අභිධර්මාර්ථ ප්‍රදීපිකා

2. දශවිධ පලිබෝධයන් දුරුකිරීම.

චිත්ත භාවනාව ආරම්භ කිරීමට පෙර ඔහු විසින් දුරු කටයුතු පලිබොධ දශය නම්:

  1. ආවාස පලිබොධ.
  2. කුල පලිබොධ.
  3. ලාභ පලිබොධ.
  4. ගණ පලිබොධ.
  5. නව කර්‍ම පලිබොධ.
  6. අද්ධාන පලිබොධ.
  7. ඥාති පලිබොධ.
  8. ආබාධ පලිබොධ.
  9. ග්‍රන්‍ථ පලිබොධ.
  10. සෘද්ධි පලිබොධ.

1. ආවාස පලිබොධ - භාවනා කර්‍මයෙහි යෙදෙන පුද්ගලයා, වාසස්ථානයන්හි නො ඇලිය යුතු. හෙතෙම එහි කරනු ලබන නව කර්‍මාදියෙහි යෙදී වාසය කරන්නේද, සිහිල් සෙවන මිහිරි පැන් ආදීවූ සැප විහරණයට උපකාර වන දැය අපේක්‍ෂා කෙරේද, එහි ඇලෙමින් එයට ප්‍රිය කරමින් වසන්නේද, එවැනි තැන් ඔහුගේ භාවනා කර්‍මයට බාධා කරන්නාවූ පලිබොධයක් වන්නේය.

2. කුල පලිබොධය - ඥාති කුලයෙහි හෝ උපස්ථාන කුලයෙහි හෝ ඇලීමත් පලිබෝධයකි. භාවනා කර්‍මයෙහි යෙදීමට පමණක් නොව තමාගේ ශීලය රැක ගැනීමටද, බාධාවක් විය හැකි. එබැවින් භාවනාවෙහි යෙදෙන පුද්ගලයා විසින් තම මව්පිය නෑ මිතුරු ආදීන් කෙරෙහිත්, උපස්ථාන කරන්නවුන් කෙරෙහිත් ඇලීමක් නැතිව විසිය යුතු.

  1. ලාභ පලිබොධය - ලාභ සත්කාරාදියෙහි ඇලෙන පුද්ගලයන්ට, කර්මස්ථාන භාවනායෙහි යෙදිය නොහැකි වේ සිල්වත් ගුණවත් භික්‍ෂූන්හට සිව්පස ලාභයෙන් අඩුවක් නැත. ගිය ගිය තැන සැදැහැති උපාසක උපාසිකාවෝ භික්‍ෂූන් වහන්සේ සොයා ගෙනවිත් ආරාධනා කොට සිව්පස යෙන් පුදති. මෙසේ දායකයන් සතුටු කරවන්නට යෑමෙන් භාවනා කර්මයට බාධා පැමිණේ. යොගාවචර භික්‍ෂුව මිනිසුන් ගැවසෙන තැන් හැරපියා හුදකලාව විසීමට කැමති වන්නේ ලාභය පලිබොධයක් විය හැකි බැවිනි.
  2. ගණ පලිබොධය - සූත්‍රාන්ත, අභිධර්‍ම, ආදි වශයෙන් ධර්‍මය ඉගෙනගන්නා පිරිසට පත පොත කියවීම්, අර්ථ කියා දීම් ආදියෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේට මහණදම් පිරීමට හෝ භාවනා කර්මයෙහි යෙදීමට හෝ අවකාශයක් නොලැබේ. එබැවින් ධර්‍මය හදාරන්නාවූ ගණයා ඒ භික්‍ෂුවහට පලිබොධයකි. එවැනි ගණයා ඇති කල්හි ඔවුන් අන් ආචාර්‍ය්‍යයන් වහන්සේ නමකට හෝ පවරා තෙමේ අරණ්‍යගතව ගණ පලිබෝධයෙන් මිදී භාවනායෙහි යෙදෙන්නේය.
  3. නව කර්‍ම පලිබොධය - යොගාවචර භික්‍ෂූන් වහන්සේ වසන ස්ථානයෙහි යම් නව කර්‍මාන්තාදියෙක් කරණු ලබන්නේ නම්, ඒ කටයුතු සොයා බැලීම ඒ භික්‍ෂුවට භාරවීනම්, භාවනා කර්මයට එය බාධාවක්, පලිබෝධයක් වන්නේය. එබැවින් භාවනාවෙහි යෙදෙනු කැමැති ඒ භික්‍ෂූන් වහන්සේ ඒ වැඩ කටයුතු අනිකුත් සංඝයාට භාරකොට අරණ්‍යගතව කමටහන වඩන්නේය.
  4. අද්ධාන පලිබොධය - අරණ්‍යගතව හෝ අන් තැනෙක හෝ භාවනාවෙහි යෙදී සිටින පුද්ගලයා හට යම් කලෙක ප්‍රත්‍යය සෙවීම් පිණිස හෝ අන් කටයුත්තක් සඳහා හෝ යම් තැනෙක යාමට කැමැත්තක් ඇතිවුවහොත් ඒ ගමන් යාමට උපන් සිත සංසිඳුවාගෙන විසිය යුතුය එය ඉතා දුෂ්කර කටයුත්තකි. එබැවින් අද්ධානය හෙවත් ගමන් යාමෙහි අපේක්‍ෂාව යෝගාවචරයා හට බාධාවකි. පලිබෝධයකි.

7. ඥාති පලිබෝධය - මෙහි ඥාතිහු නම් ආචාර්‍ය්‍යය, උපාධ්‍යාය, සද්ධිවිහාරිකය, අන්තෙවාසිකය, සමානො- පාධ්‍යායකය, සමානාචාර්‍ය්‍යකයෝ සහ ගෘහයෙහි මව්, පිය, සහෝදරාදීහුය. මේ ඥාතීන් හට යම් ගිලන් බවෙක් හෝ අන් කටයුත්තෙක් හෝ ඇතිවී තමාගේ පැමිණීම අපේක්‍ෂා කරන්නේ නම්, එයද භාවනා කර්මයට බාධාවකි පලිබෝධයකි. එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් එහි ගොස් සුදුසු සේ උපස්ථාන කොට නිරෝගී කොට නැවත භාවනාවෙහි යෙදිය යුතු. ගිලන් වූයේ උපාධ්‍යායන් වහන්සේ නම්, සුව වනතෙක් හෝ දිවිහිම් කොට වුවත් උපස්ථාන කළයුතු වේ. එසේම ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය, උපසම්පදාචාර්‍ය්‍ය සද්ධි විහාරිකයෝද, තමන් විසින් කර්ම වාක්‍ය කියා උපසම්පදා කරගන්නාලද, තමා විසින් පැවිදි කරවන ලද අන්තෙවාසිකයෝද දිවිහිම්කොට උපස්ථාන කළයුතු වෙත්. මව් පියන්ටද උපාධ්‍යායයන් වහන්සේට මෙන්ම උපස්ථානකළ යුතුය. තමා සතු බෙහෙත් ආදියෙන් හෝ පිඩුසිඟා ලත් දෙයින් හෝ උවටැන් කළ යුතුය. සහෝදර සහෝදරියන්ට තමා සතු බෙහෙතින් සත්කාර කොට, හැකි නම් පසුව එය ලබාගත යුතුය. ස්වකීය ඥාති නොවූවන්ට එසේ නොපිළිපැදිය යුතු.

8. ආබාධ පලිබෝධය - යෝගාවචර තෙමේ යම්කිසි රෝගයකින් පෙළෙන්නේ නම් එයද භාවනාවට පලිබෝධයකි. රෝගයට පිළියම් කොට එය සංසිඳුවා ගතයුතු. ඉවසාගත හැකි නම් සසර ස්වභාවය සිහිකොට මහණදම් පිරීමට උත්සාහවත් වියයුතු.

9. ග්‍රන්‍ථ පලිබෝධය - යම් යෝගාවචර භික්‍ෂුවක් පර්‍ය්‍යාප්ති ධර්‍මය සජ්ඣායනා කිරීමය, ධාරණය, පරිපුච්ඡාය යනාදී වූ කෘත්‍යයන්හි නිතර ව්‍යාවෘත වේ නම් එයද භාවනා කර්‍මයට පලිබෝධයකි. දතයුතු ධර්‍මය පළමුකොට ඉගෙන පසුව භාවනායෙහි යෙදෙන යෝගාවචරයාහට භාවනාව සමෘද්ධ වූ පසු බොහෝ කලක් ගත වූයේ වී නමුත්, පළමු ඉගෙන ගත් දහම සිහිවන්නේමය.

10. සෘද්ධි පලිබෝධය - පෘථග්ජන සෘද්ධිය පලිබෝධයක් වන්නේ විදර්‍ශනා භාවනාවටය. සමාධිය ලබා අනතුරුව, සෘද්ධි ලැබිය යුතු බැවින් සමාධි භාවනාවට සෘද්ධිය පලිබෝධයක් නොවේ. එබැවින් විදර්‍ශනා වඩා මාර්‍ගඵල ලබනු කැමති යෝගාවචරයා විසින් සෘද්ධි පලි බෝධය සිඳලිය යුතුය.