අභිධර්මාර්ථ ප්‍රදීපිකා

21. අස්ථි ප්‍රත්‍යය

අස්ථි යනු ඇත හෙවත් විද්‍යමානය යන අර්‍ත්‍ථ යි. උත්පාද ස්ථිති, භඞ්ග යන ක්‍ෂණත්‍රයට පැමිණ තිබෙන ධර්මයෝ ඇති ධර්‍ම හෙවත් විද්‍යමාන ධර්‍මයෝ යි. උත්පාදාදී ක්‍ෂණත්‍රයට පැමිණ තිබෙන රූපාරූප ධර්මයෝ අන්‍ය රූපාරූප ධර්මයන් ගේ හටගැනීමට හා බලවත් වීමට ද උපකාර වෙති. එසේ උපකාර වන්නේ තමන්ගේ විද්‍යමානත්‍වය හෙවත් අස්ථි භාවය නිසාය. මෙසේ තමාගේ අස්ථි භාවයෙන් අන්‍යවූ රූපාරූප ධර්‍මයන්ගේ හටගැනීමට හා බලවත් වීමට උපකාර වන ධර්මයන්ට අස්ථි ප්‍රත්‍ය ධර්‍මයෝ යයි කියනු ලැබේ.

අස්ථි ප්‍රත්‍යය සත්වැදෑරුම් වේ.

  1. සහජාතාස්ථි ප්‍රත්‍යය
  2. වස්තු පුරේජාතාස්ථි ප්‍රත්‍යය
  3. වස්ත්‍වාරම්මණ පුරේජාතාස්ථි ප්‍රත්‍යය
  4. ආරම්මණ පුරේජාතාස්ථි ප්‍රත්‍යය
  5. පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය
  6. ආහාරාස්ථි ප්‍රත්‍යය
  7. ඉන්‍ද්‍රියාස්ථි ප්‍රත්‍යය

අස්ථි ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම් උත්පාදාදී ක්‍ෂණත්‍රයට පැමිණීම් වශයෙන් වර්‍තමාන භාවයට පැමිණි එකුන් අනූ (89) චිත්තය, චෛතසික දෙපනසය (52), රූප අට විස්සය (28) යන ධර්මයෝය. නිර්‍වාණ ධර්මය අස්ථි ප්‍රත්‍යය වන ධර්මයක් නොවේ.