අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. සීලානුස්සතිය

යම් ශීලයක් රක්නා පුද්ගලයෙකු විසින් තමාගේ ශීලය ආචර්ජනා කොට, මෙනෙහි කොට, භාවනා වශයෙන් වැඩීම සීලානුස්සතිය නම් වේ ඔහු විසින් රහසිගත ව, විවේකව සුදුසු අස්නක හිඳ “අහො වන මෙ සීලානි, අඛණ්ඩානි, අච්ඡිද්දානි, අසබලානි, අකම්මාසානි, භුජිස්සානි, විඤ්ඤුප්පසත්ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි” යනාදී වශයෙන් මෙනෙහි කළ යුතු. එහි අර්ථය නම් සාධු, සාධු, මාගේ සීලය අඛණ්ඩය, අච්ඡිද්‍රය, අසබලය, අකල්මාෂය, භුජිස්සය, විඤ්ඤුප්පසත්ථය, අපරාමට්ඨය, සමාධිසංවත්තනිකය. යෝගාවචර තෙම ගිහියෙක් වී නම්, තමා විසින් රක්නා පඤ්චශීලය හෝ දශශීලය හෝ උපෝසථ සීලය හෝ මෙනෙහි කළ යුතු. පැවිද්දෙක් නම් තමාගේ පැවිදි සිල් සිහි කළ යුතු. මෙසේ තමාගේ සිල් මෙනෙහි කරන කල්හි අඛණ්ඩාදී වශයෙන් ම මෙනෙහි කළ යුතු.

අඛණ්ඩය - කෙළවර බිඳුනු වස්ත්‍රයක් මෙන්, තමාගේ ශීලයෙහි, ශික්‍ෂාපදයන් අතුරෙන් මුලින් හෝ අගින් එක් ශික්‍ෂාපදයකුදු නො කැඩුණේ ද, එය අඛණ්ඩ නම්.

අච්ඡිද්දය - මැද සිදුරු වූ වස්ත්‍රයක මෙන්, මැද එක් ශික්‍ෂාපදයකුදු නොබිඳුණේ නම් එය අච්ඡිද්‍ර නම්.

අසබලය - ශික්‍ෂා පදයන් අතුරෙන් පිළිවෙලින් ශික්‍ෂා පද දෙකක් හෝ තුනක් හෝ නොබිඳුණේ වී නම්, ඒ සීලය, පිට හෝ කුස හෝ නැංගාවූ, දික් වට ආදී සටහන් ඇති සභාග නොවන වර්‍ණයෙන් යුක්තවූ කළු රත් ආදීවූ එක්තරා වර්‍ණයක් ඇති, ගවදෙනක මෙන් සබල නොවන බැවින් අසබල නම් වේ.

අකල්මාෂය - අතරතුරෙන් ශික්‍ෂාපද නො බිඳුණේ නම්, ඔහුගේ ශීලය, කලු, රතු ආදීවූ විසභාග බින්‍දුයෙන් විසිතුරු වූ ගවදෙනක මෙන් කල්මාෂ නොවන හෙයින් අකල්මාෂ නම් වේ.

තවද, සියලු ශික්‍ෂාපදයෝ ම, සප්තවිධ මෛථුන සංයෝගයෙන් ද, ක්‍රෝධ - උපනාහ යනාදී පාපධර්‍මයන්ගේ වශයෙන් ද, උපගත නො වන හෙයින් අඛණ්ඩය, අච්ඡිද්‍රය, අසබලය, අකල්මාෂය වන්නාහ.

භුජිස්සය - අඛණ්ඩාදී ගුණයෙන් යුත් ශීලය, තෘෂ්ණා දාස භාවයෙන් මිදී, ස්වේරී භාවය කරණ හෙයින් භුජිස්සය.

විඤ්ඤුප්පසත්‍ථය - පිරිසුදු වූ ඒ ශීලය බුද්ධාදී නුවණැත්තන් හෙවත් විඥයන් විසින් ප්‍රශංසා කරන ලද හෙයින් විඤ්ඤුප්පසත්‍ථ නම් වේ.

අපරාමට්ඨය - මේ ශීලය කරණ කොට ගෙන මම දෙවියෙක් වන්නෙමි යයි තෘෂ්ණාවෙන් හෝ, ශීලයෙන් ශුද්ධිය වන්නේ යයි කියා දෘෂ්ටියෙන් හෝ පරාමර්ශනය නො කරන ලද ශීලය අපරාමට්ඨ නම් වේ.

සමාධිසංවත්තනිකය - යම් ශීලයක් උපචාරසමාධි, අර්‍පණා සමාධි පිණිස හෝ, මාර්‍ග සමාධි, ඵල සමාධි පිණිස හෝ පවත්නේ නම් එයට සමාධි සංවත්තනිකය යි කියනු ලැබේ.

මෙසේ තමාගේ ශීලය, අඛණ්ඩය, අච්ඡිද්‍රය, අසබලය, අකල්මාසය, භුජිස්සය, විඤ්ඤුප්පසත්‍ථය, අපරාමට්ඨය, සමාධි සංවත්තනිකය යනාදී වශයෙන් මෙනෙහි කරන කල්හි, තමාගේ සිත රාග, ද්වේෂ, මොහාදියෙන් අභිභූත නොව, සෘජුව පවත්නා හෙයින් කෙලෙසුන් සංසිඳී, නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය වීමෙන්, ධ්‍යානාඞ්ග ඉපිද උපචාර ප්‍රාප්ත වන්නේ ය. ශීල ගුණ ගැඹුරු බැවින් ද, ශීල ගුණය පිළිබඳව නා නා විධ අදහස් පහළ වන බැවින් ද ධ්‍යානය අර්‍පණා ප්‍රාප්ත නො වන්නේ ය. උපචාර ධ්‍යානයෙහි ම පිහිටයි.