අභිධර්මාර්ථ ප්‍රදීපිකා

18. මාර්‍ග ප්‍රත්‍යය

සිතට, ඒ ඒ දිසාවට ඒ ඒ මගට පැමිණවීමට උපකාර වන ධර්මයන්ට මාර්‍ග ධර්‍මයෝ යයි කියනු ලැබේ. ඇතැම් ධර්මයෝ කුසල් කිරීමට උපායක් හෙවත් මාර්ගයක් වශයෙන් උපකාර වෙති. ඔවුනට කුසල මාර්‍ගාඞ්ගයෝ යයි කියති. ඇතැම් ධර්මයෝ අකුසල් කිරීමට මාර්ගය වශයෙන් පවතී. එයට අකුසල මාර්‍ගාඞ්ගයෝ යයි කියති. කුසල මාර්ගාඞ්ගයෝ කුසල් කිරීමටත් ඒ හේතුවෙන් සුගතියටත් නිවණටත් පැමිණීමට උපකාර වෙති. අකුසල මාර්‍ගාඞ්ගයෝ අකුසල් කිරීමටත් දුගතියට පැමිණවීමටත් උපකාර වෙති. මෙසේ මාර්‍ගභාවයෙන් උපකාරවන ධර්‍මයනට මාර්‍ග ප්‍රත්‍යය ධර්‍මයෝ යයි කියනු ලැබේ.

මාර්‍ග ප්‍රත්‍යය වන ධර්මයෝ දොළොසකි.

එනම්:

  1. සම්මා දිට්ඨි
  2. සම්මා සඞ්කප්ප
  3. සම්මා වාචා
  4. සම්මා කම්මන්ත
  5. සම්මා ආජීව
  6. සම්මා වායාම
  7. සම්මා සති
  8. සම්මා සමාධි
  9. මිච්ඡා දිට්ඨි
  10. මිච්ඡා සඞ්කප්ප
  11. මිච්ඡා වායාම
  12. මිච්ඡා සමාධි

මෙයින් සම්මා දිට්ඨි ආදිවූ මාර්ගාඞ්ගයෝ අටදෙන කුසල මාර්ගාඞ්ගයෝ යි. මිච්ඡාදිට්ඨි ආදිවූ සතරදෙන අකුසල මාර්ගාඞ්ගයෝ යි.

මෙසේ මාර්ගාඞ්ග වශයෙන් දොළොසක් වන නමුත් චෛතසික ධර්‍ම වශයෙන් නවයකි.

ඒ මෙසේයි:

  1. සම්මා දිට්ඨිය - අමොහ සංඛ්‍යාත ප්‍රඥා චෛතසිකය
  2. සම්මා සඞ්කප්ප - සොභන සිතෙහි යෙදෙන විතර්‍ක චෛතසිකය
  3. සම්මා වාචා - සම්මා වාචා නම්වූ විරති චෛතසිකය
  4. සම්මා කම්මන්ත - සම්මා කම්මන්ත නම්වූ විරති චෛතසිකය
  5. සම්මා ආජීව - සම්මා ආජීව නම්වූ විරති චෛතසිකය
  6. සම්මා වායාම - සොභන සිතෙහි යෙදෙන විරිය චෛතසිකය
  7. සම්මා සති - සොභන සිතෙහි යෙදෙන සති චෛතසිකය
  8. සම්මා සමාධි - සොභන සිතෙහි යෙදෙන එකග්ගතා චෛතසිකය
  9. මිච්ඡා දිට්ඨි - ලොභමූල අකුසල් සිතෙහි යෙදෙන දිට්ඨි චෛතසිකය
  10. මිච්ඡා සඞ්කප්ප - අකුසල් සිතෙහි යෙදෙන විතර්‍ක චෛතසිකය
  11. මිච්ඡා වායාම - අකුසල් සිතෙහි යෙදෙන විරිය චෛතසිකය
  12. මිච්ඡා සමාධි - අකුසල් සිතෙහි යෙදෙන එකග්ගතා චෛතසිකය

අහේතුක සිත් අටළොසෙහි හේතු ධර්‍ම නොයෙදෙන හෙයින් දුබලවූ ඒ සිත්හි මෙකී චෛතසිකයන්ගෙන් ඇතැම් චෛතසිකයෝ යෙදෙන නමුත් ඒ ධර්මයන්ට මාර්‍ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර විය නොහැකි වේ. එබැවින් මාර්ග ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීමට සමත්වන්නේ සහේතුක සිත් එක් සැත්තෑවෙහි ඇති මාර්‍ගඞ්ග ධර්‍මයන්ට පමණය. මාර්ග ප්‍රත්‍යය වන ධර්මයන්ට සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධ යන්ගේද සහාය ලැබෙන්නාහ.