ප්රතිසන්ධි විඤ්ඤාණයාගේ එකවිධාදි භේදය—
මේ විපාක විඤ්ඤාණය තෙම ප්රතිසන්ධි දාන වශයෙන් එක් පරිද්දෙකින් පවත්නේවී නමුදු, රූපය හා සමඟ මිශ්‍ර අමිශ්‍ර භේද වශයෙන් ද්විවිධ වේ.
කාමභව, රූපභව, අරූප භවයන්ගේ භේද වශයෙන් ත්‍රිවිධ වේ.
අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යොනි වශයෙන් චතුස්ප්රකාර වේ.
නිරය, ප්‍රේත, තිරස්චීන, දෙව, මනුෂ්‍ය ගති වශයෙන් පඤ්චප්‍රකාර වේ.
විඤ්ඤාණස්ථිති වශයෙන් සප්තවිධ වේ.
තවද, නිශ්‍රය ප්‍රත්‍යය වූ රූපය හා මිශ්‍ර වූ ප්රතිසන්ධි විඤ්ඤාණය තෙම
- භාවරූප සහිත ප්රතිසන්ධි විඤ්ඤාණය
- භාවරූප රහිත ප්රතිසන්ධි විඤ්ඤාණය යන භේද වශයෙන් විධ වේ.
එයින් භාවරූප සහිත ප්රතිසන්ධි විඤ්ඤාණය
- ස්ත්‍රීභාව
- පුරුෂභාව වශයෙන් විධ වේ.
මිශ්රාමිශ්ර භේදයෙහි වනාහි පළමු දැක්වූ රූප මිශ්‍ර ප්රතිසන්ධි විඥානය හා සමග යටත් පිරිසෙයින් දශක දෙදෙනෙක් හෝ දශක තිදෙනෙක් හෝ වෙත්.
අරූප භවය හැර කාම, රූප භවයන්හි රූපය හා මිශ්‍ර වූ ප්රතිසන්ධි විඥානය, රූප භවයෙහි ස්ත්‍රී පුරුෂ භාව රූපයෙන් තොරව උපදී. කාම සුගති භවයෙහි ජාති නපුංසක ප්රතිසන්ධිය හැර භාවරූපය හා සමග උපදී.
නරකයෙහිද, බූමාට දෙවියන් හැර දේව ගතියෙහිද, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ වශයෙන් යෝනීහු නොවෙත්.
මනුෂ්‍ය, ප්‍රේත, තිරශ්චීන සඞ්ඛ්‍යාත වූ ත්‍රිවිධ ගතීන්හි අණ්ඩජ ආදී වූ ත්‍රිවිධ වූම යෝනීහු වෙත්.
නිජ්ඣාමතණ්හික ප්‍රේතයෝ ඕපපාතිකම වෙත්.
රූපී බ්‍රහ්මයන් කෙරෙහි පටිසන්ධි විඥානය හා සමග චක්ඛු දසක, සොතදසක, වස්තුදසක, ජීවිත නවක යන කර්මජ රූපයෝ පහළ වෙත්.
සංසේදජ යෝනියෙහිද, රූපී බ්‍රහ්මයන් හැර අනික්වූ ඕපපාතික යෝනින්හිද උඩත් පිරිසෙයින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, වස්තු, භාව දසක වශයෙන් සැත්තෑවක් (70) රූපයෝද, යටත් පිරිසෙයින් ජිව්හා, කාය, වස්තු දශක වශයෙන් තිසක්වූ කර්මජ රූපයෝද පහළ වෙත්.
චුති ප්රතිසන්ධින්ගේ භෙද, අභෙද විශේෂය - අනතුරුව ඉක්මගිය චුතියගේද, ඊට අනතුරුවූ මිශ්රාමිශ්ර භෙදය ඇති ප්රතිසන්ධියගේද, ස්කන්ධ, ආලම්බන, ගති, හේතු, වේදනා, ප්‍රීති, විතර්ක, විචාර යන්ගේ වශයෙන් ඔවුනොවුන් සමවන බැව් අභෙද නම්. ඔවුනොවුන් හා නොසමවන බැව් භෙද නම්.
අරූප භූමියෙහි, චතුස්කන්ධයක් ඇති අරූප චුතියගේ අනතුරුවවූ චතුස්කන්ධයක් ඇත්තාවූ, අරමුණු වශයෙන් නොවෙනස්වූ ප්රතිසන්ධියක්ද වේ. මෙය අරූතලයෙන් සැව අරූතලයෙහිම පිළිසිඳ ගැනීමය.
කිසිකලෙක මහද්ගත නොවූ බහිද්ධාලම්බන සඞ්ඛ්යාතවූ ප්රඥප්තිය අරමුණුකොට ඇති චුතියගේ අනතුරුව මහද්ගතවූ අධ්යාත්මාලම්බනය අරමුණු කොට ඇති ප්රතිසන්ධියක්ද වේ. මෙය ප්‍රථම අරූප භූමියෙන් සැව විඤ්ඤාණඤ්චා යතන නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහිද, ආකිඤ්චඤ්ඤායතන භූමියෙන් සැව නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහිද පිළිසිඳ ගැනීමය.
කිසි කලෙක සතර ස්කන්ධයක් ඇති අරූප චුතියට අනතුරුව පංචස්කන්ධයක් ඇති කාමාවචරවූ ප්රතිසන්ධියක්ද වේ.
කිසිකලෙක පඤ්චස්කන්ධයක් ඇති කාමාවචර චුතියගේ හෝ රූපාවචර චුතියගේ හෝ අනතුරුව සතර ස්කන්ධයක් ඇති අරූපාවචර ප්රතිසන්ධියක්ද වේ. මෙකී නයින් අතීතාලම්බනය ඇති චුතියගේ අනතුරුව අතීතාලම්බන, නවත්තබ්බාලම්බන ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති ප්රතිසන්ධිය වේ.
ඇතැම් කාම සුගතියක්හුගේ අනතුරුව ඇතැම් දුගති ප්රතිසන්ධිය වේ.
අහේතුක චුතියගේ අනතුරුව සහේතුක ප්රතිසන්ධියක්ද වේ.
අහේතුක චුතියගේ අනතුරුව ත්‍රිහේතුක ප්රතිසන්ධියක්ද වේ.
උපේක්ඛාසහගත චුතියගේ අනතුරුව සොම්නස් සහගත ප්රතිසන්ධියක්ද වේ.
අප්‍රීතික චුතියගේ අනතුරුව සප්‍රීතික ප්රතිසන්ධියක්ද වේ.
අවිතර්ක චුතියගේ අනතුරුව සවිතර්ක ප්රතිසන්ධියක්ද වේ.
අවිචාර චුතියගේ අනතුරුව සවිචාර ප්රතිසන්ධියක්ද වේ.
අවිතර්ක අවිචාර චුතියගේ අනතුරුව සවිතර්කක සවිචාර ප්රතිසන්ධියක්ද වේ.
ඒ චුතිප්රතිසන්ධි විඥානයෝ තුමූ පළමු අත්බැවෙන් පැසුළු අත්බැවට නික්ම එද්ද? පූර්ව හේතු ආදීන් තොරව පිහිටද්ද? යන මේ ප්‍රශ්නයන්ට පිළිතුරු දතයුතු.
පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නැත. ජීව සඞ්ඛ්‍යාත ආත්මයෙක්ද නැත. ඒ විඥානය, ලබනලද අවිද්‍යාදී ප්‍රත්‍ය ශක්ති ඇත්තේව උපදී. නාමරූප ධර්ම මාත්‍රයක්ම අන්‍ය භවයෙක්හි පිහිටයි. ඒ විඥානයාගේ ඉකුත්වගිය අත්බැවෙන් මේ අත්බැව්හි සැරීමකුදු නැත්තේය. පූර්වභවයෙන් භවාන්තරයට වදනා බවෙක්ද නොවේ. ඒ ඉකුත්වගිය අත්බැව්හි අවිද්‍යා සංස්කාරාදී හේතුවක් නැතිව මේ අත්බැව්හි පහළවීමකුදු නැත්තේය. ඉකුත්ව ගිය අත්බැව්හි ස්වභාවයෙන් හෝ තමාගේ උපක්‍රමයෙන් හෝ, මෙරමාගේ උපක්‍රමයෙන් හෝ ඉතා ලංවූ මරණය ඇති, නොඉවසිය හැකි සියළු අඞ්ග ප්‍රත්‍යඞ්ග යන් සම්බන්ධිවූ සන්ධීන්ගේ ඝටනස්ථානයෝ සිඳපියන්නාවූ මරණයම අවසන්කොට පවත්නා මරණ වෙදනාවන්ගෙන් පීඩිතවූ සිරුර, අව්වෙහි බහාලූ අමු තල්කොලයක් මෙන් ක්‍රමයෙන් වියලෙන කල්හි, චක්ෂුරාදීවූ ඉන්ද්රියයන් නිරුද්ධව ගිය කල්හි, වැඩියෙන් බෙලහීන බවට ගිය කල්හි, කායෙන්ද්රිය, මනෙන්ද්‍රිය, ජීවිතෙන්ද්රියයන් හදයවත් පමණෙක්හි පිහිටි කල්හි එකෙනෙහි ඉතිරිවූ හදවත ඇසුරු කළාවූ විඥානය තෙම, මාතෘඝාතාදි ගරුකර්මය, නැවත නැවත අසේවනය කරණලද ආචීර්ණ කර්මය, මරණාසන්න කාලයෙහි කරණලද ආසන්න කර්මය, පූර්වභවයන්හි කරණලද අපරාපර්ය්යායවේද්ය කර්මය යන මොවුන් අතුරෙන් එක්තරාවූද, ලබනලද අවශේෂ අවිද්‍යාදි වූ ද, විඥානයට ප්‍රත්‍ය ශක්ති ඇති සංස්කාර යයි කියනලද කුසලාකුසල කර්මය හෝ කුසලාකුසල කර්මය විසින් එළවූ කම්ම නිමිති, ගති නිමිති සඞ්ඛ්යාතවූ අරමුණ හෝ අරමුණු කොට පවතී.
මෙසේ පවත්නාවූ ඒ විඥානය තෙම, තෘෂ්ණා අවිද්‍යාවන් මාර්ගඥානයෙන් ප්‍රහීණ නොකළ බැවින්, අවිද්‍යාව විසින් මුවාකළ දොස් ඇති ඒ අරමුණෙහි, තෘෂ්ණාතොමෝ නැමී පවතී. මරණාසන්නවූ ජවන් සිත් සමඟ උපන් චේතනා ස්පර්ශාදිවූ සහජාත සංස්කාරයෝ තුමූ ඒ අරමුණෙහි ප්රතිසන්ධි විඥානය බහන්නවුන්මෙන් පවතී. ඒ ප්රතිසන්ධි විඥානය තෙම චුති ප්රතිසන්ධි තදාසන්න විඥානයන්ගේ පෙළගැසීම් වශයෙන් තෘෂ්ණාව විසින් නමනු ලබන්නේව, මරණාසන්න ජවන විඥානයන් හා සහජාතවූ සංස්කාරයන් විසින් බහනු ලබන්නේව, මෙගොඩ ඉවුර සිටි රුක බැඳී රැහැන ආධාර කොටගෙන ඇල ඉක්මවා යන්නාවූ පුරුෂයෙක්හු මෙන්, පළමු භවයෙහිවූ නිශ්‍රය රූපයද හැර, අන්‍යවූ කර්මය විසින් එළවන ලද නිශ්‍රයවූ වස්තුරූපයද ආස්වාදය කරමින් හෝ නොකරමින් හෝ, ආලම්බන ප්‍රත්‍යය මුල්කොට ඇති ප්රත්යශක්තීන් හෙවත් ආලම්බන සම්ප්‍රයුක්ත කර්මප්රත්යාදීන් හේතුකොටගෙනම පවතී.
මෙයින් පළමු වූ සිත, මේ ආත්මභාවයෙන් චුත කරවන හෙයින් චුති චිත්තය වේ. පැසුළු සිත අන්‍ය ආත්මභාවයක් හුගේ ප්‍රවෘත්තිය ගළපන හෙයින් ප්රතිසන්ධි චිත්තය නමැයි කියනු ලැබේ. ඒ ප්රතිසන්ධි විඥානය තෙම පළමු පැවති අත්බැවේත් මේ හමුවූ අත්බැව්හි නොආයේ යි. ඒ පළමු පැවති අත්බැව්හි, ප්රතිසන්ධි ජනක කර්මය, මරණාසන්න ජවන් සිත් සහවගිය සංස්කාර තෘෂ්ණා ශක්තියෙන් නැමුණු බවය, කර්ම, කර්මනිමිති, ගති නිමිති යන ආලම්බනය ගැනීමය යනාදි හේතු සමූහය තොරකොට පහළවූයේ නොවෙයි. මෙහි දක්වනලද උපමාවෙහි මෙගොඩ ඇල ඉවුර රුක බැඳි රැහැන මෙන් ප්රතිසන්ධි, භවාඞ්ග, චුති සඞ්ඛ්‍යාත පළමු අත්බැව් බැඳි කර්මාදි ආලම්බනය දතයුතු. එහි පුරුෂයා මෙන් තෘෂ්ණාව දතයුතු. ඉක්මවන ව්‍යාපාරය මෙන් සංස්කාරය දතයුතු. හෙතෙම එතෙර ඉවුරෙහි පිහිටන්නේ එතෙර රුක බැඳි කිසිවක්හු ලබන්නේ හෝ නොලබන්නේ හෝ හුදෙක් පොළොවෙහි නතුවීමට කරුණු වූ ස්වශක්තීන්ම යම්සේ පිහිටාද, එමෙන්ම මේ ප්රතිසන්ධි විඥානය භවාන්තරාත්මභාවය වැළඳ සිටි හෘදයවස්තු සඞ්ඛ්‍යාත නිශ්රයස්ථානය පඤ්චවොකාර භවයෙහි ලබමින් හෝ, චතුවොකාර භවයෙහි නොලබමින් හෝ, ආලම්බන, සම්ප්‍රයුක්ත, කර්ම ප්‍රත්‍යය ශක්තියෙන්ම පවත්නේයි.
ප්රතිරාවය, ප්‍රදීපය, මුද්රාය, ප්‍රතිබිම්බය යන කාරණයෝ නිදර්ශනයෝ වෙත්.
ප්රතිරාවය තෙම, ශබ්දය උත්පත්ති කාරණාකොට ඇත්තේය.
මුද්‍රා නම් ලද ඵලභූතවූ පිළිඹිඹුරුව, හේතුභූතවූ ලාඤ්ඡනය උත්පත්ති කාරණාකොට ඇත්තේය. කැටපත්තල ආදියෙහි හුණුවගිය පිළිරුව, මුව සටහන් ආදිය උත්පත්ති කාරණාකොට ඇත්තේය.
ඵලය හේතුභූතවූ තැන රැස්ව සිට අන් තැනෙකට නො ගියේ වෙයි. ප්රතිසන්ධි විඥානයද, පූර්ව භවයෙහි රැස්ව සිට මේ භවයට ආයේ නොවෙයි. පෙළ සැදී පවත්නා හෙයින් මේ ප්රතිසන්ධි විඥානයාගේ සමානත්වයකුදු නැත. නානත්වයකුදු නැත. අනුප්රබන්ධ වශයෙන් ඇති කල්හි එකාන්තයෙන් සමානත්වය වන්නේ නම් කිරි හේතුකොටගෙන දී හටගැන්ම නොවන්නේය. එකාන්තයෙන් භින්නත්වයකුදු වන්නේ නම් කිරි හා සම්බන්ධීවූ දී නොවන්නේය. බීජාඞ්කුරාදීහුද මෙබඳු නය ඇතියහු වෙත්.
එකාන්ත ඒකත්වය ඇති කල්හි මනුෂ්‍යයෙකුට දෙවියෙක් විය නොහැකි. ඒකාන්ත නානත්වයක් ඇති කල්හි එක් අයෙක් සකස්කළ කර්මය අනෙකෙක්හට යාහැකියි. එබැවින් මේ හේතුඵල ධර්මයන්හි ඒකාන්තයෙන් එකමය යන බව හෝ එකාන්තයෙන් අනෙකක් වන බව හෝ නුවණැතියන් විසින් නොපිළිගතයුතු. මෙහි ඒකාන්ත ඒකත්වය හැරීමෙන් ශාස්වත දෘෂ්ටිය වළකයි. ඒකාන්ත නානත්වය හැරීමෙන් උච්ඡේද දෘෂ්ටිය වළකයි. හේතු, හේතුසමුප්පන්නභාවය දැක්වීමෙන් නිෂ්කාරණොත්පත්තිය වළකයි.
අඹ ඇටයක් රෝපණය කළ කල්හි පසු කලෙක ලබනලද ප්‍රත්‍යයන් ඇතිහෙයින් අඹඵල හටගනී. අන් ඵලයක් හට නොගනී. මෙහි බීජය මෙන් කර්මවත්වූ සත්ත්වයා දතයුතු බීජයාගේ අඞ්කුරාදී පටිපාටිය මෙන් සත්ත්වයාගේ ප්රතිසන්ධි විඥානාදී පරිපාටිය දතයුතු. එහි අඹ රස ආදිය අඹඵලයාගේ හේතුවෙන් සකස් කළාක්මෙන් කර්මය කළාවූ සත්ත්වයාහටම ඒ කර්ම හේතුවෙන්ම විපාකයෝ වීම දතයුතු.
බාල දරුවෙකුට ශාස්ත්‍ර පුහුණු කිරීමද, ශිල්ප අභ්‍යාස කිරීමද, රෝගනාශක ඖෂධ ප්‍රයෝග කිරීමද, වෘද්ධ අවස්ථාවෙහිවූ ශරීරයට නොවදිති. නමුත් ඒ හේතුවෙන්, ශාස්ත්‍ර පටුත්වයද, ශිල්ප දැනීමද, නිරාතඞ්කභාවයද, වෘද්ධ අවස්ථාවට පැමිණි සිරුරෙහි පිහිටන්නේය. ඒ ශාස්ත්‍රාදිය බාල අවස්ථාවන්හිදී ප්‍රගුණ කළ අයගෙන් පිටත කෙනෙකුට නො පිහිටයි. එසේම මේ නාමරූප, සන්තති වශයෙන් පැවැත්මෙන් යම් ප්රතිසන්ධි ඵලයෙක් ඇත්නම්, ඒ ඵලය තෙම කර්ම සකස් කළ පුද්ගලයා හට මුත් අන් පුද්ගලයෙකු හට නොවේ. සකස් කළ හේතුවෙන්ම මුත් අන්‍ය හේතුවකින් හෝ අන්‍ය සන්තානගත කර්ම හේතුවකින් හෝ නොවේ.
කර්ම විපාකය ඉපැද්මෙන්ම විපාකය විඳින්නෙක යන ප්රඥප්ති තොමෝ සිද්ධය. ගෙඩි හටගැන්මෙන් වෘක්ෂයාගේ ඵල දරයි යන සම්මුතිය මෙනි. වෘක්ෂ නාම ප්රඥප්තිය නිසා පවත්නාවූ රූප ධර්මයන්ගේ එක් අවයවයක් වූ වෘක්ෂ ඵල මාත්රයාගේ ඉපැදීමෙන්ම වෘක්ෂතෙමේ ඵලගනී යයි කියනු ලැබේ.
එසේම දෙව මනුෂ්‍ය නාම ප්රඥප්තීන් නිසා පවත්නා වූ ස්කන්ධයන්ගේ එක් අවයවයෙක් වූ, අනුභව කිරීම යයි කියන ලද සුඛ දුක්ඛ විපාකයාගේ ඉපැදීමෙන්ම, දෙවියෙක් හෝ මිනිසෙක් හෝ සුවදුක් විඳි යනාදිය කියනු ලැබේ. මෙහි ස්කන්ධයන් කෙරෙන් අන්‍ය වූ විඳින්නෙක් නැත්තේය. කළ බැවින්ම සංස්කාරයෝ තුමූ තමාගේ විපාකයට හේතු භූ වෙති. කාමාවචර කුසල කර්මය කළ බැවින් ඵලභූත වූ චක්ෂුර් විඥානය උපන්නේ වේ. වරක් ඵල දුන් කල නැවත විපාක දීමෙක් නැත.
කාමාවචර අෂ්ටවිධ කුසල චේතනා නම් වූ කාමාවචර පුණ්‍යාභි සංස්කාරයෝ තුමූ එකොළොස් කාම භවයෙහි දෙව් මිනිස් සුගතියෙහි—
කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය, අට මහා විපාකය
යන නවවිධ විපාක විඥානයන්ට ප්රතිසන්ධික්ෂණයෙහිම නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් ද, පකතූපනිශ්රය ප්‍රත්‍යය ශක්තියෙන්ද, යන දෙපරිද්දෙන් ප්‍රත්‍යය වේ.
රූපාවචර පුණ්‍යාභිසංස්කාරය තෙම, රූප භවයෙහි ප්රතිසන්ධික්ෂණයෙහිම පඤ්චවිධ වූ රූපාවචර විපාක විඥානයන්ට, නානාක්ෂණීක කර්ම ප්‍රත්‍යය ශක්තියෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන්ද යන දෙපරිද්දෙන් ප්‍රත්‍යය වේ.
කාමාවචර පුණ්‍යාභිසංස්කාරය තෙම කාම භවයෙහි සප්තකාම ස්වර්ගයෙහි උපෙක්ඛා සහගත අහෙතුක මනොවිඤ්ඤාණ ධාතු නම් වූ චක්ඛු විඤ්ඤාණාදි වූ සප්තවිධ කාමාවචර විපාක විඥානයන්ට, ප්රවෘත්තික්ෂණයෙහිම යට කියන ලද දෙපරිද්දෙන්ම ප්‍රත්‍යය වේ ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍ය නොවේ.
කාමාවචර පුණ්‍යාභිසංස්කාරය තෙමේ රූප භවයෙහි පඤ්චවිධ වූ කුසල විපාක චක්ඛුවිඥාන, සොතවිඥාන, සම්පටිච්ඡන, උභය සන්තිරණ සඞ්ඛ්‍යාත කාමාවචර විපාක විඥානයන්ට එපරිද්දෙන්ම හෙවත් කර්‍මප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. ප්රතිසන්ධික්ෂණයෙහිදී ප්‍රත්‍ය නොවේ.
කාම භවයෙහි, චතුර්විධ දුර්ගතියෙහි අෂ්ටවිධ වූ කාමා වචර වූ අහෙතුක කුසල විපාක විඥානයන්ට කර්ම ප්‍රත්‍යය උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන්ම ප්රවෘත්තික්ෂණයෙහිදී ප්‍රත්‍යය වේ ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍ය නොවේ.
ඒ දුර්ගති භූමින් අතුරෙහි, නරකයෙහි මහමුගලන් තෙර නුවන්, නිරයට වැඩමවන අවස්ථාවෙහිදී ඉෂ්ටාලම්බනයන් හා එක්වීම නිමිතිකොට කාමාවචර පුණ්‍යාභි සංස්කාරය තෙම, කාමාවචර වූ අහෙතුක කුසල විපාක විඥානයන්ට ප්‍රත්‍යය වේ. නිරශ්චීනාදීන් අතුරෙන් මහත් ආනුභාව ඇති නාගය, ගරුඩය, ප්‍රේතය යන සත්ත්වයන් කෙරෙහි ද, ඉෂ්ටාලම්බනයක් ලැබේමය.
ඒ කාමාවචර පුණ්‍යාභිසංස්කාරය තෙම, කාම භවයෙහි සප්තකාම ස්වර්ගයෙහි සොළොස්විධ වූ කුසල විපාක විඥානයන්ට කර්ම ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන් ප්‍රවෘත්තික්‍ෂණයෙහි ද, ප්රතිසන්ධික්ෂණයෙහි ද ප්‍රත්‍යය වේ.
සාමාන්‍ය වශයෙන් තෙළෙස් පුණ්‍යාභිසංස්කාරය තෙම රූප භවයෙහි දශවිධ වූ කාමාවචර රූපාවචර විපාක විඥාන යන්ට කර්ම ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ද ප්රතිසන්ධික්ෂණයෙහි ද ප්‍රත්‍යය වේ.
දොළොස්විධ වූ අපුණ්‍යාභිසංස්කාරය තෙම, කාම භවයෙහි දුර්ගතියෙහි අකුසල විපාක සන්තීරණ නම් වූ ප්රතිසන්ධි විඥානයට එපරිද්දෙන්ම ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
ඉතිරි ෂඩ්විධ අකුසල විපාක විඥානයන්ට ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
සප්තවිධ වූ අකුසල විපාක විඥානයන්ට ප්‍රවෘත්තික්‍ෂණයෙහි ද, පටිසන්ධික්ෂණයෙහි ද ප්‍රත්‍යය වේ.
කාම භවයෙහි සප්තකාම සුගතියෙහි ඒ අකුසල විපාක යන් සත්දෙනාටම කර්ම ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
රූප භවයෙහි චතුර්විධ වූ අකුසල විපාක විඥානයන්ට ඒ දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ. පටිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
ඒ අපුණ්‍යාභිසංස්කාරය තෙම, කාමාවචර භූමියෙහි අනිෂ්ට රූපාලම්බන දර්ශන, අනිෂ්ට ශබ්දාලම්බන ශ්රවණයන්ගේ වශයෙන් ප්‍රත්‍යය වේ. බඹලොව වනාහි අනිෂ්ට වූ රූපාදී ආලම්බන කෙනෙක් නම් නැත්තාහ. ෂට් කාමාවචර දෙව ලෝකයෙහි ද, අනිෂ්ටාලම්බනයෝ නැත්තාහ.
ආනෙඤ්ජාභිසංස්කාරය තෙම, අරූප භවයෙහි චතුර්විධ වූ අරූපාවචර විපාක විඥානයන්ට කර්ම ප්‍රත්‍යය උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙපරිද්දෙන්ම ප්රවෘත්තික්ෂණයෙහිද, ප්රතිසන්ධික්ෂණයෙහිද ප්‍රත්‍යය වේ.
කාමාවචර කුසලාකුසල වශයෙන් විසිවැදෑරුම් වූ චෙතනා සඞ්ඛ්‍යාත කාය සංස්කාරය තෙම, එකොළොස් කාම භූමි යෙහි, අෂ්ට මහා විපාක, උපෙක්ඛා සන්තීරණවයාගේ වශයෙන් දසවිධ වූ විපාක විඥානයන්ට ප්රතිසන්ධික්ෂණයෙහි නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය ශක්තියෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන්ද යන දෙපරිද්දෙන් ප්‍රත්‍යය වේ.
ඒ විසි වැදෑරුම් වූ කාය සංස්කාරය තෙමේ, එකොළොස් කාම භවයෙහි ෂඩ්විධ අකුසල විපාක චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, සම්පටිච්ඡන, සප්තවිධ කුසල විපාක චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය විඥාන, සම්පටිච්ඡන, සෝමනස් සන්තීරණ යන තෙළෙස් විපාක විඥානයන්ටද
රූප භවයෙහි චතුර්විධ අකුසල විපාක, පඤ්චවිධ කුසල විපාකයන්ගේ වශයෙන් නවවිධ වූ විපාක විඥානයන්ටද ඒ දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
ඒ විසිවැදෑරුම් වූ කාය සංස්කාරය තෙමේ, එකොළොස් කාම භවයෙහි සියළුම අහේතුක විපාක, මහා විපාකයන්ගේ වශයෙන් තෙවිසි වැදෑරුම් වූ විපාක විඥානයන්ට ඒ දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ද ප්රතිසන්ධික්ෂණයෙහිද ප්‍රත්‍යය වේ.
වචී සංස්කාරයෙහිදු එබඳුම නය ඇත්තේය.
කාමාවචර කුසලාකුසල චෙතනා විසිදෙන හා චතුෂ්කනයින් රූපාරූප විපාක අටදෙනාද එකතුව එසේම පඤ්චකනයින් රූපාරූප නවදෙනා එකතුවද, අටවිසි (28) වැදෑරුම්, එකුන්තිස් (29) වැදෑරුම් චෙතනාවන්ගේ වශයෙන් ප්රභේදවන් වූ චිත්ත සංස්කාරය තෙම, කාම, රූප අරූප භවයන්හි උපෙක්ඛාසහගත සන්තීරණ යුග්මය, මහා විපාක අට දෙනාය, රූපාරූප විපාක නවදෙනාය, යන මොවුන්ගේ වශයෙන් එකුන් විසි (19) විපාක විඥානයන්ට ඒ දෙපරිද්දෙන්ම ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
එකී චිත්ත සංස්කාරය තෙම කාම, රූප යන උභය භවයන්හි යට කියනලද උපෙක්ඛා සන්තීරණ යුග්මය හැර ඉතිරි අහේතුක තෙළෙස් (13) විපාකයන්ටද, නවවිධවූ රූපාරූප විපාකයන්ටද යන මේ දෙවිසි (22) විපාක විඥාන යන්ට ඒ දෙපරිද්දෙන්ම ප්‍රවෘත්තික්‍ෂණයෙහි ප්‍රත්‍යය වේ. ප්රතිසන්ධික්ෂණයෙහි ප්‍රත්‍යය නොවේ.
කාම, රූප, අරූප යන ත්‍රිවිධ භවයන්හි අහේතුක විපාක, මහා විපාක, රූපාරූප විපාකයන්ගේ වශයෙන් දෙතිස් (32) වැදෑරුම්වූ විපාක විඥානයන්ට ඒ දෙපරිද්දෙන්ම ප්රවෘත්තික්ෂණයෙහිත්, ප්රතිසන්ධික්ෂණයෙහිත් ප්‍රත්‍යය වේ,
පළමුකොට කාම, රූප, අරූප භවයන්හි ප්රතිසන්ධි, ප්රවෘත්තීන්ගේ ශක්ති වශයෙන් ඒ සංස්කාරයෝ තුමූ යම් විපාක විඥාන කෙනෙකුන්ට ප්‍රත්‍යයෝ වෙද්ද යම් පරිද්දෙකින් ප්‍රත්‍යයෝ නොවෙද්ද, එපරිද්දෙන් දත යුත්තාහ.
මෙකි නයින්ම යොනි ආදීන්හිද විභාගය දත යුත්තාහ.