පඤ්චවිධ වශීය
ආවජ්ජන වසී, සමාපජ්ජන වසී, අධිට්ඨාන වසී, චුට්ඨාන වසී, පච්චවෙක්ඛණ වසී යයි වසීහු පස් ආකාර වෙති.
- ආවජ්ජන වසී - කැමති යම් තැනක, කැමති යම් ධ්‍යානාඞ්ගයක් කැමතිතාක් කල් ආවර්ජනා කිරීමෙහි සමත් බව ආවජ්ජන වසී නම් වේ. ප්‍රථම ධ්‍යානය ලබාගත් යෝගාවචර තෙම එම ධ්‍යානයෙන් නැඟී, ප්රථමධ්යානාඞ්ගය වූ විතර්කය අරමුණු කරණ කල්හි භවාඞ්ගචලනය භවාඞ්ගුපච්ඡේදය, ඉපිද නිරුද්ධ වූ පසු විතර්ක නම් වූ ධ්‍යානාඞ්ගය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනය ද, එයට ඉක්බිති ව කාමාවචර කුසල ජවන් සතරක් හෝ පසක් ඉපිද නිරුද්ධ වෙති. ජවනයන්ට අනතුරුව භවාඞ්ග දෙකක් උපදියි. මේ ක්‍රමයෙන් විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, එකාග්ර- තාවය ද ආවජ්ජනා කරමින් පිළිවෙලින් චිත්තවීථි උපදී. යම් පුද්ගලයෙක්හට මෙසේ ධ්‍යානාඞ්ග පසෙහිනිරන්තරයෙන් සිත මෙහෙයවන්නට ආවර්ජනය කරන්නට සමත්කම ලැබේ නම් එවිට ආවජ්ජන වසීය සිද්ධවූයේ යයි කියනු ලැබේ.
- සමාපජ්ජන වසී - කැමති යම් තැනෙක, කැමතිතාක් කල් ධ්‍යානයට සීඝ්‍රව සමවැදීමෙහි සමත් බව සමාපජ්ජන වසී නම් වේ. මුගලන් මහරහතන් වහන්සේ නන්දොපනන්ද දමනයෙහිදී මේ සමාපජ්ජන වසී ශක්තියෙන් ධ්‍යානයන්ට සීඝ්‍රව සමවැදීමෙන් දමනය කරගත් බව දත යුතු.
- අධිට්ඨාන වසී - කැමති යම් තැනක, කැමතිතාක් කල් ධ්‍යානය තබාගන්නට සමත් බව අධිට්ඨාන වසී නම් වේ.
- චුට්ඨාන වසී - කැමති යම් තැනක, කැමති කාලයක ධ්‍යානයෙන් වහා නැගී සිටීමට සමත් බව චුට්ඨාන වසී නම් වේ.
- පච්චවෙක්ඛණ වසී - කැමති යම් තැනක, කැමති යම් ධ්‍යානාඞ්ගයක්, කැමති යම් කලෙක ප්රත්යවේක්ෂා කිරීමෙහි සමත් බව පච්චවෙක්ඛණ වසී නම් වේ.
මතු දුතියධ්යානාදිය ලබාගනු කැමති යෝගාවචරයා විසින් මේ ප්‍රථමධ්‍යානය යට කියන ලද පඤ්ච වසිතාවන්ගේ වශයෙන් පුරුදු කළ යුතු.