කරුණා භාවනාව
කරුණා බ්‍රහ්ම විහාරය වඩනු කැමැත්තහු විසින් නිෂ්කරුණා බැව්හි හෙවත් විහිංසාවෙහි ආදීනවයන් සහ කරුණායෙහි අනුසස් ද ප්රත්යවේක්ෂා කොට කරුණා භාවනාව ආරම්භ කටයුතු ඔහු විසින් පළමු කොට ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි කරුණා භාවනාව ආරම්භ කටයුතු නො වේ. ප්‍රිය පුද්ගලයා කෙරෙහි කරුණාව ආරම්භ කරනුවහට ප්‍රිය භාවය පළමු කොට පහ නොවේ. ප්‍රිය භාවය පහ නොවූ කල කරුණාව නො පිහිටන්නේ ය. ප්‍රියයා ප්රියතන්හිම සිටින්නේ ය. ලිඞ්ග විසභාගයන් හා කාලක්‍රියා කළවුන් ද යට දක්වන ලද පරිදි කරුණා භාවනා වැඩීමට තැන් නොවෙත්. ඔහු විසින් පළමු කොට, කරුණා කටයුතු ස්වරූපය ඇති, අතිශයින් ම දුකට පැමිණියා වූ, දිළිඳු වූ, දුශ්චරිතයෙන් යුක්ත වූ බැගෑ පුරුෂයා, කපන ලද අත් පා ඇති, කබල පෙරට තබා ගෙණ අනාථ ශාලායෙහි හොත්තහු, අතින් පයින් වැහෙන්නා වූ පණුකැලන් ඇති බැගෑ හඬින් හඬන්නහු දැක, මේ සත්ත්ව තෙම දුකට පැමිණියේ ය. මේ දුකින් මිදුණේ වී නම් යෙහෙකැයි කරුණාව පැවැත්විය යුත්තී ය. එවැනි පුද්ගලයෙක් නො ලබන්නහු විසින්, සුවපත්වූ ද, පව් කරණ පුද්ගලයෙක් වධ්යයා හා සම කොට මෙසේ කරුණා වැඩිය යුතු.
යම් සේ බඩු හා සමඟ අල්වාගත් සොරුට මෙසේ වධ කරවයි රජහු විසින් නියෝග කළ කල්හි, රාජපුරුෂයෝ ඔහු බැඳ සන්ධියෙහි සන්ධියෙහි දී පහර සිය ගණනින් දෙමින් මරණතැනට ගෙනයන කල්හි මිනිසුන් කෑ යුතු වැළඳිය යුතු දෑ ද, මල්, ගඳ, විලවුන්, බුලත් ආදී දෙන්නාහ. හෙතෙම එය කන්නේ ද, වළඳන්නේ ද, සුවපත් වී, භෝගයෙන් යුක්තවූවකු මෙන් යේ ද, එතකුදු වූවත් කිසිවෙක් මේ මහත් භෝග ඇත්තෙකැයි නො සිතන්නේ ය. ඒකාන්තයෙන් මෙතෙම පින් නැත්තේ දැන් මිය යෙයි. මෙතෙම යම් යම් පියවරක් තබා ද, ඒ ඒ පියවරින් මරහු සමීපයට ම යෙයි සිතා ඕහට ජනයෝ කරුණා කෙරෙත් ද, එ පරිද්දෙන් ම කරුණා කර්මස්ථානයෙහි යෙදුණු යෝගාවචරයා විසින් සුවපත් වූ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතු. මෙතෙම පින් නැත්තේ, යම් හෙයකින් දැන් සුවපත්වූයේ සුව අනුභව කිරීමෙහි සැරහුණේ භෝගයන් වළඳන්නේ ය. එසේ වුවත් තුන්දොරින් එක දොරකිනුදු කරන ලද යහපත් කර්මයන් නැති හෙයින් දුක් දොම්නස් අනුභව කරන්නේ යයි මෙසේ ඒ පුද්ගලයාහට කරුණා කොට, ඉක්බිති මෙම උපායෙන් ම ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, එයට ඉක්බිති ව මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි ද, අනතුරුව වෛරීහු කෙරෙහි ද පිළිවෙලින් කරුණාව පැවැත් විය යුතු. ඉදින් ඕහට පෙර කී නයින් වෛරීහු කෙරෙහි පටිඝය උපදී නම් ඒ පටිඝය ද මෛත්‍රි භාවනාවෙහි කී න්‍යායෙන් ම සංසිඳවා ගත යුතු.
යමෙක් වනාහි කරන ලද කුසල් ඇත්තේ වී නම් ඔහු ද ඥාතිව්‍යසනය, රෝග ව්‍යසනය, භෝග ව්‍යසනය යනාදීන් කෙරෙන් එක්තරා ව්‍යසනයකින් සමන්විත පුද්ගලයෙකු බව දැක හෝ අසා හෝ එසේත් නැත්නම් සසර දුක් නොඉක්ම වූ බැවින් මොහු දුක්ඛිතම යයි සර්වාකාරයෙන් ම කරුණා පවත්වා පළමු කී පරිදි තමා කෙරෙහි ද, ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, මධ්‍යස්ථයා කෙරෙහි ද, වෛරීහු කෙරෙහි ද, මෙසේ සතර දෙනා කෙරෙහි ද සීමාසම්භේද කොට, සීමාසම්භේද වශයෙන් පැවති ඒ සමථ නිමිත්ත සේවනය කරන්නේ, වඩන්නේ, නැවත නැවත වඩන්නේ මෛත්‍රී කමටහනයෙහි කී පරිද්දෙන් ත්‍රික චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා වැඩිය යුතු.
ඉක්බිතිව යට කියන ලද ප්‍රකාරයෙන් පඤ්චවිධ අනොධිසොඵරණ කරුණා වශයෙන් ද, සප්තවිධ ඔධිසො ඵරණ කරුණා ධ්‍යාන වශයෙන් ද, දසාකාර දිශාඵරණ වශයෙන් ද යන අර්පණාවෝ ලැබිය යුතු.
මෙහි අනුසස් වශයෙන් මෛත්‍රී ධ්‍යානයෙහි කී පරිදි එකොළොස් අනුසස් ම ලැබෙන්නාහ.