අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සළායතන පච්චයා ඵස්සො

ෂඩ් ආයතන ප්‍රත්‍යයෙන් ඇතිවන ස්පර්‍ශයෝ නම් දෙතිස් (32) විපාක විඤ්ඤාණයන් හා සම්ප්‍රයුක්තවූ දෙතිස් (32) ස්පර්‍ශයෝ යි මේ සළායතනයෝ ස්පර්‍ශයාගේ පැවැත්මට උපකාර වේ.

මෙහි ස්පර්‍ශය සවැදෑරුම් වේ. එනම්:

  1. චක්ඛු සම්ඵස්සය
  2. සොත සම්ඵස්සය
  3. ඝාණ සම්ඵස්සය
  4. ජිව්හා සම්ඵස්සය
  5. කාය සම්ඵස්සය
  6. මනො සම්ඵස්සය

චක්ඛු සම්ඵස්සය තෙම චක්ඛායතනය, රූපායතනය, චක්‍ෂුර් විඥාන නම් වූ මනායතනය, ස්පර්‍ශයා කෙරෙන් අවශෙෂවූ සම්ප්‍රයුක්ත සඞ්ඛ්‍යාත ධර්‍මායතනය, හේතුකොට ගෙන වේ. සොත සම්ඵස්සාදිය ද මේ නයින්ම දතයුතු. මෙසේ මේ ස්පර්‍ශය තෙම එකම ස්පර්‍ශයක්වූයේ වී නමුත් නොයෙක් ආයතනයන් හේතුකොට ගෙන වන්නේය. ආයතනයන් නැති කල්හි ස්පර්‍ශය ඇති නොවේ. එහෙයින් ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වන බව කියනලදී.

චක්ඛායතන, සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන යන පඤ්චවිධ ආයතනයන් චක්ඛුසම්ඵස්ස, සොතසම්ඵස්ස, ඝාණසම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්සය යන පඤ්චවිධ ස්පර්‍ශයට ෂට් (6) ප්‍රකාරයකින් ප්‍රත්‍යය වේ. එනම්: 1. නිස්සය ප්‍රත්‍යය, 2. පුරෙජාත ප්‍රත්‍යය, 3. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය, 4. විප්‍රයුක්ත ප්‍රත්‍යය, 5. අත්‍ථි ප්‍රත්‍යය, 6. අවිගත ප්‍රත්‍යය යන ප්‍රත්‍ය සයයි.

ඒ පඤ්චවිධ ආයතනයන් ගෙන් අන්‍යවූ හුදකළාවූ විපාක මනායතනය තෙම, කුසල විපාකාදී පඤ්චචාරිකාදී වශයෙන් නොයෙක් ප්‍රභේද ඇති විපඤ්ච විඥානයන් හා සම්ප්‍රයුක්තවූ ස්පර්‍ශයට නවාකාරයකින් ප්‍රත්‍යය වේ. එනම්: 1. සහජාත ප්‍රත්‍යය, 2. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය, 3. නිස්සය ප්‍රත්‍යය, 4. විපාක ප්‍රත්‍යය, 5. ආහාර ප්‍රත්‍යය, 6. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය, 7. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය, 8. අත්‍ථි ප්‍රත්‍යය, 9. අවිගත ප්‍රත්‍යය යන නවයයි.

රූපායතනය තෙම, චක්ඛු සම්ඵස්සයට 1. ආරම්මණ ප්‍රත්‍යය, 2. පුරෙජාත ප්‍රත්‍යය, 3. අත්ථි ප්‍රත්‍යය, 4. අවිගත ප්‍රත්‍යය වශයෙන් සතර පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

ශබ්දායතනාදීහුද, සොතසම්ඵස්සාදීන්ට එමෙන්ම සතර පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

මනො සම්ඵස්සයට ඒ රූපාදි ආයතනද, ධම්මා යතනයද ඒ සතර පරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. එසේම ආලම්බන ප්‍රත්‍යය මාත්‍රයෙනුත් ප්‍රත්‍යය වේ.