අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රතිභාග නිමිත්ත වඩන පිළිවෙල

ප්‍රතිභාග නිමිත්ත වඩනු කැමති යෝගාවචරයා විසින් සීමා බඳන භික්‍ෂුන් වහන්සේ පළමු කොට නිමිති සලකා ඒ නිමිති ඇතුළ සීමා බඳනාක්මෙන්, ප්‍රතිභාග නිමිත්ත ද එක් අඟුල්, දෑඟුල්, තෙඅඟුල්, සිව්අඟුල් ආදී වශයෙන් පිරිසිඳ ඒතාක් වැඩිය යුතු. ඉක්බිති ව වියත්, රියන් ආදී වශයෙන් විහාර සීමාව දක්වා ද ඉන් ඔබ්බෙහි ගම්, නියම්ගම්, දනව්, රාජ්‍ය, සමුද්‍ර සීමා දක්වා ද වඩාගෙන සක්වළ ගල දක්වා හෝ ඉන් ඔබ්බෙහි හෝ පිරිසිඳ වැඩිය යුතු. මෙසේ නිමිත්ත වැඩූ තැන පොළොව, ගොඩ, වළ, ගංගා, පර්‍වත විසමතැන් ආදිය සමවන්නේ ය. ඒ යෝගාවචරයා විසින් මෙසේ ලත් ප්‍රථම ධ්‍යානයට සමවැදීම බහුල කරගත යුතු. ප්‍රත්‍යවේක්‍ෂණයෙහි උත්සාහ නොවිය යුතු. ප්‍රථම ධ්‍යානය ලබාගත් යෝගාවචර තෙම අදක්‍ෂවූයේ නම්, සමාධි නිමිත්ත සේවනය නොකර, නොවඩා, බහුල නොකොට, මනාව පිහිටුවා නොගෙන වාසය කරන්නේ නම් ඔහු ද්විතීය ධ්‍යානය ලබාගැනීම තබා ප්‍රථම ධ්‍යානය වත් රැකගැනීමට අසමර්‍ත්‍ථ වෙයි. එසේ හෙයින් යෝගාවචරයා විසින් පළමු කොට ඒ ප්‍රථම ධ්‍යානයෙහි ම පස් ආකාරයෙකින් චිණ්ණවශී වියයුතු. වශී නම් කැමති පරිද්දෙන් යටත් කොට ගෙන පවන්වන්නට සමත් බවයි.