තෙජො කසිණ භාවනාව
තෙජො කසිණ භාවනායෙහි දී තෙජො නිමිත්ත ගතයුතු. පෙර ආත්මභාවයන්හි තෙජො කසිණය වඩා මනා පුරුද්දක් ඇති පුද්ගලයාහට පහන් සිළු, උදුන, ලැව් ගින්න යනාදී තන්හි ගිනිසිළු බලත් ම නිමිත්ත උපදී. එසේ පූර්‍වකෘත්‍ය නැති තැනැත්තා විසින් එය පිළියෙල කරගත යුතු වේ. සිනිඳු වූ හර ඇති වියළි දර පලා කැබලි කොට සුදුසු තැනකට රැස් කොට ගිනි දල්වා ගත යුතුයි. ඉක්බිති සමක හෝ වස්ත්‍රයක හෝ එක්වියත් සතරඟුල් පමණ සිදුරක්කොට දැල්වෙන ගින්න ඉදිරියේ තබාගෙන එහි දර, දුම් ආදිය මෙනෙහි නො කොට මැද සිදුරෙන් පෙනෙන ගිනි දැල්ලෙහි ම නිමිත්ත ගත යුතු. ඒ නිමිත්තෙහි ද වර්ණය හෝ උෂ්ණත්‍වය හෝ මෙනෙහි නොකොට, තේජය උත්සන්න වීමෙන් පවත්නා සසම්භාර තේජසයෙහි තේජස යන ප්‍රඥප්තිය ම මෙනෙහි කොට තේජො - තේජො යයි භාවනා කළ යුතු. මෙසේ භාවනා කරත්ම යට කියන ලද පරිදි උද්ග්‍රහ ප්‍රතිභාග නිමිති උපදී. මෙයින් උද්ග්‍රහ නිමිත්ත ගිනිදැල් කැඩි කැඩී වැටෙන්නාසේ වැටහෙයි. ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි නිශ්චල ව වැටහෙයි. එසේ නිමිත්ත වැටහෙන කල්හි යෝගාවචර තෙම උපචාර අර්පණාධ්‍යාන උපදවා ගන්නේ ය.