උපෙක්ෂා භාවනාව
උපෙක්ෂා භාවනාව ආරම්භ කරනු කැමති, මෛත්‍රි බ්රහ්මවිහාරාදිය වැඩීමෙන් තික චතුෂ්ක ධ්‍යාන ලබාගත් යෝගාවචරයා විසින්, තෘතිය ධ්‍යානයට හෝ චතුර්ත්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වායි” යනාදී වශයෙන් මෛත්‍රියෙන් පවත්වන ලද මනසිකාරයෙන් යුක්ත බැවින් ද, කරුණාවට දොම්නස ආසන්න බැවින් ද, මෛත්‍රිය හා මුදිතාවට සොම්නස ආසන්න බැවින් ද, එය ඖදාරික බැවින් ද, මෛත්‍රි, කරුණා, මුදිතාවන්හි ආදීනව ද, උපේක්ෂාවෙහි ශාන්ත බවය, සූක්ෂ්ම බවය, ප්‍රණීත බවය, විදුර කෙලෙස් ඇති බවය. විපුලඵල ඇති බවය යනාදී ආනිශංස දැක, ප්‍රකෘතියෙන් ම මැදහත් පුරුෂයෙක් වේද ඔහු කෙරෙහි උපේක්ෂා කිරීම් වශයෙන් උපේක්ෂාව වැඩිය යුතු ය. මේ සත්ත්ව තෙම තමා කළ කර්මයෙන් පරළොවින් ආය. දැනුදු පරලොවට යෙයි. නුඹ ද නුඹ කළ කර්මයාගේ වශයෙන් ම පරලොවින් ආයෙහි ය. පරලොවට යන්නෙහි ය. ඕහට තාගේ ප්‍රයෝගයෙන් සුවයක් එළවන්නට වත් දුකක් පහ කරන්නට වත් නො පිළිවන. මෛත්‍රි කරුණාදී වශයෙන් සත්ත්වයන් කෙරෙහි මමත්ත්වය කිරීම චිත්තයාගේ ඍජුනොවූ ක්‍රියා ය. සියලු සත්ත්වයන් කෙරෙහි මැදහත් බව සියලු ආර්‍ය්‍යයන් විසින් ගන්නා ලද මාර්ගය ය. අවිරුද්ධ ප්රතිපත්තියෙකැයි, මෙසේ මැදහත් බවෙහි ගෞරව, බහුමාන, ආදර ඇත්තහු විසින් උපේක්ෂා කොට, උපේක්ෂාව ඉපද විය යුතු. මෙසේ සවිශේෂ කොට උපේක්ෂා උපදවා පිළිපදනා ඕහට ප්‍රකෘතියෙන් ම උදාසීන බැවින් ඔහු කෙරෙහි මැදහත් බව වේ. එකල්හි භාවනා බලයෙන් නීවරණයෝ විෂ්කම්භිත වෙති. කෙලෙස්හු සන්සිඳෙති. අර්පණාවට පැමිණේ. ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි පිළිවෙලින් උපේක්ෂා වැඩිය යුතු. එසේ ප්‍රිය පුද්ගලය, සොණ්ඩසහායය, වෛරීය, තමාය යන සියල්ලන් කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමාසම්භේද කොට ඒ නිමිත්ත ම සේවනය කරණුයේ, වඩනුයේ, නැවත නැවත වඩනුයේ පඨවි කසිණයෙහි කී පරිදි චතුර්ත්ථ ධ්‍යානය ලැබෙන්නේ ය.
මේ උපේක්ෂා ධ්‍යානය පඨවිකසිණාදී සෙසු කර්මස්ථානයන් වඩා උපදවාගත් තෘතීය ධ්‍යාන ඇත්තහුට නූපදී. ඒ කර්මස්ථාන භාවනාවන්හි අරමුණ සභාග නොවන බැවින් උපේක්ෂා ධ්‍යානය ඒ මගින් ලබාගත නොහැකි වේ. මෛත්‍රි ආදියෙහි තෘතිය ධ්‍යානය උපදවා ගත්තහුට ම අරමුණු සභාග බැවින් උපේක්ෂා චතුර්ත්ථ ධ්‍යානය ලැබෙන්නේ ය.
එයින් මතුයෙහි ලැබිය යුතු අර්පණාවෝ ද, අනුසස් ද මෛත්‍රි භාවනාවට කී පරිදි දත යුතු.
ධ්‍යාන වශයෙන් වනාහි, අප්‍රමාණ ගොවර ඇති බැවින් හෙවත් අප්‍රමාණ සත්ත්වයන් අරමුණු කොට ඇති බැවින්, එක ලක්ෂණ ද වූ මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්රහ්මවිහරණයන් අතුරෙන් පළමු මෙත්තා, කරුණා, මුදිතා යන තුන්දෙන, සොමනස්ස වියොග බැවින් හෙවත් සොම්නස හා වෙන් නොවන හෙයින් චතුෂ්කනය වශයෙන් ත්‍රික ධ්‍යානිකය, පඤ්චකනය වශයෙන් චතුෂ්ක ධ්‍යානිකය. ව්‍යාපාද, විහිංසා, අරතීන්ට විරුද්ධ වන හෙයින් මෙත් ආදියෙහි දොම්නස නූපදී. එහෙයින් මෛත්‍රි ආදී තුන්දෙන සොම්නස් හා පවති යයි කියනු ලැබේ. උපේක්ෂාව වනාහි උපේක්ෂා වෙදනාව ලැබිය යුතු හෙයින්, චතුෂ්ක, පඤ්චක නය වශයෙන් චතුර්ත්ථ ධ්‍යානික හෝ පඤ්චම ධ්‍යානික හෝ වේ ම ය. සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පැවති බ්රහ්මවිහාරොපේක්ෂාව, උපේක්ෂා වෙදනාව හැර නො පවති.
ශුභපරමාදි වශයෙන් වනාහි, මෛත්‍රි චෙතො විමුත්තිය, හෙවත් මෛත්‍රි ධ්‍යානය ශුභවිමොක්ෂය පරම කොට ඇත්තේ ය. මෛත්‍රි විහරණය ඇති පුද්ගලයාහට සත්ත්වයන් පිළිකුල් නොවෙති. මෙසේ මෛත්‍රිය පුරුදු කරන්නාහට ස්වභාවයෙන් ම පිළිකුල් නොවූ නීලාදී පිරිසුදු වර්ණයෙහි ද සිත නිදුකින් ම වැද සිටි. එබැවින් මෛත්‍රිය සුභවිමොක්ෂයට උපනිශ්‍රය වේ යයි කියනු ලැබේ.
කරුණා චෙතො විමුත්තිය හෙවත් කරුණා ධ්‍යානය ආකාශානඤ්චායතනය පරම කොට ඇත්තේ ය. කරුණා විහරණය ඇති පුද්ගලයාහට සත්ත්වයන් කෙරෙහි වැටෙන දඬුපහර ආදී ඇති රූප නිමිති කොට ඇතිවන දුක් සිහි කරණ කල්හි කරුණාව උපදින බැවින් රූපයෙහි ආදීනව ප්‍රකටවෙයි. මෙසේ දන්නා ලද රූපයෙහි ආදීනව ඇති බැවින් පඨවි කසිණ ආදියෙහි එක්තරා කිසුණක් උගුළුවා රූපයන්ගෙන් වෙන් වූ අහස අරමුණු කොට සිත් එළවන්නා වූ යෝගාවචරයාහට නිදුකින් ම සර්වාකාරයෙන් රූපයන්ගේ අභාවය විවරය යයි ඒ අහස්හි සිත පිනවයි. මෙසේ කරුණා තොමෝ ආකාශානඤ්චායතනයට උපනිශ්‍රය වේ. එය හැර අන් කිසිවකට උපනිශ්‍රය නොවේ.
මුදිතා චෙතො විමුත්තිය හෙවත් මුදිතා ධ්‍යානය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තේ ය. මුදිතා විහරණය ඇති පුද්ගලයාහට වනාහි භෝග සම්පත්ති ආදී ඒ ඒ ප්‍රමෝද්‍ය කාරණයෙන් ප්‍රමුදිත වූ සත්ත්වයන්ගේ, උපන්නා වූ ප්‍රමෝද්‍යය ඇති විඥානය සිහිකරණ කල්හි ආකාශ කසිණය හැර, ආකාශ නිමිත්ත ගොචර කොට ඇති ආකාශානඤ්චායතන ධ්‍යාන චිත්තයෙහි, අරූපාවචර ද්විතිය ධ්‍යානය හෙවත් විඤ්ඤාණඤ්චායතනයාගේ අධිගමය පිණිස භාවනා චිත්තය එළවන ඒ යෝගීහට නිදුකින් ම ඒ විඤ්ඤාණයෙහි සිත එළඹ සිටී. මෙසේ මුදිතාව විඤ්ඤාණඤ්චායතනයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ. එහෙයින් මුදිතාව විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තේ යයි වදාරණ ලදී.
උපෙක්ඛා චෙතො විමුත්තිය හෙවත් උපෙක්ඛා ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත්තේය. උපෙක්ෂා විහරණය ඇති පුද්ගලයාහට වනාහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වායි කියා හෝ දුකින් මිදෙත්වායි කියා හෝ පැමිණි සැපතින් නොපිරිහෙත්වායි කියා හෝ ආභෝගයක් නැති හෙයින්, සුඛ දුක්ඛාදී පරමාර්ථග්රහණයට විමුඛ බැවින්, සුව දුක් ආදි නොගෙණ අවිද්‍යමාන ප්රඥප්ති ගැන්මෙහි දක්ෂ වූ සිත ඇති වේ. මෙසේ පරමාර්ථග්රහණයෙන් විමුඛ භාවයෙහි පුරුදු කරණ ලද සිත් ඇත්තහුට ද පරමාර්ථයෙන් අවිද්‍යමාන ග්රහණයෙහි දක්ෂ වූ සිත් ඇත්තාහට ද, භාවනානු ක්‍රමයෙන් පැමිණෙන ලද විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ස්වභාවයෙන් අවිද්‍යමාන වූ පරමාර්‍ත්‍ථ වූ විඤ්ඤාණයාගේ අභාවයෙහි චිත්තය එළවන්නහුගේ නිදුකින් ම ඒ අභාවයෙහි ආකිඤ්චඤ්ඤායතනය චිත්තය වැදගෙන සිටි යි. මෙසේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ. එහෙයින් උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතන පරම කොට ඇතැයි වදාරණ ලදී.
දානාදී සියලු කල්‍යාණ ධර්ම පිරීම වශයෙන් වනාහි මේ සියලු අප්‍රමාණ ධර්මයෝ ම, පාරමීභාවයට පැමිණි දානාදී බුද්ධකාරක ධර්ම වූ සියලු අනවද්‍ය ධර්මයන්ගේ හෙවත් සමත්‍රිංසත් පාරමිතාවන් හා තන්නිමිත්ත වූ බුද්ධයානික යන්ගේ පරිපූර්ණ භාවය සිද්ධකරවන්නාහ. සත්ත්වයන්කෙරෙහි හිතාධ්‍යාශය ඇති බැවින් ද, සත්ත්වයන්ගේ දුක් නොඉවසන හෙයින් ද, සත්ත්වයන්ගේ සම්පත්ති විශේෂයන් චිරකාලයක් පවත්නා කැමති බැවින් ද, සියලු සතුන් කෙරෙහි පක්ෂපාතයක් නැති බැවින් ද සමව පවත්නා සිත් ඇති මහා සත්ත්වයෝ, මෝහට දිය යුතුය, මෝහට නොදිය යුතුය යි විභාගයක් නොකොට සියලු සත්ත්වයන්ට සුඛ කාරණ වූ දානය දෙත්. මෙය මොහුගේ දාන පාරමිතා නමි. ඒ සත්ත්වයන්ගේ හිංසාව දුරුකරන්නහු සිල් සමාදන් වෙති. මෙය මොහුගේ සීල පාරමිතා නමි. සිල් පුරණු පිණිස නෛෂ්ක්‍රම්‍යයට හෙවත් ප්‍රව්‍රජ්‍යාවට එළඹෙත්. මෙය මොහුගේ නෙක්ඛම්ම පාරමිතා නමි. සත්ත්වයන්ගේ අර්ත්ථ අනර්‍ත්‍ථ දෙක්හි නුමුළාවීම පිණිස, නො ඇසූ තැන් අසන්නාහු, ඇසූ තැන් පිරිසුදු කරන්නාහු අහංකාර මමංකාරයන් දුරුකරන්නාහු ඥානය පිරිසුදු කෙරෙත්. මෙය මොහුගේ ප්‍රඥා පාරමිතා නමි. සත්ත්වයන්ට හිත සුව පිණිස නිත්‍යයෙන් ම, යම් සේ සත්ත්වයන්ට නූපන් හිත සුව උපදී ද, උපන් හිත සුව අභිවෘද්ධියට යේ ද, එසේ වීර්‍ය්‍ය කෙරෙත්. මෙය මොහුගේ වීර්‍ය්‍ය පාරමිතා නමි. වීරත්ත්වයට පැමිණියාහුද, අපරාධ කළවුන්ට නිග්‍රහයට සමත් බව ඇතත්, සත්ත්වයන්ගේ නොයෙක් අපරාධ, හිතාධ්‍යාශයෙන් ම ක්ෂමා කෙරෙත්. දෝෂ ක්ෂමා කරණ මේ ක්ෂාන්තිය මොහුගේ ක්ෂාන්ති පාරමිතා නමි. මෙ නම් දෙයක් තොපට දෙම්හ, කරම්හයි කරණ ලද ප්‍රතිඥාව විසංවාද නොකෙරෙත්. බොරු නොකියත්. මෙය මොහුගේ සත්‍ය පාරමිතා නමි. ඒ සියලු සත්ත්වයනට හිත සුව පිණිස සමාදන් වන ලද දානාදී ධර්මයන් කෙරෙහි නිශ්චලව පිහිටීම හෙවත් බුද්ධකාරක ධර්මයන්හි අචල සමාදානාධිෂ්ඨානය මොහුගේ අධිෂ්ඨාන පාරමිතා නමි. ඒ සත්ත්වයන් කෙරෙහි ප්රතිපක්ෂ විසින් අකම්ප්යනීය වූ මෛත්‍රියත් පූර්වකාරීහු වෙත්. උපෙක්ෂාවෙන් ප්රත්යුපකාරයක් ප්‍රාර්ථනා නො කෙරෙත්. මෙසේ පාරමිතාවන් පුරා දශ බලය, චතුර්වෛශාරද්ය, ෂඩ් අසාධාරණ ඥානය, අෂ්ටාදශ බුද්ධධර්මය යන ප්‍රභේද ඇති සියලු කල්‍යාණ ධර්මයන් පුරන්නාහ.