අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විඤ්ඤාණ පච්චයා නාමරූපං

විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයෝ හටගනිත්. මෙහි රූපයෝ නම් විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා අටවිසි (28) රූපයන්ට ඇතුළත් රූප සමූහය හෙවත් රූපස්කන්‍ධයයි.

නාමය වනාහි අභිධර්‍ම ක්‍රමයෙන් ත්‍රිවිධ වේ. එනම් වේදනා ස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධයයි, සූත්‍රාන්ත දේශනායෙහි මේ සංස්කාරස්කන්‍ධය, චේතනා, ඵස්ස, මනසිකාර වශයෙන් ත්‍රිවිධකොට ගන්නා ලදී.

නාමය තෙම සියලුම භව, යොනි, ගති. විඥානස්ථිති අසංඥසත්තය හැර ඉතිරි සත්තාවාසයන්හි පවත්නේයි.

රූපය තෙම කාම, රූප යන විධ භවයන්හිද, චතුර් විධ යොනින්හිද, පඤ්චවිධ ගතීන්හිද, චතුර්විධවූ විඥානාස්ථිතින්හිද, පඤ්චවිධවූ සත්තාවාසයන්හිද පවත්නේයි.

මෙසේ විඥාන ප්‍රත්‍යයයෙන් ලැබෙන්නාවූ නාමරූප ධර්‍මයෝ ප්‍රතිසන්‍ධික්‍ෂණයේදී ද ප්‍රවෘත්ති කාලයෙහිද ලැබෙන්නාහ.

පටිසන්‍ධික්‍ෂණයෙහි වනාහි භාවරූප නැති හෙවත් නපුංසකවූ ගබ්භසෙය්‍යක සත්ත්‍වයන්ටද, භාවරූප නැති අණ්ඩජ සත්ත්‍වයන්ටද, වස්තුදශක, කාය දශක වශයෙන් රූප සන්තති ශීර්‍ෂයෝ දෙදෙනෙක් පහළ වෙත්. එමෙන්ම වෙදනා, සඥා, සංඛාර නම්වූ නාමස්කන්‍ධයෝද පහළවෙත්. එවිට සත්ත්‍වයෙකුට පටිසන්‍ධික්‍ෂණයේදී ලැබෙන්නාවූ නාම රූපයන්ගේ අඩුම සඞ්ඛ්‍යාව තෙවිස්සකි (23).

රූප ධර්‍මයෝ ... 20

නාම ධර්‍මයෝ (වෙදනා සංඥා, සංඛාර) 3

23

භාව රූප ඇතිව පටිසන්‍ධිය ලබන්නාවූ සත්ත්‍වයන්ට පටිසන්‍ධික්‍ෂණයේදී නාමරූප ධර්‍මයන් තෙතිසක් ලැබෙන්නාහ.

එනම්:

කාය දසක, භාවදසක, වස්තු දසක 30

නාම ධර්‍මයෝ (වෙදනා, සංඥා, සඞ්ඛාර) 3

33

ඕපපාතික ප්‍රතිසන්‍ධිය ලබන්නාවූ සත්ත්‍වයන් අතුරෙන් ප්‍රථම ධ්‍යාන භූමි ආදීන්හි පිළිසිඳ ගන්නාවුන්ට යටත්පිරිසෙයින් නාමරූප ධර්‍මයෝ දෙසාළිසක් (42) ලැබෙන්නාහ.

එනම්:

චක්ඛු දසක, සොතදසක, වස්තු දසක 30

ජීවිත නවකය 9

නාම ධර්‍මයෝ 3

42

කාම භවයෙහි පරිපූර්ණායතන ඇති ඕපපාතික සත්ත්‍වයන්ටද, සංසෙදජ සත්ත්‍වයන්ටද නාමරූප ධර්‍මයෝ තෙසැත්තෑවක් (73) ලැබෙන්නාහ.

එනම්:

චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය,

වස්තු, භාව දශක වශයෙන් 70

නාම ධර්‍මයෝ 3

73

අරූපාවචර ප්‍රතිසන්‍ධිය ලබන්නාවූ සත්ත්‍වයන්ට නාම ධර්‍මයෝ තිදෙන පමණක් ලැබේ.

අසංඥසත්ත්‍ව භූමියෙහි ප්‍රතිසන්‍ධිය ලබන කල්හි ජීවිත නවකය නම්වූ රූප නවය පමණක් ලැබේ.

ප්‍රවෘත්තික්‍ෂණයෙහිදී ප්‍රතිසන්‍ධි චිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි පැවැති කර්‍මජ තෙජො ධාතුවෙන් උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටක කලාපයෙක් පහළවේ.

ප්‍රතිසන්ධි චිත්තය, ප්‍රපාතයෙහි හුණු පුරුෂයෙක් අනිකෙකු හට පිටිවහලෙක් වන්නට නොසමත් වන්නාක් මෙන් වස්තු දුබල භාවය කරණකොට ගෙන චිත්තජ රූප නූපදවයි.

පළමුවෙනි භවාඞ්ග චිත්තයාගේ පටන් චිත්තජ ශුද්ධාෂ්ටක රූප කලාපයෝ පහළ වෙත්. පසුව සෘතු චිත්තයන් හෙතුකොට ගෙන ශබ්ද නවක රූප කලාප පහළ වෙත්.

ගබ්භසෙය්‍යක ජලාබුජ සත්ත්‍වයෝ කබලීකාරාහාරය නිසා දිවි පවත්වත්ද, මව් විසින් අනුභව කළාවූ ආහාරයන් සිරුරෙහි පැතිර පවත්නා කල්හිද, ඕපපාතිකයන්ට තමාගේ කෙළ අනුභව කරන කාලයෙහිද, ආහාරජ හෙවත් ආහාර හේතුවෙන් හටගන්නාවූ ශුද්ධාෂ්ටක රූප කලාපයෙක් පහළ වෙයි. මෙසේ උඩත් පිරිසෙයින් ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටක වශයෙන් රූප අටක් (8) ද, උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය ශබ්ද රූපයත් සමග රූප නවයක්(9) ද, චිත්තසමුට්ඨාන ශුද්ධාෂ්ටකය ශබ්ද රූපයත් සමග රූප (9) දැයි විසිහය (26) වදැරුම් රූපයෝ පහළ වෙත්. මෙය හැර වස්තු කාය දසක වශයෙන් සන්තති ශීර්‍ෂයෝ දෙදෙනෙක්ද එක් එක් චිත්තක්‍ෂණයෙක්හි තුන්වර බැගින් පහළ වෙත්.

මෙසේ, කාය, භාව, වස්තු, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා දසක වශයෙන් රූප 70

චිත්ත, සෘතු, ආහාර සමුට්ඨාන රූප 26

ත්‍රිවිධ නාමස්කන්‍ධයෝ ය 3

99

මෙයින් ශබ්ද රූප දෙක ඉවත් කළ කල්හි රූප 97 කි. ඒ ඒ සත්ත්‍වයන්ට නිදා සිටියදීත්, පමාව සිටියදීත්, හැසිරෙද්දීත්, කෑම අනුභව කරද්දීත්, පැන් ආදිය බොද්දීත්, දවාලෙහිත්, රාත්‍රියෙහිත් ඒ අනූහතක් (97) නාමරූප ධර්‍මයෝ විඥාන ප්‍රත්‍යයෙන් හටගනිත්. මෙය විඥාන පච්චයා නාම රූපං යයි දතයුතු.

මේ අනූහතක් (97) නාමරූප ධර්‍මයන් අතුරෙත්, කර්‍මජ රූපය තෙම, භව, යොනි, ගති, විඥානස්ථිති, සත්ත්‍වාවාස යන්හි සියලු ත්‍රිසමුට්ඨාන රූපයන්ට පළමු පිහිටන්නේ වීනමුත්, සෘතු චිත්ත, ආහාර රූපයන් විසින් අනුබල නොදෙන ලද්දේ පිහිටන්නට හෙවත් චිරස්ථායි භාවයෙන් පවත්නට නොහැකිවේ. තමා පිළිබඳවූ සප්ත දසායුෂ්ක (17) ක්‍ෂණ මාත්‍රයම පවත්නට හැකි නමුත් චිරස්ථායි භාවයෙන් පෙළ නොසිඳ පැවැත්මට නොහැකිවේ.

ඒ ත්‍රිසමුට්ඨාන රූපය තෙමේද, ඒ කර්‍මජ රූපය විසින් අනුබල නොදෙන ලද්දේ විරස්ථායි භාවයෙන් පිහිටන්නට නොහැකි වේ.

රළ වේගයෙන් පහළ නමුත් මහ මුහුදෙහි කිසි තැනක ලත් පිහිට ඇති බුන් නැවක් මෙන්, ඔවුනොවුන්ගෙන් රුකුල් ලැබ, ඒ කර්‍මාදී චතුසමුට්ඨාන රූප කලාපයෝ පෙළ නොසිඳ පවත්නාහු ය. මෙසේ පිහිටා එක් අවුරුද්දක්, දෑවුරුද්දක්, තුන් අවුරුද්දක්, සියක් අවුරුද්දක් නමුත් යම්තාක් කලෙකින් ඒ සත්ත්‍වයන්ගේ ආයුක්‍ෂය මරණය හෝ කර්‍මක්‍ෂය මරණය හෝ වේද්ද එතෙක් කල් පවතිත්. මෙසේ සියලු භවයොනි ගති ආදීන්හි පවතිත්.

නාම රූපයට හේතුභූතවූ විඥානය ද්විවිධ වේ. එනම්:

  1. විපාක විඥානය
  2. අවිපාක විඥානය (අභිසංස්කාර විඥානය) කියායි

අසංඥ සත්ත්‍වයන්ගේ රූපයද, අසංඥ සත්ත්‍ව භූමියෙහි, කර්‍මයෙන් හටගන්නා බැවින්, එය පංචවොකාර භවයෙහි පැවති අභිසංස්කාර විඥාන ප්‍රත්‍යයයෙන් හටගත් රූප නම්.

එපරිද්දෙන්ම, පංචවොකාර භවයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කුසලාදි චිත්තක්‍ෂණයෙහි කර්‍ම සමුත්‍ථාන රූපය තෙම, පංචවොකාර භවයෙහි ප්‍රවෘත්ති අභිසංස්කාර විඥාන ප්‍රත්‍යයයෙන් නිපන් රූප නම්. එහෙයින් විඥාන පච්චයානාමරූපං කියා වේ.