අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සතර අරූප ධ්‍යානය

අරූප ධ්‍යානසතර නම්:

  1. ආකාසානඤ්චායතන ධ්‍යානය
  2. විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය
  3. ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය
  4. නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය

ආකාසානඤ්චායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචරයා විසින් චතුෂ්කනයින් රූපාවචර චතුර්ථ ධ්‍යානය උපදවා එම ධ්‍යානයට සමවැද, එයින් නැගී, “රූපය හේතුකොට ගෙන අනුන් පෙළනු පිණිස, මුගුරු ආදී දඬු ගැනීම, කඩු-දුනු ආදී ශස්ත්‍ර ගැන්ම, කලහය, විග්‍රහය, විවාදය යන මොහු පෙනෙන්නාහ. මේ සියල්ල සර්‍වාකාරයෙන් අරූප භවයෙහි නැතැයි හෙතෙම මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට දක්නා ලද ආදීනව ඇති රූපයන්ගේ ම කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරුද්ධ කිරීම පිණිස පිළිපන්නේ වේ” යයි වදාළ බැවින්, ඒ දඬුගැනීම් ආදීන්ගේ ද, චක්‍ෂු, ශ්‍රෝත, රෝගාදී වූ දහසක් ආබාධයන්ගේ ද වශයෙන්, යථොක්ත ආදීනවයට භේතු බවට යෝග්‍ය ඖදාරික රූපයෙහි දොස් දැක, ඒ රූපයාගේ අතික්‍රමණය හෙවත් ඉක්මවීම පිණිස, පරිච්ඡින්න ආකාස කසිණය හැර පඨවි කසිණාදී නව කසිණයන් අතුරෙන් එක්තරා කසිණයක රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යානය උපදවා ගත යුතු.

ඒ යෝගාවචරයා විසින් චතුර්‍ත්‍ථ ධ්‍යානයාගේ වශයෙන් ඒ ධ්‍යානයට අරමුණු වූ කරජ රූපය ඉක්මවන ලද්දේ වේ. ප්‍රථම ධ්‍යානාදීන්ට ද කරජ රූපය අරමුණු නො වතුදු ඖදාරික අඞ්ග ප්‍රහාණය වශයෙන් ශාන්ත බැවින් ද, ආනෙඤ්ජප්‍රාප්ත චතුර්‍ත්‍ථ ධ්‍යානයෙන් ඉක්මුණේ මනාව ඉක්මෙන ලද්දේ නම් වේ. එතකුදු වුවත් කසිණ රූපය ද ඒ කරජ රූපයා හා ම සමාන හෙයින් ප්‍රතිභාග නිමිත්ත ද ඉක්මෙනු කැමති වේ.

යම් සේ සර්‍පයන්ට භය වන පුරුෂයෙක්, ආරණ්‍යයෙහි දී සර්‍පයක්හු විසින් අනුබඳනා ලද්දේ, වහා පලාගොස් ඒ පලාගිය තැන කලු පාටින් කරණ ලද පරිකර්‍මයෙහි රේඛා චිත්‍රයක් හෝ තල්පතක් හෝ, වැලක් හෝ රැහැනක් හෝ පැලීගිය පෘථිවියෙහි පැලුණු අතරක් හෝ දුරින්ම දැක භයවන්නේ ම වෙයි. තැතිගැන්මක් ද වෙයි. එය නොදක්නා කැමති වෙයි.

තවද, යම්සේ අනර්‍ත්‍ථකාරී වෛරී පුද්ගලයා හා සමග එක ගම්හි වසන පුරුෂ තෙම, ඒ වෛරීහු විසින් වධය, බන්‍ධනය, ගෙය ගිනි තැබීම ය යනාදීන්ගේ වශයෙන් උපද්‍රව කරණ ලද්දේ, අනික් ගමක වසනු පිණිස ගොස්, ඒ ගිය ගම ද වෛරීහු හා සමානවූ රූප ශබ්දාදී පැවැත්ම ඇති පුරුෂයෙකු දැක භය වේ ද, තැතිගැන්මක් වේ ද, ඔහු නොදක්නා කැමති වේ ද, එසේම ප්‍රතිභාග නිමිත්ත ද ඉක්මවනු කැමති වෙයි.

ඒ උපමාවන්හි, ඒ පුරුෂයන් දෙදෙනාගේ, සර්‍පයා විසින් ද, වෛරීහු විසින් ද උපද්‍රව කරන ලද කාලය මෙන් යෝගාවචරයාගේ අරමුණු කිරීම් වශයෙන් කරජ රූපය හා සමන්විත කාලය වශයෙන් ද, ඒ දෙදෙනාගේ වහාම පලායාම හා අන් ගමකට යාම මෙන් රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යානයන්ගේ වශයෙන් කරජ රූපය ඉක්ම වන කාලය වශයෙන් ද, ඒ දෙදෙනාගේ පලාගිය තැන ද, අන් ගම ද, රේඛා චිත්‍ර තල්පත් යනාදීන් ද, චෛරීහු හා සමාන පුරුෂයා ද දැක, භය ය, තැතිගැන්ම ය, නොදක්නා කැමති බව ය යනාදීන් මෙන් යෝගාවචරයාගේ ප්‍රතිභාග කසිණ රූපය ද, එය හා සමාන බව සළකා ඒ කසිණ රූපය ඉක්මවනු කැමැති බව වශයෙන් ද දත යුතු.

ඒ යෝගී තෙම මෙසේ චතුර්‍ත්‍ථ ධ්‍යානයට අරමුණු වූ කසිණ රූපයෙන් ද කළකිරී, එයින් පහවනු කැමති ව පස් ආකාරයෙන් පුරුදු කරණ ලද හෙවත් පඤ්චවසිතාවන්ගේ වශයෙන් පුරුදු කරණ ලද වශී භාව ඇත්තේ පුහුණු වූ රූපාවචර ධ්‍යානයෙන් නැගී මේ ධ්‍යානය ද, මා කළකිරුණු රූපයම අරමුණු කෙරේයයි කියා ද, ආසන්න වූ සොම්නස් නමැති සතුරා ඇත්තේ යයි ද, අරූප ධ්‍යානය වඩා ඖදාරික යයි ද දොස් දකී. මේ චතුර්‍ත්‍ථධ්‍යානය අඞ්ග වශයෙන් ඖදාරික බවෙක් නැත. යම් සේ මේ රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යානය උපෙක්ඛා, එකග්ගතා වශයෙන් අඞ්ග දෙකකින් යුක්ත වේ ද, අරූප ධ්‍යානයෝ සතර දෙන ද එසේ ම අඞ්ග දෙකකින් යුක්ත වෙති.

යෝගී තෙම, ඒ චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි දොස් දැක, එහි නිකාන්තිය දුරුකොට, ආකාසානඤ්චායතන ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට, සක්වළ කෙළවර හෝ යම්පමණක් හෝ කැමැති වේ ද, එපමණක් කසිණය හෙවත් කසිණාලොකය පතුරුවා, එයින් පැතිරී අවකාශය “ආකාසො, ආකාසො” යි කියා හෝ “අනන්තො ආකාසො” කියා හෝ මෙනෙහි කරන්නේ, කසිණාලොකය උගුළුවයි. කසිණාලොක උගුළුවන්නේ ද පැදුරක් මෙන් නොහකුළුවයි. කබලකින් කබලෙහි ලූ කැවුමක් මෙන් නොම උදුරයි. හුදෙක් ඒ කසිණාලොකය ආවර්ජනා නො කරයි, මෙනෙහි කිරීමක් ද නොකෙරෙයි. ප්‍රත්‍යවේක්‍ෂා ද නොකෙරෙයි. ආවර්ජනා නොකරන්නේ, මෙනෙහි නොකරන්නේ, ප්‍රත්‍යවේක්‍ෂා නොකරන්නේ, ඒකාන්තයෙන් ඒ කසිණාලෝකය පැතිරි ආකාශය “ආකාසො, ආකාසො” යි මෙනෙහි කරමින් කසිණා ලෝකය උගුළුවන්නේ නම් වේ. කසිණය ද උගුළුවනු ලබන්නේ හුදෙක් කසිණ රූපයාගේ අමනසිකාරය ද “ආකාසො ආකාසො” යන මනසිකාරය ද පිණිස උගුළුවන ලද්දේ නම් වේ. කිසුණු ඉගුළු වූ අහස පමණක් පෙනේ. මෙයම කිසුණු ඉගුළුවූ අහස යයි හෝ, කිසුණු පහළ අහස යයි හෝ කිසුණු පහවූ අවකාශ යයි හෝ, මේ සියල්ල එකක් ම වේ.

හෙතෙම ඒ කසිණුග්ඝාටිමාකාස නිමිත්ත හෙවත් ඒ කිසුණු ඉගුළු වූ අහස් නිමිත්ත ම, ආකාසො ආකාසො යි නැවත නැවත ආවර්ජනා කෙරෙයි, තර්කාහත කෙරෙයි, විතර්කාහත කෙරෙයි. මෙසේ කරන්නා වූ ඔහුගේ කාමච්ඡන්‍දාදී නීවරණයෝ විෂ්කම්භනය වෙත්. ආකාශ නිමිත්තෙහි සිහිය මනාව පිහිටයි, උපචාර වශයෙන් සිත සමාහිත වෙයි. ඉදින් ඒ යෝගී තෙම ඒ ආකාශ නිමිත්ත ම නැවත නැවත ආසේවනය කරන්නේ වැඩීම කරන්නේ, බහුලීකෘත කරන්නේ, පඨවි කසිණාදියෙහි රූපාවචර ධ්‍යාන චිත්තය මෙන් කිසුණු ඉගුළු අහස්හි ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය පිහිටයි. මේ ධ්‍යානයෙහි ද, පූර්වභාගයෙහි මන්ද ප්‍රාඥයාගේ වශයෙන් පරිකර්‍ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යයි කාමාවචර ජවන් සිත් සතරක් හෝ තික්ඛ ප්‍රාඥයාගේ වශයෙන් උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යයි තුනක් හෝ උපේක්‍ෂා වේදනා සම්ප්‍රයුක්තව ඉපිද පස්වනුව හෝ සිව්වනුව අරූපාවචර ධ්‍යාන චිත්තය වේ. සෙස්ස පඨවි කසිණයෙහි කියන ලද පරිදි දතයුතු. මෙහි විශේෂය නම්— මෙසේ අරූපාවචර සිත උපන් කල්හි ඒ යෝගී තෙම යම්සේ මුදුනෙහි පටන් වැසූ සිවිකාදී යානාමුඛය, සුළු දොරටු මුඛය, කළයෙක මුඛය යනාදීන් කෙරෙන් එක්තරා මුඛයක් නිල්රෙදි කඩෙකින් හෝ, රන්වන් කඩය, රත්කඩය, සුදුකඩය, යනාදීන් කෙරෙන් එක්තරා කඩෙකින් හෝ බැඳ බලන පුරුෂ තෙම, වාත වේගයෙන් වත් අන් කිසිවෙකින් වත් ඒ රෙදිකඩ පහව ගිය කල අහස ම බලමින් සිටී ද, එපරිද්දෙන් ම පළමු කොට කසිණ මණ්ඩලය චතුත්‍ථ ධ්‍යාන චක්‍ෂුසින් බලමින් වාසය කොට ආකාශය, යන මේ පරිකර්‍ම මනසිකාරයෙන් ඒ නිමිත්ත වහා පහ කරණ ලද කල්හි ආකාශය බලමින් වාසය කෙරේ.

මෙසේ මේ ධ්‍යානලාභී තෙමේ “සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා, අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති” ති යයි වදාළ පරිදි, සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥා අස්තඞ්ගමයෙන්, නානත්‍ථ සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තය යයි, මෙසේ ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ යයි කියනු ලැබේ. රූපාවචර ධ්‍යාන ලැබූ පුද්ගලයාගේ ධ්‍යානයට සමවැදීමෙන් කුසල සංඥා වශයෙන් ද, මෙයින් සැව බඹලොව උපන්න හුගේ විපාක සංඥා වශයෙන් ද, රහතන්ගේ දිට්ඨධම්ම සුඛවිහරණයෙන් ක්‍රියා සංඥා වශයෙන් ද හැඳිනීම රූප සඤ්ඤා නම් වේ. ඒ ත්‍රිවිධ සංඥාවන්ම ඉක්මවූයේ රූප සංඥා මනාකොට ඉක්මවූයේ වේ. ප්‍රතිඝ සංඥා අස්තඞ්ගමයෙන් යයි කී තැන චක්‍ෂුරාදී ප්‍රසාද රූප හා රූපාදී පඤ්චප්‍රකාර ආලම්බනයන් ගැටීමෙන් උපන් සංඥා ප්‍රතිඝ සංඥා නමි. එනම් රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්‍ධ සංඥාය, රස සංඥාය, ඵොට්ඨබ්බ සංඥාය යන මේ ප්‍රතිඝ සංඥාවෝය. චක්‍ෂු, සොත, ඝාන, ජිව්හා, කාය යන පඤ්ච ප්‍රසාද වස්තූන් හා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ යන පඤ්චාලම්බනයන් පිළිවෙලින් ගැටීමෙන් උපදනා පඤ්චවිධ කුසල විපාක, අකුසල විපාක චක්‍ෂුවිඤ්ඤාණ, සොතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හාවිඤ්ඤාණ, කායවිඤ්ඤාණ යන දසවැදෑරුම් විපාක චිත්තයන්ට හා ඒ හා සම්ප්‍රයුක්ත චෛතසිකයන්ට ප්‍රතිඝ සංඥා යයි කියනු ලැබේ. අරූපාවචර ධ්‍යානයෙහි හා එයින් උපදනා අරූපභවයෙහි ඒ ප්‍රතිඝ සංඥාවෝ දසදෙනා නොපවති ප්‍රහාණය වෙති, අස්ථඞ්ගම වෙති යි කියනු ලැබේ. රූපාවචර ධ්‍යානයෙහි ද ප්‍රතිඝ සංඥාවෝ නොපවති. එසේ නමුත් රූපාවචර ධ්‍යානය රූප විරාගය පිණිස නොවන හෙයින් ප්‍රතිඝ සංඥාවන්ගේ ප්‍රහීණ බව නොකියන ලදී. අරූප ධ්‍යානය රූප විරාගය පිණිස ම පවතින හෙයින් එහිදී ප්‍රතිඝ සංඥාවෝ ප්‍රහීණ වූ බව කිය යුතු. මේ අරූප ධ්‍යානයෙන් පෙර ප්‍රතිඝ සංඥාවන් ප්‍රහීණ නො කළ බව දැක්වීම සඳහා ප්‍රථමධ්‍යානයට සමවැදුනහුට, ශබ්ද කණ්ටකය යි බුදුන්වහන්සේ විසින් වදාරණ ලදී. පරතොඝොෂප්‍රත්‍යයෙන් ලැබිය යුතු සෝවාන් මාර්‍ගයට අනන්තර ප්‍රත්‍යය වූ, ගෝත්‍රභූ ඥානයට හේතු වූ ශබ්දය, ප්‍රථම ධ්‍යානයට කණ්ටකයෙකි හෙවත් කන හුණු කටුවක් මෙනි. එහෙයින් බලවත් ශබ්දයාගේ ගැටීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් නැගිටීම වේ. අරූප ධ්‍යානයෙහි ප්‍රතිඝ සංඥාව ප්‍රහීණ කළ හෙයින් අරූප සමාපත්තිහු ආනෙඤ්ජාභිසංස්කාරය යයි ද, ශාන්ත විමොක්‍ෂය යි ද, කියනු ලැබේ.

නානත්ත්ව සංඥා මෙනෙහි නො කිරීමෙන් යයි කී තැන්හි නානත්ත්ව සංඥා නම්, ධ්‍යානයට සමනොවැදුනු පුද්ගලයාගේ මනො ධාතු නම් වූ පඤ්චද්වාරාවර්ජන සිතින් හෝ මනොවිඤ්ඤාණධාතු නම් වූ මනොද්වාරාවජ්ජන සිතින් හෝ යුක්තවූවහුගේ යම් සංඥාවක්, හැඳිනීමක්, හඳුනන බවෙක් වේනම් එය වේ. එනම් සූසාළිස් (44) සංඥාවෝ යි.

කාමාවචර කුසල සංඥාවෝ අටදෙන ය8
අකුසල සංඥාවෝ දොළොස ය12
කාමාවචර කුසල විපාක සංඥාවෝ එකොළොස ය11
අකුසල විපාක සංඥාවෝ දෙක ය2
කාමාවචර ක්‍රියා සංඥාවෝ එකොළොස ය11
44

මේ සුසාළිස් (44) සංඥාවන්ට නානත්‍ව සංඥා යයි කියනු ලැබේ. ද්විපඤ්ච විඤ්ඤාණයෝ ප්‍රතිඝ සංඥා වශයෙන් ගත් බැවින් මෙහිදී නො ගන්නා ලද බව දත යුතු. මේ සංඥාවෝ නානා ස්වභාව ඇති හෙයින් ද ඔවුනොවුන් හා අසදෘශ බැවින් ද නානත්‍ව සංඥා නම් වේ. ඒ නානත්‍ව සංඥාවන්ගේ සර්‍වාකාරයෙන් මෙනෙහි නො කිරීමෙන් ආවර්ජනා නො කිරීමෙන්, ආභෝග නො කිරීමෙන්, ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙන් වාසය කෙරේ යයි කියන ලදී.

රූප සංඥා හා පටිඝ සංඥා ද අරූප සමාපත්තියට සමවන් කල්හි ද අරූප භවයෙහි ද නොපවත්නාක් මෙන් අරූප සමාපත්තියට සමවැද වසන කාලයෙහි මෙකී නානත්‍ව සංඥාවන්ගේ මෙනෙහි කිරීමක්, ආවර්ජනා කිරීමක් නැත්තේ ම ය.

ආකාශය අනන්තය යි කී කල්හි ආකාශය නම් අජටාකාශය හා පරිච්ඡින්නාකාශය යන ද්විප්‍රකාර වූ අවකාශයෙන් අන්‍ය වූ කසිණුග්ඝාටිම අවකාශය වේ. එහි ඉපදීමේ හෝ නැතිවීමේ හෝ අන්තයක් නොපැනෙන හෙයින් අනන්තය යයි කියනු ලැබේ. ස්වාභාවික දෙය පෙර නොවී හෙවත් නොපැවති උපදනා හෙයින් ද, ඉපිද නැති වන හෙයින් ද, උදයව්‍යය දෙකින් පිරිසිඳුනා ලද්දේ වේ. අවකාශය අස්වාභාවික හෙයින් ඒ දෙකින් නො පිරිසිඳිනා ලද හෙයින් අනන්තය. කසිණාලෝකය මෙනෙහි නොකොට, එය උගුළුවා ඒ ආලෝකය පැවති ආකාශ මාත්‍රය හැර පරිච්ඡේදය නොගැනීමෙන් ද, පරිකර්‍ම භාවනා වශයෙන් අනන්තව ද පවත්නා හෙයින් අනන්තාකාශ නම් වේ. ඒ කසිණුග්ඝාටිම අවකාශයෙහි උපචාර ධ්‍යාන චිත්තය මෙනෙහි කිරීම් වශයෙන් පිහිටුවයි. අනන්ත වශයෙන් පතුරුවයි. එහෙයින් ද අනන්ත ආකාශ යයි කියන ලදී.

මෙසේ යෝගාවචර තෙම ආකාසානඤ්චායතනධ්‍යානය උපදවා එයට සමවැද එයට සුදුසු ඉරියව්වෙන් වාසය කරන්නේ ය.