වේදනා පච්චයා තණ්හා
වේදනාව ඇති කල්හිම තෘෂ්ණාව වේ. වේදනාව නැති කල්හි නොවේ.
වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාවෝ ආරම්මණයන්ගේ වශයෙන් ෂඩ්විධ වේ. එනම්:
- රූප තණ්හා
- සද්ද තණ්හා
- ගන්ධ තණ්හා
- රස තණ්හා
- පොට්ඨබ්බ තණ්හා
- ධම්මතණ්හා යන සයයි.
රූපාලම්බනයෙහි තෘෂ්ණාව, රූප තණ්හා යයි ද, ශබ්දාලම්බනයෙහි තෘෂ්ණාව සද්ද තණ්හා යයි ද, ගන්‍ධාලම්බනයෙහි තෘෂ්ණාව, ගන්ධ තණ්හා යයි ද, රසාලම්බනයෙහි තෘෂ්ණාව රස තණ්හා යයි ද, පොට්ඨබ්බාලම්බනයෙහි තෘෂ්ණාව පොට්ඨබ්බ තණ්හා යයි ද, ධම්මාලම්බනයෙහි තෘෂ්ණාව ධම්ම තණ්හා යයි ද දතයුතු.
මේ තණ්හාව, කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හාවගේ වශයෙන් ත්‍රිවිධ වේ.
රූප තණ්හාවම යම් කලෙක චක්ෂුසට හමුවූ රූපා ලම්බනය කාම ගුණාස්වාද වශයෙන් ආස්වාදනය කරන්නීව පවතිද්ද, එකල්හි කාම තණ්හාව වේ.
යම් කලෙක්හි ඒ රූපාලම්බනයම නිත්‍යය යයි ද ශාස්වත යයි ද කියා මෙසේ ප්‍රවෘත්ත වූ ශාස්වත දෘෂ්ටිය හා සමඟ පවතීද, එකල්හි භව තණ්හාව වේ. එනම්: ශාස්වත දෘෂ්ටිය හා එක්ව පැවති රාගය තෙම භව තෘෂ්ණාව නමැයි කියනු ලැබේ.
යම් කලෙක්හි ඒ රූපාලම්බනයම සුන්වන්නේය, විනාශ වන්නේය යි මෙසේ ප්‍රවෘත්ත වූ උච්ඡේද දෘෂ්ටිය හා සමඟ පැවති කල්හි විභව තණ්හා නම් වේ. උච්ඡේද දෘෂ්ටිය හා සමඟ පැවති රාගය තෙම විභව තණ්හාය යි කියනු ලැබේ.
සද්ද තණ්හාදිය ද මේ නයින්ම දතයුතු.
මෙසේ මේ ෂඩ්විධ තණ්හාවෝ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් ආකාරයෙන් ගත් කල්හි තෘෂ්ණාවෝ අටළොසක් වෙති. (6 × 3 = 18) එයද අධ්‍යාත්ම, බාහිර සන්තාන වශයෙන් සතිසකි (36). (18 × 2 = 36) තවද, අතීත, අනාගත, පච්චුප්පන්න වශයෙන් අටතුරාශියක් (108) වේ. (36 × 3 = 108).
මේ වෙදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි එකළාවූම විපාක සුඛ වෙදනා තොමෝ අදහස් කරණ ලදී. ඒ විපාක සුඛ වෙදනා තොමෝ තෘෂ්ණාවට උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් අයුරෙකින්ම ප්‍රත්‍යය වේ.
දුකට පත්වූ පුද්ගලයෙක් සුඛය ප්‍රාර්ථනා කෙරේද, සුවපත්වූ පුද්ගලයෙක් සුඛය වැඩියක්ම ප්‍රාර්ථනා කෙරේද, උපෙක්ෂාතොමෝ සන්හුන් වන බැවින් සුඛ වෙදනාවට ඇතුළත්කොට වදාරනලද බැවින්ද, සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන ත්‍රිවිධ වෙදනාවෝම තෘෂ්ණාවට ප්‍රත්‍යය වූවාහු වෙති.
ඒ තෘෂ්ණාව වෙදනාව ප්‍රත්‍යය කොට ඇත්තී නමුත් අනුශය ක්ලේශයන් දුරුකළ, වැස නිමවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති, භාවිතපාපීවූ, ක්ෂීණාශ්රවයන් වහන්සේට ඇති නොවේ.