අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චරිත සය

චරිත වශයෙන් සලකන කල්හි පුද්ගලයෝ සදෙනෙක් වෙති. එනම්:-

  1. රාග චරිතයාය
  2. ද්වේෂ චරිතයාය
  3. මෝහ චරිතයාය
  4. ශ්‍රද්ධා චරිතයාය
  5. බුද්ධි චරිතයාය
  6. විතර්‍ක චරිතයාය
  7. රාග චරිතයා - යම් පුද්ගල සන්තානයෙක්හි රාගය උත්සන්න භාවයෙහි පවත්නේ නම් හෙතෙමේ රාගචරිතයෙකි. කුසල් කරණ අවස්ථාවෙහි රාගචරිතයාහට ශ්‍රද්ධාව බලවත්ව පවතී. කුසලපක්ෂයෙහි වූ ශ්‍රද්ධාව සිනිඳු වන්නාක් මෙන් අකුසල පක්ෂයෙහි වූ රාගය ද සිනිඳුවේ. ශ්‍රද්ධාව ශීලාදී ගුණ සොයන්නාක් මෙන් රාගය ද වස්තු කාමයන් සොයන්නේය. ශ්‍රද්ධාව හිතවත් දෙය අත් නොහරින්නාක් මෙන් රාගය ද අහිත දෙය අත් නොහරී. එහෙයින් ශ්‍රද්ධාව, රාගයට ආසන්න ගුණ ඇති ධර්‍මයකැයි කියනු ලැබේ. තවද, පූර්‍ව ජන්මයෙහි ඉෂ්ට ක්‍රියා හා ශුභ ක්‍රියා බහුල කොට ඇති ව උපන්නේ නම් ඇතැම් කෙනෙක් රාගචරිතයෙක් වන්නේයයි කියනු ලැබේ. ඕහට පඨවි, ආපො, තෙජෝ, වායෝ යන සිව් ධාතූහුම සම ව පවතිත් යයි ද කියති.

ඉරියව් වශයෙන් සලකන කල්හි, රාග චරිතයා ප්‍රකෘති ගමන් යන කල්හි ලීලායෙන්ම යයි. හෙතෙමේ සෙමෙන් සම ව පා තබා සම ව පා නගන්නේය. ඔහුගේ සිටීම හා හිඳීම ද ප්‍රසාද ජනකය, මිහිරි ය. ඔහු නිදන කල්හි සෙමෙන් සමකොට යහන සකස් කොට, සෙමෙන් වැදහෙව අග පසඟ ඔබිමොබ නොවිසිරෙනසේ මැනවින් තබාගෙන, ප්‍රසාද ඵලවන ආකාරයෙන් නිදන්නේය. අවදි වන කල්හි ද වහා නැගී සිට සෙමෙන් කථා කරන්නේය.

රාග චරිතයා මිහිරි ආහාරයට කැමති වන්නේය. සිත්කලු රූපයන් දුටු කල්හි මවිතවූවකු මෙන් බොහෝ වේලා බලා සිටී. ස්වල්ප වූ ගුණයෙහි ඇලෙන්නේය. ඇති දොස් ගණනට නොගනී.

රාග චරිතයා කෙරෙහි බලපවත්නා ක්ලේශ ධර්‍මයෝ නම්-

  1. මායා හෙවත් තමා කෙරෙහි ඇති දොස් මුවහ කිරීම,
  2. සාඨෙය්‍ය හෙවත් නැති ගුණ පහළ කිරීම.
  3. මාන හෙවත් උඩගු බව ය.
  4. පාපිච්ඡතා හෙවත් නැති ගුණ පහළ කිරීම් මුඛයෙන් ප්‍රත්‍යය පිළිගැන්මෙහි පමණ නොදන්නා බව ය.
  5. මහිච්ඡතා හෙවත් ඇති ගුණ පහළ කිරීම් මුඛයෙන් ප්‍රත්‍යය පිළිගැන්මෙහි පමණ නොදන්නා බව ය.
  6. අසන්තුට්ඨිතා හෙවත් ලදදෙයින් සතුටු නොවන බව ය.
  7. සඞ්ග හෙවත් අගක්මෙන් උත්සන්න වූ කෙලෙස් ඇති බව ය.
  8. චාපල්‍යය හෙවත් ශරීර හා පරිෂ්කාර හෙබවීම් වශයෙන් පැවති ලොල් බව ය.
  9. අහිරිකය හෙවත් පාපය පිළිකුල් නොකරන බව ය.
  10. අනොත්තප්පය හෙවත් පාපයට බිය නොවන බව ය.
  11. මද හෙවත් මත් බව ය.
  12. පමාද හෙවත් සිහි නුවණ නැති බව ය.

යනාදී අකුසල ධර්‍මයෝ රාග චරිතයා කෙරෙහි බල පවත්වති.

රාග චරිතයාහට සප්පාය නම්, අපිරිසුදු වූ කොළ සෙවෙණි කළ කැඩී බිඳී ගිය බිත්ති ඇති වවුලන් ගෙන් ගැවසී ගත්, පිළිකුල් උපදවන, දුර්‍වර්ණ යහන් ඇති පන්සල් ය, දුර්‍වර්ණ වූ රළු වස්ත්‍ර ය, මැටි හෝ යකඩ පාත්‍රය, පිඬු පිණිස යාමේදී විසම මාර්‍ගයය, ගරු නොකරණ මිනිසුන් ඇති ගමය, පිළිකුල් වූ සිරුරු ඇති ව විත් අගෞරවයෙන් වළඳවන දාසයෝ ය, කුසගිනි නිවීමට පමණක් සෑහෙන රූක්‍ෂ වූ ආහාරය ද යන මොව්හු වෙත්.

2. ද්වෙෂ චරිතය - ද්වෙෂය බහුල කොට ඇති පුද්ගල තෙමේ ද්වෙෂ චරිතයා ය. කුසල් කරණ කල්හි ද්වෙෂ චරිතයාහට බුද්ධිය බලවත් ව පවති. ස්නේහය රහිත බවත් අරමුණෙහි නොඇලීමත් බුද්ධියේ ලක්‍ෂණයෙකි. ද්වෙෂ චරිතයා ද සෙනහ රහිතය එහෙයින් අරමුණෙහි නොඇලේ. බුද්ධිය, ඇති වරද සොයන්නාක් මෙන්, ද්වෙෂය ද නැති වරද සොයන්නේ ය. බුද්ධිය සංස්කාරයන් දුරු කරණ ආකාරයෙන් පවතින්නාක් මෙන් ද්වෙෂය ද සත්ත්‍වයන් දුරුකරණ ආකාරයෙන් පවතී. එහෙයින් බුද්ධිය ද්වෙෂයට ආසන්න ගුණ ඇති ධර්‍මයකැයි කියනු ලැබේ.

ඉරියව් පැවැත්වීමේදී ද්වෙෂ චරිතයා පතුල් අගින් බිම සාරන්නාක්හු මෙන් යන්නේ ය. පාදයන් ද වහා බිම තබා වහා ම නගන්නේ ය. ඔහුගේ සිටීම හා හිඳීම ද තද ය, දැඩි ය. ඔහු නිදන කල්හි යම්තම් දෙයකින් යහන පනවාගෙන මුළු ශරීරයම හෙළාලන ලදුව මුහුණත් හකුළුවාගෙන නිදන්නේ ය. පුබුදුවන කල්හි ද වහා නැගී සිට කිපී එකෙකු මෙන් කථා කරන්නේ ය.

පූර්‍වජන්මයෙහි අත්පා සිඳුම්, වධබන්ධන, වෛරක්‍රියා බහුලකොට ඇතිව හෝ නිරයෙන් හෝ නාගයෝනියෙන් චුත ව හෝ මෙහි උපන් කල්හි ඇතැම් කෙනෙක් ද්වෙෂ චරිතය ඇත්තෙක් වන්නේයයි කියනු ලැබේ. ඔහුගේ තෙජෝ වායෝ ධාතූහු උත්සන්න වෙති.

තවද ද්වෙෂ චරිතයා ඇඹුල් වූ ආහාරයට කැමතිවෙයි. ස්වල්ප වූ ද අමනාප රූපයක් දුටු කල්හි කලාන්තවූවකු මෙන් මද වේලාවක් බලා සිටින්නේ ය. ස්වල්ප ද්වේෂයෙහි ද තැවෙන්නේ ය. ඇති ගුණය පවා ගණනට නොගනී.

ද්වෙෂ චරිතයා කෙරෙහි බලපවත්නා ක්ලේශ ධර්‍මයෝ නම්:-

  1. ක්‍රෝධය හෙවත් කිපෙනසුළු බව ය.
  2. උපනාහ හෙවත් බඩ ක්‍රෝධය, වෛරය.
  3. මක්ඛ හෙවත් අනුන්ගේ ඇති ගුණ මැකීම ය.
  4. පලාස හෙවත් යුගග්‍රාහය. ගුණ ඇත්තේ ඔහුට පමණ ද, මට ද ඒ ගුණ ඇතැයි ගැනීම.
  5. ඉස්සා හෙවත් පරසම්පත් නොඉවසීම ය.
  6. මච්ඡරිය හෙවත් ස්වසම්පත් සැඟවීම ය.

ද්වෙෂ චරිතයාහට සප්පාය නම්, ඉතා පිරිසුදු වූ ද, නොයෙක් චිත්‍රකර්මාදියෙන් සරසන ලද, අලංකාර සැප පහසු යහන් ආදින් ඇති, දුටු පමණින් ප්‍රිය උපදවන සේනාසන ද, පිරිසුදු වූ අලඞ්කාර මාර්ග ද, ඉතා පිරිසුදු සියුම් සිවුරු පිරිකර ද, පිරිසුදු පැහැ ඇති යකඩ පාත්‍ර ද, ඉතා දුර ද නො වූ ආසන්න ද නො වූ ගම් ද, මනාව සකස් කොට සියතින්ම ප්‍රණීත ආහාරයන් වළඳවන දායකයන් ද යන මොව්හු වෙති.

3. මෝහ චරිතයා - මෝහය බහුල කොට ඇති තැනැත්තේ මෝහ චරිතයා නම් වේ. මොහු නූපන් කුසල් උපදවන්නට උත්සාහ කරත්ම බොහෝසෙයින් අන්තරායකර විතර්ක උපදී. විතර්කය මෙන් මෝහය ද අරමුණෙහි ව්‍යාකූලව පවත්නා බැවින් අනවස්ථිතය. විතර්කය ලඝු කල්පනා ඇති බැවින් චඤ්චල වන්නාක් මෙන් මෝහය ද අරමුණෙහි නොබැස පවත්නා හෙයින් චඤ්චලය. එහෙයින් මෝහ චරිතයාහට විතර්ක චරිතයා සභාගයයි කියනු ලැබේ.

තවද, පූර්‍වජන්මයෙහි බොහෝ කොට මන්පැන් පානය කෙළේ ද, ධර්‍මශාස්ත්‍ර ඉගෙනීම නොකෙළේ ද, තිරිසන් යෝනියෙන් චුත ව මෙහි උපන්නේ ද හෙතෙමේ බෙහෙවින් මෝහ චරිතයෙක් වේ. ඔහු පඨවි ආපො ධාතු උත්සන්න පුද්ගලයෙකැයි ද කියනු ලැබේ.

ඉරියව් වශයෙන් වනාහි ඔහු අවුල් ගමනින් යන්නෙක් වේ. තැතිගත්තෙකු මෙන් පා බිම තබා තැතිගත්තෙකු මෙන් පා නගන්නේය. ඔහුගේ සිටීම හා හිඳීම ද අවුල් සහිතය. නිදන කල්හි යහන අවුල්සේ පණවාගෙන අත්පා ගසාගෙන මුහුණින් හෙව නිදන්නේය. පුබුදුවන කල්හි ද මැලිකමින් නැගී සිටින්නේය. ආහාර ගැනීමේදී අසවල් රසයට ප්‍රිය යයි කිය නොහැකිය. වික්‍ෂිප්තව නොයෙක් දේ සිතමින් වළඳන්නේය. යම් රූපයක් දුටු කල එහි විවේචනය අනුන්ගේ අදහස් අනුවම කරන්නේය. අන්‍යයෝ නින්‍දාකරත් නම් තමා ද නින්‍දා කරන්නේය. ප්‍රශංසා කරත් නම් තමා ද ප්‍රශංසා කරන්නේය. ඔහුගේ අඥාන භාවය ප්‍රකටය.

මෝහ චරිතයා කෙරෙහි බලපවත්නා අකුසල ධර්‍මයෝ නම්:-

  1. ථීනය හා මිද්ධය හෙවත් චිත්ත චෛතසිකයන්ගේ ගිලන් බව, අලස බව.
  2. උද්ධච්චය හෙවත් නොසන්සුන් බව ය.
  3. කුක්කුච්චය හෙවත් පසුතැවිල්ල ය.
  4. විචිකිච්ඡා හෙවත් සැකය.
  5. ආදාන ගාහිතා හෙවත් නුනුවණින් දැඩිකොට ගන්නා බව ය.
  6. දුප්පටිනිස්සග්ගිතා හෙවත් ගත් මිථ්‍යාදෘෂ්ටිය ඉවත් කොට අත් නොහැරිය හැකි බව ය.

මෝහ චරිතයාහට සප්පාය නම් - සම්බාධ රහිත වූ, මුවහ නැති එළිමහන් සෙනසුන් ද, සක්මන ද, ප්‍රිය වූ ද, පිරිසුදු වූ ද සිවුරු පිරිකර හා අහර ද වෙත්.

4. ශ්‍රද්ධා චරිතයා - මොහුගේ ක්‍රියා පිළිවෙළ බොහෝ සෙයින් රාග චරිතයාට සමාන ය.

මොහු කෙරෙහි බලපවත්නා ගුණයෝ නම්:-

  1. මුත්තචාගිතාවය හෙවත් දෙන දෙයෙහි නො ඇලී දීම ය.
  2. බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නා කැමති බව ය.
  3. බණ ඇසීමට කැමති බව ය.
  4. ප්‍රීති බහුල බව ය.
  5. රජ ඇමති ආදීන් හා එක්ව නොවසන බව ය.
  6. මායා රහිත බව ය.
  7. පැහැදිය යුතු තැන පහදින බව ය.

ශ්‍රද්ධා චරිතයා හට සප්පාය නම්. ද්වෙෂ චරිතයාට කී පරිදිය. විශේෂයෙන් වනාහි බුද්ධානුස්සති ආදී අනුස්සති සය සප්පාය වේ.

5. බුද්ධි චරිතයා - මොහු බොහෝසෙයින් ද්වෙෂ චරිතයා මෙනි.

මොහු කෙරෙහි බලපවත්නා ගුණයෝ නම්:-

  1. කීකරු බව ය.
  2. කල්‍යාණ මිත්‍රයන් ඇති බව ය.
  3. භෝජනයෙහි පමණ දන්නා බව ය.
  4. සිහිනුවණ ඇති බව ය.
  5. අප්‍රමාද බව ය.
  6. සංවේග කටයුතු තන්හි සංවේග කරණ බව ය.
  7. සංවේගයට පැමිණ නුවණින් වීර්‍ය්‍යය කරණ බව ය.

බුද්ධි චරිතයා හට අසප්පයා වශයෙන් කිවයුතු යමක් නැත. කවරෙක් වුවද සප්පයා වන්නේය.

6. විතර්ක චරිතයා - බොහෝසෙයින් මෝහ චරිතයා හට සමානය.

ඔහු කෙරෙහි බලපවත්නා ධර්‍මයෝ නම්:-

  1. දොඩමලු බව ය.
  2. ගණසඞ්ගනිකාරාමය.
  3. කුසලානුයොගයෙහි අනභිරතිය.
  4. ස්ථිර සිත් නැති බව ය.
  5. රාත්‍රියෙහි මෙසේ මෙසේ කරමියි විතර්ක කරණ බව ය.
  6. දහවල් විතර්කිතයන්හි යෙදෙන බව ය.
  7. අරමුණින් අරමුණට යන බව ය.

විතර්ක චරිතයාහට සප්පාය නම් - විවෘත සේනාසන ද, ගැඹුරු පර්වත විචරය ද, වනයෙන් මුවහ වූ ගුහා බඳු සේනාසන ද වෙත්. සෙස්ස රාග චරිතයාහට කී පරිදි දතයුතු.