අභිධර්මාර්ථ ප්‍රදීපිකා

6. සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාර මත්ත

සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය.

සවිතක්ක සවිචාර සමාධිය නම්, උපචාර සමාධිය සහ ප්‍රථම ධ්‍යානයෙහි එකග්ගතාවයයි. ඒ ධ්‍යානයන්හි විතක්ක චිචාර යන ධ්‍යානාඞ්ගයෝ ඇත්තාහ. පඤ්චක නය වශයෙන් ගත් කල්හි ද්විතීය ධ්‍යානයෙහි ඇත්තේ විතක්කය හැර විචාරය පමණෙකි. එහෙයින් එය අවිතක්ක විචාරමත්ත සමාධිය නම්. චතුෂ්කනය වශයෙන් දුතිය ධ්‍යානාදීන්හි ඇති එකග්ගතාවයත්, පඤ්චක නය වශයෙන් තතිය ධ්‍යානාදීන්හි ඇති එකග්ගතාවයත්, අවිතක්ක අවිචාර සමාධි නම්. ඒ ධ්‍යානයන්හි විතක්ක විචාරයෝ නැත.

  1. පීති සහගත සමාධි, සුඛ සහගත සමාධි, උපෙක්ඛා සහගත සමාධි.

චතුෂ්ක නය වශයෙන් ප්‍රථම දුතිය ධ්‍යානයන්හිද, පඤ්චක නය වශයෙන් ප්‍රථම, දුතිය, තතිය ධ්‍යානයන්හිද පීති ධ්‍යානාඞ්ගය ඇති හෙයින් එහි එකග්ගතාවය පීති සහගත සමාධි නම්. චතුෂ්ක නයින් තතිය ධ්‍යානයෙහිද, පඤ්චක නයින් චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහිද ප්‍රීතිය හැර සුඛය යෙදෙන හෙයින් ඒ ධ්‍යානයන්හි ඇති එකග්ගතාවය සුඛ සහගත සමාධි නම්. චතුෂ්ක නයින් චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහිද පඤ්චක නයින් පඤ්චම ධ්‍යානයෙහිද ප්‍රීතියත්, සුඛයත් හැර උපෙක්‍ෂාව ඇති හෙයින් එහි එකග්ගතාවය උපෙක්ඛා සහගත සමාධි නම් වේ. උපචාර සමාධියෙහි මේ ත්‍රිවිධ සමාධීන්ම ලැබෙත්.

  1. පරිත්ත සමාධි, මහග්ගත සමාධි, අප්පමාණ සමාධි.

පරිත්ත සමාධිය නම් උපචාර අවස්ථාවෙහි කාමාවචර කුසල චිත්තයෙහි ඇති එකග්ගතාවයයි. රූපාවචර අරූපාවචර කුසල සම්ප්‍රයුක්ත එකග්ගතාවය මහග්ගත සමාධි නම්. ලොකොත්තර චිත්ත සම්ප්‍රයුක්ත එකග්ගතාවය අප්පමාණ සමාධි නම්.

  1. දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා-දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා -සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා-සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා.

භාවනාව ආරම්භ කළ තැන් පටන් උපචාර සමාධිය උපදින තෙක් පවත්නා යම් භාවනාවෙක් වේද එයට ප්‍රතිපදා යයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් අර්පණාව දක්වා පවත්නා කුසල චිත්ත සම්ප්‍රයුක්ත ප්‍රඥාව අභිඥා නම්.

නීවරණාදි ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ බලවත්වීම ඇති කල්හි ප්‍රතිපදාව ඉතා දුෂ්කර වේ. එබැවින් එය දුක් සහිත හෙයින් දුක්ඛා පටිපදා හෙවත් දුක්වූ ප්‍රතිපදාව නම් වේ. නීවරණාදි ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ බලවත් වීමක් නැති කල්හි ප්‍රතිපදාව සැපවත් වේ. එබැවින් එයට සුඛාපටිපදා හෙවත් සුඛවූ ප්‍රතිපදා යයි කියති. ඇතැම් කෙනෙකුට ප්‍රතිපදාවට පසුව ලැබෙන අභිඥාව දන්‍ධව හෙවත් මදව පවතී. ශීඝ්‍රව නොපවතී එයට දන්‍ධාභිඤ්ඤා යයි කියනු ලැබේ. අභිඥාව ශීඝ්‍රව පැවති කල්හි ඛිප්පාභිඤ්ඤා නම් වේ.

තවද, ප්‍රතිපදාව දුක් සහිත වීමට හෙවත් දුක්ඛාපටිපදා වට උපකාර වන කරුණු නම්-

  1. සප්පාය සේවනය නොලැබීමය.
  2. පළිබොධ සිඳලීම් ආදී පූර්ව කෘත්‍යය සපයා නොගෙන භාවනාවෙහි යෙදීමය.
  3. තෘෂ්ණාව බලවත්වීමය.
  4. පෙර ජාතිවල සමථය මනාකොට පුරුදු නොකළ බවය.
  5. තියුණු වූ කාමච්ඡන්‍දා දී ක්ලේශයන් ඇති බවය.

සුඛා පටිපදා හෙවත් සැප වූ ප්‍රතිපදාවට උපකාරවන කරුණු නම්-

  1. සප්පාය සේවනය ලැබීමය.
  2. පළිබොධ සිඳලීම් ආදී පූර්ව කෘත්‍යය සපයා ගෙන භාවනාවෙහි යෙදීමය.
  3. තෘෂ්ණාව බලවත් නොවීමය.
  4. පූර්‍ව ජන්මයන්හි පුරුදු කළ සමථය ඇති බවය.
  5. මදවූ කාමච්ඡන්‍දාදි කෙලෙස් ඇති බවය.

දන්ධාභිඤ්ඤා හෙවත් මදවූ ප්‍රඥාවට උපකාරවන කරුණු නම්-

  1. අර්‍පණා කෞශල්‍යය සම්පාදනය කර නොගැනීමය.
  2. අවිද්‍යාව බලවත්වීමය.
  3. පූර්‍ව ජන්මයන්හි විදර්‍ශනාව පුරුදු නොකළ බවය.
  4. මෘදුවූ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇති බවය.

ඛිප්පාභිඤ්ඤාවට හෙවත් ශීඝ්‍රවූ ප්‍රඥාවට උපකාර වන කරුණු නම්-

  1. අර්‍පණා කෞශල්‍යය සම්පාදනය කර ගැනීමය.
  2. අවිද්‍යාව බලවත් නොවීමය.
  3. පූර්‍ව ජන්මයන්හි පුරුදු කළ විදර්‍ශනා ඇති බවය.
  4. තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇති බවය.

මෙසේ දුක්වූ ප්‍රතිපදාවෙන් හා දන්‍ධ අභිඥාවෙන් ලබන සමාධිය දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නම් වේ.

දුක්වූ ප්‍රතිපදාවෙන් හා ශීඝ්‍ර අභිඥාවෙන් ලබන සමාධිය දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා නම් වේ.

සැපවූ ප්‍රතිපදාවෙන් හා දන්‍ධ අභිඥාවෙන් ලබන සමාධිය සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා නම් වේ.

සැපවූ ප්‍රතිපදාවෙන් හා ශීඝ්‍ර අභිඥාවෙන් ලබන සමාධිය සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා නම් වේ.

  1. පරිත්ත පරිත්තාරම්මණ සමාධිය, පරිත්ත අප්ප- මාණාරම්මණ සමාධිය, අප්පමාණපරිත්තාරම්මණ සමාධිය, අප්පමාණ අප්පමාණාරම්මණ සමාධිය.

ප්‍රගුණ නොකළ, වසඟ කර නොගත්, මතු ධ්‍යාන ලැබීම පිණිස ප්‍රත්‍යය වීමට සමත් නොවූ සමාධිය පරිත්ත සමාධි නමි.

ප්‍රගුණ කළ, වසඟ කරගත්, මතු ධ්‍යාන ලැබීම පිණිස ප්‍රත්‍යය වීමට සමත්වූ සමාධිය අප්පමාණ සමාධි නමි.

නොවඩනලද කසිණාරම්මණයෙහි පැවති සමාධිය පරිත්තාරම්මණ සමාධියයි.

වඩනලද කසිණාරම්මණයෙහි පැවති සමාධිය අප්පමාණාරම්මණ සමාධියයි.

මෙසේ පරිත්ත වූද, පරිත්තාරම්මණ වූද සමාධිය පරිත්ත පරිත්තාරම්මණ සමාධි නම් වේ.

පරිත්ත වූද, අප්‍රමාණාරම්මණ වූද, සමාධිය – පරිත්ත- අප්පමාණාරම්මණ සමාධි නම් වේ.

අප්‍රමාණ වූද, පරිත්තාරම්මණ වූද සමාධිය අප්පමාණ- පරිත්තාරම්මණ සමාධි නම් වේ.

අප්‍රමාණ වූද, අප්‍රමාණාරම්මණ වූද සමාධිය අප්පමාණ- අප්පමාණාරම්මණ සමාධි නම් වේ.

  1. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්‍ත්‍ථ ධ්‍යානය.

ධ්‍යානාඞ්ගයන්ගේ වශයෙන් සමාධිය සතර වැදෑරුම් වේ.

කාමච්ඡන්‍දාදි පඤ්චනීවරණ ධර්‍මයන් විෂ්කම්භනය කරන විතර්‍ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග පඤ්චකයෙන් යුත් සමාධිය ප්‍රථම ධ්‍යාන නම් වේ.

විතක්ක, විචාරයන් සංසිඳුවා ප්‍රීති, සුඛ, එකග්ගතා යන අඞ්ග තුනෙන් යුත් සමාධිය දුතිය ධ්‍යාන නම් වේ.

ප්‍රීතියද සංසිඳීමෙන් සුඛ, එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුත් සමාධිය තෘතීය ධ්‍යාන නම් වේ.

සුඛය සංසිඳුවීමෙන් උපෙක්‍ෂා, එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුත් සමාධිය චතුර්ථ ධ්‍යාන නම් වේ.

  1. හාන භාගීය, ඨිති භාගීය, විසෙස භාගීය, නිබ්බෙධ භාගීය සමාධි.

ප්‍රථම ධ්‍යාන ලාභීහට කාමාස්වාදයෙන් කාමාරම්මණයන්ගේ සංඥා මනස්කාරයෝ පවතිත් නම්, එය පරිහානිය සේවනය කළ ප්‍රඥාව බැවින් එයට හාන භාගීය සමාධිය යයි කියනු ලැබේ. ධ්‍යානයට ප්‍රතිපක්‍ෂවූ නිවරණාදියගේ පැවැත්ම ඇති හෙයින් පිරිහීම සේවනය කරන්නේ වේ.

පිරිහීමක් හෝ වැඩීමක් නොමැතිව ස්මෘතියගේ පැවැත්මෙන් ස්ථිතිය සේවනය කළ සමාධිය ඨිති භාගීය සමාධි නම් වේ.

අවිතර්‍කාලම්බනවූ සංඥා මනස්කාරයන්ගේ පැවැත්මෙන් මතු විශේෂාධිගමයට ප්‍රත්‍යය වන වැඩීම, සේවනය කළ සමාධිය විසෙස භාගීය සමාධි නම් වේ.

ආදීනව දර්‍ශනයෙන් නිබ්බිදාසහගත සංඥා මනස්කාරයන්ගේ වශයෙන් නිවන සේවනය කළ සමාධිය නිබ්බෙධ භාගීය සමාධි නම්.

  1. කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, අපරියාපන්න සමාධි.

උපචාර වශයෙන් පවත්නා කාමාවචර කුසල චිත්තයන්හි එකග්ගතාවය කාමාවචර සමාධි නම්.

රූපාවචර කුසල චිත්තයන්හි පවත්නා එකග්ගතාවය රූපාවචර සමාධි නම්.

අරූපාවචර කුසල චිත්තයන්හි පවත්නා එකග්ගතාවය අරූපාවචර සමාධි නමි.

ලොකොත්තර කුසල චිත්තයන්හි පවත්නා එකග්ගතාවය අපරියාපන්න සමාධි නමි.

  1. ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, වීමංසා සමාධි.

ඡන්දය අධිපතිකොට වඩාගත් චිත්තෙකග්‍රතා සඞ්ඛ්‍යාත සමාධිය ඡන්ද සමාධි නමි.

වීර්‍ය්‍යය අධිපතිකොට වඩාගත් චිත්තෙකග්‍රතා සඞ්ඛ්‍යාත සමාධිය විරිය සමාධි නමි.

චිත්තය අධිපතිකොට වඩාගත් චිත්තෙකග්‍රතා සඞ්ඛ්‍යාත සමාධිය චිත්ත සමාධි නමි.

ප්‍රඥාව අධිපතිකොට වඩාගත් චිත්තෙකග්‍රතා සඞ්ඛ්‍යාත සමාධිය වීමංසා සමාධි නමි.

  1. ප්‍රථම ධ්‍යාන සමාධි, ද්විතීය ධ්‍යාන සමාධි, තෘතිය ධ්‍යාන සමාධි, චතුර්‍ත්‍ථ ධ්‍යාන සමාධි, පඤ්චම ධ්‍යාන සමාධි.

විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග පසෙන් යුත් ප්‍රථම ධ්‍යානය - ප්‍රථම ධ්‍යාන සමාධි නමි.

විතර්‍කය හැර විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග සතරෙන් යුත් ද්විතීය ධ්‍යානය - ද්විතීය ධ්‍යාන සමාධි නමි.

පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග තුනෙන් යුත් තෘතිය ධ්‍යානය - තෘතිය ධ්‍යාන සමාධිය නමි.

සුඛ, එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුත් චතුර්‍ත්‍ථධ්‍යානය චතුර්‍ත්‍ථ ධ්‍යාන සමාධි නමි.

උපෙක්ඛා, එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුත් පඤ්චම ධ්‍යානය - පඤ්චම ධ්‍යාන සමාධි නමි.