අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මුදිතා භාවනාව

මුදිතා භාවනාව ආරම්භ කරණු කැමති යෝගාවචරයා විසින් ද පළමු කොට ප්‍රිය පුද්ගල, මධ්‍යස්ථ පුද්ගල, වෛරී පුද්ගල යන මොවුන් කෙරෙහි ආරම්භ නොකටයුතු. ප්‍රිය පුද්ගල තෙමේ ප්‍රියභාව මාත්‍රයෙන් ම මුදිතාවට ආසන්න කාරණා නොවේ. සොම්නස් ආදීන්ගේ වශයෙන් සිද්ධවූ, නිත්‍යයෙන් සතුටු මුහුණු ඇති බව යනාදි විශේෂ යන් නැතිව හුදෙක් ප්‍රිය මාත්‍රභාවය ආසන්න කාරණා නොවේ. මධ්‍යස්ථ පුද්ගලයා සිහිකරණුවහට උදාසීනබව පිහිටයි. වෛරීහු සිහිකරන්නා හට ක්‍රෝධය උපදී. එහෙයින් මධ්‍යස්ථයා හා වෛරීහු කෙරෙහි ද පළමු කොට මුදිතාව නො වැඩිය යුතු. ලිඞ්ග විසභාගයන් හා කාලක්‍රියා කළාහු ද මුදිතාවට තැන් නොවේ.

අතිප්‍රිය සහායකයා මුදිතාවට ආසන්න කාරණ වන බැවින් පළමු කොට ඔහු කෙරෙහි මුදිතාව පැතිරවිය යුතු. සොණ්ඩසහාය හෙවත් ප්‍රමොදයට පැමිණීමෙන් රහ සොඬෙකු බඳු වූ සහායයා මුදිත මුදිත හෙවත් අතිශයින් ම සතුටු වේ. පළමු කොට සිනහසී පසුව කථා කරයි. එහෙයින් ඒ සොණ්ඩසහායයා කෙරෙහි පළමු කොට මුදිතාව පැතිර විය යුතු. සුවපත් වූ ද සපයන ලද සුඛසාධන ඇති, සතුටුවන්නාවූ ප්‍රිය පුද්ගලයා දැක හෝ අසා හෝ ඒකාන්තයෙන් මේ සත්ත්‍ව තෙම සන්තුෂ්ටයහ. ඉතා යෙහෙකැයි, ඔහු කෙරෙහි මුදිතා වැඩිය යුතු වේ. ඉක්බිති ප්‍රිය වූ, මනාප වූ, එක් පුද්ගලයෙකු දැක සතුටුවේ ද එපරිද්දෙන් ම සියලු සතුන් කෙරෙහි මුදිතාව පැතිර විය යුතු. ඉදින් ඔහුගේ ඒ සොණ්ඩසහායයා හෝ ප්‍රිය පුද්ගලයා හෝ ඒ ජන්මයෙහි පූර්‍ව භාගයෙහි සුවපත් වී දැන් දුක්පත්වී නම්, ඔහුගේ ඉක්මුණා වූ සුවපත් බව සිහි කොට මෙතෙම පළමු මෙසේ වූ මහත් භෝග ඇත්තේ විය. මහත් පිරිවර ඇත්තේ විය. හැම වේලෙහිම සතුටු වී යයි ඔහුගේ එම සතුටු වූ ආකාරය ගෙන මුදිතාව ඉපද විය යුතු. අනාගතයෙහි හෝ නැවත ඒ සම්පත්තිය ලැබ ඇත්කඳය, අස්පිටය, රන්සිවිකාය යනාදියෙන් ඇවිදින්නේ යයි මොහුගේ අනාගතයෙහි එන මුදිතාකාරය ද ගෙන මුදිතාව ඉපදවිය යුතු.

මෙසේ සොණ්ඩසහායයා ය, ප්‍රිය පුද්ගලයා ය යන ප්‍රිය පුද්ගලයන් දෙදෙනා කෙරෙහි මුදිතාව උපදවා ඉක්බිත්තෙන් මධ්‍යස්ථයා කෙරෙහි ද, සතුරා කෙරෙහි ද පිළිවෙලින් මුදිතා උපදවා අර්‍පණාව ඉපද විය යුතු ය. මෙසේ මේ තුන්දෙනා කෙරෙහි ද තමා කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි සමසිත් පවත්වා සීමාසම්භේදය කොට මුදිතා භාවනාව සමෘද්ධ කට යුතු.

අනුසස් ද මෛත්‍රි භාවනාවට කියන ලද ආකාරයෙන් දත යුතු.