අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දශවිධ අර්පණා කෞශල්‍යයෝ

  1. වස්තු විශද ක්‍රියාව - අධ්‍යාත්මික, බාහිර වස්තු පිරිසුදු කර ගැනීම වස්තු විශද ක්‍රියා නම් වේ. අධ්‍යාත්මික වස්තූහු නම් කෙස්, ලොම්, නිය, දත්, ආදියයි. සිවුරු පිරිකර සෙනසුන් ආදිය බාහිර වස්තූහු වෙති. අධ්‍යාත්මික වස්තූහු අපිරිසුදු වූ කල්හි නුවණ ද අපිරිසුදු විය හැකි. අපිරිසුදු තෙල් ඇති පහනෙහි එළිය අපිරිසුදු වන්නාක් මෙනි. අපිරිසුදු නුවණ ඇති කල්හි කමටහන ද අභිවෘද්ධියට නො පැමිණේ. පිරිසුදු අධ්‍යාත්මික - බාහිර වස්තූහු ඇති කල්හි නුවණ ද පිරිසුදු වන හෙයින් කමටහනෙහි යෙදෙන විට එය අභිවෘද්ධියටම පැමිණේ.
  2. ඉන්‍ද්‍රිය සමත්ත්‍ව ප්‍රතිපාදනය - ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් සම බවට පැමිණ වීම ය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්‍ද්‍රිය ධර්‍ම පස සම ව නො පවත්නේ නම් අර්පණාව ලබා ගැනීම දුෂ්කර වේ. යම් කලෙක ඔහුගේ සද්ධින්‍ද්‍රිය බලවත් වී සෙසු ඉන්‍ද්‍රියයන් දුබල වී නම්, එකල්හි විරියින්‍ද්‍රියයෙන් කරනු ලබන, සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට අනුබල දීම නම් වූ ප්‍රග්‍රහ කෘත්‍යය ද, සතින්‍ද්‍රියයෙන් කරනු ලබන අරමුණ කරා එළඹ සිටීම නම් වූ උපට්ඨාන කෘත්‍යය ද, සමාධින්‍ද්‍රියයෙන් කරනු ලබන සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසිර යා

නොදී තැන්පත් කිරීම නම් වූ අවික්‍ෂෙප කෘත්‍යය ය ද, පඤ්ඤින්‍ද්‍රියයෙන් කරනු ලබන, ඇතිසැටියෙන් දැනගැන්ම නම් වූ දර්‍ශන කෘත්‍යය ද කළ හැකි නොවේ. එසේ ඇති කල්හි ඉන්ද්‍රිය ධර්‍මස්වභාවය මෙනෙහි කිරීමෙන් හෝ සද්ධින්‍ද්‍රිය ය. එතරම් බලවත් නො වන ආකාරයෙන් හෝ පිළිපැදිය යුතු.

යම් කලෙක විරියින්‍ද්‍රිය ය බලවත් වී සෙසු ඉන්‍ද්‍රියයන් දුබල වී නම්, එකල්හි සද්ධින්‍ද්‍රියයෙන් කරනු ලබන අධි- මොක්‍ෂ කෘත්‍යය ද, සෙසු ඉන්‍ද්‍රියයන්ට, තම තමා අයත් කෘත්‍යයන් ද කළ හැකි නොවේ. එවිට පස්සද්ධිය වැඩීම් ආදියෙන් වීර්‍ය්‍යය අඩු කර ගත යුතු.

මෙකී ඉන්‍ද්‍රිය ධර්‍මයන් අතුරෙන් ශ්‍රද්ධා-ප්‍රඥා දෙදෙනාගේ ද, වීර්‍ය්‍යසමාධි දෙදෙනාගේ ද සම බව විශේෂයෙන් සැලකිය යුතුවේ. ශ්‍රද්ධාව බලවත් ව ප්‍රඥාව දුබල වී නම් හෙතෙම අස්ථානයෙහි පහදින හෙයින් මුඛප්පසන්තයෙක් වෙයි. ප්‍රඥාව බලවත් ව ශ්‍රද්ධාව දුබල වී නම්, කෛරාටික පක්‍ෂය භජනය කරන පුද්ගලයෙක් වන්නේ ය. බෙහෙතින් හටගත් රෝගයක් පිළියම් කිරීමට දුෂ්කර වන්නාක් මෙන්, හෙතෙම පිළියම් කටහැක්කේ නොවේ. ශ්‍රද්ධා - ප්‍රඥා දෙක සමව ඇති කල්හි ස්ථානයෙහි ම පහදින්නේ ය.

යම් හෙයකින් සමාධිය බලවත් ව වීර්‍ය්‍යය දුබල වී නම් ඔහු කුසීත භාවයෙන් මැඩලනු ලබන්නේ ය. වීර්‍ය්‍යය බලවත් වී සමාධිය දුබල වී නම් ඔහු උඩච්ච භාවයෙන් මැඩලනු ලැබේ. සමාධි, වීර්‍ය්‍ය යන ඉන්‍ද්‍රියයන් දෙදෙනා සමව පවත්නා කල්හි කුසීත භාවයත්, උඩච්චයත් පහවී යාමෙන් අර්පණාව ලැබිය හැකි වේ.

ශ්‍රද්ධා, ප්‍රඥා දෙක අතුරෙන් සමාධි භාවනායෙහි යෙදුන පුද්ගලයාහට ශ්‍රද්ධාව බලවත්වීම ප්‍රයෝජනවත් වේ. වහාම අර්පණාව නො ලැබුවත් ශ්‍රද්ධාව ඇති හෙයින් බුදුන් වහන්සේ වදාළ පරිදි පිළිපැදීමෙන් ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන බව සලකා පරිකර්‍ම කොට අර්පණාවට ද පැමිණෙන්නේ ය. එපරිද්දෙන් ම ඕහට සමාධි නම් වූ ඒකග්ගතාවය බලවත් ව පැවැත්ම අවශ්‍ය වන්නේ ය. විදර්‍ශනා භාවනායෙහි නියුක්ත පුද්ගලයාහට වනාහි ප්‍රඥාව ප්‍රධාන වන්නේ ය. සතිය සෑම අවස්ථාවන්හිම බලවත් විය යුතු. සතිය කරණ කොට ගෙන සිත ආරක්‍ෂා වන හෙයින් අනිකුදු ඉන්‍ද්‍රියයන්ට තම තමන් අයත් කෘත්‍යය කිරීමට අනුබලය ලැබෙන්නේ ය.

  1. සිත සතුටු කළ යුතු කල්හි සතුටු කිරීම - යම් කලෙක ඔහුගේ සිත නුවණ මෙහෙයිමේ මදකමින් හෝ සමාධිය නො ලැබීමෙන් හෝ එහි ආස්වාද රහිත වේ ද, එකල්හි අෂ්ට සංවේග වස්තූ මෙනෙහි කිරීමෙන් සංවේගයට පමුණුවා ගත යුතු වේ. අෂ්ට සංවේග වස්තූහු නම් - ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපා දුක, අතීත සංසාර මූලක දුක, අනාගත සංසාර මූලක දුක, සහ වර්‍තමාන අහර සෙවුම් මූලක දුක යන අෂ්ට ධර්‍මයෝ යි. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ සිහි කිරීමෙන් ද ප්‍රසාදය ඇති වන්නේ ය.
  2. සිතට උපෙක්‍ෂා කළ යුතු විට උපෙක්‍ෂා කිරීම -
  3. යම් කලෙක යෝගාවචරයාගේ සිත හැකිලීමක් නොසන්සුන් බවක් හෝ ආස්වාද රහිත බවක් හෝ නැතිව අරමුණෙහි මනාව පිහිටා සමාධිය පිණිස පිළිපන්නේ වේ ද එකල්හි සිතට අනුබල දීමෙක් හෝ නිග්‍රහ කිරීමෙක් හෝ සතුටු කිරීමෙක් හෝ නොකර උපෙක්‍ෂා කළ යුතු වේ. රථය බැඳි දසුන් මනාව සමව යන විට රියැදුරු අනුබලදීම් ආදිය නො කරන්නාක් මෙනි.
  4. අසමාහිත පුද්ගල පරිවර්ජනය - භාවනාවෙහි යෙදෙන පුද්ගලයා විසින් නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදායෙහි නො ඇලුනු නොයෙක් කටයුතුවල යෙදුනු නොසන්සුන් ඉන්‍ද්‍රියයන් ඇති පුද්ගලයන් දුරු කටයුතු.

9. සමාහිත පුද්ගල සේවනය - නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනු සිත් ඇති, භාවනා කරණ, සමාධිලාභි පුද්ගලයන් සේවනය කළ යුතු.

10. තදධිමුක්තිය - සමාධිය වඩනු කැමති පුද්ගලතෙම, සමාධිය ගරු කොට, සමාධියට ම නැමුණු බර වූ සිත් ඇතිව විසිය යුතු.

මෙසේ දශවිධ අර්පණා කෞශල්‍යය සම්පාදනය කොට අර්පණාව ලැබිය හැකි වේ. ඉදින් අර්පණාව නො ලැබුනේ නම් භාවනාව අත් නො හැර නුවණින් යුක්තව නැවත නැවත ව්‍යායාම කරමින් භාවනාවෙහි යෙදිය යුතු. ඇතැම් කෙනෙක් ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි වහා අර්පණාවට පැමිණෙන්නෙමියි වීර්‍ය්‍ය දැඩි කොට ගනී. එකල්හි අධික වීර්‍ය්‍ය හේතු කොට ගෙන උද්ධච්චය හෙවත් නො සන්සුන් බව ඇතිවී අර්පණාව ලැබගන්නට අසමර්‍ත්‍ථවේ. ඇතැම් පුද්ගලයෙක් අධික වීර්‍ය්‍යයෙහි දොස් දැක කුසීත බැව්හි වැටෙයි. ඔහුට ද අර්පණාව නොලැබේ. යම් පුද්ගලයෙක් නොසන්සුන් බවෙහි හෝ කුසීත බැව්හි හෝ නොවැටී සමප්‍රයෝගයෙන් නිමිත්ත වඩා ද හෙතෙම අර්පණාවට පැමිණෙන්නේ ය. මෙසේ මනා කොට, වඩන ලද පඨවි කසිණය ඇති කල්හි අර්පණා චිත්තවීථිය උපදින්නේ ය. භවඞ්ගචලන, භවඞ්ගුපච්ඡේද යන භවඞ්ග සිත් දෙක ඉපිද නිරුද්ධ වූ කල්හි ඒ පඨවිකසිණය අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තය ඉපිද ඉක්බිති ජවන් සිත් සතරක් හෝ පසක් උපදී. එයින් මුල් ජවන් තුන හෝ සතර කාමාවචර ඤාණසම්ප්‍රයුක්ත කුසල චිත්තයෝ ය. අවසාන ජවනය රූපාවචරය. මෙකී කාමාවචර ජවනයන්හි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන චෛතසික ධර්‍මයෝ ප්‍රකෘති කාමාවචර චිත්තයන්හි විතක්කාදීන්ට වඩා ඉතා බලවත් ය. ඒ කාමාවචර ජවනයන් අතුරෙන් පළමු වන ජවනය අර්පණාවට පරිකර්‍ම වන හෙයින් පරිකර්‍ම සිත යයි ද, දෙවන ජවනය අර්පණාවට ආසන්න ව හෙවත් සමීපයෙහි හැසිරෙන බැවින් උපචාර සිත යයි ද, තුන් වන ජවනය අර්පණාවට අනුලොම වන බැවින් අනුලොම සිත යයි ද, සතර වන ජවනය කාම හෙවත් පරිත්ත ගොත්‍රය මැඩ මහග්ගත ගොත්‍රය වඩනා හෙයින් ගොත්‍රභූ සිත යයි ද ව්‍යවහාර වේ. පස් වන ජවනයට අර්පණා සිත යයි කියනු ලැබේ. මෙසේ ජවන් පසක් පරිකම්, උපචාර, අනුලොම, ගොත්‍රභූ, අර්පණා වශයෙන් උපදිනු ලබන්නේ දන්ධාභිඥ පුද්ගලයාගේ වශයෙනි. ඛිප්පාභිඥ පුද්ගලයන්ට වනාහි පරිකම් චිත්තයක් නැත. ඔහුට උපදනා චිත්තවීථියේ ජවන් සතරක් උපදී එයින් පළමු වන ජවනය උපචාර යයි ද දෙවන ජවනය අනුලොම යයි ද, තුන්වන ජවනය ගොත්‍රභූ යයි ද, සතරවන ජවනය අර්පණා යයි ද හඳුන්වනු ලැබේ. අර්පණා චිත්තය ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ග සිත් නැවතත් උපදී. මෙසේ භවාඞ්ග සිත් කීපයක් ඉපිද නිරුද්ධ වූ පසු ධ්‍යානය ප්‍රත්‍යවේක්‍ෂා කරනු පිණිස භවඞ්ගචලනය, භවඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව මනෝද්වාරාවජ්ජනය ඉපිද ඥාන සම්ප්‍රයුක්ත කුසල් ජවන් සතරක් හෝ පසක් පිළිවෙලින් ධ්‍යානය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් ඉපිද ඉක්බිති භවඞ්ගා පාතය වේ. මෙසේ පළමු වරට උපදනා අර්පණා චිත්ත වීථියේ අර්පණා සිතට ප්‍රථමධ්‍යාන සිත යයි කියනු ලැබේ. ඒ ප්‍රථමධ්‍යාන චිත්තය උපන් කල්හි ඒ යෝගාවචර තෙම (විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති) යයි වදාළ පරිදි කාමයන් ගෙන් වෙන්වම විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කරන්නේ ය. තවද හෙතෙම මේ ධ්‍යානය කරණකොට ගෙන අඞ්ග පසක් ප්‍රහීණකොට, අඞ්ග පසකින් යුක්තව, ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශලක්‍ෂණයෙන් යුක්තව වාසය කරන්නේ යයි කියනු ලැබේ.