3. කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක
ගෙන් ස්වකිය චරිතානුකූල වූ කර්මස්ථානයක් ලබා ගතයුතු.
මෙහි කමටහන සබ්බත්ථක කමටහනය, පාරිහාරිය කමටහනය යයි දෙවැදෑරුම් වේ. එයින් බෞද්ධයින්හට බුද්ධානුස්සතිය, මරණානුස්මෘතිය, අසුභ භාවනා යනාදිය හැම තැන්හිදීම වැඩිය යුතු හෙයින් එයට සබ්බත්ථක කමටහන යයි කියනු ලැබේ. පාරිහාරිය කමටහන නම් නියම වශයෙන් ඒ ඒ පුද්ගලයන් විසින් පරිහරණය කළ යුතු කමටහනය.
කමටහන් ගත් යෝගාවචරයා විසින් පළමුකොට බුදුගුණ සිහිකොට ඉක්බිතිව තමා කෙරෙහිද සීමාවෙහි වසන පිරිස කෙරෙහිද, එහි වසන දෙවියන් කෙරෙහි ද, ගොචරග්රාමවාසී ප්‍රභූන් කෙරෙහිද, එහි මහාජනයා කෙරෙහිද සකල සත්ත්වයන් කෙරෙහි ද මෙසේ පිළිවෙලින් “සුවපත් වෙත්වා නිදුක් වෙත්වා” යනාදීන් මෙත් වැඩිය යුතු. මෙසේ මෙත් වැඩීමෙන් දෙවියන් සහිතවූ මනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාව ලැබ, සුවසේ විසීමටද, උපද්‍රව රහිතව භාවනා කර්මය කිරීමටද හැකි වන්නේය. එමෙන්ම මරණානුස්මෘතිය වඩන්නේ නම් සසර කළකිරීම ඇතිවී අයෝග්‍ය ප්‍රත්‍ය සෙවීම ආදිය අත්හැර, වඩ වඩාත් උත්සාහයෙන් ප්‍රතිපත්ති පිරීමට උපකාර ලැබ ගන්නේය. අසුභ සංඥා වැඩීමෙන් පඤ්චස්කන්ධයෙහි ආශාව දුරුවේ. මෙසේ සබ්බත්ථක කමටහන් වඩා ඉක්බිති තමා විසින් පාරිහාරිය කමටහන නම් වූ තම චරිතයට අනුකූල වූද නිතර පරිහරණය කළයුතු වූද කමටහන ගෙන වඩන්නට උත්සාහ කළයුතු.
කමටහන ලබාගත යුත්තේ යහපත් ගුණ ඇති කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන්ය. ඔහු කෙරෙහි පැවතිය යුතු ගුණ නම්-
- ප්‍රිය භාවය - ස්වකීය සීලසම්පත්තියෙන් ආශ්‍රය කරන්නවුන්ට ප්‍රිය භාවය ඇතිවිය යුතු.
- ගරු භාවය - ගරු කටයුතු පුද්ගලයෙක් ද විය යුතු.
- ගුණවත් බව - ගුණවත් වීමෙන්ද ගෞරවයට භාජන වියයුතු.
- අවවාද දීම - කරුණාවෙන් අන්‍යයන්ට අවවාද දෙන පුද්ගලයෙක්ද වියයුතු.
- ඉවසන සුළු බව - චෝද්ය වශයෙන් වුවත් යමෙක් ප්‍රශ්න කරන්නේ නම් එය ඉවසනසුළු විය යුතු.
- ගැඹුරු ධර්ම කියාදීමෙහි දක්ෂ බව - චතුරාර්‍ය්‍ය සත්‍යය, පටිච්චසමුප්පාදාදී ගැඹුරු ධර්ම කියා දීමට සමත් කෙනෙක්ද වියයුතු.
- ඇසුරු කළවුන් නිසි මග යවන්නට සමත් බව - තමා ආශ්‍රය කරන පිරිස නොමග නොයවා, නිසි මගම යොදවන්නට සමත් විය යුතු. මෙකී ගුණයන්ගෙන් යුත් තැනැත්තාට කල්‍යාණ මිත්‍රයා යයි කියනු ලැබේ.
කල්‍යාණ මිත්‍රයන් අතුරෙන් බුදුරජානන් වහන්සේ ශ්‍රේෂ්ඨය. බුදුන් පිරිනිවි කල්හි අසූ මහා ශ්‍රාවකයන් අතුරෙන් එක් ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන්ද, එසේත් නැත්නම් තමා ගනු කැමති කමටහන ගෙන ධ්‍යාන උපදවා, එය පාදක කොටගෙන විදර්ශනා වඩා රහත් බව ලබාගත් ක්ෂීණාශ්රවයන් වහන්සේ නමකගෙන්ද, එසේත් නැත්නම් පිළිවෙලින් අනාගාමීය, සකෘදාගාමිය, ශ්‍රෝතාපන්නය, ධ්‍යානලාභි පෘථග්ජනයාය, ත්රිපිටකධරයාය, ද්විපිටකධරයාය, එකපිටකධරයාය, අටුවා සහිත එක් සඟියක්වත් ධරන ලජ්ජී පුද්ගලයාය යන මේ පුද්ගලයන් කල්‍යාණ මිත්‍රයන් වශයෙන් සළකා කමටහන ලබාගතයුතු. මෙබඳු උතුමෝ ආචාර්ය්ය මතයම ගරු කරමින් ධර්මය කියා දෙන්නාහ. අත්තනොමතික නොවන්නාහ. එබඳු උතුමන්ට වත් පිළිවෙත් කොට කමටහන ගතයුතු.
මෙසේ කමටහන් ගැනීම සඳහා ආචාර්‍ය්‍යයන් වහන්සේ වෙත යන කල්හි තනිවම යායුතු. හිස්වැසුම් පාවැසුම් නොගෙනිය යුතු. යනු අතරමග ඇති විහාරස්ථානයන්හිද වත් පිළිවෙත් කොට යායුතු. තමා ගෙනයන පිරිකරද සැහැල්ලු වියයුතු. මෙසේ විහාරස්ථානයට ගිය කල්හි අනිකුත් පිරිස හමුවීමට නො යායුතු. ඇතැම්විටෙක ඔව්හු ආචාර්‍ය්‍යයන්ගේ නුගුණ කියා විපිළිසර ඉපිදවිය හැකි හෙයිනි. ආචාර්‍ය්‍යයන් වහන්සේ වෙත පැමිණි කල්හි නිසි පුදසත්කාර කොට, ඔහු අණ පිලිපැද ආ කරුණු ඇසූ කල්හිම කියයුතු. මෙසේ වත් පිළිවෙත් කරමින් මනාව හැසිරෙන කල්හි ආචාර්‍ය්‍යයන් වහන්සේ ද තමා පරීක්ෂා කොට බලා චරිතානුකූල වූ සුදුසු කමටහනක් දෙන්නේය.