තෘතීය ධ්‍යානය
ද්වීතියධ්යානය මෙසේ ලබාගත් යෝගාවචර තෙම, ඒ ධ්‍යානයට කියන ලද පරිද්දෙන් පඤ්චවසිතාවන්ගේ වශයෙන් පුරුදු කොට ප්‍රගුණ වූ කල්හි ඒ ධ්‍යානයෙන් නැගී, ද්වීතියධ්යාන සමාපත්තිය, ආසන්න වූ විතක්ක විචාර සඞ්ඛ්‍යාත සතුරන් ද, එහි පවත්නා ප්‍රීතිය සිත් උල්ප වන්නක් බැවින් ඔදාරික හෙයින් ද එකී අඞ්ගයෝ දුර්වල ය, ද්විතියධ්‍යානය දොස් සහිත ය, තෘතියධ්‍යානය නම් ශාන්තය යනාදී වශයෙන් සළකා ද්විතියධ්යානයෙහි ආශාව අත්හැර තෘතියධ්‍යානය ලබාගන්නා පිණිස නැවත භාවනා ආරම්භ කරන්නේ ය. හෙතෙම ද්විතියධ්යානයෙන් නැගී එහි අන්තර්ගත ධ්‍යානාඞ්ගයන් ප්රත්යවේක්ෂා කරණ කල්හි, ප්‍රීතිය ඕදාරික වශයෙන් ද, සුඛය හා එකග්ගතාවය ශාන්ත වශයෙන් ද වැටහී, ප්‍රීතිය දුරු කරණු පිණිස ද, ශාන්ත වූ අඞ්ගද්වය ලබාගනු පිණිස ද, ඒ නිමිත්ත ම නැවතත් පඨවි පඨවි ආදී වශයෙන් මෙනෙහි කොට තෘතියධ්‍යානය ලැබෙන අර්පණා චිත්ත වීථිය උපදවා ගන්නේ ය. පළමු පරිද්දෙන් භවඞ්ගචලන, හවඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව කසිණනිමිත්ත අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනය ද, එයට අනතුරුව එය ම අරමුණු කරමින් ජවන් සිත් සතරක් හෝ පසක් උපදී. එයින් අවසාන ජවනය රූපාවචර තෘතියධ්‍යානය ය. ඉතිරි ජවන් කාමාවචරය. මෙසේ හෙතෙම (පීතියා ච විරාගා, උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී” ති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති) යනාදී වශයෙන් වදාළ පරිදි ප්‍රීතිය ද පිළිකුල් කිරීමෙන් සමතික්‍රමණය කොට, යුක්ති වශයෙන් අපක්ෂපාත ව බලමින් හෙවත් උපෙක්ෂකව වසන්නේ, සිහි නුවණින් යුක්තව, කයෙන් සුවය ද විඳිමින්, යම් ධ්‍යානයක් හේතුකොට ගෙන බුද්ධාදි ආර්‍ය්‍යයෝ ඒ තෘතියධ්යානයෙන් යුත් පුද්ගලයාහට “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී” යයි ප්‍රශංසා කරත් ද, ඒ තෘතියධ්‍යානය උපදවා වාසය කරන්නේ ය.
තෘතියධ්‍යානයාගේ උත්පත්තික්ෂණයේදී ම ප්‍රීතිය සමති ක්‍රමණය කිරීමෙන් විතක්ක විචාරයන් ද ව්‍යපසමනය වන බව දත යුතු. මෙහි උපෙක්ෂකව වසන්නේ යයි කී තත්හි දසවිධ වූ උපෙක්ෂාවන් අතුරෙන් ධ්යානොපෙක්ෂාවෙන් වසන බව දත යුතු. ධ්යානොපෙක්ෂාවේ ලක්ෂණය මධ්‍යස්ථ භාවය යි. රසය මෙනෙහි නොකරන බවයි. පච්චුපට්ඨානය අව්යාපාරය යි. පදට්ඨානය ප්‍රීති විරාගයයි.