සතර බ්‍රහ්ම විහරණය
බ්‍රහ්මවිහාරයෝ සතර දෙනෙකි. එනම්:-
- මෙත්තා
- කරුණා
- මුදිතා
- උපේක්ඛා
මේ සතර ධර්මයෝ ශ්‍රේෂ්ඨ බැවින් ද, නිර්දෝෂ බැවින් ද බ්‍රහ්මවිහාර යයි කියනු ලැබේ. සෙසු කමටහන් ආත්ම හිත ප්රතිපත්තිමාත්ර ය. මේ බ්‍රහ්මවිහාරයෝ “සබ්බේ සත්තා සුඛිතා හොන්තු” යනාදී වශයෙන් දක්වනු ලබන හෙයින් පරහිත ප්රතිපත්තිහු ය. මෙසේ සියලු සතුන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති භාවයෙන් මේ විහාරයෝ ශ්‍රේෂ්ඨයෝ යි. බ්‍රහ්මයෝ වනාහි මෙහිදී වැඩූ ධ්‍යාන භාවනා බලයෙන් නීවරණයන්ගෙන් මිදුණු ධ්‍යාන සිත් ඇතිව බඹලොව උපන්නාහු, එහි ආයු ඇතිතාක් විනීවරණ චිත්ත ඇතිවන බැවින් නිර්දෝෂ චිත්ත ව වෙසෙද් ද, නොහොත් සියලු බුදුගුණයනට හේතු වූ දාන පාරමිතාදී වූ, බුද්ධකාරක ධර්මයන් පිරීමෙන් පිරිසුදු වූ ගුණ ඇති මහා බෝධි සත්ත්වයෝ සියලු සත්ත්වයන්හට හිතවත් බව පැතිරවීමෙන් ද, අහිත දුරු කිරීමෙන් ද, සම්ප්‍රාප්ත සම්පත්තියෙහි සතුටුවීමෙන් දැයි සියලු තන්හි දුරු කළ අගතිගමන ඇතිව, මධ්‍යස්ථභාව අධිෂ්ඨානයෙන් නිර්දෝෂ සිත් ඇතිව වෙසෙද් ද, ඒ බඹලොව උපන් බ්‍රහ්මයෝ හෝ මහාබෝධිසත්ත්ව බ්‍රහ්මයෝ හෝ යම්සේ ද, එසේම මේ සතර බ්රහ්මවිහාරයෙන් සමන්විත වූ යෝගී තෙම යථොක්ත බ්‍රහ්මයන් හා සමව වසන හෙයින් ශ්‍රේෂ්ඨ ව, නිර්දෝෂව වසන්නේ යයි කියනු ලැබේ.
බ්‍රහ්මවිහාරයෝ සතර දෙනෙක් ම වූයේ විසුද්ධිමාර්ග මනස්කාරාදීන්ගේ වශයෙනි. ව්‍යාපාද සංක්ලේශාදීන් කෙරෙන් විශුද්ධියට උපාය මාර්ගවූයේ විශුද්ධිමාර්ග නම් වේ. මොවුන් අතුරෙන් මෙත්තා හෙවත් මෛත්‍රිය, ව්‍යාපාදය බහුලයාහට ඉඳුරාම ප්රතිපක්ෂ වන බැවින් ඔහුගේ විශුද්ධිමාර්ගය වේ. එසේම පරහිංසා බහුලයාහට කරුණාව ද, පරසම්පත්ති නො කැමැති අරති බහුලයාහට මුදිතාව ද, රාගය බහුලයාහට උපෙක්ෂාව ද, විශුද්ධිමාර්ගයෝ වෙති. හිතසුව එළවීම හෙවත් හිතෝපසංහාරය ද, අහිත දුරුකිරීම නම් වූ අහිතාපනයනය ද, සම්පත්තියෙහි සතුටුවීම නම් වූ සම්පත්තිමොදනය ද, උපෙක්‍ෂාවීම නම් වූ අනාභෝගය ද යන මොවුන්ගේ වශයෙන් සත්ත්වයන් කෙරෙහි මනස්කාරය සතර ආකාර වේ. යම්සේ මව්තොමෝ ළදරු පුත්‍රයා ය, ගිලන් පුත්‍රයා ය, තරුණ පුත්‍රයා ය, ස්වකීය කටයුත්තෙහි යෙදුනු පුත්‍රයා ය යන සතර පුතුන් අතුරෙන් ළදරු පුත්‍රයාහට අභිවෘද්ධිය කැමති වෙද් ද, ගිලන් පුත්‍රයාහට ගිලන් බැවින් මුදනු කැමති වෙද් ද, තරුණ පුත්‍රයාහට, ඒ යෞවන සම්පත්තියගේ චිරස්ථිතිය කැමති වෙද් ද, ස්වකීය කටයුතුවල යෙදුණු පුත්‍රයාහට කිසි ක්‍රමයෙක නොයෙදී උත්සාහ නැත්තී වෙද් ද හෙවත් මධ්යස්ථවෙද් ද, එපරිද්දෙන් ම මේ සතර බ්‍රහ්මවිහාරය වඩන්නා වූ යෝගාවචරයා විසින් ද සියලු සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු වේ. එසේම කරුණා, මුදිතා, උපෙක්ඛා යන මේ උසස් ගුණයන් ද වැඩිය යුතු. ඔහු විසින් පළමු කොට සියලු සතුන් කෙරෙහි හිතාකාර පැවැත්මෙහි පිළිපැදිය යුතු. ඉක්බිති ව පවත්වන ලද හිත ඇති සත්ත්වයන්ගේ දුකින් මඩනා ලද බව දැක හෝ අසා හෝ, මේ පිළිවෙතින් මේ සත්ත්වයෝ නිරයාදියෙහි උපදනේ යයි කල්පනා කොට හෝ දුක් දුරුකිරීම් ආකාරයෙන් පිළිපැදිය යුතු. ඉක්බිත්තෙන් මෙසේ පතන ලද හිත ඇති පතන ලද දුක් පහවීම් ඇති ඒ සත්ත්වයන් ගේ සම්පත්තිය දැක ඒ සම්පත්තියෙහි ප්රමෝදන වශයෙන් හෙවත් සතුටුවීම් වශයෙන් පිළිපැදිය යුතු. ඉක්බිති ඒ හිතාකාර පැවැතීම් ආදියෙන් මතුයෙහි කළයුත්තක් නැති හෙයින් අඩ්යුපෙක්ෂ භාවය යයි කියන ලද මධ්‍යස්ථාකාරයෙන් පිළිපැද්ද යුතු.
මේ සතර බ්‍රහ්මවිහරණය ම, අප්‍රමාණ අරමුණෙහි පවත්නා හෙයින් නොහොත් අප්‍රමාණ සත්ත්වයෝ මෙයට අරමුණු වන හෙයින් ද, එක් සත්ත්වයෙකු හෝ මෙතෙක් පෙදෙසෙක සත්ත්වයෝ හෝ ප්‍රමාණ කොට නොගෙන සියලු සත්ත්වයන් කෙරෙහි ම පැතිරවීම් වශයෙන් වැඩිය යුතු බැවින් මෙයට අප්පමඤ්ඤා හෙවත් අප්රමාණ්යයෝ යයි කියනු ලැබේ.
මෙත්තා - අර්ථ වශයෙන් වනාහි - ස්නේහ කෙරේනු යි මෙත්තා නමි. මෙහි ස්නේහය නම් සත්ත්වයන් කෙරෙහි පිළිපැදීම් වශයෙන්, රූක්ෂ බවට ප්රතිපක්ෂ වූ, නුවණින් යුක්තව හිතාකාර පැවැත්ම ය. තෘෂ්ණා වශයෙන් පැවතීම ස්නේහය නො වෙයි. එය මොහ පූර්වාඞ්ගම වූ ලොභ ස්වරූපයකි. මෛත්‍රිය වනාහි අද්වේෂ ස්වරූප වූ හෙයින් අලොභ සම්ප්‍රයුක්ත වෙයි. මෙත් කරණ මිත්‍රයා කෙරෙහි වූයේ හෝ මෙත් කරණු ලබන මිත්‍රයා කෙරෙහිවූයේ හෝ මිත්‍රයාගේ මේ පැවැත්ම වේනුයි මෙත්තා නමි. සත්ත්වයන් කෙරෙහි හිතවත් ආකාරයෙන් පැවැත්ම මෛත්රියයෙහි ලක්ෂණය වේ. සත්ත්වයන් කෙරෙහි හිත එළවීම එහි රසය හෙවත් කෘත්‍යය වේ. මට අනර්ථයක් කෙළේය යනාදී වශයෙන් පැවති වෛරය දුරු කිරීම පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය වෙයි. සත්ත්වයන්ගේ මනාප බව දැක්ම මෛත්‍රියගේ පදට්ඨානය හෙවත් ආසන්න කාරණය වෙයි. ව්‍යාපාදයාගේ විෂ්කම්භන වශයෙන් ව්යුපසමය හෙවත් සංසිඳවීම එහි සම්පත්තිය වේ. තෘෂ්ණා සහගත ස්නේහයාගේ උත්පත්තිය මෛත්‍රියගේ විපත්තිය හෙවත් විනාශය වේ.
කරුණා - අනුන්ගේ දුක් දැක එය දුරුකරණු කැමැත්තෙන් ඒ දුක නොඉවසීම් වශයෙන්, සත්පුරුෂයන්ගේ සිත්හි හෘදය කම්පනය ඇති කරණ අර්ථයෙන් කරුණා නම් වේ. අනුන්ගේ දුක කිණනය කරණ හෙවත් විනාශ කරණ අර්ථයෙන් ද කරුණා නමි. දුක්ඛිතයන් කෙරෙහි පැතිරවීම් වශයෙන් අරමුණු කරණ අර්ථයෙන් ද කරුණා නම් වේ. දුකට පැමිණි සත්ත්වයන්ගේ දුක් දුරු කරන ආකාරයෙන් පැවැත්ම කරුණායෙහි ලක්ෂණය වේ. අනුන්ගේ දුක් නොයිවසීම එහි කෘත්‍යය හෙවත් රසය වේ. විහිංසාවට ප්රතිපක්ෂ වශයෙන් වැටහීම හෙවත් නො වෙහෙසීම එහි පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය වේ. දුකින් මඩනා ලද සත්ත්වයන්ගේ අනාථ බව දැක්ම එහි පදට්ඨානය හෙවත් ආසන්න කාරණය වේ. විහිංසාවගේ ව්යුපසමය හෙවත් සත්ත්වයන්ගේ වෙහෙසන ආකාරයෙන් පැවති, කරුණාවට ප්රතිපක්ෂවූ, පටිඝ චිත්තයාගේ සංසිඳවීම එහි සම්පත්තිය වේ. කරුණා මුඛයෙන් ශෝකයාගේ ඉපදීම කරුණාවගේ විපත්තිය වේ.
මුදිතා - යම් ධර්මයක් කරණ කොට ගෙන ඒ ධර්මයෙන් යුක්තවූවෝ සතුටුවෙත් ද, මොදනය වෙත් ද, තෙමේ හෝ මොදනය වේ ද, මොදන මාත්‍රය හෝ වේ ද, එය මුදිතා නම් වේ. මුදිතාව පරසම්පත්තියෙහි සතුටුවීම හෙවත් ප්‍රමොදය ලක්ෂණ කොට ඇත්තී ය. ඊර්ෂ්‍යා නොකිරීම, ඊර්ෂ්‍යාවට ප්රතිපක්ෂ බව රසය හෙවත් කෘත්‍යය කොට ඇත්තී ය. පරසම්පත, අධිකුසල ධර්ම, ප්‍රාන්ත සෙනාසන යන මෙහි අනභිරතිය හෙවත් නො ඇලීම නසන ආකාරයෙන් වැටහීම පච්චුපට්ඨානය වේ. සත්ත්වයන්ගේ සම්පත්තිය දැකීම එහි පදට්ඨානය වේ. අරතියගේ ව්යුපසමය හෙවත් අරතිය සංසිඳවාලීම එහි සම්පත්තිය වේ. ගෙහසිත ප්‍රීති වශයෙන් සිනහ ආදිය ඉපදවීම එහි විපත්තිය වේ.
උපෙක්ඛා - අවෛර වෙත්වා යනාදී වශයෙන් ව්‍යාපාද දුරු කිරීමෙන් ද, මධ්‍යස්ථ භාවයට පැමිණීමෙන් ද උපෙක්ෂා කෙරේනුයි උපෙක්ඛා නම්. සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථ භාවයෙන් පැවැත්ම උපෙක්ෂාවගේ ලක්ෂණය වේ. ප්‍රිය ආදී භේද ඇති සියලු සත්ත්වයන් කෙරෙහි සම භාවයෙන් දැකීම එහි රසය වේ. සත්ත්වයන් කෙරෙහි ප්‍රතික්කූල අප්රතික්කූලාකාරයෙන් නොගත්නා හෙයින් සතුන් කෙරෙහි ප්‍රතිඝ අනුනය දෙදෙනාගේ සංසිඳවීම් ආකාරයෙන් පැවැත්මෙන් ඔවුන්ගේ ව්යුපසමය පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය වේ. සත්ත්වයෝ කම්මස්සකතය හෙවත් කර්මය ස්වකීය කොට ඇත්තාහුය, ඔව්හු කවරක්හුගේ රුචියෙන් සුඛිත හෝ වෙද්ද, දුකින් හෝ මිදෙද් ද, පැමිණි සම්පතින් හෝ නො පිරිහෙද් ද, මෙසේ පැවති කම්මස්සකත දර්ශනය ඔහුගේ පදට්ඨානය හෙවත් ආසන්න කාරණය වේ. කරුණාවට ආසන්නව වැටහෙන චිත්තයාගේ ගැටීම හා මෙත්තා, මුදිතාවන්ට ආසන්නව වැටහෙන අනුනය ද පහ නොකළ සිත් ඇත්තාහට මැදහත් බැව් පිහිටිය නොහැකි හෙයින් ප්‍රතිඝ, අනුනය සංසිඳවීමම උපේක්ෂාවගේ සම්පත්තිය වේ. පඤ්චකාම ගුණය ආශ්‍රය කළ ගෙහසිත වූ, මෝහය හා යෙදූන හෙයින් අඥාන උපේක්ෂාවගේ ඉපදීම එහි විපත්තිය වේ.
මෙසේ සැකෙවින් සතර බ්රහ්මවිහරණයන් හැඳින එය භාවනා වශයෙන් වඩන සැටි දතයුතු.