අභිධර්මාර්ථ ප්‍රදීපිකා

20. විප්‍රයුක්ත ප්‍රත්‍යය

මිශ්‍ර නොවන ස්වභාවයට විප්‍රයුක්ත තාවය යයි කියති. එසේ විප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍යයොත්පන්න ධර්‍මයන්ට උපකාර වන ධර්‍මයෝ විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ ය. චිත්ත චෛතසික ධර්‍මයෝ උපදනා කල්හි ඔවුනොවුන්ට සම්ප්‍රයෝග භාවයෙන් උපකාර වෙති. නමුත් ඒ චිත්ත චෛතසික ධර්‍මයන් හා සහජාතව උපදනා චිත්තජ රූපයන් සමඟ එවැනි සම්ප්‍රයෝග භාවයක් නැත. චිත්ත චෛතසික ධර්‍මයෝ චිත්තජ රූපයන්ට උපකාර වන්නේ විප්‍රයුක්ත භාවයෙනි.

චක්‍ෂුප්‍රසාදාදී වස්තු රූපයන් නිශ්‍රය කොටගෙන චක්‍ෂුර් විඥානාදී නාම ධර්‍මයන් උපදනා කල්හි, ඒ චක්‍ෂුප්‍රසාද වස්තුහුද චිත්ත චෛතසික ධර්‍මයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති. එමෙන්ම පසුව පසුව උපදනා හෙවන් පච්ඡාජාත චිත්ත චෛතසික ධර්‍මයෝ පූර්‍වයෙහි උපන් කායික රූපයන්ටද උපකාර වන්නේ විප්‍රයුක්ත භාවයෙනි.

මේ විප්‍රයුක්ත ප්‍රත්‍යය කාමලොක, රූපලොක දෙක්හි පමණක් ලැබේ. අරූප ලෝකයෙහි නොලැබේ. චිත්තයන් අතුරෙන් පඤ්චවොකාර භවයෙහිදී අරූප විපාක සිත් සතර නොලැබෙන හෙයින් ඒ සිත් සතර විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍ම නොවේ. රූප ධර්‍මයන් අතුරෙන් විප්‍රයුක්ත ප්‍රත්‍යය වන්නේ වස්තුරූප සය පමණෙකි.