නාහට උත්පත්තිය හෙවත් භවයෙහි පිහිටවීම භයක් නො වන්නේ ය.
4. විඤ්ඤාණාහාරය:- යුක්ති සැළකීම් වශයෙන් විශේෂයෙන් දැනගන්නා අර්ථයෙන් විඥාන නම් වේ. මේ විඥානය ප්රතිසන්ධික්ෂණයෙහි සුදුසු පරිද්දෙන් නාමය ද, රූපය ද උපදවන හෙයින් විඥානාහාරය නම් වේ. අරූප තලයෙහි නාමය ද, අසංඥ තලයෙහි රූපය ද, සෙසු භවයෙහි නාම - රූපයන් ද උපදවන හෙයිනි. මේ විඥානාහාරයෙහි භවාන්තරාදීන් හා ගැළපීමම භය වෙයි. ආයුධ වලින් පහරණ ලද සොරෙකු මෙන්, මෙය දත යුතු. සොරහු බඳුය පුද්ගලයා. ආයුධය බඳුය විඥානය. ආයුධ පහර මුල් කොට ඇති වෙදනාව බඳුය විඥානමූල වෙදනාව. මෙසේ ආදීනව වශයෙන් ගන්නා තැනැත්තාහට, ප්රතිසන්ධිය භයක් නො වන්නේ ය.
මේ සතර වැදෑරුම් ආහාරයන් අතුරෙන් අසිත හෙවත් වැළඳිය යුතු භෝජනය, පීත හෙවත් පියයුතු පානය, ඛායිත හෙවත් කෑයුතු කැවුම් ආදිය, සායිත හෙවත් ලෙවිය යුතු දැය යනාදී වශයෙන් ප්‍රභේද ඇති කබලීකාරාහාරයම හෙවත් සවස්තුක වූ ආහාරයම මේ ආහාරයෙහි පටික්කූල සඤ්ඤාව ඉපදවීමට සුදුසු වූ කමටහනක් වන්නේ ය. ඒ ආහාරයෙහි හෙවත් ඕජා ආහාරය නොගෙණ සවස්තුක වූ ගිලිනා ආහාරයෙහි පිළිකුල් වශයෙන් ගැනීමෙන් උපන් සංඥාව ආහාරෙපටික්කුල සඤ්ඤා නම්.
ආහාරයෙහි පිළිකුල් සංඥාව වඩනු කැමති යෝගාවචරයා විසින් මේ කමටහන ආචාර්‍ය්‍යයන් ඇසුරු කොට පෙළ ධර්ම වශයෙන් ද, අර්ථ වශයෙන් ද මනා කොට ඉගෙණ එක පදයකුදු නොවරදවා රහසිගතව හිඳ මනා සිහිය උපදවා භෝජනාදී වශයෙන් සිව්වැදෑරුම් වූ ආහාරයෙහි පිළිකුල් බව දස ආකාරයකින් ප්රත්යවේක්ෂා කළ යුතු. ඒ මෙසේයි:-
- ගමනාගමන වශයෙන්
- පරියෙසන වශයෙන් හෙවත් ගෙයක් පාසා සෙවීම් වශයෙන්
- පරිභෝග වශයෙන්
- ආසය වශයෙන් හෙවත් පිත්තාදීන්ට ආශ්‍රය වශයෙන්
- නිධාන වශයෙන් හෙවත් තිබෙන තැන් වශයෙන්
- අපරිපක්ක වශයෙන් හෙවත් නොපැසීම් වශයෙන්
- පරිපක්ක වශයෙන් හෙවත් පැසීම් වශයෙන්
- ඵල වශයෙන් හෙවත් ප්‍රධාන ඵල වශයෙන්
- නිස්සන්ද වශයෙන් හෙවත් අප්‍රධාන ඵල වශයෙන්
- සම්මක්ඛන වශයෙන් හෙවත් මැකීම් වශයෙන් ය.
1. ගමනාගමන වශයෙන් :- මහානුභාව ඇති බුදුසස්නෙහි පැවිදිවූවහු විසින් මුළු රෑ බුදු බණ සජ්ඣායනා කොට හෝ මහණදම් පුරමින් හෝ සිට උදැසන්නී ම නැගිට දාගැබ් මහ බෝමළුයෙහි වත් කොට බොන පැන් ද, පරිභෝග කටයුතු පැන් ද එළවා තබා, ලැඟුම්ගෙය හැම ද, සිරුරු පිළිදැගුම් කොට, අසුනට නැගී විසිවරක් හෝ තිස්වරක් හෝ කමටහන මෙනෙහි කොට අස්නෙන් නැගී පාසිවුරු ගෙණ, ජන සම්බාධ රහිත වූ උපධි විවේක සුවය, සෙවණ හා ජල පහසුව ද, ශුද්ධ වූ සිහිල් වූ රම්‍ය වූ භූමිභාග ඇති තපෝවනයන් හැර, නිර්දෝෂ වූ ධ්යානරති අපේක්ෂා නොකොට, අමුසොහොනට අභිමුඛ වූ සිවලක්හු මෙන්, අහර පිණිස ගමට අභිමුඛවූවහු වශයෙන් යා යුතු. මෙසේ යන්නහු විසින් ඇඳෙන් හෝ පුටුවෙන් හෝ නැගිටි තැන් සිට පාදූවිලිය ද, සුහුණු සිකනැලි මල ආදියෙන් ගැවසුණු පාපිස්න ද, ඉක්මවා යා යුතුය. ඇතැම් දවසෙක මී වසුරු වවුල් වසුරු ආදීන් දූෂිත බැවින්, ඇතුළු ගැබට වඩා වෙසෙසින් පිළිකුල් වූ ඉදිරි පෙදෙස ද දැක්ක යුතු වේ. ඇතැම් දිනෙක බකමුහුණු පරෙවි ආදීන්ගේ වසුරෙන් වැකුණු හෙයින් මතුමාල් තලයට වඩා වෙසෙසින් පිළිකුල් වූ යට මාල්තලය වන්නේ ය. කිසිදිනෙක වාතයෙන් සැලෙන වියලි පත්‍ර ද, ගිලන් හෙරණුන්ගේ මුත්‍රය, මලය, කෙළය, සොටුය යනාදීන් ද, වර්ෂා කාලයෙහි දිය, මඩ, කසළ ආදියෙන් ද වැඩියක් කිලිටු වූ හෙයින් යටමහල් තලයට වඩා වෙසෙසින් පිළිකුල් වූ ලැගුම් ගෙය වෙයි. එයට වඩා වෙසෙසින් පිළිකුල් වූ වෙහෙරට වදින මාර්ගය ද දැක්ක යුතු වේ. මෙසේ අනුක්රමයෙන් වනාහි චෛත්‍යය ද, බෝධිය ද, වැඳ විතර්කමාලයෙහි සිටියහු විසින් මුතුරැසක් බඳු වූ චෛත්‍යය ද, මොනරපිල් කලඹක් මෙන් මනහර වූ බෝධිය ද, දිව්‍ය විමාන සම්පත්තියක්සේ ශ්රීයාසහිත වූ සෙනස්න ද බලා, මෙබඳු වූ රම්‍ය වූ ප්‍රදේශයට පිටිපා ආහාරය නිසා යා යුතු වන්නේ යයි නික්ම යා යුතු. මෙසේ ගමට යන මගට පිළිපන්නහු විසින් කුණු කටු ඇති මග ද, ජලවේගයෙන් බිඳිනා ලද සමනො වූ මග ද, දැක්ක යුතු වේ. ඉක්බිත්තෙන් වාතාතපාදී උපද්‍රව දුරු කරණ පිණිස ගඩක් වසන රෝගියක්හු මෙන් හඳනය හැඳ, වනවැසූ කඩක් බඳනක්හු මෙන් කාය බන්ධනය බැඳ, ඇටසැකිල්ලක් වසන්නක්හු මෙන් සඟල සිවුර පෙරව, බෙහෙත් කබලක් මෑතට ගන්නක්හු මෙන් පාත්‍රය එවිකායෙන් මෑතට ගෙණ, ගම් දොර සමීපයට පැමිණෙන්නහු විසින් ඇත් කුණුය, අස්කුණුය, ගෝකුණුය, මිනිස්කුණුය, බලුකුණුය යන මොහු දැක්ක යුතු වෙත්. හුදෙක් දැක්ක යුතුම නොවෙති. නාසය කඩා බිඳයන්නාසේ ඔවුන්ගේ දුර්ගන්ධය ද ඉවසිය යුතු වේ. ගම් දොර සමීපයෙහි එළියෙන් ඇතුළත චණ්ඩහස්ති අශ්වාදීන්ගෙන් උපද්‍රව දුරු කරණ පිණිස ගම්හි මහා මාර්ග බැලිය යුතු වෙත්. මෙසේ පාපිස්නාදී අනේක කුණපයන් කෙළවර කොට ඇති මේ පිළිකූල ආහාරය කරණකොටගෙණ මැඩිය යුතු ය. දැක්ක යුතු ය. ආඝ්‍රාණය කටයුතු ද වේ. මෙසේ “පින්වත, ඔබ විසින් ඒකාන්තයෙන් ආහාරය පිළිකුලැයි” ගමන වශයෙන් පිළිකුල් බව ප්රත්යවේක්ෂා කටයුතු ය.
2. පර්‍ය්‍යෙෂණ වශයෙන්:- මෙසේ ගමනෙහි පිළිකුල් බව ඉවසා ගමට පැමිණ සඟල සිවුර පොරවා කබලක් අතින් ගත් යාචකයෙකුසේ ගෙපිළිවෙලින් ග්රාමවීථියෙහි හැසිරිය යුතු වේ. වැසිකලෙක නම් පා තැබූ තැබූ තැන කෙණ්ඩ දක්වා ජලසහිත වූ මඩෙහි පාදයෝ එරෙන්නාහ. එසේ වූ කල්හි එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් සිවුර ඔසවා යා යුතු වේ. ග්‍රීෂ්ම කලෙක නම් පවන් වේගයෙන් නගාලූ පස්, තණ, දුහුලියෙන් ගැවසීගත් සිරුරු ඇතිව හැසිරිය යුතු වේ. ඒ ඒ ගේදොරට පැමිණ මස්දෝනා, මාංසදෝනා, සහල්දෝනාදිය හා කෙළ, සොටු, බලු හූරු වසුරු ආදීන් මිශ්‍ර වූ පණුකැලන් ඇති, නිලමැස්සන් විසින් ගැවසීගත් කුණු වල සඟ ගවර වළඳ දැක්ක යුතු වන්නාහ. එකල්හි ඒ නිලමැස්සෝ නැගී සඟළ සිවුර ද, පය ද, හිස ද යනාදී තන්හි වසති. ගෙයකට වැඩි කල්හි සමහර කෙනෙක් දෙති. සමහර කෙනෙක් නොදෙති. දෙන්නාහු ද සමහර කෙනෙක් ඊයේ පිසූ බත් ද, පරණව ගිය කැවුම් ද, පිළිණි වූ කොමු ආදිය ද දෙති. නොදෙන්නාහු ද, සමහර කෙනෙක් “වහන්ස, වැඩිය මැනවැයි” කියති. සමහර කෙනෙක් නොදුටුවන් මෙන් මුවෙන් නොබෙණෙති. සමහර කෙනෙක් මුහුණු ඇලකෙරෙති. සමහර කෙනෙක් “කොල මුණ්ඩකය යවයි.” මේ ආදී පරුෂ වචනයෙන් බෙණෙති. මෙසේ බැගෑ පත් මිනිසෙකු මෙන් ගමෙහි පිඬු සිඟා නික්මිය යුතු. මෙසේ ගම්වැදීමෙහි පටන්ගෙන ගමින් නික්මීම දක්වා දියමඬ ආදී පිළිකුල්, අහර හේතුකොට ඉවසිය යුතු වේ. දැක්ක යුතු වේ. - අහෝ - ආහාරය පිළිකුලැයි මෙසේ පර්‍ය්‍යෙෂණ වශයෙන් පිළිකුල් බව ප්රත්යවේක්ෂා කටයුතු.
3. පරිභෝග වශයෙන්:- මෙසේ සොයන ලද අහර ඇත්තහු විසින් ගමින් පිටත පහසු තැනෙක සුවසේ හිඳ, යම්තාක් ඒ අහරයෙහි අත නොතබා ද, ඒතාක් ඒ බඳුවූ ගරු කටයුතු භික්ෂුවක් හෝ ලජ්ජී මිනිසෙකු හෝ දැක ආරාධනා කිරීමට ද පිළිවන් වෙයි. මේ පාත්‍රගත වූ ආහාරයෙහි, වළඳනු කැමැතිව අත එබූ කෙණෙහි, පිඬු ගන්වයි කියන්නේ නම් මොහු මට දෙන්නේ ඉඳුල් දෙහෝයි සැකය හා ලජ්ජා කටයුතු වේ. අහරයෙහි අත තබා අණන්නාහට වනාහි ඇඟිලි පස දිගේ ඩහදිය වැහෙන්නේ වියළුණු දැඩි බත ද තෙමෙන්නේ එය මොළොක් කෙරේ. පසුව ඒ අහර අතින් ඇණු පමණින් ම එහි ස්වභාවය වෙනස් වී යයි. පිඬුකොට මුඛයෙහි තිබූ කල්හි යට දත් වංගෙඩියක් මෙන් ද, උඩුදත් මොහොලක් මෙන් ද, දිව අතක් මෙන් ද කටයුතු කරන්නේ ය. මෙසේ ඒ අහර බලු බඳුනක ලූ බලුබත් පිඩක් මෙන් මුඛයෙහි දී දත් මොහොලින් කොටා දිවින් පෙරළනු ලබන්නේ, දිව අග තිබූ පහන් කෙළින් ද, දිව මැද පටන් ගෙන බොල් කෙළින් ද, දැවටුදඬු නො පෙවෙන තැන දත්මලින් ද හණාගත් මේ අහරය සුණු වී එකෙණෙහි ම නැති වූ වර්ණ, ගන්ධ, සංස්කාර විශේෂය ඇතිවූයේ බලු බඳුනක තිබූ බලු වමනයක් මෙන් අතිශයින් පිළිකුල් බවට පැමිණේ. මෙබඳු වූ ඒ අහරය ඇසට හමු නොවන හෙයින් ගිලින්නට හැකි වේ. මෙසේ පරිභෝග වශයෙන් ද පිළිකුල් බව මෙනෙහි කටයුතු.
4. ආශය වශයෙන්:- මද පින් ඇත්තන්ට වනාහි මෙසේ වැළඳූ ආහාරය ආමාශයටවන් කල්හි පිතය, සෙමය, සැරවය, ලෙහෙය යන මේ සතර ආශයෝ ම වෙති. යමෙක්හට පිත්තාශය අධික වේ නම් ඕහට උකු මිතෙලින් මිශ්රකළාක් මෙන් අතිශයින් ම පිළිකුල් වේ. යමෙක් හට ශ්ලේෂ්මාශය අධික වී නම්, ඕහට ඇත්බැබිල කොළ යුෂයෙන් මිශ්‍ර කළාක් මෙන් අතිශයින් පිළිකුල් වේ. යමෙක්හට සැරව හෙවත් පුබ්බාශය අධික වී නම් ඕහට කුණු වූ මොහොරුයෙන් මිශ්‍ර කළ දෙයක් මෙන් අතිශයින් පිළිකුල් වේ. යමෙක්හට ලෙහෙ හෙවත් ලෞහිතාශය අධික වී නම් ඕහට පඬුයෙන් හැනූ දැයක් මෙන් අතිශයින් පිළිකුල් වේ. බුදු-පසේබුදු, සක්විතිරජුන්හට වනාහි මහා පින් ඇති හෙයින් මේ සතර ආශයන් අතුරෙන් එක්තරා ආශයෙක් ම වෙයි. මන්දපුණ්යයන්ට සතර ආශයෝ ම වෙත්. එහෙත් එකක් අධික වේ. මෙසේ ආශය වශයෙන් පිළිකුල් බව ප්රත්යවේක්ෂා කට යුතු.
5. නිධාන වශයෙන්:- මෙසේ මේ ආහාරය මේ සතර ආශයයන් අතුරෙන් එක්තරා ආශයයකින් වැකුණේ, ඇතුළු උදරයට වැද ඒ අහර රන් බඳුනෙක හෝ මාණික්‍ය රත්නාදී බඳුනෙක හෝ තැන්පත් වන්නේ නොවේ. ඉදින් ඒ ආහාරය දසහැවිරිදි වූවෙක් විසින් කනු ලැබේ නම් දස හවුරුද්දකින් සුද්ද නොකළ වැසිකිලි වලක් බඳු අවකාශයෙහි පිහිටන්නේ ය. ඉදින් විසිහවුරුද්දක්, තිස්හවුරුද්දක්, සතළිස්හවුරුද්දක්, පනස්හවුරුද්දක්, සැටහවුරුද්දක්, සැත්තෑහවුරුද්දක්, අසූහවුරුද්දක්, අනූ හවුරුද්දක්, සියහවුරුද්දක් වයසැති, කෙනෙකු අනුභව කෙළේ නම්, එතෙක් එතෙක් කල් නොසේදූ වැසිකිලි වළක් බඳු වූ අවකාශයෙහි පිහිටන්නේ ය. මෙසේ පිහිටන තැන් හෙවත් නිධාන වශයෙන් පිළිකුල් බව මෙනෙහි කළ යුතු.
6. අපරිපක්ක වශයෙන්:- මෙසේ ඇතුළු උදරයට පැමිණ ආහාරය නොපැසී සිටිනතාක් කල් අතිශය අන්ධකාරයෙන් අඳුරු වූ නොයෙක් කුණප ගඳින් වාසිත වූ සුළඟින් හැසිරෙන ලද, අතිශයින් දුර්ගන්ධ වූ පිළිකුල් වූ ඒ ප්‍රදේශයෙහි යම්සේ ග්‍රීෂ්ම කාලයෙහි අකල් වැසි වස්නා කල්හි සැඩොල් ගම් දොර වූ වළෙහි පතිත වූ තෘණය, පත්‍රය, පැදුරු කඩය, සර්පකුණුය, මිනිස්කුණුය යනාදීහු හිරුරැසින් කකියන ලද්දාහු, පෙණ හා බුබුලින් ගැවසී ගත්තාහු සිටිද්ද, එපරිද්දෙන් ම, එදවස් ද, පෙරදින ද, එයට පළමු දින ද කනලද සියලු අහරම එක්ව ගෙන, සෙම්පටලයෙන් වළඳනාලද්දේ, කයෙහි හටගත් ජඨරාග්නියෙන් තවන ලද්දේ, කැකෑරීමෙන් හටගත් පෙණ හා බුබුලෙන් ගැවසීගත්තේ, අතිශයින් පිළිකුල් බවට පැමිණ සිටින්නේ යයි මෙසේ අපරිපක්ක හෙවත් නොපැසුණු ආහාරය පිළිකුල් බව ප්රත්යවේක්ෂා කට යුතු.
7. පරිපක්ක වශයෙන්:- ඒ අහරය කායාග්නියෙන් පැසුණු කල්හි නිසිලෙස තවන ලද රන්-රිදී ආදී ධාතූන්සේ රන්-රිදී ආදී බවට නොපැමිණ, පෙණ හා බුබුලු නංවමින් ඇඹරුම් ගලෙහි ලා අඹරා ගෙන නළයෙක පුරාලූ පඬුවන් මැටි පිඩක් මෙන් මළ බවට පැමිණ පක්වාසය ද, මූත්රභාවයට පැමිණ මූත්රවස්තිය ද හෙවත් මූත්‍රාශය ද පුරන්නේය යයි මෙසේ පැසුණු අහර වශයෙන් පිළිකුල් බව මෙනෙහි කට යුතු.
- ඵල වශයෙන්:- මෙසේ මනාව පැසෙන්නා වූ මේ අහරය, කෙස්, ලොම්, නිය, දත් ආදී වූ නොයෙක් කුණපයන් උපදවයි. මනාව නොපැසුණු අහරය දද ය, කණ්ඩු ය, කැසිලිය, කුෂ්ටය, පාණ්ඩුය, ක්ෂය ය, කාශය, අතීසාරය යනාදී වූ සිය ගණන් රෝග උපදවයි. මෙසේ අහරයෙහි ඵල වශයෙන් පිළිකුල් බව ප්රත්යවේක්ෂා කළ යුතු.
- නිස්සන්ද වශයෙන්:- මේ අහරය වළඳනා කල්හි එක් දොරකින් ශරීරය තුළට වැද පිටතට නික්මෙන කල්හි, ඇසින් අක්ෂිගුථ නම් වූ කබය, කණින් කණිගුථ නම් වූ මලය, නැහැයෙන් මුකුණු හෙවත් සොටුය, මුඛයෙන් කෙළය, සමහර කලෙක එම ද්වාරයන්ගෙන් පිත්, සෙම්, ලෙහෙ ආදිය ද, වර්චස් මාර්ගයෙන් වසුරු ද, මුත්‍ර මාර්ගයෙන් මුත්‍ර ද, සකල ශරීරයෙහි රෝමකූපයෙන් ඩහඳිය දැයි නොයෙක් ප්‍රකාර වූ අශුචි බවට පමුණුවා නික්ම වති. එසේම මේ ආහාරය වළඳනා කල්හි මහත් පිරිවර ඇතිව වළඳනු ලැබේ. නිස්සන්දන සමයෙහි හෙවත් පිට කරන කල්හි මලමුත්‍ර ආදී බවට පැමිණියේ තනිවම සැඟවී නික්ම වනු ලැබේ. පෙරදවස්හි ඒ අහරය වළඳනා කල්හි සතුටු වූයේ වේ. එසේම ඔදවැඩි සිත් ඇත්තේ ද වේ. හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ ද වේ. පසුදවස්හි එය වගුරුවන කල්හි වසන ලද නාසිකා ඇත්තේ වේ. පිළිකුල් හෙයින් හකුළුවන ලද මුහුණු ඇත්තේ වේ. ඉතා පිළිකුල් ඇත්තේ වේ. මකුනකු මෙන් සැඟවෙන ස්වභාවය ඇත්තේ වේ. පළමු දවස්හි ඒ අහරය, මේ කය පෝෂ්‍යය කරම්හයි ඇළුණේ, චිත්තයාගේ විපරිණාමාකාර ඡන්දරාගයෙන් රත්වූයේ, විශේෂයෙන් කැමතිවීම් ස්වභාව වූ අතිශය ගිජු බැවින් ඇලීමට පැමිණියේ, ගැටගැසුනාක් මෙන් ප්‍රතිබද්ධ ඇත්තේ, රසතෘෂ්ණායෙන් මුළාවට පැමිණියේ වේ ද, දෙවන දවස්හි එක් රැයක් විසීමෙන් නො ඇළුණේ, දුක්වනු ලබන්නේ, ලජ්ජාවනු ලබන්නේ, නින්දාකරන්නේ, පහකරයි. මෙසේ නිස්සන්ද ඵල හෙවත් අප්‍රධාන ඵල වශයෙන් අහරය පිළිකුල් බව මෙනෙහි කට යුතු. 10. සම්මක්ඛන වශයෙන්:- වළඳන කල්හි ද මේ අහරය දතය, තොලය, දිවය, තල්ලය යන මේ තන්හි තැවරීම නිසා පිළිකුල් වෙයි. මේ දත් ආදිය සෝදන ලද්දාහු ද, එහි ගඳ දුරු කරණු පිණිස නැවත, නැවත සේදිය යුතු වෙත්. අහරය වළඳනා ලද්දේ ද, යම්සේ බත් පැසෙන කල්හි බොල්, ඇඟි, කුඩු ආදිය ඉතිරී, සැළියෙහි මුවවිට හා පියන්හි තැවරී සිටි ද, එපරිද්දෙන් ම සියලු සිරුර අනුව පවත්නා වූ කායාග්නියෙන් පෙණ නග නගා පැසී ඉතිරෙන්නේ දත්හි දත්මල වශයෙන් ද, දිවය, තල්ලය යනාදී තන්හි කෙළ සෙම ආදී වශයෙන් ද, ඇස, කණ, නාස, අධෝමාර්ගාදීන්හි ඇස් මලය, කත් මලය, සොටුය, මල මුත්‍රය යනාදීන්ගේ වශයෙන් තැවරී පවතිත්. මේ දොරටු දිනෙන් දිනම සෝදනු ලබන්නාහුද, පිරිසුදු නොවෙති. මනහරද නොවෙති. යම් මගක් අතින් සෝදන ලද්දේ වේ ද, එම අත දියෙන් නැවත නැවත සේදිය යුතු වේ දෙතුන් විටෙක සුවඳ සුණු ආදියෙන් ද සේදිය යුතු වේ. මෙසේ ද සෝදා පිළිකුල් බව ඉවත් කිරීම දුෂ්කර වේ. මෙසේ ගැල්වීමෙන් හෙවත් සම්මක්ඛන වශයෙන් පිළිකුල් බව මෙනෙහි කට යුතු.
මෙසේ දශආකාරයකින් අහරයෙහි පිළිකුල් බව මෙනෙහි කරන්නාහට තර්ක කරන්නාහට, විතර්ක කරන්නාහට පිළිකුල් සංඥා වශයෙන් කබලීකාරාහාරය ප්‍රකට වෙයි. එහෙයින් මේ කමටහන ආහාරෙ පටික්කූල සඤ්ඤා නම් වේ. ඒ සංඥාව භාවනා වශයෙන් වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් ප්රකටව වැටහෙන කල්හි ඒ යෝගාවචරයාගේ සිත නීවරණයන්ගෙන් පහවෙති. කෙළෙස් සංසිඳේ. කබලීකාරාහාරය පිළිකුල් හෙයින් සිත අර්පණාවට නො පැමිණ උපචාර සමාධියෙන් සමානිත වෙයි.
අනුසස්:- මේ ආහාරයෙහි පටික්කූල සංඥායෙන් යුක්ත වූ මහණහුගේ සිත රස තෘෂ්ණාවෙන් හැකිළෙයි, පෙරළි වැටෙයි. වළකී. ඒ යෝගී තෙම කතරින් එතර වනු කැමැත්තහු විසින් පුත්‍ර මාංශය කන්නාක් මෙන්, පහවූ මද ඇතිවූයේ, හුදෙක් දුක්ඛයාගේ නිස්තරණය පිණිස අහර අනුභව කරන්නේ ය. ඒ යෝගීහට නිදුකින් ම කබලීකාරාහාරය පිරිසිඳ දැනීම් වශයෙන් පඤ්චකාම ගුණ විෂය රාගය පිරිසිඳ දැනීමට පැමිණේ. අපරිපක්ක ආදී පටික්කුල භාව වශයෙන් ද ඒ යෝගීහට කායගතාසති භාවනාව ද සම්පූර්ණ බවට පැමිණේ. අසුභ සංඥාවට හා අනුලොම ප්‍රතිපදාවට ද පිළිපන්නේ වේ. මේ පිළිවෙත නිසා මෙම ජන්මයෙහි නිර්වාණාවබෝධය නො කෙළේ නම් ඒකාන්තයෙන් ම සුගතිපරායන වේ ම ය.
මේ භාවනාවට ඒක සංඥා යයි ද කියනු ලැබේ.