අභිධර්මාර්ථ ප්‍රදීපිකා

6. දෙවතානුස්සතිය

චාතුම්මහාරාජිකාදී දෙවියන් සාක්‍ෂි කොට තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ සිහි කරමින් කරන්නා වූ භාවනාව දෙවතානුස්සති නම් වේ.

දෙවතානුස්සතිය වඩනු කැමති යෝගාවචරයා ආර්‍ය්‍ය මාර්‍ග වශයෙන් අධිගත ශ්‍රද්ධාදී ගුණයෙන් යුක්තව රහසිගත ව, විවේකව හිඳ මෙසේ සිතන්නේ ය. චාතුම්මහාරාජික නම් දෙවියෝ ඇත්තාහ. එසේම තාවතිංස නම් දෙවියෝ ද, යාම නම් දෙවියෝ ද, තුසිත නම් දෙවියෝ ද, නිම්මාණරති නම් දෙවියෝ ද, පරනිම්මිත වසවත්ති නම් දෙවියෝ ද ඇත්තාහ. තවද බ්‍රහ්මකායික දෙවියෝත් ඇත්තාහ. එයින් මතු පරිත්තාභාදි දෙවියෝ ඇත්තාහ. යම් බඳුවූ ශ්‍රද්ධාවෙකින්, ශීලයකින්, මෙලොවින් චුතව, උපන්නාහු ද, මට ද එබඳු වූ ශ්‍රද්ධා, ශීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ඇත්තේ යයි දෙවියන් සාක්‍ෂියට තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහි කළ යුතු.

මෙසේ දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණ සිහි කොට පසුව තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහි කරමින් භාවනා කරන කල්හි ඔහුගේ සිත, රාගයෙන් ද, ද්වේෂයෙන් ද, මෝහයෙන් ද නොමඩනා ලද හෙයින්, සිත සෘජුවීම කරණ කොට ගෙන, ක්ලේශයන් සංසිඳීමෙන්, නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය වේ. එකල්හි ධ්‍යානාඞ්ගයන් ඉපිද සිත උපචාර ප්‍රාප්ත වේ. ශ්‍රද්ධාදී ගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්‍පණාප්‍රාප්ත නොවේ.

අනුසස් වශයෙන් වනාහි ඔහු දෙවියන්ට ප්‍රිය වේ. මනාප වේ. ශ්‍රද්ධාදී ගුණයෝ විපුලත්‍වයට පැමිණේ. ප්‍රීති ප්‍රමෝද්‍ය බහුල වේ. මතු ධ්‍යාන මාර්‍ගඵල නො ලබන්නේ නම් ඒකාන්තයෙන් සුගතිගාමි වන්නේ ය.

යට දක්වන ලද බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝා- නුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති යන අනුස්සති සය සමෘද්ධ වන්නේ ආර්‍ය්‍යශ්‍රාවකයන්ටම ය. ඒ ආර්‍ය්‍යශ්‍රාවකයන් හට බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ප්‍රකට වන හෙයින් ද, අඛණ්ඩ, අච්ඡිද්දාදී ගුණ ඇති පිරිසුදු සීලයෙන් යුක්ත වන හෙයින් ද, මසුරුමල ආදියෙන් පහවූ ත්‍යාග ගුණයෙන් යුක්ත වන හෙයින් ද, මහානුභාව ඇති දෙවියන්ගේ ගුණ බඳු ශ්‍රද්ධාදී ගුණයෙන් යුක්ත වන හෙයින්ද මේ අනුස්සති සය ආර්‍ය්‍යශ්‍රාවකයන්ටම සමෘද්ධ වන බව වදාරණ ලදී.