අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රථම ධ්‍යානය

අන්‍ධකාරය ඇති කල්හි පහන් ආලෝකය නොපවත්නාක් මෙන්, ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ වූ කාමයෝ ඇති කල්හි ප්‍රථමධ්‍යානය නොපවතී. එබැවින් ඒ කාම පරිත්‍යාගයෙන් ම ප්‍රථමධ්‍යානයට පැමිණිය යුතු වේ.

කාමයෝ වස්තුකාම, ක්ලේශකාම වශයෙන් දෙවැදෑරුම් වෙති. මනවඩන රූපාදිය වස්තුකාමයෝයි. රාගාදීහු ක්ලේශකාමයෝයි. ප්‍රාර්ථනාකාරයෙන් පැවති දුර්වල ලෝභය කැමතිවීම ඡන්‍දකාම නමි. එයට වඩා බලවත් ලෝභය කැමති වීම රාගකාම නම් වේ. එයටත් වඩා බලවත් බහලරාගයට කැමතිවීම ඡන්‍දරාගකාම නමි. නිමිත්තානුබ්‍යඤ්ජනයන්ගේ සඞ්කල්පයට හේතු වූ ලෝභය කැමතිවීම සඞ්කල්පකාම නම් වේ. එයටත් වඩා බලවත් වූ ලෝභය කැමතිවීම රාගකාම නමි. එයටත් වඩා වෙසෙසින් ම බලවත් වූ ලෝභය කැමතිවීම සඞ්කල්පරාගකාම නම් වේ.

මෙහිදී වස්තුකාම, ක්ලේශකාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන විවේකය වනාහි, තදඞ්ග විවේකය, විෂ්කම්භන විවේකය, සමුච්ඡේද විවේකය, පටිප්පස්සධි විවේකය, නිස්සරණ විවේකය, චිත්ත විවේකය, කාය විවේකය, උපධි විවේකය යන විවේකයන් අතුරෙන් කාය විවේක, චිත්ත විවේක, විෂ්කම්භන විවේක වශයෙන් ලබන විවේකය වේ. විවිච්චේව කාමෙහි යන පදයෙන් දක්වන ලද වස්තු කාමයන්ගෙන් වෙන්වීමේදී කාය විවේකය ලැබේ. විවිච්ච අකුසලෙහි ධම්මෙහි යන පදයෙන් දක්වන ලද ක්ලේශ කාමයෙන් හා අකුසලයන්ගෙන් වෙන්වීමේදී චිත්ත විවේකය ලැබේ. එහෙයින් වස්තුකාම විවේකය ලැබීමෙන් කම් සැප අත්හැරීම ද ක්ලේශකාම විවේකයෙන් ධ්‍යාන සුඛය ලැබීම ද සිදුවන්නේ ය. වස්තු කාමයෙන් විවේකය ලැබීමේදී තණ්හා ආදී ක්ලේශයන්ගේ උත්පත්තියට හේතු වූ වස්තු දුරු කිරීම ද, එහි ලොල් බව ඇති කරණ හේතු දුරු කිරීම ද, කාමගුණයන්ට හේතුවන ප්‍රාණඝාතාදියෙන් වෙන්වීම ද සිදු වේ. ක්ලේශකාමයන්ගෙන් විවේකය ලැබීමේදී තණ්හාදී කෙලෙස් දුරුකිරීම ද, එහි ලොල් බව දුරුකිරීම ද, ධ්‍යාන සංවර්ධනය පිණිස කටයුතු සම්පාදනය ද සිදු වේ.

තවද කාමච්ඡන්‍දාදී පඤ්චනීවරණයෝ ධ්‍යානයට ප්‍රතිපක්ෂ වූ ධර්‍මයෝයි. එහෙයින් කාමයන්ගෙන් වෙන්වීම කියන කල්හි කාමච්ඡන්‍දයාගේ විෂ්කම්භන විවේකය ද, අකුසලධර්‍මයන්ගෙන් වෙන්වීම කියන කල්හි කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්චනීවරණයන්ගේම විෂ්කම්භන විවේකය ද ප්‍රකාශ වන බව දත යුතු. මේ නීවරණයන්ගෙන් වන විවේකය ධ්‍යානාඞ්ගයන්ගේ වැඩීමෙන් ම ලබාගත යුතු වේ. සමාධි හෙවත් ඒකග්ගතා නම් වූ ධ්‍යානාඞ්ගය කාමච්ඡන්දනීවරණයට ප්‍රතිපක්ෂය. එසේම ප්‍රීති ධ්‍යානාඞ්ගය ව්‍යාපාද නීවරණයට ද, විතර්‍ක ධ්‍යානාඞ්ගය ථිනමිද්ධ නීවරණයට ද, සුඛ නම් වූ ධ්‍යානාඞ්ගය උද්ධච්චකුක්කුච්ච නීවරණයට ද, විචාර නම් වූ ධ්‍යානාඞ්ගය විචිකිච්ඡා නීවරණයට ද ප්‍රතිපක්ෂ වන්නාහ.

කාමච්ඡන්‍දයන්ගෙන් විවේකය ලැබීමේ දී, පඤ්චකාම ගුණික ලෝභයාගේ ද, කාමොඝ, කාමයෝග, කාමාසව කාමූපාදාන අභිජ්ඣා කායග්‍රන්‍ථ, කාමරාග සංයෝජන යන ආදීන්ගේ ද, තෘෂ්ණාවගේ හා තත්සම්ප්‍රයුක්තයන්ගේ ද, ලෝභමූල අකුසල චිත්තයන්ගේ ද විෂ්කම්භන විවේකය ලැබෙන බව ද, සෙසු අකුසල ධර්‍මයන්ගෙන් විවේකය ලැබීමේදී, ද්වේෂ, මෝහ දෙදෙනාගේ ද, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යන ත්‍රිවිධ ඕඝයන්ගේ ද, භවාදී ත්‍රිවිධ යෝගයන්ගේ ද, භවාදි ත්‍රිවිධ ආසවයන්ගේ ද, දිට්ඨාදී ත්‍රිවිධ උපාදානයන්ගේ ද, ව්‍යාපාදාදී ත්‍රිවිධ කායග්‍රන්‍ථයන්ගේ ද, කාමරාග සංයෝජනය හැර සෙසු නවවිධ සංයෝජනයන්ගේ ද, අවිද්‍යාවගේ හා තත්සම්ප්‍රයුක්තයන්ගේ ද, දොෂ මොහමූල අකුසල් චිත්තයන්ගේ ද විෂ්කම්භන විවේකය ලැබෙන බව ද සැලකිය යුතු. මෙසේ ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහාණය කරනු ලබන්නා වූ ප්‍රහාණාඞ්ග පස දත යුතු.

ප්‍රථමධ්‍යානයෙහි සමන්නාගත අඞ්ග පඤ්චකය නම් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග යෝ යි.

විතර්‍කය - සිත අරමුණට නැංවීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. සිත අරමුණෙහි පැහැරීම, වෙසෙසින් පැහැරීම හෙවත් ආහනන පරියාහනනය රසය කොට ඇත්තේ ය. අරමුණට සිත පැමිණවීම පච්චුපට්ඨානය වේ.

විචාරය - විතර්‍කයට ඉක්බිතිව අරමුණ පිරිමදින බව ලක්‍ෂණ කොට ඇත්තේ ය. සහජාත ධර්‍මයන් අරමුණෙහි අනුවිචරණ වශයෙන් යොදවන බව රසය කොට ඇත්තේ ය. අරමුණෙහි සිත නොසිඳීමක් මෙන් පවත්නා බව පච්චුපට්ඨානය වේ.

විතර්‍කය ඖදාරිකය. ස්වකීය බලයෙන් සිත අරමුණට නංවන හෙයින් විචාරයට පූර්‍වාඞ්ගම වේ. විචාරය සියුම් ය. සෙලවීමෙක් නැත. මෙබඳු විතර්‍කයෙන් හා විචාරයෙන් යුත් ප්‍රථමධ්‍යානය සවිතක්ක-සවිචාර ධ්‍යානය නම් වේ.

නීවරණ ධර්‍මයන්ගේ පහවීමෙන් ලබන ලද විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ප්‍රථමධ්‍යානයාගේ සමන්නාගතාඞ්ගයෝ දෙදෙනෙකි.

ප්‍රීතිය - අරමුණ ප්‍රිය වශයෙන් දක්නා බව ලක්‍ෂණ කොට ඇත්තේ ය. චිත්තකාය පිණවන බව නොහොත් පැතිරෙන බව එහි රසය වේ. ඔදවඩනා බව පච්චුපට්ඨානය වේ. මේ ප්‍රීතිය ඛුද්දක ප්‍රීති, ඛණික ප්‍රීති, ඔක්කන්තික ප්‍රීති, උබ්බෙග ප්‍රීති, ඵරණ ප්‍රීති යයි පස්වැදෑරුම් වේ. ශරීරයෙහි ලොමුදහගන්වන කුඩා ප්‍රීතිය ඛුද්දක ප්‍රීති නම් වේ. එයට වඩා බලවත් වූ ක්‍ෂණ ක්‍ෂණ වශයෙන් විදුලි කෙටීමක් මෙන් උපදින ප්‍රීතිය ඛණික ප්‍රීති නම්. එයටත් වඩා බලවත් මුහුදු රළ සේ ශරීරය පිණවමින් බිඳෙන ප්‍රීතිය ඔක්කන්තික ප්‍රීති නම් වේ. එයටත් වඩා බලවත් වූ ද කය උඩගෙන ගොස් අහසෙහි නගා පියන පමණට පමුණු වන ප්‍රීතිය උබ්බෙග ප්‍රීති නම් වේ. එයටත් වඩා බලවත් වූ ද මුළු සිරුර ම හාත්පසින් ස්පර්ශ කරමින් පවත්නා ප්‍රීතිය ඵරණ ප්‍රීති නම්.

සුඛය - සාත බව හෙවත් ශීතල මධුර ස්වභාවය ලක්‍ෂණ කොට ඇත්තේ ය. සම්ප්‍රයුක්ත ධර්‍මයන් වඩනා බව එහි රසය වේ. සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට අනුග්‍රහ කරණ බව එහි පච්චුපට්ඨානය වේ.

ප්‍රථමධ්‍යාන අවස්ථාවේදී ප්‍රීතියත් සුඛයත් එකවර යෙදෙන්නේ ය. ප්‍රීතිය ඇති තැන සුඛය ඇතත් සුඛය ඇති තැන නියමයෙන් ම ප්‍රීතිය ඇතැයි කිව නොහැකි වේ. මේ ධර්‍ම දෙකෙන් ප්‍රීතිය සංස්කාර-ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙකි. සුඛය වෙදනා ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙකි.

මෙහි කියන ලද පංචවිධ ප්‍රීතිය මිහිකිරීමෙන් කාය පස්සද්ධි චිත්තපස්සද්ධි යන පස්සද්ධි ධර්‍ම දෙක මිහිකිරීමට පැමිණේ. පස්සද්ධිය මිහිකිරීමෙන් කායික වූ ද චෛතසික වූ ද සුඛය වැඩේ. ඒ සුඛය මිහිකිරීමෙන් ක්‍ෂණික සමාධි උපචාර සමාධි, අර්‍පණා සමාධි යන ත්‍රිවිධ සමාධීහු වැඩෙන්නාහ. මෙහි ලැබෙන ප්‍රීතිය ඵරණ ප්‍රීතියයි. මෙසේ විවේකයෙන් හටගත් ප්‍රීතියත්, සුඛයත් ප්‍රථම ධ්‍යානයෙහි ඇති වන බව දත යුතු.

මේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛයන්ගෙන් අනුබලය ලත් එකග්ගතාවය, ඵස්සාදී වූ සෙසු චෛතසික ධර්‍මයන් සහිත වූ සිත ආරම්මණයෙහි සමව මනාකොට පිහිටුවන්නේ ය. උපචාර සමාධි අවස්ථාවෙහි ද මේ ධ්‍යානාඞ්ග පස ලැබෙති. නමුත් අර්‍පණා අවස්ථාවේදී ධ්‍යානාඞ්ගයෝ එයටත් වඩා අතිසයින් බලවත් වෙති. එසේ බලවත් ව කාමාවචර ලක්‍ෂණයෙන් බැහැර වූ රූපාවචර ලක්‍ෂණයට පැමිණෙති.

මෙසේ මේ යෝගාවචර තෙම කාමයන් ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන් ගෙන් වෙන්ව ම විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කරන්නේ ය.

මේ ප්‍රථමධ්‍යානය ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් සමන්විත ය.

ත්‍රිවිධ කල්‍යාණය නම් ආදි කල්‍යාණය, මධ්‍ය කල්‍යාණය, පරියෝසාන කල්‍යාණය යන කල්‍යාණ තුනය.

ආදිකල්‍යාණය - ප්‍රතිපදා වශයෙන් විසුද්ධිය වීම ය. පරිකර්‍මය පටන් ගොත්‍රභූ චිත්තය අවසන් කොට ඇති භාවනාවට ප්‍රතිපදා යයි කියනු ලැබේ. ඒ ප්‍රතිපදා සමයෙහි උපද්‍රවයන් ගෙන් විසුද්ධවීම ප්‍රතිපදා විශුද්ධිය වේ. මේ ආදි කල්‍යාණයාගේ හෙවත් ප්‍රතිපදා විශුද්ධියෙහි ලක්‍ෂණ තුනෙකි. එනම්:-

  1. ධ්‍යානය පිළිබඳ උපද්‍රවයන්ගෙන් සිත පිරිසුදුවීම — අර්‍පණා චිත්තවීථියෙහි අර්‍පණා චිත්තය උපන් කල්හි, ඒ ධ්‍යානයට උපද්‍රව වශයෙන් පවත්නා නීවරණ සංඛ්‍යාත වූ ක්ලේශ සමූහයාගෙන් සිත පිරිසුදු වන්නේ ය. ආදි කල්‍යාණයාගේ ප්‍රථම ලක්‍ෂණය මෙය වේ. ධ්‍යානයාගේ උත්පාදක්‍ෂණයෙහි දී ලැබෙන හෙයිනි.
  2. ඒ විසුද්ධවීමෙන් ම සිත මධ්‍යම - සමථ නිමිත්තට පැමිණීම - දෙවන ලක්‍ෂණය වේ. මධ්‍යම - සමථ නිමිත්ත නම් එහි පවත්නා අර්‍පණා සමාධිය යි. සිත සංසිඳුවන හෙයින් සමථ නම් වේ. යෝගාවචරයාගේ සුඛයට කාරණා වන හෙයින් නිමිත්ත නමුදු වේ.
  3. ඒ පැමිණීමෙන් ම සිත එහි වැද සිටීම ය - අර්‍පණා සමාධියෙන් සමාහිත බවට වැද සිටීම ආදිකල්‍යාණයාගේ තුන් වන ලක්‍ෂණය වේ.

මධ්‍යකල්‍යාණය - උපෙක්‍ෂානුබ්‍රෑහණාව හෙවත් උපෙක්‍ෂාව වැඩීම ය. මේ මධ්‍ය කල්‍යාණයාගේ ද ලක්‍ෂණ තුනෙකි. එනම්-

  1. ප්‍රතිපදා බලයෙන් පිරිසුදු වූ සිත නැවත පිරිසුදු නොකට හැකි බැවින් එහි ව්‍යාපාර නොකර උපෙක්‍ෂාවීම.
  2. සමථ භාවයට පැමිණි හෙයින් නැවත සමාධානයෙහි ව්‍යාපාර නොකොට උපෙක්‍ෂාවීම.
  3. සමථයට පැමිණි හෙයින් ම ක්ලේශ සංසර්‍ගය හැර එකත්‍වයෙන් වැටහුණු සමාධිහුගේ නැවත ව්‍යාපාර නොකර උපෙක්‍ෂාවීම.

පරියෝසාන කල්‍යාණය - සම්පහංසනාව හෙවත් සතුටුවීමය. පරියෝසාන කල්‍යාණයාගේ ලක්‍ෂණ සතරෙකි. එනම්-

  1. එහි උපන් සමාධි ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ ධර්‍ම නොඉක්මෙන බැවින් සතුටුවීම ය. මේ ධර්‍ම දෙක ඔවුනොවුන් නොඉක්මවා සමව පවත්නාහ.
  2. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් නොයෙක් කෙලෙසුන් කෙරෙන් මිදී විමුක්ති රසයෙන් එකරස වන බැවින් සතුටු වීම ය.
  3. ඒ එක රස භාවයට අනුරූප ව වීර්‍ය පවත්නා බැවින් සතුටුවීම ය.
  4. ආසේවන වශයෙන් සතුටුවීම.

මෙසේ ප්‍රතිපත්ති විශුද්ධි ලක්‍ෂණ තුන ය, උපෙක්‍ෂානු බ්‍රෑහණ ලක්‍ෂණ තුන ය, සම්පහංසනා ලක්‍ෂණ සතරය යන දශප්‍රකාර ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූ ප්‍රථමධ්‍යානය දතයුතු.

අතිදක්‍ෂ ධනුර්‍ධරයා වාළවේධය පිණිස සැරසී වාළය විදපූ වාරයෙහි පා තුබුණු සැටි ද, දුන්න, දුනුදිය හා ශරය තුබුණු සැටි ද සලකා, මෙසේ සිටි මා විසින් මෙසේ දුන්න, දුනුදිය හා ශරය ගෙන මෙසේ වාළය විදුනා ලදැයි දැන මතු ද ඒ ඒ ආකාරයෙන් ම පිහිටා නො වරදවා වාළය විද ලන්නාක් මෙන්, ප්‍රථමධ්‍යානය ලත් යෝගාවචර තෙමේ ද මා විසින් මේ මේ බොජුන් වළඳා, මේ මේ පුද්ගලයන් ඇසුරු කරමින් මෙබඳු සෙනසුනෙක මේ මේ ඉරියව්වෙහි සිට මෙසේ ප්‍රථමධ්‍යානය උපදවා ගත්තෙමියි, භෝජන සප්පායාදී ආකාර සළකා යම් හෙයකින් ධ්‍යානයෙන් පිරිහුණේ වේ ද එකල්හි පළමු කී විධි සම්පාදනය කොට නැවත ධ්‍යානය උපදවා ගැනීම ද ප්‍රගුණ නොකළ ධ්‍යානය ප්‍රගුණ කර ගනිමින් නැවත නැවත අර්‍පණාවට පැමිණෙන්නට ද සමර්‍ත්‍ථ වන්නේ ය.

අර්‍පණාවගේ චිරස්ථිතිය පිණිස ප්‍රතිපක්‍ෂ වූ නීවරණ ධර්‍මයන් මනා කොට ශුද්ධ කරගත යුතු වේ. යම් යෝගාවචරයෙක් කාමාදිනවාදිය සළකා කාමච්ඡන්‍දය විෂ්කම්භනය කොට නොගෙන, කාය පස්සද්ධි වශයෙන් කායදරථයට නිමිත්ත වූ ව්‍යාපාදය මනා කොට සන්සිඳුවා නොගෙන, ආරම්භ ධාතු, ආලෝකසංඥාදිය මෙනෙහි කිරීමෙන් මනා කොට ථීනමිද්ධය දුරු කොට නොගෙන, සමථ නිමිත්ත මෙනෙහි කිරීම් වශයෙන් මනා කොට උද්ධච්ච - කුක්කුච්චය නොනසා, විචිකිච්ඡාවට කාරණා වූ මද නිම්මදනාදි සමාධියට ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් මනා කොට ශුද්ධකර නොගෙන, ධ්‍යානයට සමවන්නේ නමුදු ඒ යෝගාවචර තෙම අශුද්ධ ස්ථානයකට පැමිණි බමරකු මෙන් වහා ඒ ධ්‍යානයෙන් නැගෙන්නේ ය. යම් යෝගාවචරයෙක් සමාධි ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් මනා කොට පිරිසුදු කොට ගෙන සමාධියට සමවදනේ ද ඔහු පිරිසුදු තැනකට වන් බමරා සේ මුළු දවසම වුවත් සමාපත්තියෙහි ම සිටීමට සමත් වේ. එසේ හෙයින් සමාධියගේ චිරස්ථිතිය කැමති වන යෝගාවචර තෙම ප්‍රතිපක්‍ෂ ධර්‍ම මනා කොට ශුද්ධකරගෙන ම ධ්‍යානයට සමවදින්නේ ය.

සමාධි භාවනාවෙහි නියුක්ත යෝගාවචර තෙම මතු අභිඥා ආදිය පිණිස ධ්‍යානය වර්ධනය කරගනු කැමැත්තේ නම්, ඔහු විසින් උපචාර භූමි වශයෙන් හෝ අර්‍පණා භූමි වශයෙන් හෝ ලත් ප්‍රතිභාග නිමිත්ත මනා කොට වැඩිය යුතු වේ.