අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඵස්ස පච්චයා වේදනා

ස්පර්ශය ඇති කල්හිම වේදනාවෝ වෙත්. ස්පර්ශය නැති කල්හි නොවෙති. එහෙයින් ඵස්ස පච්චයා වේදනා යයි දක්වන ලදී.

චාරවශයෙන් ගත් කල්හි මේ වේදනාවෝ ෂඩ්විධ වේ.

  1. එනම්: 1. චක්ඛු සම්ඵස්සජා වේදනා
  2. සොත සම්ඵස්සජා වේදනා
  3. ඝාණ සම්ඵස්සජා වේදනා
  4. ජිව්හා සම්ඵස්සජා වේදනා
  5. කාය සම්ඵස්සජා වේදනා
  6. මනොසම්ඵස්සජා වේදනා යනුයි.

මෙසේ චාරවශයෙන් ෂඩ්විධවූ මේ වේදනාවෝ ප්‍රභේද වශයෙන් එකුන් අනූවක් (89) වේ. එනම්, එකුන් අනූවක් සිත් හා සම්ප්‍රයුක්ත එකුන් අනූවක් වේදනාවෝයි. ඒ එකුන් අනූවක් වූ වේදනාවන් අතුරෙන් ඵස්ස පච්චයා වේදනා යන පදයෙහි දෙතිස් විපාක විඥානයන්හි සම්ප්‍රයුක්තවූ දෙතිස් (32) වේදනාවෝම ගතයුතු.

වේදනාවට ප්‍රත්‍යය වන ස්පර්ශයන් අතුරෙන්, චක්ඛු සම්ඵස්ස, සොතසම්ඵස්ස, ඝාණ සම්ඵස්ස, ජිව්හාසම්ඵස්ස, කාය සම්ඵස්ස යන පඤ්ච චාරයෙහි පවත්නා ස්පර්ශය තෙම, චක්ඛුසම්ඵස්සජා වේදනා, සොතසම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනාවන්ට අට පරිද්දෙකින් ප්‍රත්‍යය වේ. එනම්: 1. සහජාත ප්‍රත්‍යය, 2. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය, 3. නිස්සය ප්‍රත්‍යය, 4. විපාක ප්‍රත්‍යය, 5. ආහාර ප්‍රත්‍යය, 6. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය, 7. අත්‍ථි ප්‍රත්‍යය, 8. අවිගත ප්‍රත්‍යය, යන අෂ්ටවිධ ප්‍රත්‍යයෝ යි.

මෙකී ප්‍රසාද වස්තුක පඤ්ච වේදනාවන් කෙරෙන් අවශෙෂවූ චක්ඛුද්වාරාදිවූ එක් එක් ද්වාරයෙක්හි සම්පටිච්ඡන සන්තීරණ, තදාරම්මණ වශයෙන් ප්‍රවෘත්තවූ කාමාවචර විපාක වේදනාවන්ට, චක්ඛු සම්ඵස්සය මුල්කොට ඇති ස්පර්ශය තෙම, උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ. මනොද්වාරයෙහි වනාහි, තදාලම්බන වශයෙන් ප්‍රවෘත්තවූ කාමාවචර විපාක වේදනාවන්ට සහජාත මනො සම්ඵස්සය යයි කියන ලද ඒ ස්පර්ශය තෙම, එම අට පරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති වශයෙන්ද ප්‍රවෘත්තවූ ත්‍රෛභූමික විපාක වේදනාවන්ටද ඒ ස්පර්ශය තෙම එම අට පරිද්දෙකින්ම ප්‍රත්‍යය වේ. මනොද්වාරයෙහි තදාරම්මණ වශයෙන් ප්‍රවෘත්තවූ යම් කාමාවචර විපාක වේදනාවෝ වෙන්ද ඒ කාමාවචර විපාක වේදනාවන්ට, මනොද්වාරයෙහි මනොද්වාරාවජ්ජන චිත්තය හා සම්ප්‍රයුක්තවූ මනොසම්ඵස්සය තෙම උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් ප්‍රකාරයකින් ප්‍රත්‍යය වේ.