අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආපො කසිණ භාවනාව

ආපො කසිණ නිමිත්ත වැඩීමට පෙර පඨවි කසිණයට කියන ලද ආකාරයෙන් සියලුම පූර්‍ව කෘත්‍යයන් සම්පූර්‍ණ කළ යුතු. මෙහිදී තමා විසින් සකස් කරගත් හෝ ප්‍රකෘතියෙහි පිහිටි හෝ ජලයෙහි නිමිත්ත ගත යුතුයි. පෙර ආත්ම භාවයන්හි ආපො කසිණය වඩා මනා පුරුද්දක් ඇති පුද්ගලයන්හට පොකුණු, විල්, කලපු, මුහුදු ආදී තන්හි පිහිටි ජලයෙහි ම නිමිත්ත උපදී. එසේ පෙර ආපො කසිණ නො වඩන ලද පුරුදු නොකළ, පුද්ගලයන්හට වනාහි කසිණ දෝෂයන් හැර නීල, පීත, ලොහිත, ඕදාත යන සිව් පැහැ ඇති ජලය නොගෙන, ශුද්ධ වස්ත්‍රයෙකින් පෙරාගත් බිම නො වැටුනු වර්ෂා ජලය හෝ අන්‍ය පිරිසුදු ජලයක් හෝ භාජනය හෙවත් පාත්‍රය මුව දක්වා පුරවා ගෙන යට දක්වන ලද පරිදි සුදුසු තැනකට ගෙන ගොස් ආපො, ආපො යයි භාවනා කළ යුතු. ජලයෙහි ඇති වර්ණය හෝ ද්‍රව ලක්‍ෂණය හෝ මෙනෙහි නො කොට ප්‍රඥප්ති ධර්මයෙහි ම සිත පිහිටුවා ගත යුතු. ආපෝ ධාතුයෙහි උත්සන්න භාවය, අධික භාවය කරණ කොට ගෙන සසම්භාර ආපයට, ආපෝ යයි ලොකව්‍යවහාරයක් ඇති හෙයින් ඒ ප්‍රඥප්තියෙහි සිත පිහිටුවා ගෙන භාවනා කරණ කල්හි යට පඨවී කසිණය ගැන කියන ලද ආකාරයෙන් උද්ග්‍රහ නිමිත්ත හා ප්‍රතිභාග නිමිත්ත ද උපදි. එහි උද්ග්‍රහ නිමිත්ත සැලෙන්නාසේ වැටහේ. ප්‍රතිභාග නිමිත්ත නො සැලෙයි. එසේ වැටහෙන කල්හි ඒ නිමිත්ත වඩා උපචාරධ්‍යානය හා රූපාවචර ප්‍රථමධ්‍යානාදිය පිළිවෙලින් ලබා ගත හැකි වේ.