චතුර්ත්ථ ධ්‍යානය
යෝගාවචර තෙම මෙසේ ලබාගත් තෘතියධ්‍යානය පඤ්චවසිතා වශයෙන් පුරුදු කොට, එහි ධ්‍යානාඞ්ග නැවතත් ප්රත්යවේක්ෂා කරණ කල්හි, එහි සම්ප්‍රයුක්ත සොමනස්ස චෛතසික සඞ්ඛ්‍යාත සුඛය ඖදාරික වශයෙන් ද, උපෙක්ෂා වේදනාව හා චිත්තෙකග්ගතාවය ශාන්ත වශයෙන් ද වැටහෙන හෙයින් තෘතියධ්‍යානයෙහි නිකාන්තිය අත්හැර චතුර්‍ත්‍ථධ්‍යානය පිණිස ඒ කසිණ නිමිත්ත ම ගෙන පඨවි, පඨවි යනාදී වශයෙන් නැවත නැවතත් භාවනා කරන්නේ ය. මෙසේ භාවනා කරත් ම අර්පණා වීථිය උපදින්නේ ය. යට කී පරිදි භවඞ්ගවලන, භවඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව, මනොද්වාරාවජ්ජනය ද ඉපිද නිරුද්ධ වූ පසු එම කසිණ නිමිත්ත අරමුණු කරමින් ජවන් සතරක් හෝ පසක් උපදී. එයින් අවසාන ජවනය රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය ය. ඉතිරි ජවන් කාමාවචර ය. මෙසේ හෙතෙම “සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛං අසුඛං උපෙක්ඛාසති පාරිසුද්ධිං චතුර්ත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති” යනාදී වශයෙන් වදාළ පරිදි, සුඛය ද ප්රහාණය කිරීමෙන්, දුක්ඛය ද ප්රහාණය කිරීමෙන්, පූර්වයෙහි සොම්නස හා දොම්නස අස්ථඞ්ගම කිරීමෙන්, දුක්නො වූ, සුඛ නොවූ, උපෙක්ෂා ස්මෘතියෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරන්නේ ය. මෙහි කායික සුඛය හා කායික දුක්ඛය ද ප්රහාණය කරණු ලබන්නේ චතුර්ත්ථධ්යානක්ෂණයට පූර්වයෙහි ය. සොමනස්ස දොමනස්ස දෙදෙනාගේ ප්රහාණය හෙවත් අස්ථඞ්ගමය චතුර්‍ත්‍ථධ්‍යානයාගේ උපචාර අවස්ථාවෙහි සිදුවේ.
මෙහි වදාළ අදුක්ඛම සුඛය නම් උපෙක්ෂා වේදනාවයි. එය දුක්ඛයටත් සුඛයටත් ප්රතිපක්ෂ වූ ධර්මයකි. උපෙක්ෂාව වනාහි ඉෂ්ටානිෂ්ට දෙකට විපරීත වූ මධ්යස්ථානුලම්බනානු භවය ලක්ෂණ කොට ඇත්තේ ය. මධ්‍යස්ථභාවය එහි කෘත්‍යය වේ. පච්චුපට්ඨානය සුව දුක් දෙකින් අනුමාන වශයෙන් දතයුතු බැවින් අවිභූත භාවයයි. පදට්ඨානය සුඛනිරොධයයි. චතුර්ත්ථධ්යානයෙහි මේ උපෙක්ෂාවෙන් ම ජනිත වූ පිරිසුදු වූ ස්මෘතිය ඇති හෙයින් උපෙක්ඛාසතිපාරී ශුද්ධියයි කියනු ලැබේ. මේ ධ්‍යානයෙහි ප්රහීණාඞ්ගය නම් සොම්නසයි. එම ප්රහාණය ධ්‍යානයට පූර්වයෙහි උපදනා ජවනයන්ගෙන් සිදුවේ. සමන්නාගතාඞ්ග දෙදෙනා නම් උපෙක්ඛා එකග්ගතා යන අඞ්ග දෙක ය.
මේ කියන ලද්දේ චතුෂ්කනය වශයෙන් රූපාවචරධ්‍යාන සතර ය.
පඤ්චක නයයෙහි වනාහි, ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුර්ත්ථධ්යාන, පඤ්චමධ්‍යාන යයි ධ්‍යාන පසෙකි. ප්‍රථමධ්‍යානයෙහි චතුෂ්කනයෙහි දක්වන ලද පරිදි විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග පසෙක් ඇත. දුතියධ්යානයෙහි දී ඖදාරික වූ විතර්කය පමණක් ප්‍රහීණ කොට, විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග සතරකින් යුක්ත වේ. තතියධ්යානයෙහි විචාරය ද දුරු කොට ප්‍රීති, සුඛ, එකග්ගතා යන අඞ්ග තුනකින් යුක්ත වේ. චතුෂ්කනයෙහි දී මේ දුතිය, තතියධ්යාන දෙක ම එක් කොට ගෙන දුතියධ්‍යානය වශයෙන් දක්වන ලදී. චතුර්ත්ථධ්යානයෙහි ප්‍රීතිය දුරු කොට සුඛ, එකග්ගතා යන අඞ්ග දෙකෙන් යුක්ත වේ. මෙය චතුෂ්කනයෙහි තෘතිය ධ්‍යානය වේ. පඤ්චමධ්යානයෙහි සුඛය දුරු කොට උපෙක්ඛා එකග්ගතා යන අඞ්ග දෙකින් යුක්ත වේ. මෙය චතුෂ්කනයෙහි චතුර්‍ත්‍ථධ්‍යානය වේ. මේ ධ්‍යාන වඩන පිළිවෙල යට චතුෂ්කනයෙහි දක්වන ලද පරිද්දෙන් දත යුතු.