7. මරණානුස්සතිය
මරණය සතර වැදෑරුම් වේ. එනම්:-
- ජීවිතින්ද්රියෝපච්ඡෙද මරණය
- සමුච්ඡෙද මරණය
- ක්ෂණික මරණය
- සම්මුති මරණය.
ජීවිතින්ද්රියෝපච්ඡෙද මරණය නම් එක් භවයකට ඇතුළත් ජීවිතින්ද්රිය ප්රබන්ධයාගේ විච්ඡෙදය නොහොත් සිඳීයාමය.
සමුච්ඡෙද මරණය නම් රහතන් වහන්සේගේ වට්ට දුක්ඛ සමුච්ඡෙදය නොහොත් සියලු සසර දුකින් මිදීම් සඞ්ඛ්යාතවූ මරණ යයි.
ක්ෂණික මරණය නම් සංස්කාරයන්ගේ ක්ෂණ භඞ්ගය නොහොත් උදය - ව්‍යය දෙකින් පිරිසිඳිනා ලද ප්රවෘත්තික්ෂණයාගේ භඞ්ගයයි.
සම්මුති මරණය නම් ගස මැරුණේය යනාදි වශයෙන් ලෝක සම්මත මරණයයි.
මේ මරණානුස්සතියෙහිදී ජීවිතින්ද්රිය ප්‍රබන්ධ විච්ඡෙද සඞ්ඛ්‍යාත මරණය හෙවත් ජීවිතින්ද්රියෝපච්ඡෙද මරණයම අරමුණට නගා මෙනෙහි කළ යුතු.
ජීවිතින්ද්රියෝපච්ඡෙද මරණය වනාහි:-
- කාල මරණය
- අකාල මරණය යයි දෙවැදෑරුම් වේ.
කර්මක්ෂය වශයෙන් හෝ ආයුක්ෂය වශයෙන් හෝ වන මරණය කාල මරණය වේ. උපච්ඡෙදක කර්මයෙන් වන මරණය අකාල මරණ නම් වේ. එහෙයින් කාල මරණය ද, කර්මක්ෂය මරණය, ආයුක්ෂය මරණය යයි ද්විධ වේ.
සුගතියෙහි පුණ්යක්ෂය මරණය නම් ප්රතිසන්ධිජනක කුසල කර්මය විපාකදී අවසන් වීමෙන් සිදුවන මරණයයි. උපන් භවයෙහි ආයුසන්තතිය පැවතීමට උපකාර වන ආහාරාදි ප්‍රත්‍යය සම්පත් ඇතත්, ජනක කර්මයාගේ විපාක ශක්තිය අවසන් වූයේ නම් දිවිපවත්වා ගත නො හැකිවේ. එසේ සිදුවන මරණයට පුණ්යක්ෂය මරණය යයි කියනු ලැබේ.
ආයුක්ෂය මරණය නම් කාල ආහාරාදි සම්පත් නැතිවීමෙන් ඒ ඒ කාලයට නිසි ආයුෂ ක්ෂයවීමෙන් වන මරණයයි.
අකාල මරණය ද දෙවැදෑරුම් වේ. එනම්:-
- තත්ක්ෂණික අකාල මරණය
- පූර්වකෘත අකාල මරණය.
තත්ක්ෂණික අකාල මරණය - දුසිමාරය, කලාබු රජය, නන්ද යක්ෂය, නන්ද මානවකය යනාදීන්ට මෙන් කර්මය කරණ ලද ක්ෂණයෙහි ම චුත කරවන්නට සමත් වූ බැවින් දිට්ඨධම්මවේද්ය වූ කර්මයෙන් රුකුල් ලැබ, උපච්ඡේදක කර්මයකින් සිදුවන මරණය තත්ක්ෂණික අකාල මරණය නමි.
පූර්වකෘත අකාල මරණය - පූර්වජාතික උපච්ඡේදක කර්මයෙන් හෝ අවියෙන් පහරන ලදුව හෝ සියදිවි නසා ගැනීම් ආදී වශයෙන් හෝ සිදුවන මරණය පූර්වකෘත අකාල මරණය වේ.
පුණ්යක්ෂය මරණය මෙන් ම දුගතියෙහි පාපකර්ම විපාක ශක්තිය ක්ෂය වීමෙන් වන මරණය ද කර්මක්ෂය මරණ නමි.
කර්ම, ආයු, යන දෙක්හිම ශක්තිය තව ඉතිරිව තිබිය දී දිට්ඨධම්මවේද්ය වශයෙන් හෝ කළ බලවත් අන්‍ය කර්මයෙක ශක්තියෙන් හෝ සිදුවන මරණය උපච්ඡේදක මරණය නම්. මෙය අකාල මරණයකි.
කර්ම, ආයු, දෙක්හිම ශක්තිය එකවර ක්ෂය වීමෙන් වන මරණය උභයක්ෂය මරණය නම් වේ. මෙය කාල මරණයකි.
මෙසේ ජීවිතින්ද්රියොපච්ඡේද සඞ්ඛ්‍යාත මරණයාගේ සිහිකිරීම මරණානුස්සති නම් වේ.
මරණ සතිය වඩනු කැමති යෝගාවචරයා විසින් රහසිගතව විවේකව හිඳ, “මරණං භවිස්සති ජීවිතින්ද්රියං උපච්ඡිජ්ජිස්සති” මරණය වෙයි. ජීවිතින්‍ද්‍රියය සිඳී යයි. කියා හෝ “මරණං මරණං” මරණය, මරණය කියා හෝ නුවණින් මරණාලම්බනය සිහි කළ යුතු. අයොනිසොමනසිකාරයෙන්, හෙවත් නුනුවණින්, සති, සංවේග, ඥාන යන මොවුන්ගේ වශයෙන් මරණය මෙනෙහි නො කරන්නාහට, ඉෂ්ට ජනයාගේ මරණ සිහිකිරීමේ දී ශෝකය උපදී. ප්‍රිය පුත්‍රයාගේ මරණය සිදුකිරීමේදී වැදූ මවට ශෝකය උපදී. අනිෂ්ට ජනයාගේ මරණය සිහිකිරීමේදී ප්‍රීතිය උපදී. වෛරීන්ගේ මරණ සිහිකිරීමේදී ද එමෙනි. මධ්‍යස්ථ ජනයාගේ මරණය සිහිකිරීමේදී සංවේගය නූපදී. මළමිනි දවන්නාහට මළ සිරුර දැක්මෙහි දී මෙනි. තමාගේ මරණය සිහිකිරීමෙහි දී භය උපදී. තමා මරණු පිණිස කඩුව ඔසවා ගෙන දිව එන වධකයා දැකුමෙහි දී මෙනි. සති, සංවේග, ඥාන යන මොවුන්ගේ අභාවයෙන්, ශෝකය, හා ප්‍රීතිය ඉපදීම ද, සංවේගය නො ඉපදීම ද, භය ඉපදීම ද සිදුවන්නේ ය. යමෙක් “මේ මරණය උපන් සත්ත්වයන්ට නියත යයි” නුවණැත්තන්ගේ කීම අනුව සිහි කරන්නේ නම් ඔහුට සංවේගයත් නුවණත් ඇති වේ. යම් හෙයකින් යෝනිසොමනසිකාරය පවත්වන්නාහට මේ දෝෂය නොවෙද්ද, එහෙයින් අරණ්‍ය සොහොන් ආදී තැන්හි, සොරු ආදීන් විසින් මරා දමන ලද සතුන් ද, මැරුණා වූ සතුන් ද බලා දැක පුරුදු සම්පත් විඳි සත්ත්වයන්ගේ මරණය සිහි කොට, සති, සංවේග, ඥාන උපදවා මරණය එකාන්තයෙන්ම වන්නේය යනාදී ක්‍රමයෙන් සිහි කළ යුතු. මෙසේ මෙනෙහි කරන තැනැත්තේ නුවණින් ද, උපායයෙන් ද මෙනෙහි කරන්නේ ය. මෙසේ මෙනෙහි කරන්නා වූ තීක්ෂණ ඉන්ද්‍රියන් ඇති, නුවණ ඇති යෝගාවචරයාහට නීවරණ ධර්මයන් විෂ්කම්භන වීමෙන්, ධ්‍යානාඞ්ගයන් ඉපිද, මරණය අරමුණු කොට සිහිය පිහිටීමෙන් උපචාරධ්‍යානය පහළ වේ.
මෙසේ භාවනා කරන්නාහට කර්මස්ථානය උපචාරප්රාප්ත නොවේ නම්. නැවත අට ආකාරයකින් මරණය සිහිකළ යුතු වේ. ඒ අට ආකාරය නම්:-
- වධක පච්චුපට්ඨානය
- සම්පත්ති විපත්ති
- උපසංහරණය
- කාය බහුසාධාරණය
- ආයු දුබ්බලය
- අනිමිත්තය
- අද්ධාන පරිච්ඡේදය
- ඛණපරිත්තය
1. වධක පච්චුපට්ඨානය - වධකයෙකු එළඹ සිටියාසේ මරණය එළඹ සිටියේ යයි සිහි කිරීම වධක පච්චුපට්ඨානය නම් වේ. යම්සේ මොහුගේ හිස කපමියි කඩුවක් ගෙන ග්‍රීවයෙහි පහරණාකාරයෙන් එළඹ සිටි වධකයා මෙන් ද, අවකාශයෙක් ලැබුණු විට ඒකාන්තයෙන් ම මරමි යි කඩුව නගා ගෙන සිටිනා සතුරෙකු දුරුනොවී එළඹ සිටියාසේ ද, මරණය ද ඒකාන්තයෙන් ම එළඹ සිටියේ යයි සිහි කළ යුතු. මේ මරණය, ජාතිය හෙවත් උත්පත්තිය සමගම අවුත් දිවි පැහැර ගන්නේ ය. යම්සේ නයි හතු කැකුළු මුදුනෙන් පස්ගෙනම නැගේ ද, එසේම සත්ත්වයෝ ජරාමරණ ගෙනම උපදිත්. සත්ත්වයාගේ ප්රතිසන්ධි චිත්තය, උත්පාදක්ෂණයට අනතුරුවම ජරාවට පැමිණ, පර්වත මස්තකයෙන් හුණු ගලක් මෙන් සම්ප්‍රයුක්ත ස්කන්ධයන් හා සමගම බිඳේ. මෙසේ පළමු කොට ක්ෂණික මරණය ජාතිය හා සමග ආයේ ය. උපන් සත්ත්වයෝ අවශ්‍යයෙන් ම මිය යන බැවින් ජීවිතින්ද්රියොපච්ඡේද මරණය ද ජාතිය හා සමගම ආයේ ය. එහෙයින් මේ සත්ත්ව තෙම උපන් කල් පටන් ගෙන, යම්සේ නැගුණු සූර්ය්යා අස්තයට අභිමුඛව ම යන්නේ ද, ගිය ගිය තැනින් මදකුදු නොනවතී ද, යම්සේ පර්වතයෙන් ගලා බසින ගංගා තොමෝ ශීඝ්‍රයෙන් ගලා බසින්නේ, සැඩපහරෙහි හුණු තණපත් ආදියත් රැගෙන වහාම නො නැවතී ගලාබසී ද, එපරිද්දෙන් ම මොහොතකුදු නොනැවතී මරණයට අභිමුඛ ව ම යේ ම ය.
සත්ත්වයෝ බොහෝ සෙයින් මව්කුස පිළිසිඳ ගන්නේ රාත්‍රි කාලයෙහි ය. එසේ යම් එක රාත්‍රියක මව්කුස පිළිසිඳ ගත් සත්ත්වතෙම අහසට නැගි වළාකුළක් මෙන්, මොහොතක්වත් නොනැවතී මරණය කරාම යන්නේ ය. මෙසේ යන්නා වූ ඔහුට මරණය ඒකාන්තයෙන් ම එළඹ සිටින්නේ වේ. ග්‍රීෂ්ම කාලයේ දී, පර්වතයෙන් ගලාබසිනා කුඩා ගංගාවෝ වියලී යන්නාක් මෙන් ද, දහවල් සූර්ය්ය සන්තාපයෙන් ඇතුළට වැද, නැවත රාත්‍රියෙහි ආපෝ රසයෙන් තෙත්ව, උදය කාලයෙහි දී වෘක්ෂ ඵලයන්ගේ නටුවෙන් ගිලිහි වැටීම මෙන් ද, මුගුරෙන් පහරණ ලද කල්හි මැටි බඳුන් බිඳී යන්නාක් මෙන් ද, හිරුරැස් වැටුණු කල්හි පිනිබිඳු විනාශයට යන්නාසේ ද, උපන් සත්ත්වයාහට ඒකාන්තයෙන් ම මරණය ආසන්න වේ ම ය. මෙපරිද්දෙන් ජාතිය හා සමගම ආ මේ මරණය, ග්‍රීවයට කඩුව සරහා එන ඒ වධකයා මෙන් ද දිවිනසා ම ය. දිවිනොගෙන නොනවතී. එහෙයින් ජාතිය හා සමඟ ආ හෙයින් ද, දිවිගන්නා හෙයින් ද කඩුව නගා ගෙන සිටි වධකයකු මෙන් මරණය ද එළඹ සිටියේ යයි සිහි කිරීම වධකපච්චුපට්ඨාන වශයෙන් මරණය සිහිකිරීම යයි දත යුතු.
2. සම්පත්ති විපත්තිය - විපත්තියෙන් නොමැඩෙනතාක් කල් සම්පත්තිය හොබනේය. යම් සම්පතක් විපත්තිය නොමැඩසිටි ද එබඳු සම්පතක් නම් ලොවම නැත්තේය. මුළුපොළොවෙහි සම්පත් වළඳා, පමණ කළ නොහැකිසේ දන්දී සුවපත්ව සිටි ධර්මාශෝක මහරජතුමා පවා අවසාන යෙහිදී ඇඹුලුකැබැල්ලක් පමණට ඉසුරු බවට පත්ව, කුසලක්ෂය වීමෙන් මරණයට අභිමුඛවූයේ, සෝක කටයුතු බවට පැමිණියේය.
සියලු නීරෝගී බව ව්‍යාධිය කෙළවර කොට ඇත්තේ ය. සියලු යෞවන බව ජරාව කෙළවර කොට ඇත්තේ ය. සියලු ලෝකය ජාතිය අනුව යන ලද්දේ ය. ව්‍යාධියෙන් මඩනා ලද්දේ ය. මරණයෙන් පහරනා ලද්දේ ය.
යම්සේ ශෛලමය වූ ද, මහත් වූ ද, අහස පැහැර සිටි පර්වතයන් හාත්පසින් සතරදිගින් හමන චණ්ඩමාරුතයෝ සුන්කරමින් හැසිරෙන්නාහු ද, එපරිද්දෙන් ම, ජරාව ද, මරණය ද, රජවරුන් ද, බමුණන් ද, වෛශ්‍යයන් ද, ක්ෂුද්‍ර යන් ද, චණ්ඩාලයන් ද, පුක්කුසයින් ද යන සියලු සතුන් මඩිමින් පවතී. කුලෙන්වත්, රුචින්වත්, ශීලයෙන්වත්, ශ්රැතයෙන්වත්, සැදැහැ ආදී ගුණයෙන්වත් වැඩිසිටියහ යන සම්භාවනාවෙන් රජදරු ආදීන් කෙරෙන් කිසිවක්හු ද, එම කුල, රූපාදීන් හීනයහයි අවමානයෙන් චණ්ඩාලාදීන් කෙරෙන් කිසිවක්හුද දුරුකරන්නේ නොවෙයි. මරණය සියල්ලම මැඩලන්නේ ය. ඒ ජරා-මරණ යුද්ධයෙන් ජය ගත නොහැකි වේ. එහි ඇතුන්ට ද විෂය නොවෙයි. රථයනට ද විෂය නොවෙයි. පදාතීන්ට ද විෂය නොවෙයි. මන්ත්රසඞ්ග්රාම ප්රයෝගයෙනුදු කැමති වස්තු දීමෙනුදු ජරා-මරණයෙන් දිනන්නට නොපිළිවන. මෙසේ ජීවිත සම්පත්තියගේ, මරණ විපත්තිය කෙළවර කොට ඇති බව ව්‍යවස්ථා කොට මෙනෙහි කිරීම සම්පත්ති විපත්ති වශයෙන් මරණය සිහි කිරීම නම් වේ.
3. උපසංහරණය - යසෝමහත්ත්වාදීයෙන් සමන්විත වූ අන්‍යයන් හා සමග සමාන භාවයෙන් මරණය තමා කෙරෙහි එළවා ඒ විශේෂ පුද්ගලයන්ට සේ තමාට ද මරණය වන්නේ ය යනාදී වශයෙන් මරණය සිහිකිරීම උපසංහරණ වශයෙන් සිහිකිරීම නම් වේ. එය මෙසේ සත් ආකාරයකින් සිහි කළ යුතු වේ:-
- යශස් මහත්ත්‍ව වශයෙන්
- පුණ්‍ය මහත්ත්‍ව වශයෙන්
- ථාම මහත්ත්‍ව වශයෙන්
- ඍද්ධි මහත්ත්‍ව වශයෙන්
- ප්‍රඥා මහත්ත්‍ව වශයෙන්
- ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන්
- සම්‍යක් සම්බුද්ධ වශයෙන්.
1. යශස් මහත්ත්‍ව වශයෙන් - මේ මරණය නම් මහා යසස් ඇති, මහත් පිරිවර ඇති, පිරුණා වූ ධන වාහන ඇති මහා සම්මතය, මහාමන්ධාතුය, මහාසුදර්ශනය, දල්හනෙමිය, නිමිය යනාදීන්ගේ මතුයෙහි පවා සැක නැති ව ම පතිතවිය. මා මතුයෙහි කුමක් හෙයින් පතිත නොවේදෑ යි මෙසේ යශස් මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතුය.
2. පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් - ජොතිය නම් සිටුය, ජටිල නම් සිටුය, උග්ග නම් සිටුය, මෙණ්ඩක නම් සිටුය, පුණ්ණක නම් සිටුය, යන මොහු ද, ලෝකයෙහි මහා පින් ඇත්තෝ යයි ප්‍රසිද්ධ වූ යම් අනික් කෙනෙක් ඇද්ද, ඔව්හු හැමදෙනම මරණයට පැමිණියාහ. මා වැන්නන් කෙරෙහි කුමක් හෙයින් මරණය නොපැමිණෙන්නේ දැයි මෙසේ පුණ්යමහත්ත්ව වශයෙන් ද සිහි කළ යුතු.
- ථාම මහත්ත්‍ව වශයෙන් - වීර්‍ය්‍ය බල මහත්ත්වයෙන් යුක්ත වූ වාසුදෙවය, බලදෙවය, භීමසේනය, යුධිෂ්ඨිරය, බානුරමල්ලය යන මොව්හු මරහුගේ වසඟ බවට ගියහ. ලෝකයෙහි ප්‍රසිද්ධ වූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වූ මොව්හු මරණයට පැමිණියාහු නම්, මා වැන්නන්ට මරණය නො පැමිණෙන්නේ යයි කවර කථා ද, යනාදී වශයෙන් ද මරණය සිහි කළ යුතු.
- සෘද්ධි මහත්ත්‍ව වශයෙන් - සෘද්ධිමතුන්ගෙන් අග්‍ර වූ දෙවන අග්‍රශ්‍රාවක මහමුගලන් මහ තෙරණුවෝ පය මහපට ඇඟිලි පමණෙකින් දේවේන්ද්රයාගේ විජයොත් මහාපාය කම්පා කෙළේ ද, උන්වහන්සේ පවා සිංහ මුඛයටවන් මෘගයෙකු මෙන් ඝෝරවූ මරුමුඛයට සෘද්ධීන් හා සමග පිවිසි සේක. මා වැන්නකු ගැන කවර කථා ද, යනාදී වශයෙන් සෘද්ධිමහත්ත්ව වශයෙන් ද මරණය සිහි කළ යුතු.
- ප්‍රඥා මහත්ත්‍ව වශයෙන් - ලොව්තුරා බුදුන්වහන්සේ හැර සෙසු සියලු සතුන්ගේ නුවණ, සැරියුත් මහතෙරුන්ගේ ප්‍රඥාව සොළොස් කොටසක් කොට එයින් එක් කොටසක් නැවත සොළොස් භාගයක් කොට ලද ඒ සොළොස් වන කලාවට නො අගනේ ය. මෙසේ මහා ප්‍රාඥ වූ පළමු අගසව් සැරියුත් මහ තෙරුන් පවා මරහුගේ වසඟයට පැමිණියහ. මා වැන්නන් ගැන කවර කථා ද යනාදී වශයෙන් ප්‍රඥා මහත්ත්‍ව වශයෙන් ද මරණය සිහි කළ යුතු.
- ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් - යම් ඒ කෙනෙක් පරොප දෙශයන් රහිතව තමන්ගේම ඥාන බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද, සියලු කෙලෙසුන් නසා, හුදකලාව ඇවිදීමෙන් හා විසීමෙන් කඟවෙහෙණුන් අග හා සමවූ උපමා ඇත්තා වූ පසේ බුදු බව ලැබුයේ ද, ඒ පසේ බුදුන් වහන්සේ පවා මරහු කෙරෙන් නොමිදුනේ ය. මාවැන්නන් ගැන කියනුම කවරේ දැ යි ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් මරණය මෙනෙහි කළ යුතු.
7. සම්‍යක් සම්බුද්ධ වශයෙන් - යම් ඒ භාග්‍යවතුන් වහන්සේ අශීත්යනු ව්‍යඤ්ජනයෙන් හොබනා වූ ද්වාත්රිංසත් මහා පුරුෂලක්ෂණයෙන් විසිතුරු වූ රූප කාය ඇත්තේ ද, සවාසනා සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණයෙන් සර්වාකාරයෙන් පිරිසුදු වූ ශීලස්කන්ධාදි ගුණරත්නයෙන් සමෘද්ධ වූ ධර්මකාය ඇත්තේ ද, යශස් මහත්ත්වය, පින්මහත් බවය, ශක්ති මහත් බවය, සෘද්ධි මහත් බවය, ප්‍රඥා මහත් බවය, යන මොවුන්ගේ කෙළවරට ගියේ ද, තමා හා සමයක්හු නැත්තේ ද, අසමවූ පූර්ව බුදුවරයන් හා සමද, අප්‍රතිපුද්ගල වූ, ප්රත්යාදීන්ට අර්හ හෙයින් රහත් ද, අවිපරීත කොට සියලු පදාර්ථ තෙමේම දත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වේ ද, ඒ භාග්‍ය වතුන් වහන්සේ පවා වැසිදිය හීමෙන් මහත් වූ ගිනි කඳක් මෙන් මරණ නමැති වැසි හීමෙන් ක්ෂණයෙකින් නිවී ගියසේක. යම් බඳු වූ මේ මරණය තෙම මෙබඳු වූ රූපකාය හා ධර්මකාය සම්පත්තියෙන් හෙබියා වූ මහර්ෂීහු කෙරෙහි භයින් වසඟ බවට නොපැමිණියේ ය. ලජ්ජාවෙනුදු වසඟ බවට නොපැමිණියේ ය. මෙසේ ලජ්ජා නැති, භය නැති සියලු සතුන් මැඩ පවත්නා වූ ඒ මරණය තෙම මාබඳු වූ පුද්ගලයෙක් කෙසේ නම් මැඩ නොපවතී ද, මෙසේ සම්‍යක් සම්බුද්ධයන්ගේ වශයෙන් මරණය මෙනෙහි කළ යුතු.
මෙසේ යශස් මහත් බව යනාදීන් සම්පූර්ණ වූ අන්‍යයන් හා සමඟ මරණ සාමාන්‍ය බැවින්, තමා කරා එළවා ඒ සත්ත්ව විශේෂයන්ට මෙන් මට ද මරණය වන්නේ යයි සිහි කරන ඒ යෝගාවචරයාහට කමටහන උපචාරප්රාප්ත වෙයි. මෙසේ උපසංහරණ වශයෙන් මරණය මෙනෙහි කටයුතු.
4. කාය බහු සාධාරණය-මේ ශරීරය අන්‍යවූ බොහෝ සත්ත්වයන්ට සාධාරණ යයි යනාදී වශයෙන් සිහි කිරීම කාය බහු සාධාරණ වශයෙන් මරණය සිහි කිරීම නම් වේ. පළමු කොට මේ කය අසූකුලයක පණුවන්ට සාධාරණය. ඔවුන් අතුරෙන් සිවිය ඇසුරු කළ පණුවෝ සිවිය කා දමති. එසේ ම සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු ආදිය ඇසුරු කළ පණුවෝ ඒ සම්, මස් ආදිය කා දමති. ඔව්හු එහිම උපදිති. එහිම ජරාවට පැමිණෙති. එහිම මියයෙති. එහිම මලමුත්‍ර කෙරෙති. එය ම ඔවුන්ට තිඹිරි ගෙය ද, ගිලන් හල ද, සොහොන ද, වැසිකිළි ද, කෙසකිළිය ද වෙති. ඔවුන්ගේ ප්රකෝපයෙන් මරණයට ද පැමිණෙති. එපරිද්දෙන් ම අධ්‍යාත්මික වූ ද නොයෙක් සියගණන් රෝගයන්ට ද, බාහිර වූ, මරණයට ප්‍රත්‍යය වූ සර්ප, ගෝණුසු ආදීන්ට ද මේ ශරීරය සාධාරණය. යම් සේ සතර මං සන්ධියෙහි තබන ලද ඉලක්කයෙහි ශරය, තෙබය, අඩයටිය, පහණය යනාදිය වැදගන්නේ ද, එපරිද්දෙන් ම කයෙහි ද උපද්‍රවයෝ වැදහෙති. මේ කය ඒ උපද්‍රවයන්ගේ පැමිණීමෙන් මරණයට ද පැමිණෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම දවස නික්මුණු කල්හි, රාත්‍රිය නැවත ආ කල්හි, මෙසේ ප්රත්යවේක්ෂා කරන්නේ ය. මට මරණයට ප්‍රත්‍යයෝ බොහෝ ය. සර්පයෙක් හෝ මා ඩහන්නේ ය. ගෝණුස්සෙක් හෝ මා ඩහන්නේ ය. පත්තෑයෙක් හෝ මා ඩහන්නේ ය. එයින් මාගේ කාල ක්‍රියාව ද වන්නේ ය. මට ඒ අන්තරාය වන්නේ ය. පය පැකිළ හෝ වැටෙන්නෙමි. මා විසින් කන ලද ආහාරය හෝ නොදිරන්නේ ය. පිත හෝ කිපෙන්නේ ය. සෙම හෝ කිපෙන්නේ ය. මට ශස්ත්‍රක වාතයෝ හෝ කිපෙන්නාහ. ඒ පැකිළිම් ආදීන්ගේ වශයෙන් ද මාගේ කාලක්‍රියාව වන්නේ ය. මට එය ශාස්තෘශාසන මනස්කාරයට අන්තරාය වන්නේ ය.” මෙසේ කායබහුසාධාරණ වශයෙන් ද මරණය සිහි කළ යුතු.
5. ආයු දුබ්බලය - ආයුෂයාගේ දුර්වල බව සිහිකිරීමෙන් ද, මරණය සිහි කළ යුතු. සත්ත්වයාගේ ආයුෂය දුර්වලය, බලනැත්තේ ය. ජීවිතය, ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව පවති. එසේම ඉරියව් පිළිබඳව ද වෙයි. මහාභූතයන් පිළිබඳ ද වෙයි. ශීතොෂණ පිළිබඳ ද වෙයි. ආහාර පිළිබඳ ද වෙයි. ඒ මේ ආයුෂය ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ සමව පවත්නාතාක් කල් පවතී. පිටතට නික්මුණු නාසිකා වාතය ඇතුළට නොවදනා කල්හි ද, ඇතුළට වත් වාතය පිටතට නො නික්මුණු කල්හි ද, සත්ත්වයා මළේ නම් වේ. සතර ඉරියව්වන්ගේ ද සමව පවත්නාතාක් කල් ජීවිතය පවතී. එක්තරා ඉරියව්වක් වනාහි අධිකවුව හොත් ආයුසංස්කාරයෝ සිඳෙන්නාහ. ශීතොෂණයන්ගේ ද සමව පවත්නාතාක් කල් ජීවිතය පවතී. අධික ශීතයෙන් හෝ අධික උෂ්ණයෙන් හෝ මඩනා ලද්දේ ජීවිතය විනාශය වෙයි. මහා භූතයන්ගේ ද සමව පවත්නාතාක් කල් දිවි පවතී. පඨවි ධාතුවගේ හෝ ආපෝ, තේජෝ, වායෝ ධාතුවකගේ හෝ, යම් කිසි එකක්හුගේ කෝපයෙන් බලසම්පන්න පුද්ගලයෝ ද, පෘථිවි ධාතුවෙන් තඳව ගිය කය ඇත්තෝ ද, ආපෝ ධාතු කෝපයෙන් වන අතීසාරාදීන්ගේ වශයෙන් හෝ තෙත්ව ගිය කුණුවූ කය ඇත්තෝ ද, කුසයෙහි කර්මජ තේජෝ ධාතුව කිපීමෙන් මහාදාහයෙන් පීඩිත වූවෝ ද, වාත කෝපයෙන් සිඳුන ලද සන්‍ධිබන්‍ධන ඇත්තෝ ද ජීවිතක්ෂයට පැමිණෙති. සුදුසු කල්හි කබලිකාරාහාරය ලබන්නේ නම් ජීවිතය පවතී. ආහාරය නොලබන්නාහට ජීවිතය පවත්වා ගත නොහැකිවේ. මෙසේ ආයු දුර්වලතා වශයෙන් ද මරණය සිහි කළ යුතු.
6. අනිමිත්තය - කාලාදී වශයෙන් ව්‍යවච්ඡේද රහිත බව සඞ්ඛ්‍යාත වූ නිමිත්ත වශයෙන් ද සලකා මරණය සිහි කළ යුතු. සත්ත්ව ලෝකයෙහි සනිටුහන් නැති, දැනගත නොහැකි කරුණු පසෙකි. එනම්:- (1) ජීවිතය. (2) ව්‍යාධිය (3) මරණ කාලය (4) ශරීර නික්‍ෂෙපය (5) ගතිය යන කරුණු පසය.
පළමු කොට ජීවිතය මෙපමණ කාලයක් ම ජීවත්විය යුතුය. මෙයින් ඔබ්බෙහි ජීවත් නොවිය යුතුය යි සනිටුහන් කළ නොහැකි බැවින් අනිමිත්තය. සත්ත්වයෝ කලල අවස්ථාවෙහිද මැරෙති අර්බුද අවස්ථාවෙහි ද මිය යති. පෙශී අවස්ථාවෙහි ද මිය යති. එසේම ඝන අවස්ථාවෙහි ද එක්මස් වයස් කල්හි ද, දෙමැසි කල්හි ද, තුන්මැසි කල්හි ද, සිව්මැසි කල්හි ද, පස්මැසි කල්හි ද, දසමැසි කල්හි ද, කුසින් නික්මුණු කල්හි ද, එයින් මතු ශතවර්ෂය ඇතුළත්හි ද, එයින් පිටත්හි ද මිය යන්නේම ය.
ව්‍යාධිය ද, මේ ව්‍යාධියෙන් ම සත්ත්වයෝ මැරෙති. අනික් ව්‍යාධියකින් නොමැරෙති යයි මෙසේ සනිටුහන් නැති හෙයින් අනිමිත්තය. සත්ත්වයෝ ඇස් රෝගයෙනුදු මිය යති. කර්ණ රෝගාදීන් කෙරෙන් එක්තරා එකකිනිදු මිය යති.
කාලය ද, සත්ත්වයා මෙකල්හිම මිය යා යුතුය. අන්‍ය කාලයෙක්හි මිය යා යුතු නොවෙයි. මෙසේ සනිටුහන් නැති හෙයින් අනිමිත්තය. සත්ත්වයෝ පෙරවරු කාලයෙහි ද මියයති. පස්වරු කාලයන්හි ද මිය යති.
දෙහනික්ෂේපය ද, මිය යන්නවුන්ගේ දෙහය මෙතනම වැටිය යුතුය. අන් තැනෙක්හි නොවැටිය යුතු යයි ව්‍යවස්ථා රහිත බැවින් අනිමිත්තය. ඇතැම් සත්ත්වයෝ ඇතුළු ගම උපන්නේ, ගමින් පිටත්හි ද ආත්මභාවය හෙයි. ගමින් පිටත උපන්නවුන්ගේ ආත්මභාවය ඇතුළු ගමෙහි දී හෙයි. එසේම ගොඩ උපන්නවුන්ගේ ආත්මභාවය දියෙහි ද, දියෙහි උපන්නවුන්ගේ ආත්මභාවය ගොඩෙහි ද හෙයි. මෙසේ නොයෙක් ප්‍රකාරයෙන් ආත්මභාවය හෙළන්නේය.
ගතිය ද, මෙයින් චුතවූවහු විසින් මෙහි ම ඉපදිය යුතුය. අන් තැනක නොඉපිදිය යුතුයයි මෙසේ සනිටුහන් නොකළ හැකි බැවින් අනිමිත්තය. දෙව්ලොවින් චුතවූවාහු මිනිස් ලොව උපදිති. මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපදිති. මෙසේ යන්ත්රයෙක්හි යෙදූ ගොනෙකු මෙන් සත්ත්වයෝ පඤ්ච ගතියෙහි ම පෙරළෙන්නාහ.
මෙසේ අනිමිත්ත වශයෙන් ද මරණය සිහි කළ යුතු වේ.
7. අද්ධාන පරිච්ඡේදය - එනම් ජීවිත කාල පරිච්ඡේදයයි. මෙකල මනුෂ්‍ය ජීවිතය මෙතෙක් කල් පැවතිය යුතු යයි කාල පරිච්ඡේදයක් නැත. බොහෝ කල් ජීවත් වේ නම් අවුරුදු සියයක් හෝ ජීවත් වෙයි. එයට වැඩි වුවහොත් ස්වල්පයක් වැඩි වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්පය. පරලොව යායුතුය. කුසල් කටයුතුය. බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරිය යුතුය. උපන්නාහුට නොමැරීමක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කාලයක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු සියයක් හෝ ජීවත් වෙයි. මඳක් වඩා හෝ ජීවත් වෙයි.
තවද, සූර්‍ය්‍යයා උදාවීම සමගම තණපත් අග පිණිබිඳු විනාශයට යන්නාසේ ද, දියෙහි නැගි බුබුලු එකෙණෙහි ම නැසෙන්නාසේ ද දිය ඇඳි ඉර එවේලේම නොපෙනී යන්නාසේ ද, පර්වතයෙන් ගලා බස්නා ගංගාව මොහොතක් නතර නොවන්නාසේ ද, දිව අග කෙළ පිඩ වියලී යන්නාක් මෙන් ද, රත් කළ යකඩලෙයෙහි ලූ මස් කැබැල්ල පිළිස්සී යන්නාසේ ද, මස් ලොඹුව කරා ගෙන යන ගවයා මෙන් ද, මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක් පාසා ම මරණයට ම ළං වන්නේ ය.
තවද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක. මහණෙනි, යම් මහණ කෙනෙක් මෙසේ මරණානුස්සතිය වඩා ද, මම එක් රෑ දවාලක් ජීවත් වෙම් නම් ඉතා යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය හෙවත් ආර්‍ය්‍ය මාර්ග ප්‍රතිවේධයට උපකාරකවූ අවවාදය මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්ම හිත මහණ කිස කරණ ලද්දේ වන්නේ ය. දවාලක් ජීවත් වෙම් නම් ඉතා යෙහෙක. එක් අහරක් වළඳන තාක් කල් සිටී නම් යෙහෙක, බත් පිඬු සතරක් හෝ පසක් වළඳනතාක් කල් ජීවත් වෙම් නම් ඉතා යෙහෙක. ඒ කාලය තුළ මම බුදුසසුන සිහිකරගන්නෙමි. එයින් මා විසින් බොහෝ වූ ආත්ම හිත මහණ කිස කරණ ලද්දේ වන්නේ ය. මහණෙනි, මේ මහණ තෙම ප්‍රමාදව වෙසෙති. දන්ධ ව මරණ සතිය වඩන්නේ යයි කියනු ලැබේ. මහණෙනි, යම්කෙනෙක් මම එක් ආලොපයක් මුඛයෙහි තබා ගිලිනතාක් කල් ජීවත් වෙම් නම් යහපති, ඇතුලට වන් වාතය පිටත් කෙරෙම් ද, පිටතවූ වාතය ඇතුලට එවම් ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යහපති! යනාදී වශයෙන් මෙනෙහි කරන්නේ නම් මහණෙනි, මේ මහණහු අප්‍රමාදව වෙසෙති. ආශ්‍රවයන්ගේ ක්ෂයය පිණිස තීක්ෂණ කොට මරණ සතිය වඩන්නේ යයි කියනු ලැබේ.” මෙසේ සතර පස් ආලොපයක් කන පමණ කල් විශ්වාස නොකටයුතු ව ජීවිත කාලය ස්වල්ප යයි මෙනෙහි කිරීම අධාන පරිච්ඡේද හෙවත් කාලපරිච්ඡේද වශයෙන් මරණය සිහි කිරීම නම් වේ.
8. ඛණ පරිත්තය - පරමාර්ථ වශයෙන් සත්ත්වයන්ගේ ජීවත් වන ක්ෂණය ඉතා ස්වල්පයයි සළකා මරණය සිහි කිරීම ඛණ පරිත්තය නම් වේ. ජීවිතක්ෂණය එක චිත්තක්ෂණයක් පමණ වූ ම කාලයක් වන්නේ ය යම්සේ පෙරළෙන්නා වූ රථ චක්‍රය එකම නෙමි ප්‍රදේශයකින් පෙරළේ ද, සිටිනා කල්හි එකම නෙමි ප්‍රදේශයකින් සිටී ද; එපරිද්දෙන් ම සත්ත්වයන්ගේ ජීවිතය එකම චිත්තක්ෂණයක් ඇත්තේ ය. සත්ත්ව තෙම යම් වර්තමාන චිත්තක්ෂණයෙකින් ජීවත්වේ යයි කියනු ලැබේ ද, ඒ චිත්තය නිරෝධයට හෙවත් භඞ්ගයට ගිය මාත්‍රයෙහි ම ඒ නිරුද්ධ වූ චිත්ත සමන්විත සත්ත්වයා ද නිරුද්ධය - මෙළේ යයි කියනු ලැබේ.
නිරුද්ධ වූ චිත්තක්ෂණයෙහි සත්ත්ව තෙම ජීවත් විය. ඒ නිරුද්ධ චිත්තක්ෂණයෙන් දැන් ජීවත් වෙමින් සිටියේ ද නොවෙයි. මතු ජීවත් වන්නේ ද නොවෙයි. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වූයේ ද නොවෙයි. ජීවත් වෙමින් සිටිනේ ද නොවෙයි. මතු ජීවත් වේ. වර්තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වූයේ ද නොවෙයි. ජීවත් වෙමින් සිටිනේය. මතු ජීවත් වන්නේ නොවේ.
ජීවිතය ද, ආත්මභාවය ද, සුඛ දුක්ඛ වේදනාව ද යන මෙය එක චිත්තක්ෂණයෙකින් යුක්තය. ජීවිතක්ෂණය ද වහා පෙරළෙයි. මියයන්නහුගේ යම් නිරුද්ධ වූ ස්කන්ධයෝ වෙත් ද, දැන් ජීවත්වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්ධයෝ වෙත් ද, චුතික්ෂණයෙහි නිරුද්ධ වූ ස්කන්ධයෝ ද සමානය. ගැළපීමක් නැතිවම නිරුද්ධ වූහ.
නූපන් සිතින් මේ ලෝකයෙහි සත්ත්වයා නූපන්නේ ය. වත්මන් සිතින් ජීවත් වෙයි. චිත්තයාගේ භඞ්ගයෙන් මැරුණේ වේ. ඒ ඒ ධරන සිත් නිසා යම් සන්තාන ප්රඥප්තියක් ඇද්ද එය නොනස්නේ ය. මෙසේ ජීවිතක්ෂණයාගේ පරිත්ත භාවය සැළකීමෙන් මරණය සිහි කළ යුතු වේ.
මෙසේ මේ අට ආකාරයන් අතුරෙන් එක්තරා ආකාරයකින් මරණය සිහි කරන්නහුට නැවත නැවත මනසිකාර වශයෙන් කමටහන් අරමුණු කොට ඇති සිත ආසේවනය ලැබීමෙන් එකඟ වන්නේ ය. මරණය අරමුණු කොට ඇති සිහිය පිහිටයි. නීවරණ හෝ විෂ්කම්භනය වෙති. ධ්‍යානාඞ්ගයෝ පහළ වෙති. මරණ අරමුණ ස්වභාව ධර්මයක් හෙයින් ද, සංවේග උපදවන හෙයින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නොව උපචාර ප්‍රාප්ත වේ.
අනුසස් වශයෙන් වනාහි මේ මරණානුස්මෘති භාවනායෙහි යෙදුණු මහණ තෙම හැම වේලේම සංවේග බහුල බැවින් අප්‍රමත්ත වෙයි. සියලු භවයන්හි අනභිරති සංඥාව ලබන්නේ ය. ජීවිත නිකාන්තිය දුරු කෙරෙයි. අනිත්‍ය සංඥා ලබන හෙයින් පාපයෙහි ගර්හා කෙරෙයි එහෙයින්ම සන්නිධි බහුල නොවෙයි. පිරිකරෙහි පහවූ මළ හා මසුරු ඇතිවෙයි. මේ යෝගිහට අනිත්‍ය සංඥාව ද පුරුද්දට යෙයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥා, අනත්ත සංඥා ද වැටහෙයි. යම්සේ භාවිතා නොකළ මරණ සතිය ඇති තැනැත්තේ සිංහාදි ව්‍යාල මෘගය, යක්ෂය, සර්පය, සොරුය, වධකය යන මොවුන් විසින් මඩනා ලද්දවුන් මෙන් මරණ කාලයෙහි භයට, ත්‍රාසයට සම්මොහයට පැමිණෙද්ද, එසේ නොපැමිණ නිර්භය ව ම, අමූඪ වී කාලක්‍රියා කෙරෙයි. ඉදින් මෙම ජන්මයෙහි නිර්වාණය සාක්ෂාත් නොකෙළේ නම් කායයාගේ භේදයෙන් සුගති පරායන වන්නේ ය.