අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය

නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙම ආවජ්ජන සමාපජ්ජනාදී වූ පස් ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි වශීප්‍රාප්තව, මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට විඤ්ඤාණඤ්චායතන නමැති ළංවූ සතුරෙක් ඇත්තේ ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙන් සන්සුන් බවට පැමිණියේ ද නොවෙයි, ප්‍රත්‍යයෙන් යැපිය යුතු බැවින් ද, රෝගයට මූල බැවින් ද සඤ්ඤාරෝග හෙවත් සංඥාව රෝගයකට බඳුය, දුක් බැවින් හා රිදීම ඇති කරන හෙයින් සඤ්ඤා ගණ්ඩ හෙවත් සංඥාව පොළක් බඳුය. පීඩා උපදවන හෙයින් සඤ්ඤාසල්ල හෙවත් සංඥාව හුලක් බඳුය. වේදනා චේතනාදිය ද මෙසේ ම ය. මේ සියල්ල සංඥාව (විඥානය) ඇති කල්හිම වන්නේ ය. යම් නේවසඤ්ඤානාසඤ්ඤාවක් වේ ද, එය ම ශාන්ත ය, ප්‍රණීත ය. මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව හා නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් ද දැක, ආකිඤ්චඤ්ඤායතනයෙහි නිකන්තිය හෙවත් ආසාව හැර නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ශාන්ත බව මෙනෙහි කොට, ප්‍රථම ආරුප්‍ය විඥානයාගේ හෙවත් ආකාසානඤ්චායතනයාගේ අභාවය අරමුණු කොට පවත්වන ලද ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියම ශාන්තය, ශාන්තය යයි නැවත නැවත මෙනෙහි කරන, ආවර්ජනා කරන, ප්‍රත්‍යවේක්‍ෂා කරන, තර්ක කරන, විතර්ක කරන ඒ යෝගාවචරයාගේ සිත්හි නීවරණයෝ පහ වෙති. සිහිය මනාව පිහිටයි. උපචාර වශයෙන් සිත සමාහිත වෙයි. හෙතෙම ඒ නිමිත්ත හෙවත් ඒ ධ්‍යාන සිත ආසේවනය කරන්නේ, නැවත නැවත වඩන්නේ අකාසානඤ්චායතනයාගේ අභාවයෙහි ආකිඤ්චඤ්ඤායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යයි කියන ලද සතර නාමස්කන්ධයන්හි නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව පිහිටන්නේ ය. එහෙයින් මේ යෝගාවචර තෙම “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති” සර්වාකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කෙරේ යයි වදාරණ ලදී.

මෙහි ආකිඤ්චඤ්ඤායතන නම් වූ ආරම්මණයත්, ධ්‍යානයත් යන දෙකම අපවත් කිරීමෙන් හා මෙනෙහි නො කිරීමෙන් ද, ඉක්මවා, පඤ්චවොකාර භවයෙහි ද, යට තුන් අරූප භවයෙහි ද සංඥා මෙන් ඕළාරික සංඥා නැති බැවින් සංඥා නැත්තී යයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයට පැමිණීමෙන් සූක්‍ෂම සංඥාව විද්‍යමාන බැවින් සංඥා නැත්තී නොවේ යයි කියා ද නේවසඤ්ඤානාසඤ්ඤා නම් වූ ධ්‍යානයට සමවැද වාසය කරන්නේ යයි කියන ලද බව දත යුතු.

ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට සංස්කාරාවශේෂ සමාපත්තිය වඩන ඒ පුද්ගල තෙම නේවසඤ්ඤානාසඤ්ඤි නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනය, ආරම්මණ ශාන්ත භාවයෙන් ම මෙනෙහි කරණ බවත් අඞ්ග ශාන්ත භාවයෙන් මෙනෙහි නො කරණ බවත් දත යුතු. අඞ්ග ශාන්ත භාවයෙන් මෙනෙහි කරන්නේ නම් ඒ ධ්‍යානය ආවජ්ජන සමාපජ්ජනාදී ප්‍රතිපත්තියෙන් පුරුදු කළ යුතු වේ. මෙහිදී එසේ නොව අරමුණු කිරීම් මාත්‍රයකින් මෙනෙහි කිරීම වෙයි. එය ද ආකිඤ්චඤ්ඤායතනයට වඩා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්තය, ප්‍රණීතය යනාදී වශයෙන් මෙනෙහි කරන්නේය.

යම්සේ රජතෙම, මහත් රාජානුභාවයෙන් ඇතකු පිට හිඳ නුවර වීථියෙහි හැසිරෙන්නේ, ඇත්දත් වැඩ කරණ ශිල්පීන්, එක් වස්ත්‍රයක් තරකොට හැඳගෙණ, එක් වස්ත්‍රයකින් හිස වසා බැඳගෙණ, දත් සුණු ආදීන් ගැවසීගත් ශරීර ඇතිව, නොයෙක් අත් කැටයම් කරණුවන් දැක “මොහු ඉතා දක්‍ෂයෙක, මෙබඳු මෙබඳු ශිල්ප කරන්නේ” යයි ඔහුගේ දක්‍ෂ බවට සතුටු වෙයි. මම ද රාජ්‍යය හැර මෙබඳු ශිල්පියෙක් වී නම් යෙහෙකැයි නො සිතයි. එයට හේතුව රාජ්‍යශ්‍රීය මහත් අනුසස් ඇති බැවිනි. රජ තෙම මෙසේ ශිල්පියාට සතුටුව ඔහු ඉක්මවා යන්නේ ය. එපරිද්දෙන් ම යෝගාවචර තෙම ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කොට එය ඉක්මවා, යම් සියුම් සංඥාවක් කරණ කොට ගෙන නෙවසඤ්ඤානාසඤ්ඤා නම් වේද ඉතා සියුම් බැවින් සංස්කාරයන්ගේ ශේෂතා මාත්‍ර සමාපත්තිය වඩන්නේ යයි කියනු ලැබේ ද, අතිශයින් සියුම් වූ ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සමාපත්තියට සමවැද වාසය කරන්නේ ය.

මෙසේ සංඥා ශීර්‍ෂයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤා යයි වදාළ නමුත් එපමණක් නොව වෙදනාව ද ගෙන නෙවවෙදනා නාවෙදනා යයි ද, චිත්තය ගෙන නෙවචිත්තං නාචිත්තං යයි ද, ස්පර්ශය ගෙන නෙවඵස්සො නා ඵස්සො යයි ද මේ ක්‍රමයෙන් සෙසු සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ගෙන ව්‍යවහාර කළ හැකි වේ.

එක්තරා සාමණේර නමක් පාත්‍රයෙහි තෙල් ගල්වා තැබුයේ ය. පසුව කැඳ වළඳන කාලය පැමිණි කල්හි තෙරුන්වහන්සේ පාත්‍රය ගෙනෙවයි කීය. හෙරණ තෙම පාත්‍රයෙහි තෙල් ඇතැයි කීය. එසේ නම් තෙල් ගුලාවෙහි වක්කරන්නෙමි කී කල්හි, වහන්ස, තෙල් නැතැයි කීය. මේ උපමාවෙහි පාත්‍රයෙහි තෙල් ගල්වා තැබූ හෙයින් තෙල් ඇතැයි කී නමුත් ගුලාවෙහි වැක්කිරීමට තරම් තෙල් නැති හෙයින් තෙල් නැතැයි කීහ. එපරිද්දෙන් ම ඒ සංඥාව ද ඕදාරික සංඥාවගේ කෘත්‍යය කිරීමට අසමර්‍ත්‍ථ හෙයින් නෙවසඤ්ඤා නම් වුවද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ඇති බැවින් (න - අසඤ්ඤා) නාසඤ්ඤා නම් වේ. මෙහි සංඥා කෘත්‍යය නම් අරමුණු හැඳිනීම හා විදර්ශනාවට ද විෂයභාවයට පැමිණ නාම රූපයන්ගේ කලකිරීම නම් වූ නිබ්බිදාඥානය ඉපදවීමයි. මදඋණුසුම් ඇති ජලය සුවය ගෙනදෙන්නාසේ මේ සංඥාවද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ප්‍රකටව සඤ්ජානනකෘත්‍යය කරන්නට ද අසමත් හෙයින් සෙසු යට තුන් සමාපත්තින්හි සංඥාවන් මෙන් විදර්ශනාවට විෂය භාවයට පැමිණ නිබ්බිදා ඥානය ඉපදවීමට අසමර්‍ත්‍ථ වේ. මේ සංඥාව අතිශාන්ත අරමුණෙහි පැවති බැවින් අරමුණු හඳුනන කෘත්‍යය නො කළ හැකිවේ. අති සූක්‍ෂම අවස්ථාවට පැමිණ අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කොට ගත නොහැකි බැවින් විදර්ශනාවට අරමුණුව නිබ්බිදා ඥානය වැඩීමට ද නොහැකි වෙයි. අන්‍ය වූ කාමාවචර රූපාවචරාදී වූ චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත සෙසු ස්කන්‍ධයන්හි අනිත්‍යාදී වශයෙන් නොදත් යෝගාවචර තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතන ස්කන්‍ධයන් සම්මර්ශනය කොට නිබ්බිදා ඥානයට පැමිණෙන්නට සමත් නොවේ. බුදුන් වහන්සේ හැර මහා නුවණ ඇති සැරියුත් මහ තෙරුන් වහන්සේ පවා පොහොසත් නොවේ ම ය. ප්‍රකෘති විදර්ශකයා හෙවත් විදර්ශනා වඩන පුද්ගලයා විසින් ස්කන්‍ධාදීන්ගේ පටන් විදර්ශනාභිනිවෙශය කොට ද්වාරාලම්බනයන් නිසා පවත්නා ධර්‍මයන්ගේ වශයෙන් දොළොස් ආයතන, අටළොස් ධාතූන් විදර්ශනා කොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අරමුණු කොට ඇති උදයව්‍යය ඥානය උපදවන්නට සමත් වේ. ඔහු “මෙසේ මේ ධර්‍මයන් නොතිබී උපදිති, තිබී වැනසෙති යි” මෙසේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තොත්පාදයට ඇතුළත් වූ ස්පර්ශාදී ධර්මයන් වෙන්නොකොට එක්කොට ගෙන හෙවත් කලාප වශයෙන් සම්මර්ශනය කෙරේ. අනුපද ධර්ම විදර්ශනා වශයෙන් හෙවත් ස්පර්ශාදී ධර්මයන් විනිර්භෝග කොට, වෙන් වෙන් වශයෙන් ගෙණ, අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය කරන්නාහට, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය විදර්ශනා කොට නිබ්බිදා ඥානය උපදවන්නට නො හැකි වේ. මෙසේ මේ සතර වන ආරුප්‍ය ධ්‍යානය දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් විසිනුදු අනුපද වශයෙන් විදර්ශනා නොකට හැකි බවට සියුම් ව ගිය බව දත යුතු.

තවද මාර්ග - උදක උපමායෙන් ද මේ කරුණු පැහැදිලි වේ. මග යන එක් තෙර කෙනෙකුන්ගේ ඉදිරියෙන් යන්නා වූ එක් සාමණේර නමක්, ස්වල්ප වූ, වහන් තෙමෙන පමණ, මද දියක් දැක, “වහන්ස, දිය ය, වහන් ගැලවුව මැනවැයි” කීය. ඉක්බිති තෙරනුවන් විසින් “ඉදින් දිය ඇත්නම් නහනකඩ ගෙණ එව, නහන්නෙමි”යි කී කල්හි, “වහන්ස, දිය නැතැ”යි කීය. එහිදි වහන් තෙමෙන පමණ දිය ඇති හෙයින් දිය ඇතැයි කීය. නහන පමණ දිය නැති හෙයින් දිය නැතැයි කීය.

තවද උපමාවෙකි. එක්තරා බමුණෙක් එක් පුරුෂයෙක් මනොඥ මැටි පාත්‍රයක් ගෙණ සිටිනු දැක “මට පාත්‍රය දෙවයි” ඉල්වීය. එය සුරා ගෙනෙන ලද පාත්‍රයක් හෙයින් එහි ඇතුළත සුරා ගෑවී ඇති බැවින් “මෙය තොපට දිය නො හැක්ක, මිහි රා ඇතැ”යි කීය. බමුණු තෙම “එසේ නම් මොහුට බොන්නට දෙවයි” තමා ළඟ සිටි පුරුෂයෙකු පෙන්වා කීය. හෙතෙම මිහි රා නැතැයි කීය. පාත්‍රයෙහි මිහිරා තැවරී තිබූ හෙයින් මිහිරා ඇතැයි කියාද බොන්නට පමණ නො තිබූ හෙයින් නැතැයි කියා ද කී බව සැලකිය යුතු.

මෙසේ ප්‍රකට සංඥා නැති හෙයින් නේවසඤ්ඤා යයි ද, සංඥාව සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යමාන හෙයින් නාසඤ්ඤා යයි ද කියන ලදී.

මේ අරූප සමාපත්තීහු රූපාදී අරමුණු ඉක්මවීමෙන් සතර දෙනෙක් ම වෙති. කසිණ රූප සඞ්ඛ්‍යාත ප්‍රතිභාග නිමිත්තයාගේ ඉක්මීමෙන් ආකාසානඤ්චායතන නම් වූ ප්‍රථම සමාපත්තිය ද, කසිණුග්ඝාටිම ආකාශයාගේ ඉක්මීමෙන් විඤ්ඤාණඤ්චායතන නම් වූ දෙවන අරූප සමාපත්තිය ද, ආකාශයෙහි පවත්වන ලද විඥානයාගේ ඉක්මීමෙන් ආකිඤ්චඤ්ඤායතන නම් වූ තුන්වන අරූප සමාපත්තිය ද, ආකාශයෙහි පවත්වන ලද විඥානයාගේ අපගමය ඉක්මීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන නම් වූ සතරවන අරූප සමාපත්තිය ද ලබාගත යුතු. මෙසේ අරමුණු ඉක්මීමෙන් මේ අරූපාවචර සමාපත්තීහු සතර දෙනෙක් ම වෙති යි දත යුතු. රූපාවචර සමාපත්තීන්හි මෙන් මේ අරූප සමාපත්තීන්හි අඞ්ග ඉක්මීමෙක් නැත. මේ සතර අරූප සමාපත්තීන් කෙරෙහි උපෙක්‍ෂාය, චිත්තෙකග්ගතාය යන මේ ධ්‍යානාඞ්ගයෝ දෙදෙනෙක් ම වෙත්. පශ්චිම පශ්චිම සමාපත්තීහු මනාකොට ප්‍රණීතතර වෙත්.

සිව්මහල් ප්‍රාසාදයක යට තෙලෙහි දිව්‍යමය වූ නෘත්‍යය, ගීතය, වාදිතය, සුවඳ මල්ය, භෝජනය ය, වස්ත්‍රය, සුවඳ දුම්ය, විලවුන් ය, වත්සුණුය යනාදී වශයෙන් උතුම් වූ පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. දෙවන තලයෙහි එයට වඩා උතුම් වූ පස්කම් ගුණයෝ ය. තුන්වන තෙලෙහි එයටත් වඩා උතුම් වූ පස්කම් ගුණයෝ ය, සතර වන තෙලෙහි සියල්ලනට වඩා උතුම් වූ පස්කම් ගුණයෝ ය. ඒ සතරම ප්‍රාසාදතල භාවයෙන් වෙනසක් නැත. පස්කම් ගුණයන්ගේ සමෘද්ධ විශේෂයෙන් වනාහි යට යට තලයට වඩා මතු මතු තලය අති ප්‍රණීත වේ. එමෙන් ම යට යට අරූප ධ්‍යානයන්ට වඩා මතු මතු අරූප ධ්‍යානයෝ ප්‍රණීත තරය. මෙය ප්‍රාසාදතල උපමාව ය.

තවද එකම ගැහැණියක් විසින් කටිනා ලද දළහු ය, සිහින්හු ය, අතිශයින් සිහින්හු ය, භාත්පසින් ම සියුම්හු ය. යන සතරාකාර වූ හූ, සතරපල්, තුන්පල්, දෙපල්, එක්පල් යයි ඒ ඒ ගණනින් වියන ලද දිගිනුත් පළලිනුත් සම වූ ප්‍රමාණ ඇති වස්ත්‍ර සතරෙක් වෙයි. ඒ ශාටිකාවෝ සතර දෙනම දිගින් පළලින් සම ප්‍රමාණ ඇති හෙයින් ප්‍රමාණ වශයෙන් වෙනසක් නැත. නමුත් සුඛ ස්පර්ශය, සිහින් බවය, මහගු බවය යන මෙයින් වනාහි පළමු පළමු ශාටිකාවන්ට වඩා පසු පසු ශාටිකාවෝ වෙසෙසින් ප්‍රණීත තර වෙත්. එපරිද්දෙන් ම මේ සතර අරූප ධ්‍යානයන්හි උපෙක්‍ෂා චිත්තෙකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙක ඇතත් භාවනා විශේෂයෙන් ඒ අඞ්ගයන්ගේ ප්‍රණීත, ප්‍රණීත තර භාවයෙන් පශ්චිම පශ්චිම සමාපත්තීහූ වෙසෙසින් ප්‍රණීත තර වන්නාහ. මේ සාටිකා උපමා නමි.

තවද, අපවිත්‍ර තැනෙක එක් මණ්ඩපයක් ඇත. එක් පුරුෂයෙක් ඇවිත් ඒ අශුචිය පිළිකුල් කරන්නේ ඒ මණ්ඩපයෙහි එල්බ සිටී. පසුව අනිකෙක් අවුත් ඒ මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා නිසා එල්බ සිටී. ඉක්බිති ව තුන්වන පුරුෂයෙක් අවුත්, පළමුව විත් එල්බ සිටි. දෙදෙනා දැක, “යම් මේ පුරුෂයෙක් මණ්ඩපයෙහි එල්බ සිටී ද, යමෙක් ඔහු නිසා එල්බ සිටී ද, ඔව්හු දෙදෙනම දුකසේ එල්බ සිටියාහු වෙති. මඩුව හුණු කල්හි ඔවුන්ගේ වැටීම නියම ය. එබැවින් මම පිටත සිටින්නෙමි”යි සිතා මණ්ඩපයෙහි අන් තැනෙක එල්බ සිටියේ ය. සතරවන පුරුෂයෙක් අවුත් තුන් වන පුරුෂයා නිසා එල්බ සිටියේ ය. මේ උපමායෙන් අශුචි තැන්හි මණ්ඩපය මෙන් කසිණුග්ඝාටිමාකාශය හෙවත් කිසුණු ඉගිළවූ අහස දත යුතු. අශුචියට පිළිකුල් කොට මඩුවෙහි එල්බ සිටි පළමු පුරුෂයා මෙන් රූප නිමිත්තෙහි පිළිකුල් කොට කිසුණු ඉගිළූ අහස අරමුණු කොට ඇති ආකාසානඤ්චායතනය දත යුතු. මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා නිසා එල්බ සිටි දෙවන පුරුෂයා මෙන් අහස් අරමුණු කොට ඇති ආකාසානඤ්චායතනය අරමුණු කොට පැවති විඤ්ඤාණඤ්චායතනය දත යුතු. ඒ දෙදෙනා හැර පිටත එල්බ සිටියා වූ තුන්වන පුරුෂයා මෙන් ආකාසානඤ්චායතනය අරමුණු නො කොට ඒ ආකාසානඤ්චායතනයාගේ අභාවය අරමුණු කොට ඇති ආකිඤ්චඤ්ඤායතනය දත යුතු. ඒ පිටත එල්බ සිටියා වූ තුන්වන පුරුෂයා නිසා එල්බ සිටි සතරවන පුරුෂයා මෙන් විඥානයාගේ අභාව සඞ්ඛ්‍යාත වූ ආකිඤ්චඤ්ඤායතනය අරහයා පැවැති නේවසඤ්ඤානාසඤ්ඤා- යතනය දත යුතු. මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානය, අනික් අරමුණක් නැති හෙයින් ඒ ආකිඤ්චඤ්ඤායතනය ම අරමුණු කෙරෙයි. දක්නා ලද දොස් ඇති රජකු වුවද, වෙන ඇසුරු කළ යුතු මහාරජකු නැති බැවින් තමා වෘත්තිය සඳහා ඇසුරු කරන මහාජනයා මෙනි. තවද, යම්සේ දිග් හිණිමුදුනට නැංගා වූ පුරුෂ තෙම මතු පෙත්තෙහි සිටියේ යම්සේ අනිකක්හු නො ලබන හෙයින් එයම අල්ලා සිටී ද, පර්‍වතමුදුනට නැංගේ ඒ පර්‍වත මස්තකයෙහිම එල්බේ ද, එපරිද්දෙන් ම මේ සතරවන අරූපාවචර ධ්‍යානය ඒ තුන්වන අරූප ධ්‍යානය අරමුණු කොටම පවතී.