අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය

ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචරයා විසින් ආවජ්ජන සමාපජ්ජනාදී වශයෙන් පස් ආකාරයකින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහි පුරුදු කරණ ලද වශිතා ඇති බැවින්, මේ විඤ්ඤාණඤ්චායතනය සමීපයෙහි පවත්නා ආකාසානඤ්චායතන නම් සතුරෙක් ඇත්තේ ය, යනාදී වශයෙන් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය මෙන් ශාන්ත නො වේ යයි ද සළකා එහි නිකන්තිය හැර ආකිඤ්චඤ්ඤයතනය ශාන්ත වශයෙන් මෙනෙහි කොට ඒ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතනයාගේ අභාවය, ශූන්‍ය බව, අපගත වූ ආකාරය මෙනෙහි කටයුතු.

ඔහු විසින් ඒ ආකාසානඤ්චායතන විඤ්ඤාණය මෙනෙහි නොකොට “නත්‍ථි නත්‍ථි” - “නැත, නැතැ”යි කියා හෝ “සුඤ්ඤං සුඤ්ඤං - සූන්‍යය, සූන්‍යය”, කියා හෝ “විචිත්තං විචිත්තං - විචික්තය, විචික්තය”, කියා හෝ මෙනෙහි කළ යුතු. නැවත නැවත ආවර්ජනය කටයුතු, සිහිකටයුතු, ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු, තර්ක කළයුතු, විතර්ක කළ යුතු. එසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාගේ සිතෙහි - කාමච්ඡන්‍දාදී නීවරණයෝ පහවෙති. එම අරමුණෙහි සිහිය මනාව පිහිටයි. උපචාර වශයෙන් සිත සමාහිත වෙයි ඉදින් හෙතෙම ඒ නිමිත්ත නැවත නැවත සේවනය කරන්නේ, වඩන්නේ, නැවත නැවත වඩන්නේ පෙර ආකාශයෙහි පහළ වූ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය මෙන් ඒ ආකාසානඤ්චායතනයාගේ ශුන්‍ය භාව සඞ්ඛ්‍යාත අරමුණෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත පිහිටන්නේ ය.

ඒ ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තයාගේ අභාවමාත්‍ර වූ ආලම්බනයෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් උපන් කල්හි ඒ යෝගාවචර තෙම, යම්සේ පුරුෂයෙක් මණ්ඩල මාලාදියෙහි යම් කිසි කටයුත්තක් සඳහා රැස්වූ භික්‍ෂු සංඝයා දැක, කිසි තැනකට ගොස්, රැස්වූ කටයුත්ත අවසන් කොට නැගීසිට භික්‍ෂූන් ගිය කල්හි අවුත් දොරකඩ සිට ඒ තැන බලන්නේ ශුන්‍යවූවාම දකු ද, ඕහට මෙතෙක් භික්‍ෂූහු කාලක්‍රියා කළහයි කියා ද, මෙතෙක් දෙන ඒ ඒ දිගට ගියහයි කියා ද, මෙනෙහි කිරීමක් නොවන්නේ ය. හුදෙක් මේ තැන ශුන්‍යය, විචික්තය යයි නැති බව ම දකී. එපරිද්දෙත් ම පළමු අහස විෂය කොට පවත්වන ලද විඤ්ඤාණය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන චක්‍ෂුසින් බලමින් වැස නත්‍ථි නත්‍ථි - නැත, නැත යනාදී පරිකර්ම වශයෙන් ඒ ආකාසානඤ්චායතන ධ්‍යානය අන්තර්ධාන වූ කල ඔහුගේ අප ගම යයි කියන ලද අභාවය ම බලමින් වාසය කරන්නේ ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්‍ථි කිඤ්චිති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති”. සමාකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ” යයි වදාරණ ලදී.

මෙසේ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන ධ්‍යානය මෙනෙහි නො කිරීමෙන් අපවත් කොට හුදෙක් ඒ අභාවයම “කිසිවක් නැතැයි” මෙනෙහි කිරීමෙන් උපදවන ලද ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය යයි කියනු ලැබේ.