2. විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය
විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙම ආවජ්ජන සමාපජ්ජනාදී පස් ආකාරයෙන්, ආකාසානඤ්චායතන සමාපත්තියෙහි පුරුදු කරණ ලද වශිතා ඇති බැවින්, මේ ආකාසානඤ්චායතන සමාපත්තිය ආසන්න වූ රූපාවචර නමැති සතුරන් ඇත්තී ය, විඤ්ඤාණඤ්චායතනය මෙන් ශාන්ත නොවෙයි යනාදී වශයෙන් ආදීනව සළකා එහි නිකන්තිය හෙවත් කැමැත්ත අත්හැර විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කොට, ඒ කිසිණු ඉගුළු අහස අරමුණු කොට පැවති ආකාසානඤ්චායතන ධ්‍යාන සිත “අනන්තං විඤ්ඤාණං, අනන්තං විඤ්ඤාණං,” විඤ්ඤාණය අනන්තය, විඤ්ඤාණය අනන්තය කියා හෝ “විඤ්ඤාණං විඤ්ඤාණං,” විඤ්ඤාණය, විඤ්ඤාණය කියා හෝ මෙනෙහි කටයුතු, නැවත නැවත ආවර්ජනා කටයුතු, ප්රත්යවේක්ෂා කටයුතු, තක්කාහත හෙවත් තර්ක කළ යුතු, විතර්කාහත හෙවත් විතර්ක කළ යුතු. අනන්තය යි පමණක් මෙනෙහි නොකළ යුතු.
මෙසේ ප්‍රථම ආරුප්ප්ය විඥාන සඞ්ඛ්‍යාත වූ විඥාන නිමිත්තෙහි භාවනා සිත නැවත නැවත පවත්නා වූ ඒ යෝගාවචරයාගේ කාමච්ඡන්දාදී නීවරණයෝ විෂ්කම්භනය වෙත්, විඥාන නිමිත්තෙහි සිහිය මනාව පිහිටයි. උපචාර වශයෙන් සිත සමාහිත වෙයි. ඉදින් හෙතෙම ඒ විඥාන නිමිත්ත නැවත නැවත ආසේවනය කරන්නේ වඩන්නේ, නැවත නැවත වඩන්නේ, පෙර කියන ලද පරිදි ආකාශයෙහි ආකාසානඤ්චායතනය මෙන් ඒ අහස ස්පර්ශ කොට ගන්නා ලද ආකාසානඤ්චායතන සිත අරමුණු කොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සිත උපදී. මේ චිත්ත වීථියෙහි මනොද්වාරාවජ්ජනයට අනතුරුව කාමාවචර උපේක්ෂා වෙදනා සම්ප්‍රයුක්ත ජවන් සිත් තුනක් හෝ සතරක් ඉපිද සතරවැනිව විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන චිත්තය අර්පණා වශයෙන් උපදී. මෙසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේ “සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති” සර්වාකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා අනන්ත වශයෙන් ඒ විඤ්ඤාණය අරමුණු කරමින් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ යි වදාළ සේක.
ඒ යෝගී තෙම මෙසේ ප්‍රථම අරූප ධ්‍යානයෙහි ආසන්න වූ රූප ධ්‍යාන නමැති සතුරන් ඇති බව යනාදී වශයෙන් සියලු ආදීනව දැක එහි නිකන්තිය අත්හැර ඒ ආකාසානඤ්චායතන ධ්‍යානය ද එහි අරමුණ ද අපවත් කිරීමෙන් ද, මෙනෙහි නොකිරීමෙන් ද ඉක්මවා, පෙර ඒ අනන්ත අවකාශය පැතිර පැවතී ආකාසානඤ්චායතන සිත අනන්තං විඤ්ඤාණං කියා මෙනෙහි කොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය උපදවා එයට සමවැද, එයට සුදුසු ඉරියව්වෙන් වාසය කරන්නේ ය.