දශවිධ උපෙක්‍ෂා
- ෂඩඞ්ගොපෙක්‍ෂා
- බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා
- බොධ්‍යාඞ්ගොපෙක්‍ෂා
- වීර්‍ය්‍යොපෙක්‍ෂා
- සංස්කාරොපෙක්‍ෂා
- වෙදනොපෙක්‍ෂා
- විදර්ශනොපෙක්‍ෂා
- තත්‍රමධ්‍යත්‍ථොපෙක්‍ෂා
- ධ්‍යානොපෙක්‍ෂා
- පාරිශුද්ධුපෙක්‍ෂා
1. ෂඩඞ්ගොපෙක්‍ෂා - රහතන්වහන්සේගේ චක්‍ෂුරාදි සදොර ඉෂ්ට අනිෂ්ටාදි අරමුණු වැටීමෙහි දී පිරිසුදු වූ, ප්‍රකෘතිය නො වෙනස් වීම් ආකාරයෙන් පවත්නා යම් උපෙක්‍ෂාවක් වේ ද එය ෂඩඞ්ගොපෙක්‍ෂා නම් වේ.
2. බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා - අප්‍රමාණ සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපෙක්‍ෂාවක් වේද එය බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා නම් වේ.
3. බොධ්‍යාඞ්ගොපෙක්‍ෂා - විවේක නිශ්‍රිත වූ උපෙක්ඛා සම්බොධ්‍යාඞ්ගය වඩනා කල්හි සහජාත ධර්‍මයන් අතුරෙන් මධ්‍යස්ථාකාර වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය බොධ්‍යාඞ්ගොපෙක්‍ෂා නම් වේ.
4. වීර්‍ය්‍යොපෙක්‍ෂාව - පමණ ඉක්ම පටන් නොගන්නා ලද පමණ ඉක්ම ලිහිල් නොකරණ ලද මධ්‍යස්ථාකාරයෙන් පැවති වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය වීර්‍ය්‍යොපෙක්‍ෂා නම් වේ.
- සංස්කාරොපෙක්‍ෂා - නීවරණාදීන් පරික්‍ෂාකොට සනිටුහන් වශයෙන් සිටින්නා වූ ආදීනව දුටු හෙයින්, නීවරණාදීන් ගැන්මෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය සංස්කාරොපෙක්‍ෂා නම් වේ.
- වෙදනොපෙක්‍ෂා - අදුක්ඛමසුඛ නම් වූ යම් උපෙක්‍ෂා වෙදනාවක් වේ ද එය වෙදනොපෙක්‍ෂා නම් වේ.
- විදර්ශනොපෙක්‍ෂා - අනිත්‍ය දුක්ඛ අනාත්මාදී වශයෙන් සම්මර්ශනය කිරීමෙන් මධ්‍යස්ථාකාර වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය විදර්ශනොපෙක්‍ෂා නම් වේ.
- තත්‍රමධ්‍යත්‍ථාපෙක්‍ෂා - සහජාත ධර්මයන් සමව ඉසිලීමට කාරණා වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය තත්‍රමධ්‍යත්‍ථාපෙක්‍ෂා නම් වේ.
- ධ්‍යානොපෙක්‍ෂා - අග්‍ර වූ ධ්‍යාන සුඛයෙහි ද, පක්‍ෂපාත බව නූපදවන යම් උපෙක්‍ෂාවක් වේ ද එය ධ්‍යානොපෙක්‍ෂා නම් වේ.
- පාරිශුද්ධුපෙක්‍ෂා - නීවරණාදී ප්‍රතිපක්‍ෂ ධර්ම හා විතක්ක - විචාරාදී ඖදාරිකාඞ්ගයන් ගෙන් ද පිරිසුදු වූ, ප්‍රතිපක්‍ෂ ධර්ම සංසිඳවීමෙන් උත්සාහරහිත වූ යම් උපෙක්‍ෂාවක් වේ ද එය පාරිශුද්ධි උපෙක්‍ෂා නම් වේ. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ඇති උපෙක්‍ෂාවයි.
තෘතියධ්‍යානය උපදනා කල්හි ඒ සිතෙහි සම්ප්‍රයුක්ත වූ යම් සුඛ වෙදනාවක් වේ ද එය ද විඳිමින්, එයින් හටගත් ප්‍රණීත වූ චිත්තජ රූපයන් ගේ ස්පර්ශය රූපකායයෙහි පැතිර පවත්නේ ය. ධ්‍යානයෙන් නැගි කල්හි ද එම කායික සුඛය අනුභව කරන්නේ ය. මේ සුඛය ඉතාමත් මිහිරිය. නමුත් එහි සුඛාභිලාෂයක් ඇති නොවන හෙයින් උපෙක්‍ෂක ය. ප්‍රීතිය ද නූපදනා හෙයින් ස්මෘතිමත් ය. එහෙයින් ආර්‍ය්‍යයන්ගේ ප්‍රශංසාවට ද හිමිවන්නේ ය. මෙහි දී ප්‍රහීණ වන්නේ ප්‍රීති ධ්‍යානාංගය පමණ ය. සමන්නාගතාංගයෝ දෙදෙනෙකි. එනම් සුඛ එකග්ගතා යන අඞ්ග දෙක ය. මේ ප්‍රීතිය අර්‍පණාක්‍ෂණයෙහි ම ප්‍රහීණ වේ.