අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නාම රූප පච්චයා සළායතනං

මෙහි වෙදනාදීවූ ස්කන්‍ධයන් තුන්දෙනාගේ අවයව සමුදාය ය නාම නම්.

තමාගේ සන්තානයෙහි ඇතුළත්වූ ඒකාන්ත වශයෙන් සතර විධ වූ භූතයන්ද, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය හදය යන වස්තුහුද, ජීවිතෙන්‍ද්‍රිය යද යන භූත රූප වස්තු රූපාදිය රූප නම්.

නාමයත්, රූපයත් එක්කොට ගත් කල්හි නාමරූප නම්. ඒ නාම රූපය තෙම ෂඩ් ආයතනයන්ටම ප්‍රත්‍යය වේ. ඒ ෂඩ් ආයතනයෝ නම් චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන ආයතනයෝයි.

අරූප භූමියෙහි නාමය තෙම, සවැනිවූ මනායතනයටම ප්‍රත්‍යය වේ. අනිත් ආයතනයන්ට ප්‍රත්‍යය නොවේ.

ඒ ඒ නාම රූපයාගේ වීමක් ඇතිකල්හිම ඒ ඒ ආයතන තෙමේ වේ. එසේ නොවන කල ආයතන ඇති නොවේ.

අරූප භූමියෙහි ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්තික්‍ෂණයන්හි නාමයම ඒ සවැනිවූ මනායතනයට යටත්පිරිසෙයින් සත් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ. එනම්:

ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, නාමය තෙම, මනායතනයට (1) සහජාත, (2) අන්‍යොන්‍ය, (3) නිශ්‍රය, (4) සම්ප්‍රයුක්ත, (5) විපාක, (6) අස්ති (7) අවිගත යන සත් පරිද්දෙන් ප්‍රත්‍යය වේ.

මේ හැර කිසි නාම ධර්‍මයෙක් හේතුප්‍රත්‍යයෙන් හා ආහාර ප්‍රත්‍යයෙන්ද ප්‍රත්‍යය වේ.

ප්‍රවෘත්තික්‍ෂණයෙහි, විපාකනාමය තෙම, එම සත් පරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. අවිපාක නාමය තෙම විපාක ප්‍රත්‍යය හැර ඉතිරි සය ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

මේ අවිපාක නාමයන් අතුරෙන්, අලොභ, අදොස, අමොහ සඞ්ඛ්‍යාතවූ කිසි නාමයෙක්, හේතුප්‍රත්‍යයෙන්ද ස්පර්‍ශ චේතනාදි සඞ්ඛ්‍යාතවූ කිසි නාමයෙක් ආහාර ප්‍රත්‍යය යෙන්ද ප්‍රත්‍යය වේ.

පංචවොකාර භවයෙහි, විපාක නාමය තෙම ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, සවැනි මනායතනයට ඒ සත් ප්‍රකාර යෙන්ම ප්‍රත්‍යය වේ. අන්‍යවූ පඤ්චායතනයට (1) සහජාත (2) නිශ්‍රය, (3) විපාක, (4) විප්‍රයුක්ත, (5) අස්ති, (6) අවිගත, යන ෂඩ් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

මේ විපාක නාමයන් අතුරෙන් කිසි විපාක නාමයෙක් හේතු ප්‍රත්‍යය වශයෙන්ද, කිසි විපාක නාමයෙක් ආහාර ප්‍රත්‍යය වශයෙන්ද, ප්‍රත්‍යය වේ.

ප්‍රවෘත්ති කාලයෙහිද, විපාක නාමය තෙම විපාකවූ ෂඩායතනයට, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මෙන් සත් පරිද්දෙකින්ම ප්‍රත්‍යය වේ.

අවිපාක නාමය තෙම විපාක නොවූ සවැනි මනා- යතනයට විපාක ප්‍රත්‍යය හැර ඉතිරි ෂඩ් ආකාරයෙන් ම ප්‍රත්‍යය වේ. මනායතනය හැර සෙසු චක්ඛායතනාදීවූ පඤ්චායතනයන්ට, විපාක නාමය තෙම, (1) පච්ඡාජාත, (2) විප්‍රයුක්ත (3) අස්ති, (4) අවිගත යන සිව් පරිද්දෙන් ප්‍රත්‍යය වේ. අවිපාක නාමය තෙමේද, ඒ සිව් පරිද්දෙන් ම ප්‍රත්‍යය වේ.

මෙහි රූපය තෙම, අරූප භූමියෙහි එක් ආයතනයකුට වත් ප්‍රත්‍යය නොවේ.

පංචවොකාර භවයෙහි, රූපයන් අතුරෙන් හදයවස්තු රූපය තෙම, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී, සවැනි මනායතනයට (1) සහජාත, (2) අන්‍යොන්‍ය, (3) නිශ්‍රය, (4) විප්‍රයුක්ත, (5) අස්ති, (6) අවිගත යන ෂඩ් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

සතර මහා භූතයෝ තුමු, ප්‍රතිසන්ධි, ප්‍රවෘත්තික්‍ෂණ යන්හි විශේෂයක් නැතිවම චක්ඛායතනාදී පඤ්චවිධ ආයතනයන්ට, (1) සහජාත, (2) නිශ්‍රය, (3) අස්ති, (4) අවිගත යන සතර ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

රූප ජීවිතෙන්‍ද්‍රියය තෙමේ, ඒ චක්ඛායතනාදී ප්‍රසාද ආයතන පස්දෙනාට, ප්‍රතිසන්ධික්‍ෂණයෙහි සහ ප්‍රවෘත්තික්‍ෂණයෙහිද, (1) අත්‍ථි, (2) අවිගත, (3) ඉන්‍ද්‍රිය යන තුන් පරිද්දෙන් ප්‍රත්‍යය වේ.

ආහාර රූපය තෙමේද, ප්‍රවෘත්තික්‍ෂණයෙහිදී තුන් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ එනම් (1) අත්‍ථි, (2) අවිගත (3) ආහාර යන තුන් ආකාරයෙන්ය.

ඒ චක්‍ෂුරාදී ප්‍රසාද රූපයෝ පස්දෙනාම චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය විඥාන සඞ්ඛ්‍යාතවූ මනායතනයට, ප්‍රවෘත්තික්‍ෂණයෙහි, (1) නිශ්‍රය, (2) පුරෙජාත, (3) ඉන්‍ද්‍රිය, (4) විප්‍රයුක්ත, (5) අත්‍ථි, (6) අවිගත යන ෂඩ් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

පඤ්ච විඥානයන් හැර අවශෙෂවූ මනායතනයට, වස්තුරූපය තෙම, ප්‍රවෘත්තික්‍ෂණයෙහි (1) නිශ්‍රය, (2) පුරෙජාත, (3) විප්‍රයුක්ත, (4) අත්‍ථි, (5) අවිගත යන පස් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පංචවොකාර භවයෙහි; වෙදනා සංඥා, සඞ්ඛාර යන ස්කන්‍ධත්‍රයද, හෘදයවස්තුරූපයද, යන නාමරූපය තෙම සවැනිවූ මනායතනයට, (1) සහජාත, (2) අන්‍යාන්‍ය, (3) නිශ්‍රය, (4) විපාක, (5) සම්ප්‍රයුක්ත, (6) විප්‍රයුක්ත, (7) අත්‍ථි, (8) අවිගත යන අට ආකාරයෙන් ප්‍රත්‍යය වේ.