අභිධර්මාර්ථ ප්‍රදීපිකා

1. උපචාර සමාධි සහ අර්‍පණා සමාධි

කර්‍මස්ථානයක් ගෙන භාවනායෙහි යෙදී සිටින යෝගාවචරයා හට යම් කලෙක උද්ග්‍රහ නිමිත්ත ඉපිද එය නැවත නැවත වැඩීමෙන් ආවර්‍ජනා කිරීමෙන් ක්‍රමයෙන් කාමච්ඡන්‍දා දී නීවරණ ධර්‍මයන් විෂ්කම්භනයවී කෙලෙස් සංසිඳී, ප්‍රතිභාග නිමිත්ත වැටහුනේවී නම්, එකල ඔහුගේ සිත උපචාර සමාධියෙන් සමාහිත වූයේ යයි කියනු ලැබේ. උපචාර සමාධි අවස්ථාවෙහි උපදනා ධ්‍යානාඞ්ගයෝ ශක්ති සම්පන්න නොවෙති. ඇතැම් විටෙක සිත නිමිත්ත අරමුණු කරන්නේය. ඇතැම් විටෙක භවාඞ්ගයට බස්නේය.

මේ උපචාර සමාධිය අර්‍පණා සමාධියට පූර්‍ව භාගයෙහි ලැබෙන්නේය. තවද සතළිස් (40) කමටහන් අතුරෙන්, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, ආහාරෙහි පටික්කූලසඤ්ඤා, චතුධාතු වවත්‍ථාන යන දශවිධ කර්‍මස්ථානයන් වඩා ලැබිය හැකි සමාධිය උපචාර සමාධියයි. එයින් අර්‍පණා සමාධිය ලැබිය නොහැකි වේ.

අර්‍පණා සමාධිය නම් ගොත්‍රභූ සඞ්ඛ්‍යාත පරිකර්‍මයට අනතුරුව ලැබෙන ප්‍රථම ධ්‍යානාදිවූ මහග්ගත චිත්තයන්හි සම්ප්‍රයුක්ත බලවත් එකග්ගතාව යයි. මේ අවස්ථාවෙහි උපදනා ධ්‍යානාඞ්ගයෝ ශක්ති සම්පන්න වෙති. උපචාර අවස්ථාවෙහිදී මෙන් දුර්‍වල නොවෙත්.

උපචාර සමාධි අවස්ථාවෙහිදී සිත සමාහිත වන්නේ කාමච්ඡන්‍දා දී නීවරණ ධර්‍මයන්ගේ විෂ්කම්භන ප්‍රහාණයෙන් බවත් අර්‍පණා සමාධි අවස්ථාවෙහිදී සිත සමාහිත වන්නේ ධ්‍යානාඞ්ගයන්ගේ බලවත් වීමෙන් බවත් දතයුතු.