අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කසිණ ඵල

  1. දස කසිණයන් අතුරෙන් පඨවි කසිණය වනාහි අභිඥාලාභී පුද්ගලයාගේ ඍද්ධිය පෑමේ දී, එකෙක් ව බොහෝ දෙන වීමට ද, අහස හෝ ජලයෙහි හෝ පොළෝ මවා එහි පයින් ගමන් කිරීම, සිටීම, හිඳීම ආදී ක්‍රියාවන්ට ද උපකාර වේ.
  2. ආපො කසිණයෙන් පොළොවෙහි දිය, වැසි, ගංගා, මුහුදු මැවීම එහි කිමිදීම යනාදියට උපකාරය ලැබේ.
  3. තෙජො කසිණයෙන්- ගිනි, දුම්, අඟුරු, වැසි ඉපදවීම ද, තමාගේ තෙජසින් පරතෙජස ක්‍ෂය කිරීම ද, කපු පුළුන් දර ආදිය රැස් කොට එයින් කැමති දේ දවන්නට සමත්වීම, දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් රූපයන් දක්නා පිණිස ආලෝක කිරීම, පිරිනිවන් සමයෙහි තෙජො ධාතුවෙන් ශරීරය දවාලීම යනාදිය කළ හැකි වේ.
  4. වායෝ කසිණයෙන් වායුව මෙන් ශීඝ්‍රව යාම, වාත, වැසි උපදවීම යනාදිය කළ හැකි වේ.
  5. නීලකසිණයෙන් නිල් රූප මැවීම, අන්‍ධකාර කිරීම, යනාදිය කළ හැකි වේ.
  6. පීත කසිණයෙන් රන්වන් රූප මැවීම, රන් වේවායි අධිෂ්ඨාන කිරීම යනාදිය කළ හැකි වේ.
  7. ලොහිත කසිණයෙන් රතු රූප මැවීම ආදිය කළ හැකි වේ.
  8. ඔදාත කසිණයෙන් සුදු රූප මැවීම, ථීනමිද්ධය දුරු කිරීම, අන්‍ධකාරය නැසීම, දිවැසින් රූපයන් දකිනු පිණිස ආලෝක කිරීම ද කළ හැකි වේ.
  9. ආලෝක කසිණයෙන් ප්‍රභාස්වර රූප මැවීම, ථීනමිද්ධය දුරු කිරීම, අන්‍ධකාරය නැසීම, දිවැසින් රූප දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය කළ හැකි වේ.
  10. ආකාස කසිණයෙන් මුවහ වූ වස්තු ප්‍රකාශ කිරීම, පොළොවෙහි හෝ පර්‍වතාදියෙහි හෝ අහස් මවා ඉරියව් පැවැත් වීම, බිත්ති ආදියෙන් පිටත නොපැකිළ යාම යනාදිය කළ හැකි වේ.

ආනන්තරික කර්‍මාදිය කිරීම කරණ කොට ගෙන කර්‍මාවරණයෙන් යුක්ත වූ පුද්ගලයෝ ද, නියත මිථ්‍යාදෘෂ්ටිය ගැනීමෙන් සහ උභතොබ්‍යඤ්ජනක පණ්ඩක වීමෙන් ක්ලේශාවරණයෙන් යුක්ත වූවෝ ද, අහේතුක, ද්විහේතුක ප්‍රතිසන්‍ධි ලැබීමෙන් විපාකාවරණයෙන් යුක්ත වූවෝ ද, බුද්ධාදීන් කෙරෙහි ශ්‍රද්ධා නැත්තෝ ද, මාර්‍ගානුලෝම ප්‍රතිපදායෙහි කත්තුකම්‍යතාඡන්ද නැත්තෝ ද, ලෞකික ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටි සඞ්ඛ්‍යාත ප්‍රඥා නැත්තෝ ද, යන මොව්හු කසිණ භාවනායෙන් ප්‍රතිඵල ලබන්නෝ නො වෙති.

ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධියක් ලබාගත් තැනැත්තේ කර්‍මාවරණයන් හා ක්ලේශාවරණයන් ද දුරු කොට, සද්ධර්‍මය ශ්‍රවණය හා සත්පුරුෂ සේවනය කිරීමෙන් ශ්‍රද්ධාව ද, කත්තුකම්‍යතා ඡන්‍දය ද, ප්‍රඥාව ද වඩා භාවනා විධි නො පිරිහෙලා කසිණ භාවනා කරන්නේ නම් ඕ හට භාවනාව සමෘද්ධවීමත් යට කියන ලද කසිණ භාවනා ඵල ලැබීමත් ඒකාන්තයෙන් සිදුවන්නේ ය.