අභිධර්මාර්ථ ප්‍රදීපිකා

5. චාගානුස්සතිය

දානය ආවර්‍ජනා කරමින්, මෙනෙහි කරමින් කරනු ලබන භාවනාව චාගානුස්සති භාවනා නම් වේ. චාගානුස්සතිය වඩනු කැමති යෝගාවචර තෙම ස්වභාවයෙන් ම දන් දීමෙහි ම යෙදුනු එහි පැහැදුනු, එයටම නැමුනු සිත් ඇති කෙනෙකු වියයුතු. භාවනාව ආරම්භ කරන දිනයෙහිදී “දැන් ඉතින් මේ වේලාවේ සිට දනක් පිළිගන්නා කෙනෙක් හමුවී නම්, එක් පිඩක් පමණක්වත් නොදී නොවළඳමි”යි දාන සමාදාන කොට, එදිනම ගුණයෙන් විශිෂ්ටවූ ප්‍රතිග්‍රහකයන් කෙරෙහි, ශක්තිවූ පරිද්දෙන් බලය ඇති පරිද්දෙන් දන් දී, ඒ දාන පරිත්‍යාග නිමිත්ත ගෙන, රහසිගතව, විවේක ඇති තැනක හිඳ, මෙසේ ත්‍යාගය මෙනෙහි කළ යුතු. ලාභා වත මෙ—සුලද්ධං වත මෙ— සොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමල- මච්ඡෙරෙන චෙතසා විහරාමි—මුත්තචාගො, පයතපාණි, වොස්සග්ගරතො, යාචයොගො, දාන සංවිභාගරතො (මට ඒකාන්තයෙන් ලාභයෙක, මා විසින් ලබන ලද්ද මනාව ම ලබන ලද්දේ ය. ඒ මම මසුරුමලින් මඩනා ලද සත්ත්‍වයන් අතුරෙන්, මලරහිතව, මසුරු බව රහිත ව වාසය කරමි. මුදාහරන ලද ත්‍යාග ඇත්තේ පිරිසුදු කරගත් අත් ඇත්තේ. පරිත්‍යාගයෙහි ඇලුණේ, ඉල්ලූ දෙය දෙන, දානයෙහි ද, සංවිභාගයෙහි ද ඇලුණේ වෙමි’)යි කියායි.

මට ඒකාන්තයෙන් ලාභයෙක. මම ආයුෂය දී දිව්‍යමයවූ ද, මනුෂ්‍යමයවූ ද, ආයුෂයට හිමිවන්නෙමි. දන් දෙන තැනැත්තේ ලොවට ප්‍රිය වෙයි. ඔහු බොහෝ දෙනා භජනය කරන්නාහ. සත්පුරුෂයන්ගේ ධර්‍මය නොයික්මවන්නේ, දන් දෙන්නේ ලොවට ප්‍රිය වන්නේය. මේ ආදී වශයෙන් භාග්‍යවතුන්වහන්සේ විසින් දන් දෙන්නහු පිළිබඳව යම් ආයු, වර්‍ණ, සුඛ, බල, පටිභානාදී වූ ද, ප්‍රියභාවාදී වූ ද ලාභකෙනෙක් වර්‍ණනා කරන ලද ද, ඒ සියලු ලාභයෝ මට ඒකාන්තයෙන් ම වන්නේ යයි සිතා දන් දීමෙන් තමාට වන ලාභය මෙනෙහි කළ යුතු.

එසේම, මා විසින් යම් සම්බුද්ධ ශාසනයක් හෝ මිනිසත් බවෙක් හෝ ලබන ලද නම්, එය මනාව ලබන ලද්දේ වෙමියි කියා ද මෙනෙහි කළ යුතු.

යම් බඳු වූ මම, අනුන් හා සාධාරණ බව නොඉවසීම ලක්‍ෂණකොට ඇති, චිත්තයාගේ ප්‍රභාස්වර බව දූෂ්‍ය කරන ඒකාන්ත පාපධර්‍මයක් වූ ලොභාදී මලයන් හා මසුරු මලයන් අතුරෙන් එක්තරා මලයකින්වත් මඩනා ලද සත්ත්‍වයන් අතුරෙහි, රාග, දොෂාදි මලයන් ද, මාත්සර්‍ය්‍යය ද ප්‍රහීණ කොට වාසය කරන්නෙමි යයි ද මෙනෙහි කළ යුතු.

දෙන දෙය යමක් අපේක්‍ෂා නොකොට, අල්වා නොගැනීම් වශයෙන් දෙන්නේ නම්, එය මුදාහරන ලද ත්‍යාගය හෙවත් මුක්ත ත්‍යාගය නම් වේ. දියයුතු දෙය සකස් කොට සියතින් ම දෙන්නේ නම්, හෙතෙම හැම දා සෝදා පිරිසුදු කරගත් අත් ඇත්තේ වේ. හෙවත් පයතපාණි නම් වේ. දෙයධර්‍ම සඞ්ඛ්‍යාත වොස්සග්ගයෙහි නිතර යෙදුනේ වේද, එහි ඇලුණේ වේද එයට වොස්සග්ගරතො යයි කියති. යම් දාන වස්තුවක් යාචකයෝ ඉල්වත් නම් ඒ ඒ දාන වස්තුව දෙන හෙයින් යාචයොග නම් වේ. යමෙක් අනුන්ට දෙනු පිණිස ම සපයා තබා දෙනු ලැබේ ද එය දාන නම්. තමාගේ පරිභෝගයට සැපයූ වස්තුවෙන් බෙදා දෙනු ලබනුයේ සංවිභාග නම් වේ. දානයෙහි ද සංවිභාගයෙහි ද ඇලුණේ සංවිභාගරතො නම් වේ.

මෙසේ දානයාගේ “විගතමලමච්ඡරතාදී ගුණයන්ගේ වශයෙන් තමාගේ දානය මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාගේ සිත රාග, ද්වේෂ, මෝහාදියෙන් නොමඩනා ලදුව, ඍජුව පැවැත්ම කරණ කොට ගෙන ක්ලේශයන් සංසිඳීමෙන් නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය වී ධ්‍යානාඞ්ගයෝ පහළ වෙත්. එවිට ඔහුගේ සිත උපචාර ප්‍රාප්තවේ. ත්‍යාග ගුණ ගැඹුරු හෙයින් ද, නා නා විධ ත්‍යාග ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්‍පණාප්‍රාප්ත නොවේ.

අනුසස් වශයෙන් වනාහි ඔහු බෙහෙවින් ත්‍යාගාධිමුක්තවේ. නිර්ලෝභවේ. මෛත්‍රියට අනුලොම් ව හැසිරේ. විශාරද වේ. ප්‍රීති ප්‍රමොද්‍ය බහුල වේ. මතු මාර්‍ගඵල නොලබන්නේ නම් ඒකාන්තයෙන් සුගති පරායණ වේ.