1. සුපටිපන්න නම් වූ ගුණය
භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සම්‍යක් ප්‍රතිපදාවට ද, අනිවර්ති ප්‍රතිපදාවට ද, අනුලොම ප්‍රති- පදාවට ද, අපච්චනික ප්‍රතිපදාවට ද, ධම්මානුධම්ම ප්‍රතිපදාවට ද මනාකොට පිළිපන් සේක.
සම්‍යක් ප්‍රතිපදාව නම් යහපත් වූ ආර්‍ය්‍ය මාර්ග ප්‍රතිපදාවයි.
අනිවර්ති ප්‍රතිපදා - ප්රතිපක්ෂ වූ ධර්මයන් නැවත හැරී නොඑනසේ දුරු කරන හෙයින් සම්‍යක් ප්රතිපදාවම අනිවර්ති ප්‍රතිපදා නම් වේ.
අනුලොම ප්‍රතිපදා - අවබෝධ කරගත යුතු වූ නිර්වාණයට ඒකාන්තයෙන් ම අනුලොම වන බැවින් අනුලොම ප්‍රතිපදා නම් වේ.
අපච්චනික ප්‍රතිපදා - අනුලොම වන බැවින් ද, විරුද්ධ නොවන බැවින් ද අවිරුද්ධ හෙවත් අපච්චනික ප්‍රතිපදා නම් වේ.
ධම්මානුධම්ම ප්‍රතිපදා - නිර්වාණ ධර්මයට අනුරූප ස්වභාව ප්‍රතිපත්ති වන බැවින් ධම්මානුධම්ම පටිපදා නම් වේ.
ශ්‍රාවකයෝ නම් භාග්‍යවතුන්වහන්සේගේ අවවාද, අනුශාසනා සකසා අසන්නෝයි. කළ වරද දැක කරණ ධර්මදේශනා අවවාදය යි. පසුව පසුව කරණ ධර්මදේශනා හෝ කළ වරද නොදැක ආදියෙහිම කරණ ධර්මදේශනා හෝ අනුශාසනායි. ඒ අවවාද අනුශාසනා පරිදි පිළිපැදීමෙන් කාර්ය්ය සිදුවන බැවින් ආර්‍ය්‍ය භාවයට පමුණුවන ඇසීම සකසා ඇසීම නම් වේ. මෙයින් ආර්ය්යයෝම නිෂ්පර්‍ය්‍යායයෙන් ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ වෙති. ශ්‍රාවකයන්ගේ සමූහය ශ්‍රාවක සඞ්ඝ නමි. ආර්‍ය්‍ය ශීලසමානත්වයෙන් හා ආර්‍ය්‍ය දෘෂ්ටිසමානත්වයෙන් ද සමූහ භාවයට පැමිණි පිරිස ආර්‍ය්‍යසඞ්ඝ නම් වෙත්. මාර්ගස්ථ පුද්ගලයෝ සම්‍යක් ප්‍රතිපත්තියෙන් යුක්ත බැවින් සුප්‍රතිපන්නයහ. ඵලස්ථයෝද සම්‍යක් ප්‍රතිපත්තියෙන් පැමිණිය යුත්තට පැමිණි හෙයින් යථෝක්ත මාර්ග සම්‍යක් ප්‍රතිපත්තිය පිණිස සුප්‍රතිපන්නයහ. ස්වාක්ඛාත වූ ධර්මවිනය දෙක්හි අනුශාසනාවට අනුරූප කොට පිළිපන් හෙයින් ද, අනවද්‍ය ප්‍රතිපදාවට පිළිපන් හෙයින් ද සුප්‍රතිපන්න නම් වේ. මෙසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍ය වූ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න නම් වන සේක.