අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෛත්‍රී භාවනාව

මේ සතර බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෛත්‍රී බ්‍රහ්මවිහාරය උපදවනු කැමැති ආදිකර්මික යෝගාවචරයා විසින් යට දක්වන ලද පරිදි සියලු කුඩා මහත් පළිබෝධයන් සිඳ දමා, ගන්නා ලද කමටහන් ඇතිව, බත්කිස නිමවා, බත්මත ද දුරු කොට, ජනශුන්‍ය ප්‍රදේශයෙක්හි මනාකොට පනවන ලද අස්නෙක්හි පළඟ බැඳ, සුවසේ හිඳ, තෙරුවන් ගුණ සිහිකොට, ශ්‍රද්ධාව මනාකොට උපදවාගෙන, භාවනාව ආරම්භ කළ යුතු. ඔහු විසින් පළමු කොට ද්වේෂයෙහි ආදීනව හා ක්‍ෂාන්තියෙහි අනුසස් ද ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු. මේ මෛත්‍රී භාවනායෙන් අදහස් කරනු ලබන්නේ ද්වේෂය පහ කිරීමත් ක්‍ෂාන්තිය ලබා ගැනීමත් ය නුදුටු ආදීනව ඇති කිසිවක් දුරුකරන්නට නුපුළුවන. එසේම නොදක්නා ලද අනුසස් ඇති කිසිවක් ලබාගන්නට ද නුපුළුවන. ද්වේෂයෙන් දුෂ්ටවූයේ, කැළඹුණේ, පර්‍ය්‍යුත්‍ථාන වශයෙන් මඩනා ලද්දේ, කුසල් සිත් ඉපදීමට අවකාශ නො ලැබීම් වශයෙන් හාත්පසින් ද්වේෂයා විසින් ගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණවධ කරන්නේ ය යනාදී වශයෙන් දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයට මුල්වන බව සළකා ද්වේෂයාගේ ආදීනව දතයුතු. ක්‍ෂාන්තියෙහි අනුසස් මෙනෙහි කරන්නා වූ හෙතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් “ක්‍ෂාන්ති සඞ්ඛ්‍යාත තිතික්‍ෂාව හෙවත් ඉවසීම, නොකටයුතු දෙය නො කිරීමය, කළයුතු දෙය කිරීමය යන මෙය ලක්‍ෂණ කොට ඇති සම්‍යක් ප්‍රතිපත්තියට මුල්වන බැවින් උතුම් තපස් නම් වේය” කියා ද, “පරම මඞ්ගල වූ ක්‍ෂාන්තියම බලකොට ඇති, ද්වේෂාදී ප්‍රතිපක්‍ෂයන් මැඩීමට සමත් ක්‍ෂාන්ති නමැති බල ඇති ඇති ඔහු බ්‍රාහ්මණ හෙවත් බාහිත පාප යයි මම කියමි”, කියා ද. “තමාහට ද, අනුන්ට ද අනර්‍ත්‍ථය වළක්වන්නා වූ මේ ක්‍ෂාන්තියට වඩා උසස් ගුණයෙක් නැතැයි” ද වදාරණ ලද හෙයින් ක්‍ෂාන්තියෙහි බොහෝ අනුසස් ඇති බව මෙනෙහි කටයුතු. මෙසේ දක්නා ලද ආදීනව ඇති ද්වේෂයෙන් සිත මුදාගනු පිණිස ද දන්නා ලද ආනිසංස ඇති ක්‍ෂාන්තියෙහි තමා යොදනු පිණිස ද මෛත්‍රි භාවනාව ආරම්භ කටයුතු.

මෛත්‍රි භාවනාව ආරම්භ කිරීමට පෙර පුද්ගල දෝෂ දැනගත යුතු. යම් බඳු පුද්ගලයෙක් අරමුණු කොට භාවනා කරන්නාහට, ඒ භාවනාව නැසේ ද, එබඳු පුද්ගලයෝ ම පුද්ගල දෝෂ නමුදු වෙත්. එබැවින් මේ මේ පුද්ගලයන් කෙරෙහි පළමුකොට මෛත්‍රිය නොවැඩිය යුතුය, මොවුන් කෙරෙහි කවර කලෙකවත් නො වැඩිය යුතුය යනාදී වශයෙන් පුද්ගලයන් හැඳින ගත යුතු වේ.

පළමු කොට මෛත්‍රිය නොවැඩිය යුතු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්:-

  1. අප්‍රිය පුද්ගලයා ය
  2. අති ප්‍රිය වූ සහායකයා ය
  3. මධ්‍යස්ථ පුද්ගලයා ය
  4. වෛරී පුද්ගලයා ය යන සතර දෙන ය.

මේ පුද්ගලයන් සතර දෙනා අතුරෙන් අප්‍රිය පුද්ගලයා ප්‍රිය තැන තබාගැනීම ඉතා දුෂ්කර ය. අප්‍රිය බව ප්‍රිය බවට ඉඳුරාම ප්‍රතිපක්‍ෂ බැවින් අප්‍රියයා ප්‍රිය තැන තබා ගන්නට තැත් කිරීමෙන් වෙහෙසට පත් වේ. අති ප්‍රියවූ සභායයා ගෙහසිත ප්‍රේමයට කරුණු වන බැවින් මැදහත් භාවයෙන් තබාගන්නට තැත් කිරීමේදී වෙහෙසට පත් වේ. ඒ අති ප්‍රිය සබඳයා හට මද වූ ද දුකක් උපන් කල්හි වැලපෙන ආකාරයට පැමිණෙන්නේ ය. ප්‍රිය ද නොවූ, අප්‍රිය ද නොවූ මධ්‍යස්ථයන් ගරු වශයෙන් ද ප්‍රිය වශයෙන් ද තබා ගන්නට තැත් කිරීමේ දී එසේම වෙහෙසට පත්වන්නේ ය. චෛරී පුද්ගලයන් සිහිකරන්නා හට ක්‍රෝධය උපදී. එබැවින් මේ සතර දෙන කෙරෙහි පළමු කොට මෛත්‍රිය නො වැඩිය යුතු.

ලිඞ්ග විසභාගයන් කෙරෙහි ද කොටස් වශයෙන් නොහොත් සීමා වශයෙන් මෛත්‍රිය නො වැඩිය යුතු. ස්ත්‍රියට පුරුෂයා ද, පුරුෂයාහට ස්ත්‍රිය ද ලිඞ්ග විසභාගයෝ ය. කොටස් වශයෙන් හෙවත් අසුවල් ස්ත්‍රිය සුවපත් වේවා යි සිහිකරන්නාහට රාගය උපදී. පෙර එක්තරා ඇමති පුත්‍රයෙක් තමාගේ නිවසට නිතර වැඩමවන ස්ථවිරයන් වහන්සේ නමකගෙන්, කවුරුන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතු දැයි ඇසීය. තෙරුන් වහන්සේ ද, ලිඞ්ග වශයෙන් සමාන ප්‍රිය පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු යයි විස්තර වශයෙන් නොකියා, ප්‍රිය පුද්ගලයක්හු කෙරෙහි මෙත් වැඩිය යුතු යයි කීය. ඇමති පුත්‍රයා ද, තමාට තම භාර්‍ය්‍යාව ප්‍රිය බැවින්, ඈ කෙරෙහි මෛත්‍රිය කරන්නට සැරසී, ශීලයෙහි පිහිටා, වසන ලද දොර ඇති ගර්භයෙහි යහනෙක්හි හිඳ මෙත් වැඩීමට ආරම්භ කෙළේ ය. මෙසේ මෙත් වඩන්නා වූ හෙතෙම මෛත්‍රි මුඛයෙන් උපන් රාගයෙන් අන්‍ධවූයේ, භාර්‍ය්‍යාව සමීපයට යනු කැමතිවූයේ, දොර නොදැක බිත්තිය බිඳගෙන යන්නට තැත් කරමින් මුළු රාත්‍රියම භිත්ති යුද්ධය කෙළේ ය. එහෙයින් ලිඞ්ග වශයෙන් සභාග නොවූවන් කෙරෙහි කොටස් වශයෙන් වෙන් කොට මෛත්‍රිය නො වැඩිය යුතු.

කළුරිය කළ තැනැත්තන් කෙරෙහි ද මෛත්‍රිය නො වැඩිය යුතු. මළවුන් කෙරෙහි මෛත්‍රිය වඩන්නාහට අර්පණාවක් හෝ උපචාරයක්වත් නො ලැබෙන්නේ ය. පෙර එක්තරා ළදරු භික්‍ෂුවක් තම ආචාර්‍ය්‍යයන් අරමුණු කරමින් මෙත් වඩනුයේ, ඕහට මෛත්‍රිය නො පිහිටි හෙයින්, මහා ස්ථවිරයන් වහන්සේ නමක් සමීපයට ගොස්, වහන්ස, මට මෛත්‍රිධ්‍යාන සමාපත්ති පුහුණු ය. නමුත් ඒ ධ්‍යාන සමවතට දැන් සමවදින්නට නොහැකි ය. එයට කාරණා කිම් දෝ හෝයි ඇසුයේ ය. ස්ථවිරයන් වහන්සේ ද, ඇවත, යමක්හු අරභයා මෛත්‍රිය ආරම්භ කෙරෙහි ද, ඒ පුද්ගලයා ජීවත් වේදෝ හෝ නො වේදෝ හෝයි දැන අරමුණ ගතයුතු යයි කීහ. එවිට තම ආචාර්‍ය්‍යයන් වහන්සේ සිහිකරන්නේ උන්වහන්සේ අපවත් වූ බව දැන, ඒ නිමිත්ත අත්හැර, අනිකක්හු කෙරෙහි මෛත්‍රිය පවත්වන්නේ නොබෝ වේලාවකින් සමාපත්තියෙහි පිහිටියේ ය. එහෙයින් කළුරිය කළ වුන් කෙරෙහි මෙත් නොවැඩිය යුතු ය.

මෛත්‍රිය වඩන පුද්ගලයා විසින් පළමු කොට “අහං සුඛිතො හොමි, නිද්දුක්ඛො හොමි” මම සුවපත් වූයෙම් වෙමි, නිදුක් වූයෙම් වෙමි යි කියා හෝ “අහං අවෙරො හොමි, අබ්‍යාපජ්ඣො හොමි, අනිඝො හොමි, සුඛි අත්තානං පරිභරාමි” මම වෛර පුද්ගලයන් ද, වෛර නම් පාපධර්‍මයන් ද නැති හෙයින් වෛරනැත්තේ වෙමි, විශේෂයෙන් ව්‍යාපාද නැති හෙයින් අව්‍යාපජ්ඣ හෙවත් ව්‍යාපාද නැත්තේ වෙමි, ඊඝ නම් වූ උපද්‍රව නැති බැවින් අනීඝ හෙවත් උපද්‍රව නැත්තෙමි, නිරවද්‍ය කායික සුඛ සමන්විත හෙයින් සුවසේ මාගේ ආත්ම භාවය පරිභරණය කරමි, පවත්වමි යි, මෙසේ නැවත නැවත තමා කෙරෙහි ම මෙත් වැඩිය යුතු. මෙසේ තමා කෙරෙහි මෙත් වඩන පුද්ගල තෙම “යම්සේ මම සුවපත්වනු කැමැත්තෙම් ද, දුක්ඛයෙහි පිළිකුල් ඇත්තෙම් ද, දුක් නොකැමැත්තෙම් ද, එපරිද්දෙන් ම සෙසු සත්ත්‍වයෝ ද සුව කැමැත්තහ යි ද, දුක් නොකැමැත්තහයි ද” තමා සාක්ෂි කොට සෙසු සතුන් කෙරෙහි හිතසුව කැමති බව උපදී. භාග්‍යවතුන් වහන්සේ ද මෙසේ වදාළ සේක. “තම සිතින් සියලු දසදිසාවන්හිම සොයාගිය නමුත් කිසි දිනෙකවත් තමහට වඩා අතිශයින් ප්‍රිය වූ සත්ත්‍වයෙක් නොදක්නේම ය. සෙසු සත්ත්‍වයන්ට ද ඔවුනොවුන්ගේ ශරීර එසේම වෙන වෙන ම ප්‍රිය වෙති. එහෙයින් තමහට හිත සුව කැමැත්තේ අන්සතෙකුහට හිංසා නො කරන්නේ ය.”

ඉදින් මෙසේ අවුරුදු සියයක් හෝ දහසක් හෝ මම සුවපත්වූයෙම් වෙමි යි යනාදී වශයෙන් තමා කෙරෙහි මෛත්‍රි වඩා ද, ඔහට අර්පණාවක් නම් නූපදී. ආත්මස්නේහ වශයෙන් එය උපද්‍රව සහිත බැවිනි. එහෙයින් පළමු කොට තමා කෙරෙහි මෛත්‍රි කටයුතු යයි කියන ලද්දේ තමා සාක්ෂි භාවයෙහි තබාගෙන සියලු සතුන් කෙරෙහි මෙත් වැඩීම පිණිස බව දත යුතු.

මෙසේ තමා කෙරෙහි මෙත් පැතිරවීමට ඉක්බිති, සුවසේ මෙත් පවත්වනු පිණිස, මේ යෝගීහට යම් පුද්ගලයෙක් ඉෂ්ට ද, ප්‍රිය වේ ද, මනාප වේ ද, සිත්වඩා ද, ගුණවත් හෙයින් ගරු කටයුතු ද, සම්භාවනා කටයුතු ද, එබඳු වූ ආචාර්‍ය්‍යවරයෙක් හෝ ශීලාදි ගුණ වශයෙන් ආචාර්‍ය්‍යයන් හා සමාන කෙනෙක් හෝ උපාධ්‍යායයෙක් හෝ උපාධ්‍යාය සමානයෙක් හෝ වේ නම්, ඒ පුද්ගලයාගේ දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථවර්‍ය්‍යා ය, සමානාත්මතා ය යනාදීන්ගේ වශයෙන් ප්‍රියමනාප බවට කාරණයන් ද, ශීලය, ශ්‍රැතය, ශ්‍රද්ධාය, ජාගරියානුයොගාදී වූ ගරු කටයුතු බවට හා සම්භාවනා කටයුතු බවට කාරණයන් ද සිහිකොට මේ පුරුෂතෙම සුවපත් වේවයි, නිදුක් වේවයි යනාදී ක්‍රමයෙන් මෛත්‍රිය වැඩිය යුතු. මෙබඳු පුද්ගලයන් කෙරෙහි මෙත් වැඩීමෙන් ඒකාන්තයෙන් අර්‍පණාව සිද්ධ වන්නේ ය.

මේ යෝගාවචරයා විසින් මෙපමණකින් සතුටට නොපැමිණ, තෙමේය, ප්‍රිය ය, මධ්‍යස්ථ ය, චෛරීය යන මොවුන්ගේ වශයෙන් විභාග නොකිරීම නම් වූ සීමාසම්භේදය කරණු කැමැත්තෙන් එයට ඉක්බිතිව අතිප්‍රිය සහායයා කෙරෙහි මෙත් වැඩිය යුතු. ගරු කටයුත්තහු කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් විෂ්කම්භනය කළ හෙයින් අතිප්‍රිය සහායයා කෙරෙහි මෛත්‍රි මනසිකාරය සුවසේ එළවිය හැකි වේ. එයින් ද ඔහුට අර්‍පණාව ලබාගැනීමට පහසුවේ.

මෙසේ ප්‍රගුණ කළ මෛත්‍රි මනසිකාරය ඇති යෝගාවචරයා විසින් අතිප්‍රිය සහායයාට අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයා අරමුණු කොට මෙත් වැඩිය යුතු.

මධ්‍යස්ථ පුද්ගලයාහට අනතුරුව චෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු.

මෙසේ භාවනා කරන්නා වූ යෝගාවචරයා විසින්, ප්‍රිය ගරු කටයුතු පුද්ගලයා ය, අති ප්‍රිය සහායයා ය, මධ්‍යස්ථයා ය, චෛරී පුද්ගලයා ය යන සතර පුද්ගල කොට්ඨාසයන් කෙරෙහි එකී එකී කොටස්හි සිත් මොළොක් කොට, කර්‍මණ්‍ය කොට, ඉක්බිති අනතුරු අනතුරු කොටස්හි සිත් එළවිය යුතු. එනම් පළමුකොට ප්‍රිය ගරු ස්ථානයෙහි මෛත්‍රිය වඩා එහි වශී භාවයට පැමිණි සිත, කොට්ඨාසාන්තරයට පමුණුවනු පිණිස, මෘදු කර්‍මණ්‍ය කොට ඉක්බිතිව අතිප්‍රිය සහායයා කෙරෙහි උදාසීන භාවය දුරුකොට ප්‍රිය භාවය එළවා භාවනා වැඩිය යුතු. නැවත ඒ භාවනාව ද වශීප්‍රාප්ත කොට, මෘදු කර්‍මණ්‍ය කොට ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි ද උදාසීන භාවය දුරුකොට ප්‍රිය භාවය එළවා භාවනා වැඩිය යුතු. නැවත ඒ භාවනාව ද වශීප්‍රාප්ත කොට, මෘදු කර්‍මණ්‍ය කොට ඉක්බිති චෛරී පුද්ගලයන් කෙරෙහි චෛරී සංඥාව විෂ්කම්භනය කොට මධ්‍යස්ථයට පමුණුවනු පිණිස ද ප්‍රිය භාවය උපදවනු පිණිස ද භාවනාව වැඩිය යුතු ය.

යමෙක්හට වනාහී කර්‍මබලයෙන් හෝ ප්‍රයෝග සම්පත්තියෙන් හෝ වෛරී පුද්ගලයෙක් නැත්තේ වේ ද, හෙතෙම මහා පුරුෂ ස්වභාව ඇති හෙයින්, බොහෝ කලක් පුරුදු කිරීමෙන් සමෘද්ධ වූ ක්‍ෂාන්ති, මෛත්‍රී, කරුණාදී ගුණයන්ගෙන් යුක්ත වන හෙයින්, උදාර අදහස් ඇති හෙයින්, සියල්ල ඉවසන සුළු හෙතෙම, අනුන්ගේ වරද තණපතක් පමණවත් නො සළකන්නේ ය. එසේ අනුන්ගේ වරද දැක වෛරී සංඥාව නූපදී ද හෙතෙම “මාගේ සිත මධ්‍යස්ථයා කෙරෙහි මෘදු කර්‍මණ්‍ය විය. එහෙයින් දැන් ඒ සිත වෛරී පුද්ගලයා කෙරෙහි එළවිය යුතු” යයි උත්සාහ නොකළ යුතු. යමෙකුහට වෛරී පුද්ගලයෙක් ඇත්නම්, ඔහු විසින් ම මධ්‍යස්ථයාට අනතුරුව ඒ වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු.

ඉදින් වෛරීහු කෙරෙහි මෙත් සිත එළවන්නා වූ යෝගාවචරයාහට, ඔහු විසින් කරණ ලද අපරාධය සිහිවීමෙන් ද්වේෂය උපදී නම්, ඉක්බිත්තෙන් ඔහු විසින් පළමු කියන ලද ප්‍රිය පුද්ගලාදීන් අතුරෙන් කෙනෙකු කෙරෙහි නැවත නැවත මෙත් වැඩීමෙන් පටිඝය දුරුකොට මෛත්‍රි ධ්‍යානය උපදවා ඒ මෛත්‍රි ධ්‍යාන සමවතට සමවැද, ඒ සමවතින් නැගී සිට නැවත වෛරී පුද්ගලයා කෙරෙහි සිත යොමුකොට මෙත් වඩන කල්හි ප්‍රතිඝය දුරුවී මෛත්‍රියෙහි සිත පිහිටන්නේ ය. ඉදින් එයිනුත් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වේෂය නොසංසිඳෙන්නේ නම් ඔහු විසින් කකවොපම අවවාදාදීන්ගේ වශයෙන් හෝ ප්‍රතිඝය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, දෙඅත්හි සවිකරණ ලද මිටි ඇති කියතකින් ළාමක පාප පුරුෂ වූ සොරහු තමාගේ අඞ්ග ප්‍රත්‍යඞ්ගයන් කපත් නම්, ඒ අඞ්ග ප්‍රත්‍යඞ්ගයන් කපන්නන් කෙරෙහි ද, යම් සිත් කැළඹීමක් වේ ද, දූෂ්‍ය වූ සිත් ඇති හෙතෙමේ මාගේ අනුශාසනය කළානම් නොවත්නේ ය” යනාදී වශයෙන් වදාරණ ලද්දේ නොවේ ද, එහෙයින් කිපෙනසුළු පුද්ගලය, තොප විසින් එසේ පිළිපැද්ද යුතු නොවේ දැයි තමාට ම අවවාද කරගත යුතු.

තවද, “යමෙක් කිපුණහුහට නැවත කිපේ ද, හෙතෙම ඒ පළමු කිපුණු පුරුෂයාහට වඩා ඒ ක්‍රෝධය හේතු කොටගෙන වෙසෙසින් පවිටු වෙයි. කිපුණහුහට නැවත නොකිපෙන්නේ නම් හෙතෙමේ නොදිනිය හැකි වූ යුධයෙන් ජයගත්තේ නම් වන්නේ ය.”

“යමෙක් අන්‍යයා කිපුණු බව දැන සිහි ඇතිව ඉවසා සිටී ද, හෙතෙම තමහට ද, අන්‍යයාහට ද යන දෙදෙනාට ම වැඩ පිණිස හැසිරෙන්නේ වේ. නොහොත් තමහට ද මෙරමා හට ද උභය ලෝකාර්‍ත්‍ථය පිණිස හැසිරෙන්නේ වේ.”

“මහණෙනි, සතුරන් විසින් කැමති වන ලද, සතුරන් විසින් කටයුතු වූ ධර්‍මයෝ සත්දෙනෙක් කිපෙන සුලු වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙත්. ඒ සත්දෙන නම්:-

  1. සතුරු තෙම සතුරාගේ වර්‍ණවත් බවට නො සතුටු වන බැවින් සතුරා දුර්‍වර්‍ණ වී නම් ඉතා යෙහෙකැයි කැමති වේ.
  2. සතුරා තම සතුරාගේ සුඛවාසය නුරුස්නා හෙයින් සතුරා දුකසේ වසන්නේ නම් මැනැවැයි සිතන්නේ ය.
  3. සතුරා තම සතුරාගේ ධනවත් කම නුරුස්නා හෙයින් සතුරා ධනවත් නොවන්නේ නම් මැනවැයි සිතන්නේ ය.
  4. සතුරා තම සතුරාගේ උපභෝග පරිභෝග වස්තු ඇති බව නුරුස්නා හෙයින් සතුරා උපභෝග පරිභෝග වස්තු ඇත්තෙක් නොවන්නේ නම් මැනැවැයි සිතන්නේ ය.
  5. සතුරා තම සතුරාට යස පිරිවර ඇති බව නුරුස්නා හෙයින් සතුරා යස පිරිවර ඇත්තෙක් නොවන්නේ නම් මැනැවැයි සිතන්නේ ය.
  6. සතුරා තම සතුරාගේ මිත්‍රයන් ඇති බව නුරුස්නා හෙයින් සතුරා මිත්‍රයන් ඇත්තෙක් නොවන්නේ නම් මැනැවැයි සිතන්නේ ය.
  7. සතුරා තම සතුරාගේ මරණින් මතු ස්වර්‍ගයට යාම නුරුස්නා හෙයින් සතුරා මරණින් මතු ස්වර්‍ගයෙහි නූපදනේ නම් මැනැවැයි සිතන්නේ ය.

මහණෙනි, ක්‍රෝධ කරන පුද්ගලයා තෙම කයින්, වචනයෙන්, සිතින් මෙසේ දුශ්චරිත කොට පහවූ සුව ඇති බැවින් අපාය නම් වූ, දුකට පිහිට හෙයින් දුග්ගති නම් වූ, සුව සමූහයෙන් පිරිහුණු හෙයින් විනිපාත නම් වූ නරකයෙහි උපදී. ක්‍රෝධයෙනුදු මඩනා ලද්දේ වේ.”

“මහණෙනි, සොහොන් පෙනෙල්ල දෙකොන ගිනි ඇවිළියේ, මැද බලු කැණහිල්, අශුචි ගෑවුනේ ගමේ දර වැඩක් හෝ ආරණ්‍යයේ දර වැඩක් හෝ නොකරන්නේ ය. මහණෙනි, මේ ක්‍රෝධ කරන පුද්ගලයා ද එබඳු උපමා ඇත්තේ යයි කියමි.”

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි කකචොපම අවවාද ආදීන්ගේ වශයෙන් සිහි කිරීමෙන් පටිඝය දුරුකිරීමට උත්සාහ කරන්නාහට, ව්‍යායාම කරන්නා හට ඉදින් ඒ පටිඝය සංසිඳෙන්නේ නම් එය මැනව.

එසේ ද සිහි කොට ඉදින් පටිඝය සංසිඳවා ගැනීමට නොහැකිවුයේ නම්, ඉක්බිති ඒ වෛරී පුද්ගලයාගේ කායසමාචාරාදීන් කෙරෙහි යම් යම් ධර්‍මයන්, ක්ලෙශවිදාහ නැති බැවින් උපශාන්ත ද, ක්ලෙශමල නැති හෙයින් පිරිසුදු ද, සිහිකරන කල්හි ප්‍රසාද එළවා ද, ඒ ඒ ගුණ සිහි කොට ආඝාතය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. ඇතැම් පුද්ගලයෙකුගේ කායසමාචාරයම උපශාන්ත වේ. බොහෝ කොට වත් පිළිවෙත් කරන්නහුගේ ඒ කාය සමාචාරයාගේ උපශාන්ත භාවය ද සියලු දෙනා විසින් ම දැනගනු ලැබේ. වචී සමාචාර, මනො සමාචාරයෝ වනාහි නොසන්සිඳුනාහු වෙති. එසේ ඇති කල්හි ඔහුගේ ඒ නොසන්හුන් වචී සමාචාර මනො සමාචාරයන් නොසිතා කාය සමාචාරයාගේ සන්හුන් බවම සිහි කටයුතු, සමහරක්හුගේ වාක් සමාචාරය ම සන්සිඳුනේ වේ ඒ වාක් සමාචාරයාගේ සන්හුන් බව ද සියලු ජනයා විසින් දැනගනු ලැබේ, හෙතෙම ප්‍රකෘතියෙන් ම පිළිසඳර කථායෙහි දක්ෂ වේ. මොළොක්, ප්‍රිය වචන ඇත්තේ ය. සතුටු වන සුළු ය. සතුටු වූ මුහුණ ඇත්තේ ය. යම් කිසිවෙකු එළඹි කල තෙමේ ම පළමු කොට පිළිසඳර කථා කරන සුළුය. අව්‍යාකූලවූ පරිපූර්‍ණ වූ පදබ්‍යඤ්ජනයෙන් හා මධුර ස්වරයෙන් ද දහම් දෙසන්නේ ය. නමුත් ඔහුගේ කායසමාචාර, මනො සමාචාරයෝ නොසන්සිඳුනාහු වෙති. එසේ ඇති කල්හි ඔහුගේ කාය සමාචාර මනො සමාචාරයන් නොසිතා, වචී සමාචාරයා ගේ සන්හුන් බව ම සිහි කටයුතු.

සමහරක්හුගේ මනො සමාචාරය ම සන්සිඳුනේ වේ. ඒ මනො සමාචාරයාගේ සන්හුන් බව ද, චෛත්‍ය වන්‍දනාදී කාලයේ දී සියලු ජනයාට ප්‍රකට වේ. යමෙක් නොසන්සුන් සිත් ඇත්තේ නම් හෙතෙම චෛත්‍යය හෝ බෝධිය හෝ තෙරවරුන් හෝ වඳනා කල නො සකස් කොට වඳී. බණ අසන මංඩලෙහි දී එකඟ නොවූ වික්‍ෂිප්ත සිත් ඇතිව හෝ නිදිකිරමින් හෝ හිඳියි. සන්හුන් සිත් ඇති තැනැත්තේ වඳින කල්හි සකස් කොට වඳී. දහම් අසන කල්හි නමන ලද කන් ඇතිව, අර්‍ත්‍ථ සහිතව, කයින් හෝ වචසින් හෝ චිත්ත ප්‍රසාදය පහළ කරමින් අසන්නේ ය. මෙසේ එකෙක්හුගේ මනො සමාචාරය ම සන්සිඳුනේ වේ. කාය වාග් සමාචාරයෝ නොසන්සිඳුනාහු වෙති. එසේ වූ කල්හි ඔහුගේ ඒ නොසන්හුන් කාය වාග් සමාචාරයන් නොසිතා, මනො සමාචාරයාගේ සන්හුන් බව ම සිහිකට යුත්තේ ය.

සමහරක්හුගේ වනාහි කාය, වාක්, මන යන ත්‍රිවිධ සමාචාරයන් අතුරෙන් එකක්වත් නොසන්සිඳුනේ වී නම් ඒ පුද්ගලයන් කෙරෙහි “දැන් මේ තෙමේ මිනිස්ලොව හැසිරෙයි. එතකුදු වුවත් කීප දවසක් ඇවෑමෙන් අටමහනිරය, සොළොස් ඔසුපත්නිරය යන තන්හි නැවත නැවත ඉපදීමෙන් නිරය පුරන්නේ යයි” කරුණාව එළවිය යුතු. කරුණාව නිසා ද ආඝාතය සංසිඳෙන්නේ ය.

සමහරක්හට මේ ධර්මයෝ තුන් දෙනම සංසිඳුනාහු වෙත්. ඔහුගේ යම් යම් සමාචාරයක් කැමැති ද, ඒ ඒ සමාචාරය සිහි කටයුතු. එබඳු පුද්ගලයා කෙරෙහි මෛත්‍රි භාවනා වැඩීම දුෂ්කර නොවේ.

මෙසේ ද ව්‍යායාම කරණ ඒ යෝගීහට ආඝාතය උපදියි නම්, ඉක්බිති ඒ යෝගීහු විසින් තමාට මෙසේ අවවාද කටයුතු.

තාගේ සතුරා විසින් තමහට විෂයවූ සිරුරෙහි ඉදින් දුක්ඛය කරන ලද නමුදු, ඒ සතුරාහට විෂය නොවූ ස්වකීය චිත්තයෙහි දුක්ඛය කරන්නට කුමක් හෙයින් කැමැත්තෙහි ද?

බොහෝ උපකාර ඇති, කඳුළු මුසු මුහුණු ඇති ඤාති වර්ගයා අත්හැර ඇවිත්, නොයෙක් අනර්ථ කරන්නාවූ ක්‍රෝධ නමැති සතුරා කුමක් හෙයින් නොහරී ද?

ඔබ යම් ශීලයක් රකියි ද, ඒ ශීලයාගේ හිරි-ඔතප් ආදී මුල් සිඳලන්නා වූ ක්‍රෝධය කුමක් හෙයින් නළවයි ද? එසේ වූ තා හා සමාන අන්‍ධබාලයෙක් තව කොහි ද?

සතුරා විසින් අනාර්ය කර්මය කරණ ලදැයි කුමක් හෙයින් තෝ කිපෙයි ද? එබඳු ම කර්මයක් තොප ද කරන්නට කුමක් හෙයින් කැමැත්තෙහි ද?

සතුරා තා රොස් කරණු කැමැත්තේ ඉදින් අමනාප කර්මයක් කෙළේ නමුදු, රොස් ඉපදවීමෙන් ඒ සතුරාගේ ම මනෝරථය කුමක් හෙයින් පුරයි ද?

නුඹ සතුරාහට කිපීමෙන් ඔහුට දුක් පැමිණිය හැකි ද වෙයි, නො හැකි ද වෙයි. තමා වනාහි දැන් ම ඒ ක්‍රෝධ නැමැති දුකින් පෙළෙන්නෙහි ය.

ක්‍රෝධයෙන් අන්ධවූ සතුරෝ ඉදින් තමන්ට නොසැප එළවන දුර්ගති මාර්ගයට නැංගාහු වූ නමුදු, තොප ද ඔහු කෙරෙහි කිපීමෙන් ඔවුන්ට අනුව කුමක් හෙයින් හික්මෙන්නෙහි ද?

සතුරා විසින් යම් රෝෂයක් නිසා තට අප්‍රිය කරණලද ද, සතුරා ඒ රෝෂයට වසඟව පවත්නා හෙයින් ඔහුගේ දාසයෙකු වැනිනුයි තාගේ ප්‍රත්‍යුපකාර ක්‍රියාවට අස්ථානය. එහෙයින් ඒ රෝෂය සිඳ දමව.

අපරාධකයාගේ සන්තානයෙහි පවත්නා යම් ස්කන්‍ධ කෙනෙකුන් විසින් තට අපරාධ කරණ ලද ද, ඒ ස්කන්‍ධයෝ එකෙණෙහි ම සර්‍වාකාරයෙන් ම නිරුද්ධයහ, දැන් වනාහි අනික්ම ස්කන්‍ධ කෙනෙක් පවත්නාහ. එහෙයින් නුඹ කාහට කිපෙයි ද?

යමෙක් තෙම යමක්හට දුක්ඛය කෙරේ ද, හෙතෙම ඒ දුක් කිරීමට විෂය වූ පුරුෂයා හැර කවරක්හට කරන්නේ ද. ඒ තොප ද දුක්ඛයට හේතුනුයි ඕහට කුමක් හෙයින් කිපෙහි ද?

ඉදින් මෙසේ තමහට අවවාද කරන්නාවූ මේ යෝගීහට පටිඝය නොසන්සිදේ නම්, ඉක්බිත්තෙන් මොහු විසින් තමන්ගේ ද, අනුන්ගේ ද කම්මස්සකතා බව ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු. තමාගේ කර්‍මස්වක බව පළමු කොට මෙනෙහි කරන්නා වූ හෙතෙම “භවත, නුඹ ඔහුට කිපී කුමක් කරන්නෙහි ද? ද්වේෂය මුල්කොට ඇති මේ කර්‍මය තට ම අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නොවේ ද? නුඹ කර්‍මය ස්වකීය කොට ඇත්තෙකි. කම්මදායාදය හෙවත් කර්‍මයා විසින් දෙන ලද විපාක කොටස් ගන්නෙහි ය. කම්මයොනි හෙවත් කර්‍මය ම පිහිට කොට ඇත්තෙහි ය. කම්මබන්‍ධු හෙවත් කර්මය ම නෑකොට ඇත්තෙහි ය. කම්මපටිසරණො හෙවත් කර්මය ම පිළිසරණ කොට ඇත්තෙහි ය. යම් කර්මයක් කරන්නේ නම් ඒ කර්මයාගේ විපාක කොටස ගන්නෙහි ය. තාගේ මේ කර්මය ද, සම්‍යක්සම්බෝධිය හෝ ප්‍රත්‍යෙක බෝධිය හෝ සාධන්නට සමත් නොවේ. එසේම බ්‍රහ්මභාවය, ශක්‍රභාවය යන මොවුන් ද සක්විති සම්පත, ප්‍රදේශරාජ්‍ය සම්පත යනාදී සම්පත්තින් කෙරෙන් එක්තරා සම්පත්තියක් ද සාධන්නට අසමර්ථ වේ. ශාසනයෙන් ද පිරිහෙයි. මිනිස් ලොව උපන් කල්හි විඝාසාදාදි භාවයට හෙවත් අනුන් කා ඉවත් කළ දෙයින් යැපෙන දුර්ගත බවට ද, නරකාදියෙහි වූ දුක්ඛ විශේෂයන්ට ද, තාගේ මේ කර්මය පවත්නේ ය. එහෙයින් මේ කර්මය කරනහුහට, නුඹගේ ම දෙඅතින් ගිනිඅඟුරු හෝ අශුචි හෝ ගෙන අනුන් පහරනු කැමති පුරුෂයාමෙන් තමා ම පළමුකොට දවන්නෙහි ය. දුර්ගන්‍ධ ද කරන්නේ ය. මේ ආදී වශයෙන් තමාගේ කම්මස්සක බව ප්‍රත්‍යවේක්‍ෂා කොට, මොහු ද නුඹට කිපී කුමක් කරන්නෙහි ද. ඔහුගේ කිපීම ඔහුට ම ය. ඔහුට ම අනර්ථය පිණිස පවත්නේ නොවේ ද? ඔහු ද නුඹසේම කර්මස්වකය, කර්මදායාදය, කර්මයෝනිය, කර්මබන්‍ධුය, ඔහුගේ ඒ කර්මය ඔහුට බුදු, පසේබුදු, බුදුසව් ආදිය හෝ බ්‍රහ්ම ශක්‍රාදී සම්පතක් හෝ සිද්ධකර දෙන්නට අසමර්ථ වන්නේ නොවේ ද? ශාසනයෙන් ද බැහැර කොට විඝාසාදි භාවය හෝ නරකාදී දුක් හෝ සිද්ධ කර දෙන්නට සමර්ථ ය. මේ කර්මය කරන්නා වූ හෙතෙම, උඩු සුළඟ බලා සිට අනුන්ට දූලි ඉසීමට කැමති පුරුෂයාමෙන් ද්වේෂ නමැති රජස් තමන්ගේ ඇඟෙහිම ඉසගන්නේ ය. “යමෙක් තමහටවත් සියලු සතුන්ටවත් නොකිපියා වූ නිරපරාධ වූ, අනඞ්ගණ වූ හෙවත් නික්ලෙශී වූ, පුරුෂ සඞ්ඛ්‍යාත වූ සත්ත්‍වයාහට අපරාධ කෙරේ ද එම බාලයා කරාම ඒ පාපය නැවත එන්නේ ය. උඩුසුළඟට දැමූ සියුම් රජස් මෙනි”යි භාග්‍යවතුන් වහන්සේ ද වදාළ සේක.

ඉදින් මේ ආදී වශයෙන් කම්මස්සක භාවය මෙනෙහි කරන්නා වූ ඒ යෝගාවචරයාහට, පටිඝය නොසන්සිදේ නම්, ඔහු විසින් ශාස්තෘන් වහන්සේගේ පූර්‍ව චරිත ගුණ මෙනෙහි කොට පටිඝය සංසිඳවා ගන්නට උත්සාහ කළ යුතු.

භවත, නුඹගේ ශාස්තෘන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පැමිණීමට පෙර, සම්බෝධියට නොපැමිණියේම, බෝධිසත්ත්‍ව වූයේ ම, සාරාසඞ්ඛ්‍යයක් හා කල්ප ලක්‍ෂයක් ද, පාරමිතා පුරණුයේ ඒ ඒ ජාතියෙහි වධකයන් කෙරෙහිත් සිත දූෂ්‍ය කිරීමක් හෝ කැළඹීමක් හෝ නොකෙළේ නොවේ ද?

ශීලව ජාතකයෙහි, තමාගේ දේවිය කෙරෙහි අපරාධ කළ, පාපී වූ අමාත්‍යයා විසින් ගෙනෙන ලද සතුරු රජහු, තුන් සියයක් යොදුන් රාජ්‍යය ගන්නහු වළකනු පිණිස නැඟී සිටි අමාත්‍යයන්ට ආයුධ අල්වන්නට පවා ඉඩ නුදුන් සේක. නැවත අමාත්‍යයන් දහස හා සමඟ අමුසොහොනෙහි කර පමණ කොට භූමිය කැණ වළ සිටුවා පස් ගසන ලද්දේ ද, සිත කළඹන පමණකුදු නොකොට, කුණප කන පිණිස ආවා වූ සිවලුන්ගේ පස් ගැටීම් නිසා වළින් නික්මෙන පිණිස බාහු බලයෙන් පුරුෂ ක්‍රියා කොට ලබන ලද දිවි ඇත්තේ, යුක්තිය විසඳිය හැකි යක්‍ෂයන්ගේ ආනුභාවයෙන් තමන්ගේ ශ්‍රීයහන් ගර්භයෙහි බැස සිට, ශ්‍රී යහනෙහි හොත් සතුරු රජහු දැක, කෝප නොකොට ම ඔවුනොවුන්ට ද්‍රෝහි නොකරනු පිණිස දිවුරවා ඒ සතුරු රජහු මිත්‍රස්ථානයෙහි තබා මෙසේ ප්‍රකාශ කෙළේය. “පුරුෂ තෙම අභිමතාර්‍ථ සිද්ධිය කැමැති වන්නේ ම ය. නුවණ ඇති තැනැත්තේ මෙසේ දුකට පැමිණි මට සුවයක් කොයින් දැයි නො කළකිරෙන්නේ ය. යම් ප්‍රකාරයකින් කිසිවක්හට පීඩා නොකොට රාජ්‍යයෙහි පිහිටීම කැමැතිවීම් ද, ඒ ආකාරයෙන් ම මම දකිමි.”

ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි, නුවණ නැති කලාබු කසීරජහු විසින්, ශ්‍රමණය, නුඹ කවර වාදීහි දැයි අසන ලද්දේ, මම ක්‍ෂාන්තිවාදී නමැයි කී කල්හි කටුසැමිටියෙන් තලා අත්පා කපනු ලබන කල්හි කෝප පමණකුදු නො කෙළේ ය. මෙය ද ආශ්චර්‍ය්‍යයක් නොවේ. වැඩිමහළු වූයේ ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ මෙසේ කෙළේ ය.

චුල්ල ධම්මපාල ජාතකයෙහි වනාහි උඩුබලා හෝනා ළදරුවා වද, මුළුපොළොවට හිමිවූ ධම්මපාලයාගේ සඳුන් විලවුන් ගැල්වූ අත් සිඳුනා ලැබෙති, දෙවයෙනි, මාගේ ප්‍රාණය නිරුද්ධවෙයි යනාදිය කියමින් මෑණියන් හඬමින් සිටියදී මහාප්‍රතාප නම් පිය රජහු විසින් හුණ කිළිල් මෙන් අත් පා සතර කපවනු ලබන කල්හි ද, එපමණකිනුත් සතුටට පත්නොවී මොහුගේ හිස කපවයි නියෝග කළ කල්හි, දැන් තාගේ හිස නිගන්නා කලය, භවත් ධම්මපාලය, දැන් හිස කැපීමට නියෝග කළ පිය රජහු කෙරෙහි ද, හිස කපන පුරුෂයා කෙරෙහි ද, හඬන මව කෙරෙහි ද, තමා කෙරෙහි ද යන මේ සතර දෙනා කෙරෙහි සමසිත් ඇත්තේ වේවයි, දැඩි වූ සමාදානයෙහි පිහිටා කිපි ආකාරයක් පමණකුදු නොකෙළේ ය. මෙය ද ආශ්චර්‍ය්‍යයක් ම නොවේ. මිනිස්වූයේ ම මෙසේ කෙළේ ය.

තිරිසන්ව ද, ඡද්දන්ත නම් ඇත්රජ ව, විෂපෙවූ ශල්‍යයෙන් නාභියෙහි විදුනා ලද්දේ ද, ඒසා අනර්‍ත්‍ථ කළ සෝනුත්තර නම් වැද්දා කෙරෙහි ද සිත දූෂ්‍ය නොවීය. එසේ මහත් වූ ශල්‍යයෙන් විදුනා ලද හස්තිනාග තෙමේ, දූෂ්‍ය නොවූ සිත් ඇත්තේ, වැද්දාහට මෙසේ කීය: “සබඳ කුමක් පිණිස, කවර හේතුවකින් තෝ මට වධ කෙළෙහි ද, මේ ප්‍රයෝග කවරහුගේ ද.” මෙසේ කී කල්හි කසී රජහුගේ මෙහෙසිය විසින් තොපගේ දළ පිණිස එවන ලදිමි වහන්සැයි කී කල්හි, ඒ වැද්දාගේ මනදොළ පුරමින් ෂට්වර්‍ණ රශ්මි විහිදුවමින්, බබලන්නාවූ මනොඥවූ ශොභා ඇති තමාගේ දළ සඟල කපා දිනි.

මහාකපි ජාතකයෙහි වඳුරු රජව තමන් විසින් ම පර්‍වත ප්‍රපාතයෙන් නගන ලද පුරුෂයා විසින් “මෙතෙමේ මනුෂ්‍යයන්ට අරණ්‍යයෙහි සෙසු මෘගයන් මෙන් අහරය. සාගිනි ඇති හෙයින් මේ වඳුරා මරා කෑයේ නම් යෙහෙක. එසේ සාගිනි නිවා ඉතිරි මාංසය මාර්‍ගාහාර වශයෙන් ගෙන කතරින් එතර වෙමි. එයම මට සියලු මගට උපකරණද වන්නේ ය.” මෙසේ සිතා ගලක් ඔසවා ගෙන හිසට ඇන හිස පැළූ කල්හි කඳුලු පිරුණු ඇසින් ඒ පුරුෂයා දෙස බලා “පින්වත, නුඹවහන්සේ අමුතු බැවින් මට ස්වාමිත් වන්නාහ. එසේවූ තොප මෙබඳුවක් කරන්නවුද, දීර්ඝායුෂ්කය, තෙපි නම් අනිකක්හු වැළකුමට සුදුසු බව”යි කියා ඒ පුරුෂයා කෙරෙහි සිත දූෂ්‍ය නොකොට, තමන්ගේ දුක ද නොසිතා එම පුරුෂයා ක්‍ෂේම භූමියට පැමිණවීය.

භුරිදත්ත ජාතකයෙහි, භුරිදත්ත නම් නා රජව ඉපිද අෂ්ටාඞ්ග උපෝසථය ඉටාගෙණ තුඹස මත්තෙහි හෝනා කල, කල්ප නාශක ගින්න සමාන වූ ඖෂධයෙන් සියලු ශරීරයෙහි ඉස්නා කල්හි ද, පෙට්ටියෙහි බහාලා මුළු දඹදිව ක්‍රිඩා කරවනු ලබන කල්හි ද, ඒ බමුණු කෙරෙහි සිත දූෂ්‍ය කිරීමක් පමණකුදු නො කෙළේ ය. මෙසේ කුඩා පෙට්ටියෙහි පයින් ඇන ඇන බහාලන කල්හි ද, දුර්වල බව කරණු පිණිස අතින් මඩනා කල්හි ද, මාගේ ශීලය කඩවේදෝ හෝ යන භයින් ඒ අහිතුණ්ඩිකයාහට නො කිපියෙමි.”

චම්පෙය්‍ය ජාතකයෙහි, චම්පෙය්‍ය නම් නා රජව ද, අහිතුණ්ඩිකයා විසින් වෙහෙසනු ලබන්නේ, සිත් දූෂ්‍ය මාත්‍රයෙකුදු නො ඉපදවිය. එහෙයින් මෙසේ වදාරන ලදී: “චම්පෙය්‍යව උපන් කල්හිදු, ධර්‍මයෙහි හැසිරෙන්නාවූ, පෙහෙවස් විසූ මා අහිතුණ්ඩිකයා ගෙණ රජගෙයි දොර කෙළවන්නේ ය. ඒ අහිතුණ්ඩිකයා, නිල්වූ ද, රන්වන්වූ ද, රත්වූ ද, අවදාතවූ ද, මඤ්ජෂ්ඨවූ ද යම් වර්‍ණයක් කැමැති වේද, ඔහුගේ ඒ සිත අනුව පැවතුනෙමි. මාගේ ආනුභාවයෙන් පොළොව දිය කරන්නෙමි, දිය ද පොළොව කෙරෙමි. ඉදින් මම ඔහුට කිපුණේවී නම් ක්‍ෂණයකින් ඔහු අළු කෙරෙමි. ඉතින් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහෙමි, ශීලයෙන් පිරිහුණුවුවහට සම්මා සම්බෝධි නැමැති උත්තමාර්‍ත්‍ථය සිද්ධ නොවේ.”

සඞ්ඛපාල ජාතකයෙහි, සඞ්ඛපාල නා රජවද තීක්‍ෂණ වූ තෙබින් අටතැනෙකින් විද, විදපු තැනින් කටුවේවැල් ඇතුල් කොට, නාසාවෙහි ද රැහැනක් බහා, සොළොස් වැදිපුතුන් විසින් කදින් ගෙන උසුළා ගෙන යනු ලබන්නේ පොළෝ පිට ගැහෙන සිරුරු ඇත්තේ, මහත් දුක් අනුභව කරන්නේ, කිපී බැලූ පමණින් ම සියලු වැදිපුතුන් හලු කරන්නට සමත්වූයේ ද, ඇස දල්වා කිපුණු ආකාර පමණකුදු නො කෙළේ ය. එහෙයින් වදාළ සේක. “සඞ්ඛපාල නා රජව, සෑම තුදුස්වක ද පසළොස්වක ද පෙහෙවස් විසීමි. එකල්හි වැදිපුත් සොළෙස්දෙන රැහන ද, තරමලද ගෙන මා කරා ආහ. ඔව්හු මාගේ නාසය විද රැහැනින් බැඳ මා නගාගෙන ගියහ. ඒසා දුකක් ඉවසූයෙමි. ඉටාගත් සිල් නොනැසුවෙමි.” මෙයද ආශ්චර්‍ය්‍යයක් නොවේ.

මාතුපොසක ජාතකාදියෙහිදී ද සෙසුත් නොයෙක් ආශ්චර්‍ය්‍යයන් කෙළේය. දැන් සර්‍වඥ බවට පැමිණි, දෙවියන් සහිත ලෝකයෙහි කිසිවක්හු හා අසදෘශවූ ක්‍ෂාන්ති ගුණ ඇති, ඒ භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ අදහන්නාවූ ඒ තට ප්‍රතිඝ චිත්තය ඉපදවීම අතිශයින් ම අයුතුය, නුසුදුසුය.

ඉදින් වනාහී, මෙසේ ශාස්තෘන් වහන්සේගේ පූර්‍ව චරිත ගුණයන් මෙනෙහි කොටත් බොහෝ දීර්‍ඝකාලයක් ක්ලේශයන්ට දාස බවට එළඹියාවූ මේ යෝගීහට, ඒ ප්‍රතිඝය නොසංසිදේ නම්, ඉක්බිති ඔහු විසින් අනමතග්ග පද ප්‍රතිසංයුක්ත වූ සූත්‍රයෝ ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තාහු ය. ඒ අනමතග්ග සූත්‍රයෙහි මෙසේ වදාළ සේක.

“මහණෙනි, යම් සත්ත්‍වයෙක් මව් නොවූ විරුද, ඒ සත්ත්‍ව තෙම සුලභ රූප නොවේ. යමෙත් පිය නොවී ද, බෑ නොවී ද, බුහුන් නොවී ද, පුත් නොවී ද, දූ නොවී ද, එබඳු පුද්ගලයෙක් ද ලබාගත හැකි නොවේ. එ හෙයින් ඒ පුද්ගලයා කෙරෙහි මෙසේ සිතිය යුතු. මේ පුද්ගල තෙමේ අතීතයෙහි මව් ව, දසමසක් කුසින් පරිහරණය කොට, මූත්‍රය, මලය, කෙළය, මුකුණුය යනාදීන් රත්හඳුන් කල්කය මෙන් පිළිකුල් නොකරන්නී සහ කොට, ළෙහි නටවන්නී, ඇකයෙන් වඩන්නී පෝෂණය කෙළේය. පියව, එළුවන් විසින් යාහැකි මගවූ අජපථයෙහි ද, සඞ්කුපථයෙහි ද, ප්‍රපාතමාර්‍ගාදින්හි ද ගොස් වෙළෙඳාම් කරන්නේ මා පිණිස දිවිද පුදා, දෙඅතින් නැගී සංග්‍රාමයෙහි වැඳ, නැවින් මහ මුහුදු එතරව, සෙසු නොයෙක් සිය ගණන් දුෂ්කර ක්‍රියා ද කොට මා පුතු රක්‍ෂා කරමියි ඒ ඒ උපායෙන් ධන රැස් කොට මා පෝෂණය කෙළේය. භාතෘ, භගිනි, පුත්‍ර, දුහිතෘ ව මේ මේ උපකාරය ද කෙළේය. ඔහු කෙරෙහි සිත දූෂ්‍ය කරන්ට මට නුසුදුසු යයි මෙසේ ද සිහි කළ යුතු.

එසේ සිහිකොටත් ඉදින් සිත නිවාගන්නට නො සමත්වී නම්, ඉක්බිති මොහු විසින් මෛත්‍රීයයෙහි අනුසස් මෙසේ සිහි කළ යුතු. “භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළේ ම නොවේ ද, මහණෙනි, මෛත්‍රියයෙන් යුක්ත වූ මෛත්‍රි ධ්‍යානයෙහි ආදරයෙන් සෙව්නා ලද, වඩනා ලද, නැවත නැවත කරණ ලද, යෙදූ යානාවක් මෙන් කරණ ලද, පිහිට ලද, අනුව සිටිනා ලද, පුරුදු කරණා ලද, මනා කොට සපයන ලද, මෛත්‍රි යෙහි එකොළොස් අනුසස් කෙනෙක් දක්නා ලැබේ. ඒ කවර එකොළොස ද?

  1. සමවත් සමවන්නක්හු මෙන් සුවසේ නිදාගන්නේ ය.
  2. සුවසේ නිර්විකාරව පුබුදියි.
  3. පවිටු සිහින නො දකියි.
  4. උරෙහි පැළඳි මුත්හරක් මෙන් මිනිසුන්ට ප්‍රිය වෙයි.
  5. විශාඛ තෙරුන් මෙන් දෙවියන්ට ප්‍රිය වෙයි.
  6. දරුවන් රක්නා මවුන් පියන් මෙන් දෙවියන් රකිත්.
  7. මෛත්‍රී විහරණයෙන් යුක්තවූවහුගේ කය ගිනිවත්, විසවත්, ආයුධවත් නො වදී.
  8. වහාම සිත සමාහිත වේ,
  9. මුහුණෙහි පැහැ ප්‍රසන්න වෙයි.
  10. නොමුළාව කාලක්‍රියා කෙරේ.
  11. සමාපත්තින් මතුයෙහි අර්‍හත්‍වය ප්‍රතිවේධ නො කරන්නේ බ්‍රහ්ම ලෝකයට පැමිණේ.”

ඉඳින් නුඹ ප්‍රතිඝය සන්සිඳුවා නො ගත්තේ නම් මේ අනුසසින් පිටත්වූවෙක් වන්නෙහිය යනාදි වශයෙන් සිහි කළ යුතු.

මෙසේ ද පටිඝය නිවාගන්නට නො සමත්වී නම් ඔහු විසින් ධාතු විනිර්භෝගය කටයුතු. පින්වත, නුඹ මොහුට කිපෙන්නේ ය කියා කවරක්හට කිපෙයි ද? කේශයන්ට කිපෙහි ද නැත්නම් ලොම් නියදත් ආදි වූ කොට්ඨාශයන්ට කිපෙහි ද, නොහොත් කේශාදින් කෙරෙහි ඇති පඨවි ධාතුවට කිපෙහි ද, ආපො ධාතුවට තෙජෝ ධාතුවට, වායෝ ධාතුවට කිපෙහි ද? නොහොත් යම් පඤ්චස්කන්‍ධයක්, දොළොස් ආයතනයක්, අටළොස් ධාතුවක් නිසා පවත්නාහට මෙනම් ඇත්තෙකැයි කියති. කීම, නුඹ එයින් රූපස්කන්‍ධයට කිපෙහි ද, නොහොත් වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ ස්කන්‍ධයට හෝ කිපෙන්නෙහි ද, නොහොත් චක්‍ෂුරායතනයට කිපෙහි ද, රූපායතනයට කිපෙහි ද, මනායතනයට කිපෙහි ද, ධර්‍මායතනයට කිපෙහි ද, නොහොත් චක්‍ෂුර්ධාතුවට කිපෙහි ද, රූපධාතුවට කිපෙහි ද, චක්‍ෂුර්විඥාන ධාතුවට කිපෙහි ද- ශ්‍රෝතාදීන් පිළිබඳව ද මෙසේ යි. මනෝධාතුවට ධර්‍මධාතුවට මනෝවිඥාන ධාතුවට කිපෙහි දැයි, මෙසේ ධාතු විනිර්භෝගය කරන්නාහට වනාහි හිදි අග අබසේ, අහස සිතියම්සේ ක්‍රෝධය පිහිටන තැනක් නොවේ.

ධාතුවිනිර්භෝගය කරන්නට නො පොහොසත්හු විසින් දාන සංවිභාගය කටයුතු. තමා අයත් දෙය සතුරාට දියයුතු. සතුරා සතු දෙය තමහට ගතයුතු. ඉදින් ඔහුගේ ආජීවය අපිරිසුදුවී නම්, ඔහු අයත් පිරිකර තමාගේ පරිභෝගයට සුදුසු නොවේ යයි සිතන්නේ නම්, තමා සතු දෙයම ඔහුට දියයුතු. මෙසේ කරන්නාවූ ඕහට ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයන් කෙරෙහි පැවති ද්වේෂය සන්සිඳේ. ප්‍රතිපක්‍ෂවූවහුගේ අතීත ජාතියෙහි පටන් අනුබඳනා ලද ක්‍රෝධය ද එකෙණෙහි ම සන්සිඳේ. පෙර සිතුල්පහුවෙහෙර විසූ පිණ්ඩපාතික නම් තෙර කෙනෙක්, අන් කෙනෙකුන් විසින් තුන්වරක් සෙනසුනෙන් නෙරපන ලද්දේ, කහවණු අටක් වටිනා පාත්‍රයක් රැගෙන විත් මේ පාත්‍රය මාගේ මෑණියන් විසින් දෙන ලද්දේ ය. ධාර්මිකය. මවට පින් පිණිස පිළිගත මැනැවැයි කියා ඒ ස්ථවිරයන්ට දුන්හ. ඔවුන්ගේ ක්‍රෝධය එයින් ම සන්සිඳිනි. එහෙයින් කියන ලදී. දානය තෙම නොදැමුණන් දමන්නේ ය. දානය තෙම ආත්මාර්ථ පරාර්ථාදි සියලු අර්ථ සාදන්නේ ය. දානයෙන් ද, ප්‍රිය වචනයෙන් ද, දායකයෝ උසස් වෙති. ප්‍රතිග්‍රාහකයෝ යටත් වෙති.

මෙසේ වෛරී පුද්ගලයන් කෙරෙහි සන්සිඳුනාවූ පටිඝය ඇති ඒ යෝගීහට ප්‍රියයා ය, අතිප්‍රිය සහායයා ය, මධ්‍යස්ථයා ය, යන මොවුන් කෙරෙහි යම්සේ ද, එපරිද්දෙන් ම ඒ වෛරීහු කෙරෙහි ද මෛත්‍රී වශයෙන් සිත් පවතී. මෙසේ නැවත නැවත මෙත් වඩන්නාවූ යෝගාවචරයා විසින් තමා කෙරෙහි ද, ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, මධ්‍යස්ථයා කෙරෙහි ද, වෛරී පුද්ගලයන් කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි සමසිත් බව සම්පාදනය කරන්නාහු විසින් සීමාසම්භෙදය හෙවත් සීමා බිඳීම් වශයෙන් සමසිත් බව කටයුතු.

ප්‍රිය පුද්ගලයාය, මධ්‍යස්ථයා ය, වෛරීය යන මොවුන් හා සමඟ තමා සතරවනු කොට ඇති මේ පුද්ගලයෝ එක්තරා ප්‍රදේශයක හුන් කල්හි, සොරහු ඇවිත් වහන්ස, මෙයින් එකකු අපට දෙවයි කියන්නාහ කවර කරුණක් නිසා දැයි ඇසූ කල්හි මරා ගෙළ රුධිරය ගෙණ බිලියම් කරණු පිණිස යයි කීහ. එකල්හි මෙත් වඩන මේ යෝගී තෙම අසුවල්හු අසුවල්හු ගණිත්වයි සිතුයේ වී නම් සීමාසම්භේදය නො කරණ ලද්දේ ම වේ. ඉදින් මා ගණිත්වයි, මේ තුන් දෙන නො ගණිත්වයි සිතුයේවී නම් එවිට ද සීමාසම්භේදය නො කරණ ලද්දේ ම වේ. යමෙක් යමෙක් හුගේ ග්‍රහණය කැමැති වී නම් ඔහු ඒ පුද්ගලයාහට අහිත වෙයි. සෙස්සන්ට හිතෛෂි වෙයි. යම් කලෙක වනාහි සතර දෙනා කෙරෙහි එකකුදු සොරුන්ට දියයුතු කොට නො දකී ද එවිට තමා ආදී සතර දෙනා කෙරෙහි ම සමසිත් ඇතිවන හෙයින් සීමාසම්භේදය කෙළේ නම් වේ.

තමා කෙරෙහි ද, ප්‍රියයා කෙරෙහි ද, මධ්‍යස්ථයා කෙරෙහි ද, වෛරීහු කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි යම් කලෙක ප්‍රිය ය මැදහත් ය යනාදී වශයෙන් නානත්ත්‍වය දකී ද, එකල්හි සත්ත්‍වයන් කෙරෙහි හිතසිත් ඇත්තේ යයි කියනු ලැබේ. මෛත්‍රිය කැමැති පරිද්දෙන් ලද්දේ යයි ද, කුසල් ඇත්තේ යයි ද නො කියනු ලැබේ. යම් කලෙක තෙමේය, හිතය, මැදහත්ය, වෛරිය යන සතර සීමා බිඳ එකක්හු වශයෙන් කරණු ලැබේ ද, එකල්හි දෙවියන් සහිත වූ සියළු ලොව මෛත්‍රියෙන් සමකොට පතුරුවන්නේ වේ. යමක්හට සීමා නො පෙනේ ද, ඔහු සීමා දක්නහුට වඩා මහත් භාවනා විශේෂය ඇත්තෙක් වන්නේ ය.

මෙසේ සීමාසම්භේදය හා සමකාලයෙහි ම, යෝගාවචරයා විසින් නිමිත්ත ද, උපචාරය ද ලබන ලද්දේ වේ. මේ භාවනාවෙහි දී කසිණ කර්මස්ථාන ආදීන්හි මෙන් උද්ග්‍රහ නිමිත්තවත් වැටහෙන්නේ නොවෙයි. ඒ සීමාසම්භේදය ම නිමිත්ත වැනි හෙයින් නිමිත්ත නම්. ඒ සීමාසම්භේද නිමිත්ත ලද කල්හි භාවනාව සාතිශය වන බැවින් නීවරණයෝ ද විෂ්කම්භිත වෙති. ක්ලේශයෝ ද සන්සිඳෙන ලද්දාහු වෙති. උපචාර සමාධි වශයෙන් සිත සමාහිත වෙයි.

සීමාසම්භෙද කළ කල්හි, සීමාසම්භෙද වශයෙන් පැවති එම සමථ නිමිත්ත සේවනය කරණුයේ, වඩන්නේ, නැවත නැවත වඩන්නේ නිදුකින් ම පඨවි කසිණයෙහි කී ආකාරයෙන් ම අර්පණාවට පැමිණේ. මෙතෙකින් ඒ යෝගාවචර තෙම, ප්‍රහීණ කළ පඤ්චාඞ්ගයක් ඇති, පඤ්චාඞ්ගයකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත වූ මෛත්‍රි සහගත ප්‍රථමධ්‍යානය ලැබුනේ වේ.

මෛත්‍රි සහගත වූ ඒ ප්‍රථමධ්‍යානය ලද කල්හි, සීමාසම්භෙදය වශයෙන් පැවති ඒ සමථ නිමිත්ත සේවනය කරමින්, වඩමින්, නැවත නැවත වඩමින් පිළිවෙලින් චතුෂ්කනය වශයෙන් ද්විතීය, තෘතිය ධ්‍යානයන් ද, පඤ්චකනය වශයෙන් දුතිය, තෘතිය, චතුර්‍ත්‍ථධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

යෝගාවචර තෙම මෙසේ ධ්‍යාන උපදවා ගෙන, ඒ ධ්‍යානයන් අතුරෙන් එක්තරා ධ්‍යානයක්හුගේ වශයෙන් මෛත්‍රිසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වසන්නේ ය. එසේම දෙවන දිග ද, තුන් වන දිග ද, සතර වන දිග ද පතුරුවා වෙසෙයි. එසේම උඩ, යට හා අනුදිග් ද යන හැම තැනම, සත්ත්‍වයන් වාසය කරන මුළු ලොවම විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර නැත්තා වූ, දොම්නස් නැත්තා වූ, මෛත්‍රි සහගත සිතින් පතුරුවා වෙසෙයි. ප්‍රථමධ්‍යානාදීන්ගේ වශයෙන් අර්පණාවට පැමිණි සිත් ඇතියෙකු හටම මේ විකුර්‍වණාව සිද්ධවේ. මෙහි ඒ ඒ දිග් පරිග්‍රහ කොට, සීමා වෙන් කොට මෛත්‍රිය පැතිරවීම ඔධිසොඵරණ මෛත්‍රිය නම් වේ. සියලු දිග්හි හීනය, මධ්‍යමය, උත්කෘෂ්ටය, මිත්‍රය, සතුරුය, මධ්‍යස්ථය, ස්ත්‍රිය, පුරුෂයා, ආර්‍ය්‍යය, අනාර්‍ය්‍යය, දෙවය, මනුස්සය, යනාදී ප්‍රභේද ඇති සියලු සතුන් කෙරෙහි ආත්මසම බැවින් ආත්මතා වශයෙන් මේ පරසත්ත්‍ව යයි විභාග නො කොට, නොහොත් සියලු සිත් කොටසින් ස්වල්පයකුදු කමටහනින් පිටත්හි වික්ෂෙපයට නො පැමිණෙනුයේ සියලු දිග්හි සියලු සත්ත්‍වයන්, දිශා, පුද්ගල සීමා නො කොට මෛත්‍රිය පැතිරවීම අනෝධිසොඵරණ මෛත්‍රිය නම් වේ.

මෙත්තා චෙතො විමුත්ති නම් වූ මේ මෛත්‍රිධ්‍යානය, පස් ආකාරයෙකින් අනෝධිසොඵරණ වශයෙන් ද, සත් ආකාරයෙකින් ඔධිසොඵරණ වශයෙන් ද, දිසා වශයෙන් දශ ආකාරයෙකින් ද සිද්ධ කටයුතු.

පඤ්චවිධ අනෝධිසොඵරණ මෙත්තා චෙතොවි- මුක්තිය හෙවත් මෛත්‍රිය ධ්‍යානය මෙසේ වැඩිය යුතු.

  1. සබ්බෙසත්තා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා හෙවත් වෛර නැත්තාහු වෙත්වා. අව්‍යාපජ්ඣ හෙවත් නීරෝගවූවාහු වෙත්වා. අනිඝ හෙවත් නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා) මෙහි සියලු සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා යි වැඩීමෙන් එක් අර්පණාවෙක. නීරෝගවූවාහු වෙත්වා යි වැඩීමෙන් එක් අර්පණාවෙක. නිදුක්වූවාහු වෙත්වා යි වැඩීමෙන් එක් අර්පණාවෙක. සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වායි වැඩීමෙන් එක් අර්පණාවෙක. මෙහි රූපාදී ස්කන්ධයන්හි ඡන්‍දරාග වශයෙන් ශක්ත හෙයින් හෙවත් ඇලුණු හෙයින් සත්ත්‍ව නම්.

මෙසේ සියලු සත්ත්‍වයන්ගේ වශයෙන් මෛත්‍රිය වැඩීමෙන් අර්පණා සතරෙක් සිද්ධවේ.

  1. සබ්බෙපාණා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු ප්‍රාණීහු වෛර නැත්තාහු වෙත්වා, නීරෝග වූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා). ප්‍රාණීහු නම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් යුක්තවූවෝය නොහොත් ජීවත්වන්නෝ ය. මෙහි ද අර්පණා සතරෙක.

3. සබ්බේ භූතා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු භූතයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරෝගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා). කර්ම ක්ලේශ දෙකින් උපන්නෝ භූතයෝ ය. මෙහි ද අර්පණා සතරෙක.

4. සබ්බේ පුග්ගලා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා, හොන්තු අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු පුද්ගලයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරෝගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණ කෙරෙත්වා). නිරයෙහි ගලන්නෝ නිරයෙහියන්නෝ පුද්ගලයෝ ය යනු එක් අර්ථයෙක. මෙහි ද අර්පණා සතරෙක.

5. සබ්බේ අත්තභාව පරියාපන්නා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු ආත්මභාව පරියාපන්නයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා). ආත්මභාව නම් පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාතවූ ශරීරයයි. ඒ ස්කන්ධ පඤ්චකය ගෙන පරමාර්ථ වශයෙන් අවිද්‍යමානවුව ද, ප්‍රඥප්තිමාත්‍රයෙන් විද්‍යමාන බැවින් ඒ ආත්මභාවයෙහි ඇතුළත්වූවෝ ආත්මභාව පරියාපන්නයෝ ය. මෙහි ද අර්පණා සතරෙක.

මෙසේ සත්ත්ව, ප්‍රාණ, භූත, පුද්ගල, ආත්මභාව පරියාපන්න වශයෙන් පස්ආකාරයෙකින් දක්වන්නේ නමුත් ඒ සියල්ලෝම සියළු සත්ත්වයනටම පරියාය වචනයෝ ය. එහෙයින් මේ සත්ත්‍වාදී පස් දෙනාම ගෙන පස් ආකාරයෙන් අනොධිසොඵරණ මෙත්තා චෙතොවිමුත්තිය දක්වන ලද බව දත යුතු. යමෙක් සත්ත්‍ව, ප්‍රාණ යනාදීන්ගේ වචනමාත්‍ර වශයෙන් නොව අර්ථ වශයෙන් වෙන් කොට අරමුණු කරන්නේ නම් ඔහුට අනොධිසොඵරණ මෛත්‍රිධ්‍යානය සිද්ධ නොවේ. එහෙයින් එහි අර්ථ නොගෙණ මේ පස් ආකාරයන් කෙරෙහි එක්තරා ආකාරයක්හුගේ වශයෙන් අනොධිසොඵරණ මෛත්‍රි චෙතො විමුක්තීය වැඩිය යුතු.

මේ පස්ආකාර කොටසුන් කෙරෙහි පූර්‍වභාගයෙහිදී ඒ ඒ කොටස ගෙණ භාවනා කරණ කාලයෙහි නොයෙක් කොටස් වශයෙන් මනසිකාරය පැවතුණේ වී නමුත් ඒ ඒ භාවනා සිද්ධවන කෙණෙහි කොටසුන් අතුරෙන් යම් කොටසෙක් ප්‍රගුණවූ බැවින් අතිශයින් ප්‍රකට වේ ද, ඒ ඒ කොටස්හුගේ වශයෙන් මෛත්‍රිය පැතිරවීම කටයුතු. මෙසේ පස් ආකාරයන් කෙරෙහි, සතර අර්පණා වන්ගේ වශයෙන් අනොධිසොඵරණයෙහි අර්පණාවෝ විසිදෙනෙක් වන බව දතයුතු.

සප්තවිධ ඔධිසොඵරණ මෙත්තා චෙතොවිමුත්තිය හෙවත් මෛත්‍රි ධ්‍යානය. මෙසේ වැඩිය යුතු.

  1. සබ්බා ඉත්‍ථියෝ අවේරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු ස්ත්‍රීහු වෛරි නැත්තාහු වෙත්වා, නිරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා).
  2. සබ්බේ පුරිසා අවේරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛීඅත්තානං පරිහරන්තු. (සියලු පුරුෂයෝ වෛර නැත්තාහු වෙත්වා, නිරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා).
  3. සබ්බේ අරියා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු ආර්‍ය්‍යයෝ වෛර නැත්තාහුවෙත්වා නීරෝගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා)
  4. සබ්බේ අනරියා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු අනාර්‍ය්‍යවූ පෘථග්ජනයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  5. සබ්බේ දෙවා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු දෙවියෝ වෛරනැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  6. සබ්බේ මනුස්සා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු මනුෂ්‍යයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  7. සබ්බේ විනිපාතිකා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු විනිපාතිකයෝ වෛරනැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)

මේ සප්තවිධ ඔධිසොඵරණයෙහි සතර සතර බැගින් අර්පණාවෝ අටවිස්සෙකි.

දශවිධ දිසා එරණ මෙත්තා චෙතො විමුක්තිය හෙවත් මෛත්‍රී ධ්‍යානය මෙසේ වැඩිය යුතු.

  1. සබ්බෙ පුරත්‍ථිමාය දිසාය සත්තා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු. (සියලු පෙරදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නිරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  2. සබ්බෙ පච්ඡිමාය දිසාය සත්තා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු පැළදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  3. සබ්බෙ උත්තරාය දිසාය සත්තා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු උතුරුදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  4. සබ්බෙ දක්ඛිණාය දිසාය සත්තා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු දකුණුදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  5. සබ්බෙ පුරත්‍ථිමාය අනුදිසාය සත්තා අවෙරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු පෙරඅනුදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)

  1. සබ්බේ පච්ඡිමාය අනුදිසාය සත්තා අවෛරා හොන්තු අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු පැළ අනුදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  2. සබ්බේ උත්තරාය අනුදිසාය සත්තා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු උතුරු අනුදිග සත්ත්‍වයෝ වෛරනැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  3. සබ්බේ දක්ඛිණාය අනුදිසාය සත්තා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු දකුණු අනුදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  4. සබ්බේ හෙට්ඨිමාය දිසාය සත්තා අවෛරා හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. (සියලු යට දිග සත්ත්‍වයෝ වෛරනැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)
  5. සබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙර හොන්තු, අව්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු.

(සියලු උඩදිග සත්ත්‍වයෝ වෛර නැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, නිදුක්වූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා.)

මෙපරිද්දෙන්ම දසදිග්හි සියලු සත්ත්‍වයෝ ද, ප්‍රාණීහු ද, සියලු භූතයෝ ද, සියලු පුද්ගලයෝ ද, සියලු ආත්මභාව පරියාපන්නයෝ ද, සියලු ස්ත්‍රීහු ද, සියළු පුරුෂයෝ ද, සියලු ආර්‍ය්‍යයෝ ද, සියලු අනාර්‍ය්‍යයෝ ද, සියලු දෙවියෝ ද, සියලු මනුෂ්‍යයෝ ද, සියලු විනිපාතිකයෝ ද, වෛරනැත්තාහු වෙත්වා, නීරොගවූවාහු වෙත්වා, සුවපත්වූවාහු තමන් පරිහරණය කෙරෙත්වා යි දිසා වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු.

මෙසේ අනොධිසොඵරණ වශයෙන් අර්පණා විස්සෙක, ඔධිසොඵරණ වශයෙන් අර්පණා අටවිස්සෙක, දිසා වශයෙන් අර්පණා දෙසිය අසූවෙකැයි අර්පණාවෝ සාරසිය අසූවක් වෙති.