අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රත්‍යයවීම

විපාක විඥානය, නාමයට නව පරිද්දෙකින්ද, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි වස්තු රූපයට නව පරිද්දෙකින්ද, වස්තු රූපය හැර අනිකුත් රූපයන්ට අට පරිද්දෙකින්ද ප්‍රත්‍යය වේ. අභිසංස්කාර විඥානය, කර්මජරූපයට එක් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ ප්‍රථම භවාඞ්ගාදි විඥානය, ඒ නාමරූපයන්ට සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යය වේ.

ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි හෝ ප්‍රවෘත්තික්‍ෂණයෙහි හෝ විපාක සංඛ්‍යාතවූ යම් නාමයෙක් රූපය හා මුසුවූ හෝ නුමුසුවූ හෝ වේද, ඒ නාමයට ප්‍රතිසන්‍ධිකෘත්‍යයෙහි නියුක්ත වූ හෝ අන්‍යවූ විපාක විඥානය තෙම (1) සහජාත (2) අන්‍යොන්‍ය (3) නිශ්‍රය, (4) සම්ප්‍රයුක්ත, (5) විපාක, (6) ආහාර (7) ඉන්‍ද්‍රිය, (8) අස්ති, (9) අවිගත යන ප්‍රත්‍යය ශක්තීන්ගේ වශයෙන් නව පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

වස්තු රූපයට, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිවූ විපාක විඥානය තෙම (1) සහජාත, (2) අන්‍යොන්‍ය, (3) නිශ්‍රය, (4) විපාක, (5) ආහාරය, (6) ඉන්‍ද්‍රිය, (7) විප්‍රයුක්ත, (8) අස්ති, (9) අවිගත යන ප්‍රත්‍යය ශක්තීන්ගේ වශයෙන් නව පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.

වස්තු රූපය හැර අන්‍ය රූපයන්ට ඉහතකී අන්‍යො- න්‍ය ප්‍රත්‍යය හැර ඉතිරි අටවිධවූ ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.

පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර විඥානය තෙම, අසංඥ සත්ත්‍වයන්ගේ කර්මජ රූපයට හෝ, පංචවොකාර භවයෙහි කර්මජ රූපයට හෝ සූත්‍රාන්තික පර්‍ය්‍යායෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක් පරිද්දෙකින් ප්‍රත්‍යයවේ.

ප්‍රතිසන්‍ධි විඥානය හා අභිසංස්කාර විඥානයන් හැර ඉතිරි විඥානය තෙම, ප්‍රථම භවාඞ්ග චිත්තයෙන් පටන් ගෙන ඒ ඒ නාම රූපයට සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යය වේ.