8. කායගතාසතිය
මේ කායගතාසති කමටහන බුද්ධොත්පාදයෙහි දී මිස අන් කලෙක නොලැබෙන්නේ ය. එය තීර්ත්ථකයන්ට විෂය නොවේ. ශරීරය අශුභයයි දනිතුදු කර්මස්ථාන වශයෙන් වඩන්නට ඔව්හු නොදනිති. භාග්‍යවතුන් වහන්සේ ද නොයෙක් සූත්‍රයන්හි මේ කායගතා සතිය නොයෙක් ආකාරයෙන් වදාළ සේක. “මහණෙනි, එක ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ, මහත් සංවේග පිණිස පවතී. එසේම මහත් අර්ත්ථය පිණිස ද චතුර්විධ යෝගයෙන් ක්ෂෙම බව පිණිස ද, හැම තැනම ස්මෘතියාගේ අවිප්‍රවාසය පිණිස හා සප්තස්ථානික සම්ප්‍රජන්‍යය පිණිස ද, විදර්ශනා ඥානයාගේ අධිගමය පිණිස ද, මෙම ආත්මභාවයෙහි සුවසේ වසනු පිණිස ද, ත්රිවිද්යාය, නිවණය, සතරශ්රාමාණ්ය ඵලය යන මොවුන්ගේ ප්රත්යක්ෂ කරණය පිණිස ද පවතී. ඒ එක ධර්මය නම් කායගතා සතියයි. මහණෙනි යම් කෙනෙක් කායගතා සතිය ධ්‍යානයට සමවැදීම වශයෙන් වළඳද් ද, ඔහු නිර්වාණයාගේ අධිගමයට හේතු බැවින් ද අමෘතයක් හා සමාන බැවින් ද අමෘතය වළඳත්. යම් කෙනෙක් කායගතා සති නොවළඳද් ද, ඔහු අමෘතය නොවළඳත්. යම් කෙනෙකුන් විසින් කායගතා සතිය වැළඳිණි නම් ඔහු නිවන් වළඳයි. යමෙක් කායගතා සතිය නොවළඳා නම් ඔහු නිවන් නොවළඳයි. පිරිහිණි නම් නිවන් පිරිහෙළන ලදී. නොපිරිහිණි නම් නිවන් නොපිරිහිණි. වැරදිණි නම් නිවන වැරදිණි. නොවැර දිණි නම් නිවන් නොවැරදිණි.”
මේ කායගතා සතිය වඩා, බහුලීකෘත කොට මහත්ඵල මහානිසංස ලැබීම පිණිස තුදුස් ආකාරයකින් හෙවත් තුදුස් පර්වයන්ගේ වශයෙන් වැඩිය යුතු. ඒ තුදුස් පර්‍වයෝ නම්:-
- ආනාපාන පබ්බය
- ඉරියාපථ පබ්බය
- චතුසම්පජඤ්ඤ පබ්බය
- පටික්කූල මනසිකාර පබ්බය
- ධාතු මනසිකාර පබ්බය 6-14. නවවිධ සීවථික පබ්බය
යන තුදුස් පර්‍වයෝ ය.
යට දක්වන ලද තුදුස් පබ්බයන් අතුරෙන් ඉරියාපථ පබ්බය, චතුසම්පජඤ්ඤ පබ්බය, ධාතුමනසිකාර පබ්බය යන ත්‍රිවිධ පර්‍වයෝ විදර්ශනා වශයෙන් වදාරන ලදී. නවවිධ සීවථික පබ්බයෝ විදර්ශනා ඥානයෙහි ම ආදීනවානුපස්සනා වශයෙන් වදාරන ලදී. එහි උද්ධුමාතකාදියෙහි යම් සමාධි භාවනාවක් සිද්ධ වේ නම් එය අසුභ කර්මස්ථාන භාවනායෙහිදී දක්වන ලදී. මෙහිදී දැක්විය යුත්තේ ආනාපාන පබ්බය හා පටික්කූලමනසිකාර පබ්බයයි. එයිනුත් ආනාපානපබ්බය, ආනාපානසති වශයෙන් වෙනම කර්මස්ථානයෙකි. පටික්කුලමනසිකාර වශයෙන් යම් ඒ දෙතිස් ආකාර කර්‍මස්ථානයෙක් දේසනා කරන ලද ද මේ කමටහන ම මෙහි කායගතාසති යයි දත යුතු.
කායගතා සති භාවනායෙහි යෙදෙන යෝගාවචර තෙම, සතර මහා භූතයන් සන්නිශ්‍රය කොට ඇති, කුණු වූ, පරම දුර්ගන්ධ වූ මේ කය, පාදතලයෙන් මතුයෙහි, කේසාග්රයෙන් යට, සමින් පිරිසිඳිනා ලදුව, නානාප්‍රකාර කේශාදී අශුචියෙන් භරිතය. ඒ මේ කයෙහි කේශයෝ ඇත. එසේම මේ කයෙහි ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හෘදය, යකනමාංශ, බඩදිව, දලබුව, පපුකැන්, අතුණු, අතුණුබහන්, උදරිය, මළ, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍ර, හිස් මොළය යන දෙතිස් කුණප කොට්ඨාසයෝ ඇත්තාහ.
කාය නම් ශරීරයයි. අසුචි රැසක් බැවින් ද කුත්සිත වූ, පිළිකුල් වූ කෙශාදීන්ගේ ද, චක්ෂුරොගාදී රෝග ශතයන්ගේ ද උත්පත්තිස්ථාන වන හෙයින් ද කාය යයි කියනු ලැබේ. බඹයක් පමණ වූ මේ කායයෙහි සර්වෝත්සාහයෙන් සොයන්නේ ද, කිසිවෙක් කිසි මුත්තක් හෝ මැණිකක් හෝ වෛදූර්ය්යයක් හෝ කලු වැලක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදී යමක් හෝ අණුප්රමාණද කිසි සුචි ස්වභාවයක්, සුචි වස්තුවක් නොදකී. අතිශයින් දුර්ගන්ධ වූ, පිළිකුල් වූ, අශ්‍රීක දර්ශන ඇති අනේකප්‍රකාර වූ කෙස් ලොම් ආදි භෙද ඇති අශුචි ම දකී.
කායගතා සති කමටහන වඩනු කැමති වූ ආදිකර්මික කුලපුත්‍රයා විසින් යට කියන ලද ප්‍රකාර ඇති කල්‍යාණ මිත්‍රයෙකු කරා එළඹ මේ කමටහන ගත යුතු. කමටහන් කියන්නහු විසිනුදු සත්පරිද්දෙකින් උද්ග්රහකෞශල්යය ද, දසපරිද්දෙකින් මනසිකාර කෞශල්‍යය ද කිය යුතු.