අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දස අසුභ කර්‍මස්ථාන භාවනා

උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛාසිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික යයි අසුභයෝ දසවිධ වෙත්.

මේ දසවිධ අසුභයන් අතුරෙන් උද්ධුමාතකය නම් ඉදිමීගිය මළසිරුරය. විනීලකය නම් උස්මස් ඇතිතැන්හි රතු වර්‍ණයෙන් ද, සැරව රැස්ව සිටි තන්හි සුදු පැහැයෙන් ද බොහෝ නිල් පැහැති තන්හි නීලවර්‍ණයෙන් ද යුක්ත වූ මළ සිරුර ය. විපුබ්බකය නම් සැරව වැගිරෙන මළ සිරුර ය. විච්ඡිද්දකය නම් මැදින් දෙකඩ කොට කැපීමෙන් දෙපලු මළ සිරුර ය. වික්ඛාසිතකය නම් බලු, කැණහිල් ආදීන් විසින් තැනින් තැන කඩා කන ලද මළ සිරුර ය. වික්ඛිත්තකය නම් අත් තැනකය, පා අන්තැනෙකය, හිස අන් තැනකයයි මෙසේ අවයවයන් ඒ ඒ තැන විසිරීගිය මළ සිරුරය. හතවික්ඛිත්තකය නම් ආයුධයෙන් කොටා අඞ්ගප්‍රත්‍යඞ්ගයන් ඒ ඒ තැන විසුරු වන ලද මළ සිරුර ය. ලෝහිතකය නම් වැගිරෙන ලේ වැකුණු මළ සිරුරය. පුලවකය නම් පණුවන් වැගිරෙන මළ සිරුරය. අට්ඨිකය නම් ඇටසැකිල්ලය.

උද්ධුමාතකාදී වූ මේ අසුභයන් අරමුණු කිරීමට අමුසොහොන් ආදියෙහි දැමූ මෘත ශරීරයන් හමු විය යුතු. මෙකල එවැනි මළ සිරුරු දක්නට නො ලැබෙන හෙයින් අශුභ කර්‍මස්ථානය වැඩීම දුෂ්කර නමුත් එය වඩන ආකාරය දැන සිටීම ප්‍රයෝජන වන හෙයින් එහි විස්තරය සංක්‍ෂෙපයෙන් දක්වනු ලැබේ.

දස අසුභ කර්මස්ථානයන් අතුරෙන් යම් කිසි කර්මස්ථානයක් වඩනු කැමති යෝගාවචර තෙම, පඨවිකසිණ යෙහි කී පරිදි සියලු පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කොට, ආචාර්‍ය්‍යයන් වහන්සේ වෙතින් කමටහන පිළිබඳ සියලු දතයුතු දෙය මනාකොට ඉගෙන භාවනාවට සුදුසු විසභාග නොවූ සිරුරක් සොයා ගන්නේ ය. පුරුෂයා හට ස්ත්‍රී සිරුර ද, ස්ත්‍රීහට පුරුෂ සිරුර ද විසභාග වේ. භාවනාව පිණිස පිටත්වීමට පෙර තම ආචාර්‍ය්‍යයන්ට හෝ එම ස්ථානයෙහි වසන අන්‍ය වූ කෙනෙකුට හෝ දන්වා යායුතු. එසේ යන්නා වූ හෙතෙම නුමුළාව, එළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර වූ ඉන්‍ද්‍රියන් ඇතිව, ගිය ආ මග සලකමින් හුදකලාව ගොස් ඒ නිමිත්ත තිබූ පෙදෙසෙහි පිහිටි ගල්, රුක්, තුඹස්, පඳුරු ආදිය ඇත් නම් එය නැවත නැවත ව්‍යවස්ථා කිරීම් වශයෙන් සනිමිත්ත කරමින් ද, අශුභ නිමිත්ත හා ඒ ගල් ආදිය, දෙක දෙක, එක්කොට ව්‍යවස්ථා කිරීම් වශයෙන් සාරම්මණ කරමින් ද වර්‍ණ, ලිඞ්ග, සණ්ඨාන, දිසා, ඕකාස, පරිච්ඡේද, සන්ධි, විචර, නින්න, ථල, සමන්ත යන එකොළොස් ආකාරයෙන් අරමුණ මනාව ගෙන, එළඹ සිටි සිහියෙන් යුක්තව ම ආගිය මග සලකමින් හුදකලාව යා යුතු. සක්මන් කරණ කල්හි ද හිඳින කල්හි ද අසුභ නිමිත්ත සිහි කරමින් ම සක්මන් කළ යුතු. හිඳිය යුතු. මේ ප්‍රතිපදායෙන් ජරාමරණයෙන් මිදෙන්නෙමියි අධිෂ්ඨාන කොට ගෙන, කර්මස්ථානය වඩන යෝගාවචරයා උපචාර සමාධි ලබා රූපාවචර ප්‍රථමධ්‍යානය ද ලබා ගෙන වාසය කරන්නේ ය.

වර්‍ණ වශයෙන් නිමිත්ත ගැනීම නම් මේ සිරුර සුදු, කළු යනාදී වශයෙන් මෙබඳු වූ පුද්ගලයෙකු ගේ යයි ව්‍යවස්ථා කිරීමයි. මේ සිරුර ස්ත්‍රියෙකු ගේ හෝ පුරුෂයෙකුගේ හෝ කියා ද, ප්‍රථම, මධ්‍යම, පශ්චිම වයස්හි පිහිටි අයකුගේ යයි ද ව්‍යවස්ථා කිරීම ලිඞ්ග වශයෙන් නිමිත්ත ගැනීම වේ. මේ හිස් සටහනය, මේ ග්‍රීවා සටහනය මේ අත් සටහනය යනාදී වශයෙන් ව්‍යවස්ථා කිරීම සණ්ඨාන වශයෙන් නිමිත්ත ගැනීමයි. සිරුරෙහි, මෙය නැබින් යට වූ යට දිශාවය, මෙය නැබින් උඩවූ උඩ දිශාවය අසුභ නිමිත්ත මේ දිසාවෙහි ය යනාදී වශයෙන් ව්‍යවස්ථා කිරීම දිශා වශයෙන් නිමිත්ත ගැනීම නම් වේ මේ අවකාශයෙහි අත්ය, මේ අවකාශයෙහි පාදයෝය යනාදී වශයෙන් අශුභ නිමිත්ත ව්‍යවස්ථා කිරීම අවකාශ වශයෙන් නිමිත්ත ගැනීම නම් වේ. මේ සිරුර යට පතුලින් උඩ කෙසගින් ද, සරස සිවියෙන් ද සීමාවිය. එහි තුළ දෙතිස් කුණපයෝ ය යනාදී වශයෙන් අශුභ නිමිත්ත ව්‍යවස්ථා කිරීම පරිච්ඡේද වශයෙන් නිමිත්ත ගැනීමවේ. පෙර සම්බුද්ධශාසනයන්හි කමටහන් පුරුදු කළ, සංස්කාර පරිග්‍රහ කළ, නාම-රූප ව්‍යවස්ථා කළ, මේරූ කුසල බීජයන් ඇති, මද කෙලෙස් ඇති පුද්ගලයෙකු මෙසේ සය ආකාරයකින් අරමුණු ගෙන භාවනා කළ හොත් ඕහට ප්‍රතිභාග නිමිත්ත වැටහෙන්නේ ය. එසේත් නො වැටහෙන්නේ නම් සන්ධි ආදී පස් ආකාරයෙන් නිමිත්ත වැඩිය යුතු.

සිරුරෙහි ඇති එක්සිය අසූවක් පමණ වූ සන්ධි අතුරෙන් ප්‍රකට වූ දකුණතෙහි වූ දසරු සන්ධි, වැලමිට සන්ධි, මනිබන්ධ සන්ධි යන සන්ධි තුනය, වමතෙහි වූ එම සන්ධි තුනය, දකුණු පයෙහි වූ කටී සන්ධි, දණ සන්ධි බොලට සන්ධි යන සන්ධි තුන හා වම් පයෙහි ඇති එම සන්ධි තුනය යනාදී වශයෙන් සන්ධි ව්‍යවස්ථා කිරීම සන්ධි වශයෙන් නිමිත්ත ගැනීම වේ. දකුණත හා දකුණැල අතර විවරය. වමත සහ වම්ඇල අතර විවරය, දෙපා අතර විවරය යනාදී වශයෙන් විවර ව්‍යවස්ථා කිරීම විවර වශයෙන් නිමිත්ත ගැනීම ය. මේ ඇස් වළ ය, මේ ඇතුළු මුව වළ ය, මේ ගළ වළ ය යනාදී වශයෙන් වළතැන් ව්‍යවස්ථා කිරීම නින්න වශයෙන් නිමිත්ත ගැනීම ය. දණ, නළල, ළය ආදී වශයෙන් උස් තැන් වළගොඩ තැන් ව්‍යවස්ථා කිරීම ථල වශයෙන් නිමිත්ත ගැනීම ය. මුළු සිරුරම හාත්පසින් ව්‍යවස්ථා කිරීම සමන්ත වශයෙන් නිමිත්ත ගැනීම ය.

මෙසේ සිරුර ව්‍යවස්ථා කොට, ශරීරයට ඉතා ළං නොවූ ඉතා දුර නොවූ තැන හිඳ, ඇස දල්වා බලා “උද්ධුමාතක අසුභය, උද්ධුමාතක අසුභය” යනාදී වශයෙන් භාවනා කොට ඇස පියාගෙන ද ආවර්ජනා කරණ කල්හි එම නිමිත්ත වැටහෙන්නේ නම් උග්ගහ නිමිත්ත මනාකොට ගන්නා ලද්දේ වේ. මෙසේ ලබාගත් උග්ගහ නිමිත්ත උපකාර කොට ගෙන නැවත නැවත භාවනා කරණ යෝගාවචරයාහට ප්‍රතිභාග නිමිත්ත ද, එයට ඉක්බිති ව අර්පණාව ද ලැබෙන්නේ ය. ඔහු උත්සාහ ගන්නේ නම් විදර්ශනා වඩා අර්හත්‍වය ද ලබා ගත හැකි වේ.

අසුභ භාවනායෙන් ප්‍රතිභාග නිමිත්ත ලත් කල්හි බාහිර වූ කාම සංඥාව දුරු වන හෙයින් විෂ්කම්භන වශයෙන් කාමච්ඡන්‍දය දුරුවන්නේ ය. කාමච්ඡන්‍දය දුරුවීම සමගම ව්‍යාපාදය ද ප්‍රහීණ වේ. ආරබ්ධ වීර්‍ය්‍ය ඇති බැවින් ථීනමිද්ධය ද, ශාන්ත ධර්‍මයන්ගේ ශක්තියෙන් උද්ධච්ච-කුක්කුච්චය ද, බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ප්‍රතිපත්තිය කෙරෙහිත් ඵලය කෙරෙහිත් විචිකිච්ඡාව ද ප්‍රහීණ වෙත්. ඒහා සමගම විතර්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා යන ධ්‍යානාඞ්ගයෝ ද පහළ වෙත්. එහෙයින් හෙතෙම උපචාරධ්‍යානය ද, රූපාවචර ප්‍රථමධ්‍යානය ද උපදවා ගන්නේ ය.

විනීලක අසුභයක් දක්නේ නම් “විනීලක පටික්කූලය විනීලක පටික්කූලය, යනාදී වශයෙන් ද, විපුබ්බක යෙහිදී විපුබ්බක පටික්කූලය - විපුබ්බක පටික්කූල යයි ද, විච්ඡිද්දක යෙහි දී විච්ඡිද්දක පටික්කූලය - විච්ඡිද්දක පටික්කූලය යයි ද, වික්ඛායිතකයෙහි දී, වික්ඛායිතක පටික්කූලය, වික්ඛායිතක පටික්කූලය යයි ද, වික්ඛිත්තකයෙහි දී, වික්ඛිත්තක පටික්කූලය, වික්ඛිත්තක පටික්කූලය යයි ද, හතවික්ඛිත්තකයෙහි දී, හතවික්ඛිත්තක පටික්කූලය, හතවික්ඛිත්තක පටික්කූලය යයි ද, ලොහිතකයෙහි දී, ලොහිතක පටික්කූලය, ලොහිතක පටික්කූලය යයි ද, පුළවකයෙහි දී පුළවක පටික්කූලය, පුළවක පටික්කූලයයි ද, අට්ඨිකයෙහි දී, අට්ඨික පටික්කූලය, අට්ඨික පටික්කූලය යයි ද, අරමුණ වැඩිය යුතු වේ.

මේ දස අසුභයන් අතුරෙන් ඒ ඒ අසුභයෝ ඒ ඒ රාගචරිතයන්ට සප්පාය වන පිළිවෙල මෙසේ යි.

උඩුමාතකය, ශරීර සටහනෙහි විපත්තිය ප්‍රකාශ කරණ හෙයින් සණ්ඨාන රාගීන්ට සප්පාය වේ.

විනීලකය, ඡවිචර්‍ණයාගේ විපත්තිය ප්‍රකාශ කරණ හෙයින් ශරීරවර්‍ණයෙහි රාගය ඇති පුද්ගලයන්ට සප්පාය වේ.

විපුබ්බකය, දුර්ගන්‍ධය ප්‍රකාශ කරණ හෙයින් සුවඳ ගැනීමෙහි ඇලුණු ශරීරගන්‍ධරාගීන්ට සප්පාය වේ.

විච්ඡිද්දකය, ශරීරයෙහි සිදුරු ඇති බව ප්‍රකාශ කරණ හෙයින් අඞ්ගප්‍රත්‍යාඞ්ග පිළිබඳ ඝන භාවය නිසා උපදනා රාග ඇත්තවුන්ට සප්පාය වේ.

වික්ඛාසිතකය, මස්වැඩි තන්හි සැපත විනාශ වන සැටි ප්‍රකාශ කරණ හෙයින් ශරීරයෙහි මස් වැඩිතැන් නිසා උපදනා රාගය ඇතියවුන්ට සප්පාය වේ.

වික්ඛිත්තකය, අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගේ වික්‍ෂේපය ප්‍රකාශ කරණ හෙයින් අඞ්ගප්‍රත්‍යඞ්ග පිළිබඳ ලීලා රාගීන්ට සප්පාය වේ.

හතවික්ඛිත්තකය, අවයව එක්ව බැඳී ඇති ශරීරයෙහි භේදය ප්‍රකාශ කරණ හෙයින් අවයව එක්වීමෙන් හටගන් ශරීරය එකක් කොට සලකා රාගය උපදවාගන්නවුන්ට සප්පාය වේ.

ලොහිතකය, ලේවැකීමෙන් පිළිකුල් බව ප්‍රකාශ කරණ හෙයින් අලඞ්කාරයෙන් ඇති වූ ශෝභායෙහි රාගය ඇත්ත වුන්ට සප්පාය වේ.

පුළවකය, සිරුර පණුවන්ට සාධාරණ බව ප්‍රකාශ කරණ හෙයින් ශරීරයෙහි මමත්‍වයෙන් හටගත් රොගින්ට සප්පාය වේ.

අට්ඨිකය, ඇට පිළිබඳ පිළිකුල ප්‍රකාශ කරණ හෙයින් දත් හි රාගය ඇත්තවුන්ට සප්පාය වේ.

දසවිධවූ මේ අශුභාරම්මණය පිළිකුල් බැවින් එහි සිත රඳවා ගැනීම ඉතා දුෂ්කරය. බලවත් වූ විතර්‍කයෙන්ම සිත පිහිටුවා ගත යුතු බැවින් අශුභ භාවනාවෙන් විතර්‍කය සහිතවූ ප්‍රථම ධ්‍යානය පමණක් ලබා ගත හැකි වේ. විතර්‍කය ලැබෙන කල ද්විතීය ධ්‍යානාදිය නොලැබේ. අරමුණ පිළිකුල් වූවත් අශුභ භාවනාවගේ ආනිශංසය වශයෙන් ජරා මරණයෙන් මිදීමට මේ ප්‍රතිපදාව උපකාරවන්නේයයි ගැනීමෙන් ද, නීවරණ ධර්‍මයන්ගේ විෂ්කම්භන ප්‍රහාණය වන බැවින් ද ප්‍රථම ධ්‍යාන අවස්ථාවෙහි දී ප්‍රීතිය ලැබෙන්නේ ය.

මළ සිරුරෙහි මෙන්ම ජීවමාන ශරීරයෙහි ද මේ අශුභ ලක්‍ෂණයෝ ඇත්තාහ. අපිරිසුදු බවය, දුර්‍ගන්‍ධ බවය, නින්‍දිත බවය යනාදිය අශුභයාගේ ලක්‍ෂණයෝය. ආගන්තුක අලංකාරයෙන් සැරසී සිටින හෙයින් ජීවමාන ශරීරයෙහි මේ ලක්‍ෂණයෝ ප්‍රකට නොවෙති. මේ ශරීරයෙහි සම්, මස්, ඇට, නහරාදි කුණපයෝ ඇත්තාහ. නව සිදුරු වලින් නිතර කුණු වැගිරෙන්නාහ. ඩහදිය, සෙම් සොටු, මළමුත්‍ර වැගිරෙන්නාහ නොයෙක් රොගාබාධයන්ට සාධාරණයහ. දුකසේ බොහෝ වෙහෙස දරා රැකගත යුතුය. යම් කලෙක මේ කයෙහි ඇතුළු පැත්ත පිටතට හැරුණේ නම් කවුඩන් බල්ලන් එළවන්නට දඬු මුගුරු ගතයුතු වන්නේ ය. මේ ආදි වශයෙන් මෙනෙහි කරන්නාහට ජීවමාන ශරීරයෙහි ද පිළිකුල් බව වැටහෙන්නේ ම ය. එබැවින් නුවණ ඇති පුද්ගල තෙමේ, මළ සිරුරෙහි හෝ වේවා, ජීවමාන සිරුරෙහි හෝ වේවා, අන් තැනෙක හෝ වේවා, අශුභ ලක්‍ෂණය වැටහෙන්නේ නම් එහි අශුභ කර්‍මස්ථානය වඩා අර්‍පණා ප්‍රාප්ත වන්නේ ය.