ද්විතීය ධ්‍යානය
ප්‍රථමධ්‍යානය මෙසේ පඤ්චවසිතා වශයෙන් පුරුදු කළ පුද්ගල තෙමේ, එයින් නැගී මේ සමාපත්තියෙහි ආසන්න වූ පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත සතුරෝ ඇත්තාහ. එහි අන්තර්ගත ධ්‍යානාඞ්ගයන් අතුරෙන් විතර්කය හා විචාරය ඖදාරික ය. එහෙයින් ම දුර්වල ය. එබැවින් දොස් සහිත ය. විතක්ක විචාරයන් නැති ද්විතීයධ්‍යානය ශාන්තය. මේ ආදී වශයෙන් සළකා ප්‍රථමධ්‍යානයෙහි නිකාන්තිය දුරුකොට ද්විතීයධ්‍යානය ලබාගන්නා පිණිස නැවත භාවනාව ආරම්භ කළ යුතු වේ. හෙතෙම නැවතත් යට කියන ලද පරිද්දෙන් ඒ නිමිත්ත ම පඨවි පඨවි යනාදී වශයෙන් නැවත නැවතත් මෙනෙහි කරන කල්හි ද්විතීයධ්‍යානය ලබන අර්පණා විත්තවීථිය උපදී. එකල්හි භවඞ්ගචලන, භවඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව පඨවිකසිණය අරමුණු කරමින් මනෝද්වාරාවජ්ජනය ද, ජවන් සිත් සතරක් හෝ පසක් ද ඉපිද භවඞ්ගපාතය වේ. මෙයින් අවසාන ජවනය රූපාවචර ද්විතීයධ්‍යානය වේ. ඉතිරි ජවන් ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තයෝ ය.
ද්විතීයධ්‍යානය උපන් කල්හි ඒ යෝගාවචර තෙමේ (විතක්ක විචාරානං වූපසමා, අජ්ඣත්තං සම්පසාදනං, චෙතසො එකො දිභාවං, අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති) යයි වදාළ පරිදි විතක්ක විචාර සංසිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්රසාදනයෙන් යුක්ත වූ චිත්තයාගේ එකොදිභාව යයි කියන ලද විතර්ක විචාරයන් රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතීයධ්‍යානය උපදවා වාසය කරන්නේ යයි දත යුතු. ද්වීතීයධ්‍යානයෙහි ප්රහිණාඞ්ගයෝ දෙදෙනෙකි. එනම් විතක්ක විචාරයෝ යි. සමන්නාගතාඞ්ගයෝ තිදෙනෙකි. එනම් පීති, සුඛ, එකග්ගතා යන තුනය. ප්‍රථමධ්‍යානය මෙන් ද්වීතීය ධ්‍යානය ද ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්ෂණයෙන් ද සමන්විත වේ. මේ ද්වීතීයධ්‍යානය ස්වසන්තානයෙහි උපන් ශ්‍රද්ධායෙන් යුක්ත බැවින් ද විතක්ක විචාරයන්ගෙන් වන කැලඹිම් සංසිඳීමෙන් සිත පහදවන බැවින් සම්පසාදනයයි කියනු ලැබේ. විතක්ක විචාරයන් රහිත ව හුදකලාව අසභාය ව නැගෙන්නා වූ මේ සමාධිය සත්ත්ව, පුද්ගලයෙකුගේ නොව චිත්තයාගේ ම බව දැක්වීම පිණිස චෙතසො එකොදිභාවං යයි කියන ලදී. ප්‍රථමධ්‍යානයෙහි ද ශ්‍රද්ධාව ඇතත් එය අතිප්‍රසන්න නොවන බැවින් ද, අප්‍රකට බැවින් ද සම්පසාදනය යයි නොවදාරණ ලදී. ද්වීතීය ධ්‍යානයට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් උපකාර වන හෙයින් ඒ ප්‍රථමධ්‍යාන සමාධියෙන් හටගත් සුඛයත් සමන්නාගතාඞ්ගයෝ වෙති. මෙහි විතක්කවිචාරයන්ගේ ප්රහාණය උපචාරක්ෂණයෙහිදී සිදු නොවේ. ද්වීතියධ්යාන චිත්තයාගේ උත්පාදක්ෂණයේ දී හෙවත් දුතියධ්‍යානය උපදනා කල්හි විතක්ක විචාර යන ඔදාරිකධ්යානාඞ්ග දෙක නැතිවම උපදී.