22. නාස්ති ප්‍රත්‍යය
එක් චිත්තසන්තානයක එක්වර එක් සිතක් මිස සිත් දෙකක් හෝ වැඩි ගණනක් නූපදී. එක් සිතක් ඉපිද නිරුද්ධව ගිය පසු අනික් සිත උපදී. මෙසේ නිරුද්ධ වන සිත එයට අනතුරුව උපදනා සිතට ඉපදීමට අවකාශ දෙමින් නිරුද්ධ වෙයි. පූර්ව චිත්තය නිරුද්ධ නොවන තාක් කල් අනික් සිතට ඉපදීමට අවකාශ නැත. එබැවින් චිත්ත සන්තානයෙහි තමන්ගේ ස්ථානය ගෙන අන්‍ය චිත්ත චෛතසික ධර්මයනට ඉපදිය හැකිවන පරිදි නිරුද්ධවන නාම ධර්මයෝ, තමතමන්ට අනතුරුව තමන්ගේ තැන ගෙන උපදනා නාම ධර්මයන්ට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.
නාස්ති ප්‍රත්‍යයෙහි ස්වරූපයෝ අනන්තර ප්‍රත්‍යයෙහි මෙනි. මේ ප්‍රත්‍යය දෙක්හිම ප්‍රත්‍ය ධර්මත් ප්රත්යොත්පන්න ධර්මත් සමානය. අනන්තර ප්‍රත්‍යය ශක්තිය නම් පූර්‍වපූර්‍ව චිත්තයාගේ ඇති, චිත්ත පරම්පරාව නොසිඳෙන පරිදි නිරවුල් ලෙස ක්‍රමානුකූලව පශ්චිම පශ්චිම චිත්තයන්ගේ උත්පත්තියට උපකාර වන ශක්තියයි. චිත්ත වීථියක පිළිවෙලින් ඒ ඒ කෘත්‍යයන් සිදුකරමින් උපදනා චිත්තයන් අතුරෙන් පසු සිත ඉපදීමට උපකාර වන්නේත්, පසු සිත උපදවන්නේත් පූර්ව චිත්තයයි. එය පූර්ව චිත්තයාගේ ඇති අනන්තර ප්‍රත්‍යය ශක්තිය වේ. නාස්ති ප්‍රත්‍යය ශක්තිය වශයෙන් දක්වන ලද්දේ පූර්ව චිත්තයාගේ නැති බව හෙවත් නිරුද්ධ වීමය. අතරක් නැතිව අනතුරු සිත ඉපදවීමේ ශක්තිය ඇතත්, පූර්ව චිත්තයාගේ නිරුද්ධ වීමද පසු චිත්තයාගේ ඉපදීමට උපකාරයෙකි. නාස්ති ප්‍රත්‍යය යයි කියනු ලබන්නේ පූර්ව චිත්තයාගේ නිරුද්ධ වීමෙන් උපකාරවීම සලකාගෙන බව කිව යුතු.
නාස්ති ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනා වාර හෙවත් වීථි සතකි.
මේ වීථි හා අනුවාද අනන්තර ප්‍රත්‍යයෙහි කී පරිද්දෙන් දතයුතු.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්:
- පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං නත්ථි පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ කුසල නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ කුසල නාමස්කන්‍ධයන්ට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- අනුලොමං ගොත්‍රභූස්ස, අනුලොමං වොදානස්ස, ගොත්රභූ මග්ගස්ස, වොදානං මග්ගස්ස නත්ථි පච්චයෙන පච්චයො. (අනුලොම චිත්තය ගොත්රභූ චිත්තයටද, අනුලොම චිත්තය වොදාන චිත්තයටද, ගොත්රභූ සිත සෝවාන් මාර්ග සිතටද, වොදාන සිත ඉතිරි මාර්ග චිත්තයන්ටද නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසලං වුට්ඨානස්ස, මග්ගො ඵලස්ස, අනුලොමං සෙක්ඛාය ඵල සමාපත්තියා, නිරොධා වුට්ඨහන්තස්ස නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා නත්ථි පච්චයෙන පච්චයො.
(අන්තිම කුසල ජවනය තදාරම්මණයට හෝ භවාඞ්ගයටද මාර්ග කුසල චිත්තය ඵල චිත්තයටද, ශෛක්ෂ පුද්ගලයා ඵල සමාපත්තියට සමවදනා කල්හි අනුලොම චිත්තය ඵල සිතටද අෂ්ටසමාපත්ති ලාභි අනාගාමි ආර්‍ය්‍යපුද්ගල තෙමේ නිරෝධ සමාපත්තියට සමවැද එයින් නැගීමෙහිදී නේවසඤ්ඤානාසඤ්ඤා කුසල චිත්තය අනාගාමි ඵල චිත්තයටද නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්
පුරිමා පුරිමා අකුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං නත්ථි පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ අකුසල නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ අකුසල නාමස්කන්‍ධයන්ට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
4. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.) මෙහි අනුවාදය වශයෙන්:
අකුසලා වුට්ඨානස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අන්තිම අකුසල චිත්තය එයට අනතුරුව උපදනා තදාරම්මණ චිත්තයට හෝ භවාඞ්ග චිත්තයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
5. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං විපාකාබ්‍යාකතං කිරියාබ්යාකතානං ඛන්ධානං නත්ථි පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ විපාකාව්යාකෘත, කිරියාව්යාකෘත නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ විපාකාව්යාකෘත, කිරියාව්යාකෘත නාමස්කන්‍ධයන්ට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- භවඞ්ගං ආවජ්ජනාය, කිරියං වුට්ඨානස්ස, අරහතො අනුලොමං ඵලසමාපත්තියා, නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කිරියං ඵලසමාපත්තියා නත්ථි පච්චයෙන පච්චයො. (භවාඞ්ගුපච්ඡෙද චිත්තය ආවර්ජනා චිත්තයටද, අන්තිම ක්‍රියා ජවනය, තදාරම්මණයට හෝ භවාඞ්ගයටද, රහතන් වහන්සේගේ අනුලොම චිත්තය අර්හත්ඵල චිත්තයටද, නිරොධ සමවතින් නැගීමේදී නෙවසඤ්ඤානාසඤ්ඤා ක්‍රියා චිත්තය අර්හත්ඵල චිත්තයටද නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
6. වීථිය
අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාදය වශයෙන්-
ආවජ්ජනා කුසලානං ඛන්ධානං නත්ථි පච්චයෙන පච්චයො.
(ආවර්ජනා චිත්තය ප්‍රථම කුසල ජවනයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
7. වීථිය
අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස නත්ථි පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාදය වශයෙන්-
ආවජ්ජනා අකුසලානං ඛන්ධානං නත්ථි පච්චයෙන පච්චයො.
(ආවර්ජනා චිත්තය ප්‍රථම අකුසල ජවනයට නාස්ති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි විස්තරය අනන්තර ප්‍රත්‍යයෙහි දක්වන ලද පරිදි දතයුතු.