අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෛත්‍රී භාවනාවෙහි අනුසස්

යට කියන ලද ආකාරයන් අතුරෙන් යම් කිසි ආකාරයකින් මෛත්‍රී ධ්‍යානය වඩා නම් ඒ යෝගාවචරයාහට අනුසස් එකොළොසක් (11) ලැබෙන්නේ ය. ඒ අනුසස් එකොළොස නම්:-

  1. සුඛංසුපති - යම්සේ සෙසු ජනයෝ දකුණැලයෙන් ම සයනය නොකොට හාත්පසින් පෙරළෙමින් සුරු සුරු ගාමින් ප්‍රශ්වාස වශයෙන් ශබ්ද පවත්වමින් දුකසේ හොවී ද, මේ යෝගීතෙම එසේ නො ව සුවසේ හෙව සමවතට සමවන්නක්හු මෙන් නිදන්නේ ය.
  2. සුඛං පටිබුජ්ඣති - සුවසේ පුබුදී. - යම්සේ සෙසු ජනයෝ තතනමින්, හැඹෙමින්, පෙරළෙමින් දුකසේ පුබුදී ද, මෛත්‍රි ධ්‍යානයෙන් යුත් යෝගාවචර තෙම එසේ නොව පිපෙන පියුමක් මෙන් සුවසේ විකාර නැතිව පුබුදී.

3. න පාපකං සුපිනං පස්සති - නපුරු සිහින නො දකී. හෙතෙම ස්වප්න දක්නේ ද, යහපත්වූ ම ස්වප්නයක් දකී. දාගැබක් වඳින්නාක්හු මෙන් ද, පූජා පවත්වන්නක්හු මෙන් ද, බණ අසන්නක්හු මෙන් ද, ස්වප්න දකී. සෙසු ජනයෝ තමන් සොරුන් විසින් පිරිවරණ ලද්දාසේ ද, නපුරු සතුන් විසින් උපද්‍රව කරණ ලද්දාසේ ද, ප්‍රපාතයෙහි හෙන්නා සේ ද, ස්වප්නයෙන් දකී. යෝගී තෙම එසේ පවිටු වූ ස්වප්න නො දකී.

4. මනුස්සානං පියො හොති - මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. උරෙහි බහාලු මුත්හරක් මෙන් ද, හිස පළඳනා මල්මාලාවක්සේ ද මිනිසුන්ට ප්‍රිය වෙයි. මනාප වෙයි.

5. අමනුස්සානං පියො හොති - යම්සේ මිනිසුන්ට ප්‍රිය වේද, එසේම දෙවියන්ට ද ප්‍රිය වේ. විශාඛ තෙරණුවෝ පෙර පැළලුප් නුවර කෙළෙඹියෙක් වී එහි ම වසනුයේ මෙසේ ඇසීය. තම්බපණ්ණි ද්වීපය (ලක්දිව) වනාහි චෛත්‍යමාලාවෙන් අලඞ්කෘත ය. කාෂාය වස්ත්‍රයෙන් බැබලෙන්නී ය. කැමති කැමති තන්හි හිඳින්නට හෝ හෝනට හෝ පිළිවන. ඍතු සැප ද, සෙනසුන් සැප ද, පුද්ගල සැප ද, බණ අසන සැප ද, යන සියල්ල එහි සුවසේ ලැබෙයි. මෙසේ ඇසූ හෙතෙම තමාගේ භෝගරාසිය අඹුදරුවන්ට පාවාදී, රෙදිකඩ අග එක්කහවණුවක් පමණක් ගැටගසා ගෙන, ගෙදරින් නික්ම මුහුදු තෙර නැවක් එනු බලාසිටිනුයේ එක්මසක් ගත වීය. හෙතෙම ව්‍යවහාරයෙහි දක්‍ෂවූයේ මෙදොරින් බඩු ගෙන අනික් තැනෙක විකුණන්නේ, දැහැමින් කරණ වෙළඳාමෙන් එම මස ඇතුළත දී දහසක් පමණ රැස් කොට අනුක්‍රමයෙන් ලක්දිව මහ විහාරයට අවුත් පැවිදි බව ඉල්වී ය. හෙතෙම මහණ කරණු පිණිස සීමාවට පමුණුවනු ලද්දේ ඒ දහසින් බැඳිපියල්ල බිම හෙළී ය. මේ කිමෙක් දැයි ඇසූ කල්හි, කහවණු දහසෙක වහන්සැයි කීය. උපාසකය, පැවිදිවූ තැන් පටන්ගෙණ මිළමුදල් විධානය කරන්නට නො පිළිවන, දැන් ම එයට කටයුතු දනුවයි හික්‍ෂූහු කීහ. විශාඛයා මහණ වන තැනට ආවාහු සිස් අතින් නොයෙත්වායි සිතා පියල්ල මුදා සීමා මලුයෙහි විසුරුවා, මහණව, උපසම්පදා ලැබ, පස්වසක් වැස, උභයමාතෘකා ප්‍රගුණ කොට, තමහට සැප කමටහන් ගෙණ, එකී එකී විහාරයෙහි සාරමස සාරමස බැගින් සමකොට වත් පුරමින් හෙවත් සියලු සතුන් කෙරෙහි සමව පැවති මෛත්‍රිවිහාර නමැති වාස ඇත්තේව හැසුරුණේ ය.

විශාඛ නම් මහතෙරහු, වනාන්තරයෙහි සිටියේ සිංහ ගර්ජනා කරන්නේ තමාගේ ගුණ සමුදාය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නොහොත් ඒ තෙරහු සියලු සතුන් කෙරෙහි සම මෛත්‍රි විහරණයෙන් වෙසෙමින් ඇවිදිනාහු, එක්තරා රමණීය වන ලැහැබක් දැක එහි එක්තරා රුක්මූලෙක සමවතට සමවැද, එයින් නැගී තමන්ගේ ගුණ ආවර්‍ජණාව හේතුකොට ඇති ප්‍රීති සොම්නසින් උදන් අනන්නාහු මෙසේ කීහ: “යම් තැනෙක පටන් උපසම්පන්න වීම් ද, යම් තාක් මෙතැනට ආම් ද, මේ අතුරෙහි කිලුටක් නම් නැත. නිදුක-තට වූයේ මහත් ලාභයකි.” හෙතෙම සිතුල්පහු වෙහෙරට යන්නේ දෙමං සන්‍ධියකට පැමිණ මේ මගදෝ නොහොත් මේ මගදෝ හෝයි සිතමින් සිටියේය. එකල්හි ඒ පර්‍වතයෙහි වසන දේවතාවෙක් අත දික් කොට මේ මග යයි දැක්වූයේ ය. එ මගින් ගොස් හෙතෙම සිතුල්පව්වෙහි සාරමසක් වැස අලුයම යෙමියි සිතා හොත්තේ සක්මන් හිස මණිල රුක වසන දේවතා තොමෝ හිනිපෙත්ත මත්තෙහි හිඳ හඬන්නට විය. ස්ථවිර තෙමේ ද මේ කවරෙක් දැයි ඇසූ කල, වහන්ස මම මණිල දේවතා යයි කීහ. කුමක් හෙයින් හඬන්නේ දැයි විචාරණ ලද්දේ නුඹගේ ගමන් පිණිස යයි කීය. මා මෙහි වසන කල තට කවර ගුණයෙක් දැයි ඇසීය. වහන්ස, නුඹ මෙහි වසන කල දෙවියෝ ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රිය කරති. දැන් නුඹ ගිය කල්හි කලහ කෙරෙති, නපුරු කථා කෙරෙති යි කිහ. ස්ථවිරයන් වහන්සේ ද, ඉදින් මා මෙහි වසන කල්හි තොපට සැප විහරණය වන්නේ නම් යහපතැයි කියා අනිත් සාරමසත් එහි ම වැස නැවත එසේම ගමන යන්නට සිතීය. දේවතා තොමෝ එකල්හි ද නැවත හඬන්නට වන. මෙම උපායෙන් තෙරහු එම විහාරයෙහි ම පිරිනිවන් පෑසේක මෙසේ මෛත්‍රිය ධ්‍යානය ඇති මහණහු අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ.

  1. දේවතා රක්ඛන්ති - පුතක්හු රක්නා මච්පියන් මෙන් දෙවියෝ රකිත්.
  2. නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති - මෛත්‍රිය වඩන යෝගීහුගේ සිරුර උත්තරා නම් උපාසිකාවන්ගේ කය මෙන් ගිනි නොවදී, සංයුත්තභාණක චුල්ලසිව නම් තෙරුන්ගේ කය මෙන් විෂ නො වදී, සංකිච්ච නම් සාමණේරයන්ගේ කය මෙන් ආයුධ නොවදී. පෙර එක් ගවදෙනක් වස්සාට කිරිළුවමින් සිටි කල්හි වැද්දෙක් ඒ දෙන විදිමියි සිතා අතින් සකස් කොට දිග් අඩු ඇති හෙබින් ඇන්නේය. ඒ තෙබ ඒ දෙනගේ ශරීරයෙහි පැහැර තල්පතක් මෙන් හැකිළ ගියාය. එසේ වූයේ උපචාර ධ්‍යාන බලයෙන් හෝ අර්පණා බලයෙන් හෝ නොව හුදෙක් වස්සා කෙරෙහි බලවත් වූ ප්‍රිය සිත් ඇති බැවිනි. මෙසේ මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තී ය.
  3. තුවටං චිත්තං සමාධියති - මෛත්‍රි විහාරීහුගේ සිත වහාම සමාහිත වේ. ඒ චිත්තයාගේ සමාහිත භාවයෙහි ලැසිගත් බවෙක් නම් නැත.
  4. මුඛවණ්ණො විප්පසීදති - නටුයෙන් ගැලවුණු තල්ගෙඩියක් මෙන් ඔහුගේ මුහුණ ප්‍රසන්න වර්ණ වේ.
  5. අසම්මූළ්හො කාලං කරොති - මෛත්‍රි විහාරයා හට මුළාව වන මරණයෙක් නම් නැත. මුළා නොවූයේම නිදන්නට වන්නක්හු මෙන් කාලක්‍රියා කෙරේ.
  6. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකූපගො හොති - මෙත් සමවතින් මත්තෙහි රහත් බවට පැමිණෙනුවට අසමත්‍ථවූයේ නම් මෙයින් චුතව නිදා පිබිදියාක්හු මෙන් බඹලොවට ම එළඹෙයි.